ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජම්බො කැබිනට්ටුව මහජනයාගේ හාස්‍යයට හේතුවිය හැකි වුවත්, විධායක ජනාධිපති ක්‍රමය තුළ සිදුවිය හැකි හාස්‍යජනක ක්‍රියා නිසා පමණක් විධායක ජනාධිපතිවරයෙකු පරාජය කිරීම සරල හෝ පහසුවන්නේ නැත.
ආණ්ඩුව වෙනස් නොවී එකම පක්ෂයකින් ජනාධිපතිවරයෙකු පත්වන අවස්ථාවලදී පවා බලයට පත්වන නව ජනාධිපතිවරයා සිරිතක් ලෙස තිබුණු රෙජීමයේ කොටස්කරුවෙකු නොවී තමන්ගේම රෙජීමයක් ඇති කර ගැනීම සඳහා ක්‍රියා කරයි. එහිදී ඇතිවන වෙනස්කම් පැරණි රෙජීමය තුළ සිටි කෙරුම්කාරයන්ගේ විරෝධයට හේතුවේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු එම පක්ෂයෙන්ම බලයට ආ ජනාධිපති ප්‍රේමදාස මහතා ජේ.ආර්.ගේ රෙජීමය ඒ ආකාරයෙන් ඉදිරියට ගෙන ගියේ නැත. ඔහු පැරණි රෙජීමයේ බලපුළුවන්කාරයන්ගේ තටු කපා තමන්ට විශ්වාසවන්ත පිරිසක් ඉදිරියට ගත්තේය. පැරණි රෙජීමය තුළ බැබලුණු ලලිත්, ගාමිණී වැනි බලපුළුවන්කාරයින් නොවැදගත් තැනකට ඇද දමා අවැදගත් තත්ත්වයක සිටි තමන්ට විශ්වාසවන්ත පිරිසක් තම රෙජීමයේ බලපුළුවන්කාරයින් බවට පත් කළේය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු බලයට පැමිණි විජේතුංග ජනාධිපතිවරයා ද ප්‍රේමදාස ජනාධිපතිවරයාට තිබූ විශ්වාසවන්තභාවය සලකා ප්‍රේමදාස ජනාධිපතිවරයා ගොඩනගා තිබූ රෙජීමය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනගියේ නැත. ඒ වෙනුවට ඔහු ද ප්‍රේමදාස යුගය තුළ බැබලුණ තාරකා කෙරෙහි විශ්වාසය නොතබා තමන්ට විශ්වාසවන්ත පිරිසක් තම රෙජීමයේ තාරකා බවට පත් කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් ක්‍රියාවට නගමින් තිබෙන්නේ ද ඒ ක්‍රියාවලියයි.
කොහොමටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය හාස්‍යජනකය. ජේ.ආර්. ජයවර්ධනගේ සිට බලයට පැමිණි හැම විධායක ජනාධිපතිවරයෙක්ම හාස්‍යජනක දේවල් කළහ. එහෙත් ඒ හාස්‍යජනක දේවලින් පමණක් විධායක ජනාධිපතිවරු පරාජය නොවූහ. එවැනි දේවලින් පමණක් ඔවුන් පරාජය කළ නොහැකිය.
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ශිෂ්ටසම්පන්න කිරීමේ අවංක වුවමනාවක් මොනම දේශපාලන පක්ෂයකටවත් නොතිබුණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, කම්කරු කොංග්‍රසය, හෙළ උරුමය වැනි හැම දේශපාලන පක්ෂයක්ම කළේ විධායක ජනාධිපති ක්රමයේ ඒකාධිපති ඇණ මුරිච්චි තද කිරීමය. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අභ්‍යන්තර විරුද්ධවාදී පිලේ නායකයා බවට පත්ව සිටින මංගල සමරවීරලා කළේ ද විධායක ජනාධිපති ක්රමයේ ඒකාධිපති ඇණ මුරිච්චි තද කිරීමය. දැන් ඔවුන්ට තමන් විසින්ම ආදරයෙන් කිරි පොවා හදා වඩා ගත් ඒකාධිපති ක්‍රමය තුළ ගොඩ නැගුණු නායකයකුට එරෙහිව සටන් කරන්නට සිදුවී තිබීම හාස්‍යජනකය.
ශ්‍රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ ද ජනාධිපතිවරයෙකුට එරෙහිව පාවිච්චි කළ හැකි දෝෂාභියෝගයක් සඳහා විධි විධාන ඇතත්, ඒ විධි විධාන යටතේ ඇති දෝෂාභියෝග ක්‍රමයෙන් ජනාධිපතිවරයෙකු බලරහිත කිරීමේ හැකියාවක් නැත.
දෝෂාභියෝගයක් ආරම්භ කිරීම සඳහා තුනෙන් දෙකක එකඟතාවක් තිබිය යුතුය. කතානායකවරයා එකඟ නම් පමණක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අඩක් අත්සන් තබා ඇති දෝෂාභියෝගයකින් පමණක් වුවත්, දෝෂාභියෝගයක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇතත්, එය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියකට අතිරේකව ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතියක් ද තිබිය යුතුය. දෝෂාභියෝග යෝජනාවක් කතානායකවරයා භාරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එහි සඳහන් චෝදනා පරීක්ෂා කරන තැනකට යා යුතුය. චෝදනා සනාථ වීම පමණක් ප්‍රමාණවත් නැත. ජනාධිපතිවරයා ධුරයෙන් පහ කරන යෝජනාවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියක් ද ලැබිය යුතුය. ඉන්පසුද එය අවසන් වන්නේ නැත. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු අනුමැතිය ලබාදී තිබෙන චෝදනා පරීක්ෂාවට ලක් කළ යුතුය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලැබී තිබියදී පවා චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.
ජනාධිපතිවරයෙකුට එරෙහිව යොදාගත හැකි දෝෂාභියෝග ක්‍රමය සකස් කර ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වෙන චෝදනා කොතරම් බරපතළ වුවත්, ජනාධිපතිවරයෙකු තනතුරෙන් පහ කළ හැකි ආකාරයට නොව, ඔහු ආරක්ෂා කෙරෙන ආකාරයටය. ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද එම කැත ක්‍රමය වෙනස් නොකොට නොකඩවාම ඉදිරියට ගෙනයෑමේ චෝදනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට එල්ල කළ හැකිය. ඒ ක්‍රමය වෙනස් කරනවාට රනිල් කැමති නොවූවාය. චන්ද්‍රිකා ද කැමති නොවීය. විමල් වීරවංශ හෝ චම්පික රණවක ද කැමති නොවීය. මංගල හා අනුර ද කැමති නොවීය. දැන් ඒ සියලුදෙනාට සටන් කරන්නට සිදුවී ඇත්තේ ජයගත හැකි ක්‍රමයක් නැතිවය. අවසානයේ ඒ සියලු දෙනාට විශ්වාස කරන්නට සිදුවනු ඇත්තේ ප්රභාකරන් කෙරෙහිය. ජනාධිපති ප්‍රේමදාස මරා දමන ලද ආකාරයට අපේ නිදහස හා ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මරා දමන ලෙස ප්රභාකරන්ගේ පිළිරුව ඉදිරියේ යාඥා කිරීමට ඔවුන් සියලු දෙනාට සිදුවනු ඇත්තේය.
ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව වෙනුවට මහින්ද රාජපක්ෂ නමැති විධායක ජනාධිපතිට එරෙහිව කරන්නට සිදුවී ඇති ලොමු දැහැගැන්වෙන අරගලයේදී කැපී පෙනෙන භූමිකාවක් රඟපෑමේ හැකියාව දැන් ජවිපෙට ද නැත.
ඔවුහු පළමුවෙන් දේශපාලන කරළියට ආවේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය. පසුව ඔවුන් විධායක ජනාධිපති ක්රමයේ ඒකාධිපති ඇණ මුරිච්චි තද කරන ගෝලයින් පිරිසක් බවට පත්විය. විධායක ජනාධිපති ක්රමයේ පැණි උරා බොන බඹරුන් පිරිසක් බවට පත්වූහ.
