අනුරුද්ධ මිය ගියේය. කලක් ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයකු වශයෙන් ඔහු පිළිබඳ සටහනක් තැබීම වැදගත්ය.
අනුරුද්ධ සමග කිසියම් ළඟ ඇසුරක් පැවති ඒ කාලයේ කොළඹ සිටින අනුරුද්ධ සතියේ දිනවල ජීවත් වූයේ තිඹෙරිගස්යාය චිත්‍රා මාවතේ ඇති සිය මස්සිනා කෙනකුගේ නිවසේය. අනුරුද්ධ ද ඇතුළත්ව ඒ කාලයේ අපේ කණ්ඩායමට පුද්ගලයන් හතරදෙනෙක් ඇතුළත්ව සිටියෝය. හැරී ගුණතිලක හා ආනන්ද චිත්තම්පලම් ඒ හතරදෙනාගේ කණ්ඩායමට ඇතුළත් අනෙක් දෙදෙනා විය. ඒ කාලයේ අප සිව්දෙනා සමහර අය, බණ්ඩාරනායක මැතිනිය පවා හඳුන්වන ලද්දේ “ඒ” කණ්ඩායම වශයෙනි. මා ශ්‍රීලනි පාක්ෂිකයකු නොවූවද රාවය පුවත්පත ආණ්ඩුවට දැඩි ලෙස පහරදෙන පිළිවෙතක් අනුගමනය කරන අතර ශ්‍රීලනිපයට ශක්තිය ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ශ්‍රීලනිප නායකයන් විසින් මා සලකන ලද්දේ ඔවුන්ගේ විශ්වාසදායක දේශපාලන ආධාරකරුවකු හෝ හිතවතකු හෝ ලෙසය. ඒ කාලයේ බණ්ඩාරනායක මැතිනියගේ විශ්වාසවන්තම සගයා වී සිටියේ අනුරුද්ධය. ඒ විශ්වාසය නිසා බණ්ඩාරනායක මැතිනිය කෙරෙහි විශාල ලෙස බලපෑමේ හැකියාවක් අනුරුද්ධට තිබුණු අතර අපේ සම්බන්ධය අනුරුද්ධ කෙරෙහිත්, බණ්ඩාරනායක මැතිනිය කෙරෙහිත් බලපෑවේය. අනුර එකල මැතිනියට තිබුණු ලොකුම හිසරදය විය. ඇය සිය පුතාට ආදරය කළද පක්ෂ නායකත්වය උදුරා ගැනීමට ඔහු දරන උත්සාහයන් නිසා ඔහු කෙරෙහි සැඟවුණු වෛරයක් බඳු හැඟීමක්ද ඇය තුළ තිබුණි. ඒ කාලයේ චන්ද්‍රිකා ලංකාවේ නොසිටියාය. මව බලාගත්තී සුනේත්‍රාය.
ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී අපි සිව්දෙනා රටේ සිදුවන දේවල් බලන්නට බොහෝ ප්‍රදේශවලට ගියෙමු. සමහර අවස්ථාවලදී අපි ඒ සඳහා බණ්ඩාරනායක මැතිනියගේ වාහනය පාවිච්චි කළ අතර තවත් සමහර අවස්ථාවලදී හැරී ගුණතිලකගේ වාහනය පාවිච්චි කළෙමු. හැරීගේ වාහනය පාවිච්චි කරන අවස්ථාවලදී රියදුරා ලෙස ක්‍රියා කළේ හැරීය. ඇඳිරි නීතිය පැවති දිනවල පවා අපි විවිධ ප්‍රදේශවල සැරි සැරූ අවස්ථා තිබුණි. හැරී හිටපු ගුවන් හමුදාපති වීම නිසා මුරකපොලු තරණය කිරීම අපහසු දෙයක් නොවීය. ජනාධිපතිවරණය පැවතියේ කැරැල්ල උච්චතම තත්ත්වයක පැවති කාලයේදීය. දරුණු ගැටුම් පැවති ප්‍රදේශවල සංවිධායකයන්ට මුදල් යැවීමේ ප්‍රශ්නයක් බණ්ඩාරනායක මැතිනියට තිබුණු අතර මැතිනිය ඒ වගකීම භාර දුන්නේ හැරීටය. හැරී එවැනි ගමන් බිමන්වලදී මාද ඒ ගමන්වලට සම්බන්ධ කරගත්තේය. එවැනි ගමන් බිමන් නිසා රටේ විවිධ ප්‍රදේශවල පැවති යථා තත්ත්වය තේරුම් ගැනීමේ අවස්ථාව අපට ලැබුණි.
පක්ෂයේ සමහර අය අනුරුද්ධ සලකන ලද්දේ මාන්න අධික ආඩම්බරකාරයකු ලෙසය. නිල ගනුදෙනුවලදී පක්ෂයේ සමහර අය ඔහු ඉදිරියේ හැසිරුණේ නෝන්ජල් ආකාරයකටය. එහෙත් අනුරුද්ධ අප සමග පවත්වාගෙන ගිය සම්බන්ධයේදී මාන්න අධික ආඩම්බරකාරයෙක් නොවීය. විවෘත හදවතක් ඇති ලස්සන මිනිසකු වීයැ”යි කිව හැකිය. පක්ෂය එක්තරා ප්‍රමාණයකට සංවිධානාත්මක හා සටන්කාමී තැනකට ගැනීමට අනුරුද්ධද බලපෑවේය. බණ්ඩාරනායක මැතිනිය ඔහු කෙරෙහි තබා තිබූ විශ්වාසය නිසා ඇය ඔහුට ඇහුම්කන් දුන්නාය. අනුරුද්ධගේ ක්‍රියාකාරකම් කෙරෙහි කිසියම් ප්‍රමාණයකට අපේ අදහස් ද බලපෑවේය.
