අනතුරු ඇඟවීමේ සංඥාවක්

October 29, 2026
Publication:
Five left-wing Sinhala youths are reported abducted; the army says three of them were arrested returning from LTTE training with C4, T-56s and claymores. Ivan does not settle which account is true. His point is the warning in it: when young people can see no peaceful road to a just country, they take the other one, and not one recommendation of the youth commission has ever been implemented.

වාමාංශික අදහස් දරන සිංහල තරුණයන් තිදෙනෙකු පැහැර ගෙන ගොස් ඇති බව 05 වැනිදා රාත්‍රීයේ දී ජනමාධ්‍යවලට අසන්නට ලැබුණි. පැහැර ගෙන ඇති සිංහල තරුණයන්ගේ ගණන පහ දක්වා ඉහළ ගොස් ඇති බව පසුදා දහවල් වන විට ජනමාධ්‍යවලට අසන්නට ලැබුණි. එදින හමුදා ප්‍රකාශකයා ප්‍රකාශ කළේ කිලිනොච්චියට ගොස් එල්ටීටීඊයෙන් පුහුණුව ලබා පැමිණි සිංහල තරුණයන් තිදෙනෙකු බිහිසුණු අවි ආයුධ තොගයක් සමග යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව ය. අත්අඩංගුවට ගන්නා ලද ආයුධ අතර, C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 06ක් ද, උණ්ඩ 449ක් සමග ටී 56 වර්ගයේ ගිනි අවි හතරක් ද, උණ්ඩ 49ක් සමග මයික්‍රෝ පිස්තෝල දෙකක් ද, කිලෝව ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 02ක් ද වන බව හමුදා ප්‍රකාශකයා ප්‍රකාශ කර තිබේ. සමහර ඔත්තු සේවාවන්ගේ මතය වී ඇත්තේ මේ තරුණයන්ගෙන් සමහරු ජවිපෙ තුළ ක්‍රියාත්මක වී පසුව ඉන් ඉවත් වී නව දේශපාලන සංවිධානයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ තරුණ කණ්ඩායමක් වන බව ය.

මේ කියන කතා සත්‍යයක් නම්, සිංහල දකුණේ ද නැවත තරුණ කැරැල්ලක් ඇතිවීමේ යම් විභවයක් ඇති බව පෙනී යයි. අපට දැන් අමතක වී ඇතත්, සිංහල දකුණේ ද තරුණ කැරලි දෙකක් ඇතිවිය. පළමු කැරැල්ල සිදුවූයේ 1971 දී ය. ඉන් වසර 18 කට පසුව ප්‍රමාණයෙන් හා කෘෘරත්වයෙන් වඩා විශාල දෙවැනි කැරැල්ලක් ද සිදුවිය. කැරැල්ලක් බලය යොදා මැඩ පැවැත්විය හැකි වුවත්, ඒ කෙරෙහි බලපෑ හේතුවලට නිසි පිළියම් නො යොදන්නේ නම් තවත් කාලයකට පසු ඒ හේතු නිසා වඩා විනාශකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව ඉන් පෙන්නුම් කරයි.

71 කැරැල්ලෙන් පසු ද ඒ කෙරෙහි බලපෑ සමාජ, ආර්ථික හේතු සොයා බලන ලදි. එහෙත් හඳුනා ගත් හේතූන්ට නිසි පිළියම් යෙදීමක් සිදු නො වී ය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ තවත් අවුරුදු 18කට පසුව ප්‍රමාණයෙන් වඩා විශාල තරුණ කැරැල්ලක් මතුවීම ය. දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුව තරුණ අසහනයට බලපා තිබෙන හේතු සොයා බැලීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලදි. තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන හේතු හඳුනා ගනිමින් පිළියම් සඳහා ඉතා වැදගත් නිර්දේශ ගණනාවක් එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබුවත් එහි එන එකදු නිර්දේශයක්වත් අද දක්වා ක්‍රියාත්මක කර නැත.

රටේ කටයුතු මෙතෙක් සිදුවූ ආකාරයට සේ ම සිදුවෙමින් තිබෙන ආකාරය ද තරුණ පරපුරේ විශ්වාසයට හා ගෞරවයට හේතුවී නැති බව තරුණ කැරලි දෙකකට නායකත්වය දී දැන් සාමකාමී දේශපාලන මගක් ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ සේ ම අනෙකුත් ජාතික දේශපාලන පක්ෂ ද තේරුම් ගත යුතු ය. දේශපාලන ක්‍රමය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරන විට පීඩනය පුපුරන්නේ කැරලි වශයෙනි. දේශපාලන ක්‍රමය මජර ගලන තරමට කුණුවී තිබෙන බව ඔවුන්ට නො පෙනෙන්නට හේතුවක් නැත. ජාතික දේශපාලනය යනු රටේ වස්තුව කොල්ලකෑම සඳහා කෙරෙන අවලස්සන තරගයක් බව තේරුම් ගැනීමට බැරිතරමට ඔවුන් ලාමක නැත. තිබෙන ඉඩ ප්‍රස්ථා සාධාරණව බෙදී යන ක්‍රමයක් නැති බව ඔවුහු දනිති. අයුක්තියක් සිදුවූවන්ට යුක්තිය ඉටුකර ගැනීමට යන්නට තැනක් නැති බව ඔවුහු දනිති. තමන් කැමති සාධාරණ රටක් ඇති කරගැනීමට සාමකාමී මාර්ගයක් නැති බව පෙනෙන විට බලයට එරෙහිව බලය යොදා ගන්නා ප්‍රතිපත්තියකට ඔවුන් යොමුවීමේ හැකියාවක් පවතී.

මෙම තත්ත්වයට වගකිවයුත්තේ ඔවුන් නොව වැඩිහිටි අය ය. අපේ රටේ වැඩිහිටි පරපුර එක්වරක් නොව, සිය දහස් වාරයක් අසාර්ථක ය. බොරුව, අසාධාරණය, වංචාව හා දූෂණය රටේ රජ කරයි. යුක්තියක් කියා දෙයක් රටේ ඇත්තේ ම නැති තරම් ය. මේ තත්ත්වය නැවත බැ?රුම් ලෙස සලකා බැලීම වැඩිහිටි පරපුරේ වගකීමකි. මේ රට අප භුක්ති විඳිය යුත්තේ අනාගත පරපුරේ අවශ්‍යතාවන් ද සලකා ය. ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන රටක් ඔවුන්ට උරුම කරදීමට අප අසමත් වෙතොත් රටේ අනාගත පරපුර අපට සාප කරනු නො අනුමාන ය. •