එජාපයෙන් ආණ්ඩුවට එකතු වී සිටින පිරිස ගැන ඔවුන් කියන්නේ ප්‍රතිපත්තිමය හේතු මත නොව ද්‍රව්‍යමය වාසි පිණිස පක්ෂ මාරු කළ පිරිසක් ලෙසය. ඔවුන් ද මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම වෙනුවෙන් පස්සා දොරෙන් ලබාගත් ද්‍රව්‍යමය වාසි ඇත්තේය. ඔවුහු තනතුරු ගණනාවකට තම හිතවතුන් පත්කර ගත්හ. ඔවුහු මගින් යම් යම් වාසි ලබාගත්හ. ඔවුන්ගේ නිර්දේශ මත ප්‍රධාන තනතුරු කිහිපයකට පත් කළ පුද්ගලයින් ගෞරවනීය වැඩ කොටසක් ඉටු කිරීමට සමත් වී නැති බව ද කිව යුතුය. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලංකා බැංකුවේ සභාපතිවරයාය. ඔහු තමන්ට තිබෙන නිල බලය අයථා ලෙස පාවිච්චි කළේය. ඔහුට එල්ල වී තිබෙන දූෂිත චෝදනා බරපතළය. මේ සියල්ලටම අතිරේකව රූපවාහිනී විකාශන බලපත්‍රයක් හා ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගැනීම මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් ජේවීපීය ලබාගත් ලොකුම කප්පම ලෙස සැලකිය හැකිය. එම බලපත්‍ර දෙකේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ විය හැකිය. එය ඔවුන් තමන් විසින් කරන ලද සේවාව වෙනුවෙන් ලබා ගත් කුලිය ලෙස සැලකිය හැකිය.
ජේවීපීය සටන්කාමී හා ක්‍රියාකාරී දේශපාලන ව්‍යාපාරයක් විය හැකි වුවත්, දේශපාලනයේදී ඔවුන් එල්ටීටීඊය තරම්ම අපරිණතය. 1988 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතා ජයගත්තේ ජේවීපීය නිසාය. එදා ඔවුන්ගේ තක්සේරුව වූයේ එජාප පරාජය කොට ගොඩ නැගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට වඩා නැවත එජාප බලයට පත් කරන වැඩපිළිවෙළක් තුළ තමන්ට බලයට පත්වීම පහසු වනු ඇති බවය. අවසානයේ එම න්‍යායවාදයේ නිර්මාතෘවරයා වූ විජේවීරගේ සිට ජවිපෙ ක්‍රියාකාරීන් අතිවිශාල බහුතරයකට තමන් බලයට පත් කළ ප්‍රේමදාස ආණ්ඩුව අතින් මැරුම් කන්නට සිදුවූයේය. දැන් ජේවීපයට හැප්පෙන්නට සිදුවී ඇත්තේ ද තමන් විසින්ම බලයට පත් කළ ජනාධිපතිවරයෙකු සමගය. ඒ ගැටුම කෙළවර වනු ඇත්තේ ද පරාජයකින් මිස ජයග්‍රහණයකින් නොවේ. දේශපාලනයේදී තමන් අනුන්ට අද කරන දේ හෙට තමන්ට ද බලපායි. ජේවීපීය විධායක ජනාධිපති ක්‍රමයට අතිවිශාල බලයක් ලබා දුන්නේය. දැන් ඔවුන්ට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ තමන් විසින්ම බලවත් කරන ලද එම ක්‍රමයට එරෙහිවය. අනාගතය විනිවිදව දැකීමට අවශ්‍ය දේශපාලන පරිණතභාවයක් ඔවුන්ට තිබුණේ නම්, විධායක ජනාධිපති ක්‍රමයට හුළං ගැසීමේ ක්‍රියාවට ඔවුන් සම්බන්ධ නොවනු ඇත්තේය.