රාවය ද්‍රවශීලී අර්බුදයකට තල්ලු වී තිබුණු අවස්ථාවක මම අනුරුද්ධගේ බැංකු තැන්පතුවක තිබුණු මුදල් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ස්ථිර තැන්පතුවේ තිබෙන මුදල් ප්‍රමාණය මම දැන සිටියෙමි. එය දැනගෙන තිබුණේ ඔහුගෙන්මය. මා ඒ මුදල ඉල්ලා සිටියේ ආපසු ලබාදෙන පොරොන්දුව මතය. තමාගේ ස්ථිර තැන්පතුවේ තිබෙන මුදල් මට දීම ඔහු එක හෙළා ප්‍රතික්ෂේප කළේය. එහෙත් මා මුහුණ දී තිබුණු අවුල විසඳාගැනීම සඳහා මගක් සොයාදීමේ වගකීම ඔහු භාර ගත්තේය. හැරී ජයවර්ධන අනුරුද්ධගේ මිත්‍රයෙක් විය. ඔහු හැරී ජයවර්ධනට ඒ ගැන කතා කළේය.
ඒ සඳහාම වන විශේෂ සාකච්ඡාවක් හැටන් නැෂනල් බැංකුවේ එකල හිමිකරුවාව සිටි ක්‍රිෂන්ත කුරේගේ නිවසේදී පවත්වන ලදි. එය අගනා රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග කැරුණු සාකච්ඡාවක් විය. ක්‍රිෂාන්ත කුරේගේ බිරිඳ වූයේ කැරැල්ලේ මහ නඩුවේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.සී. අලස්ගේ දුවණියකි. අලස් මහතා ද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි විය.
එකල රාවය සිය බැංකු කටයුතු කරන ලද්දේ හැටන් නැෂනල් බැංකුව සමගය. රාවයට ලොකු අලෙවියක් තිබුණද ආණ්ඩුවට තිබෙන බිය නිසා රාවයට අවශ්‍ය පහසුකම් ලබාදීමට බැංකුව කැමති නොවීය. මට අවශ්‍ය වී තිබුණේ හැරී ජයවර්ධන ද ඒ වන විට බැංකුවේ කොටස්කාරයකු වී සිටි තත්ත්වයක් තුළ බැංකුව මගින් ණය පහසුකම් ලබාගැනීමට හැකියාව ලබාගැනීමය. එහෙත් හැරීට අවශ්‍ය වූයේ බැංකුවෙන් පහසුකම් ලබා නොදී අත යට කැරෙන ගනුදෙනුවක් ලෙස ඒ ගනුදෙනුව කිරීමටය. එකල පවා මට හැරී පෙනුණේ ව්‍යාපාරික ලෝකයේ සිටින අණ්ඩපාල කෙනෙකු ලෙසිනි. බැංකු ණයක් ලබාගැනීමට අවශ්‍ය හැම සුදුසුකමක්ම රාවයට තිබෙන නිසා බැංකු ණයක් ලබාගැනීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් හැරී ඊට එකඟ නොවීය. එහෙත් ඔහු ඒ වෙනුවට දෙන ලද විකල්ප විසඳුමට එකඟවීමේ හැකියාවක් මට නොතිබුණි. අනුරුද්ධ එය දැක්කේ මා කළ මෝඩකමක් ලෙසය. එහෙත් මා හිතන්නේ මා එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය හරි බවය.
ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර තිබූ අවස්ථාවකදී ලලිත් ඇතුලත්මුදලි මා සමග කරන ලද සාකච්ඡාවකදී දෝෂාභියෝග වැඩපිළිවෙළේදී මුල් කටයුතු ගෙනයෑම සඳහා ශ්‍රීලනිපයෙන් තෝරාගත යුත්තේ බණ්ඩාරනායක මැතිනියද, නැතිනම් අනුරද යන ප්‍රශ්නය මතු කළේය. දෝෂාභියෝගය යන වචනය ඊට පෙර මා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඇන්.ඇම්. පෙරේරා ලියන ලද පොතකින් කියවා තිබුණද එහි නියම අර්ථය තේරුම් ගත්තේ ඇතුලත්මුදලිගෙනි. මට ඔහු සමග ඇසුරක් සේ ම ඔහු කෙරෙහි ඇති කරගත් ප්‍රියමනාප භාවයක් ද තිබුණා සේ ම ඔහු මා කෙරෙහි විශාල විශ්වාසයක් තැබූ බවක්ද පෙනෙන්නට තිබුණි. ඔහු එම විෂය පිළිබඳව මා හා කරන ලද කතාබහ අනුව ජනාධිපති ප්‍රේමදාස දෝෂාභියෝගයකින් කොටු කළ හැකිය කියන අදහස ඔහුට ලැබී ඇත්තේ විශ්‍රාම සුවයