ප්‍රශ්නය විසඳදිමේ හැකියාවක් ඉන්දියාවට ඇත්නම් මැදිහත්වීමත් යහපත් ය

July 9, 2000
Publication:
India says it has a package to end the war based on an undivided Sri Lanka and a fair settlement of Tamil grievances. The editorial welcomes any Indian solution acceptable to both sides, since mutual hatred rules out an internal settlement, and sets out the cost of the war: defence spending doubled from Rs 25 billion in 1994 to 50 billion and has risen to 75 billion since Elephant Pass, dwarfing health, education and transport budgets.

ශ්‍රී ලංකාවේ පවත්නා යුද්ධය අවසන් කිරීමට හේතුවන පැකේජයක් තමන් සතුව පවත්නා බව ඉන්දියාව ප්‍රකාශ කර ඇත. එම පැකේජයට ඇතුළත් කරුණු තවමත් ප්‍රකාශ කර නැතත්, තමන් නොබෙදුණු ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරන බවත් ඒ සමග දෙමළ දුක්ගැනවිලිවලට සාධාරණ විසඳුමක් ලබාදිමේ අවශ්‍යතාව පිළිගන්නා බවත් ප්‍රකාශ කර ඇත.

යුද්ධයට හේතුවී තිබෙන අභ්‍යන්තරික කාරණා ලෙස සැලකිය හැකි වුවත් එම අභ්‍යන්තර කාරණා අභ්‍යන්තරික වශයෙන් අපට විසඳගත නොහැකි තත්ත්වයක් ඉදිරියේ අසල්වැසි ඉන්දියාව හෝ මැදිහත් වී දෙපාර්ශවයේ පිළිගැනීමට හේතුවන විසඳුමක් ඉදිරිපත් කරයි නම්, එය යහපත් දෙයක් ලෙස මිස අයහපත් දෙයක් ලෙස සැලකිය නොහැකි ය.

යුද්ධයට මැදිවී සිටින දෙපාර්ශවය අතර එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නොපවතී. දෙපාර්ශවයම ඉන්නේ එකිනෙක පක්ෂ කෙරෙහි ඇති කරගත් ආගාධ වෛරයකිනි. යුද්ධයෙන් දෙකින් එකක් විසඳ ගත යුතුයි කියන අන්තවාදි ආකල්පයකය. එවැනි තත්ත්වයක් යටතේ තවත් බෙහෝ කලක් යන තෙක් එම ගැටලුව අභ්‍යන්තරික වශයෙන් විසඳ ගැනීමේ හැකියාවක් නොපවතී.

යුද්ධ වියදම ඉහළ යමින් තිබෙන වේගයට ඉක්මන් පාලනයක් ඇති කරගැනීමට අසමත් වෙතොත්, රට අතිවිශාල අවුලකට යන දිනය බොහෝ ඈත නොවනු ඇතැයි සිතිය හැකි ය. 94 දි පොදු පෙරමුණු පාලනය බලයට පත්වන අවස්ථාව වනවිට රටේ ආරක්ෂක වියදම තිබුණේ රුපියල් කෝටි 2500ක මට්ටමක ය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව පළමු 6 වසර තුළ ආරක්ෂක වියදම රුපියල් කෝටි 5000 දක්වා දෙගුණ වී අලිමංකඩ බිඳ වැටීමෙන් පසු එය රුපියල් කෝටි 7500 දක්වා ඉහළ ගොස් තිබේ.

දැන් නවීන අවි ආයුධ මිලදි ගැනීම සඳහා කෙරෙමින් තිබෙන අතිවිශාල වියදම අනුව තවත් වසර කිහිපයක් යන තෙක් ආරක්ෂක වියදම රුපියල් කෝටි 7500ක මට්ටමක තබා ගැනීමට සිදුවනු ඇතැයි සිතිය හැකි ය.

එහෙත් එවැනි විශාල වියදමක් දැරීමේ හැකියාවක් රටට ඇත්තේ නැත. දැනටමත් රටේ පවත්නා ජීවන වියදම ජනතාවට ඔරොත්තු නොදෙන තරම් ය. අපි යුද්ධයට රුපියල් කෝටි 7500ක් වියදම් කරන විට රටේ මහජන සෞඛ්‍යයට වියදම් කරන්නේ රුපියල් කේටි 1500ක් පමණ ය. අධ්‍යාපනයට වියදම් කරන්නේ රුපියල් කෝටි 2900කි. මහා මාර්ග හා ප්‍රවාහනය සඳහා වියදම් කරන්නේ රුපියල් කෝටි 2500ක් පමණ ය.

මේ තත්ත්වයේ වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ යුද්ධයට දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුමක් ඇති කරගත හැකි නම් පමණය. එය සපුරා දිමේ හැකියාවක් ඉන්දියාවට ඇති නම් එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාවට ද යහපත් වනු ඇත.