ජනාධිපතිට විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ලැබී තිබෙන අතිවිශාල බලය නිසාම රනිල්ට චන්ද්‍රිකාට, විමල්ට හෝ මංගලට වෙන් වෙන්ව හෝ එකට එකතු වී කරන සටනක් මගින් ධුර කාලය අවසන් වන්නට පෙර ජනාධිපතිවරයා අවසාන වශයෙන් පරාජය කිරීමේ හැකියාවක් නැත. එහෙත් කලබල කිරීමේ හැකියාවක් පවතී. එහෙත් එසේ ඇති කරන කලබල තේ කෝප්ප කුණාටුවලට වැඩි දෙයක් නොවනු ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එකවිට එක සතුරු පෙරමුණකට එරෙහිව සටන් කරනවා වෙනුවට එකවිට සතුරු පෙරමුණු ගණනාවකට එරෙහිව සටන් කරන තැනකට තල්ලු වී සිටින බව පෙනේ. එහෙත් එය හොඳ සටන් ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ඔහු එක විට ප්රභාකරන්ට එරෙහිවත්, ඉන්දියානු ආධිපත්‍යයට එරෙහිවත්, අන්තර්ජාතික ප්‍රජාවට එරෙහිවත්, එජාපයට එරෙහිවත්, ජවිපෙට එරෙහිවත් සටන් කරන තැනකට තල්ලු වී සිටින්නේය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරද්දා ගත්තේ ද ඉන්දියාව සමග කරන ගනුදෙනුවේදීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ජේ.ආර්. ජයවර්ධන විසින් කරන ලද එම වරද ඊට වෙනස් ආකාරයකින් පුනරුච්චාරණය කරමින් සිටින බව පෙනේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට කිසිවෙක් කොන්දේසි පනවනවාට විරුද්ධය. කොන්දේසි සහිත ආධාර වෙනුවට ඔහු වඩා කැමැත්තක් දක්වන්නේ කොන්දේසි විරහිත ආධාරවලටය. ඉන්දියාව සේ ම අන්තර්ජාතික ප්‍රජාව ද ලංකාවට කොන්දේසි පනවයි. ඒ නිසා කොන්දේසි නොපනවන චීනය වෙත මහින්ද රාජපක්ෂ මහතා තල්ලුවෙමින් සිටින බව පෙනේ.
එහෙත් අපේ අසල්වැසියා චීනය නොව ඉන්දියාවය. ඉන්දියාව හා චීනය අතර බල අරගලයක් පවතී. කලාපීය බලවතා වන ඉන්දියාව තම අසල්වැසි රටවල් තමන් සතුරන් ලෙස සලකන බලවේගයන්ගේ ඔඩොක්කුවට වැටෙනවාට තරයේ විරුද්ධය. ජේ.ආර්. ඇමරිකාව වෙත ළංවන තරම වැඩිවන තරමට ඉන්දියාව ජේ.ආර්. සමග උරණ වූයේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාව වෙනුවට තෝරාගෙන ඇත්තේ චීනයයි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා චීනයට ළංවන තරම වැඩිවන තරමට ඉන්දියාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග උරණ වනු නොවැළැක්විය හැකිය.
රාජ්‍ය පාලනයේදී භූ දේශපාලන යථාර්ථය සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත්ය. අපි ඉන්දියානු විරෝධී නොවී ස්වාධීනව සිටින තාක් කල් ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි නොවනු ඇත. එහෙත් අප යම් හෙයකින් ඉන්දියාව තමන්ගේ සතුරන් ලෙස සලකන බලවේගයක් සමග සමීපව ක්‍රියා කරන තැනකට තල්ලු වුවහොත් ඔවුන් එය ඔවුන්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ලෙස සලකා අපට එරෙහිව ක්‍රියා කරන තැනකට තල්ලු වනු නොවැළැක්විය හැකිය. ඉන්දියාවේ අසන්තෝෂයට හේතු නොවන ලෙස චීනය සමග ගනුදෙනු කරන තැනකට අප යා යුතු ය. ප්රභාකරන්, රනිල්, චන්ද්‍රිකා, විමල් වැනි අය සැහැල්ලුවෙන් සැලකිය හැකි දේශපාලන ප්රපංචයන් වුවත්, ඉන්දියාව සැහැල්ලුවෙන් සැලකිය හැකි දේශපාලන ප්රපංචයක් නොවේ. ඉන්දියාව සමග අනේයාන්‍ය අවබෝධයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියකි. •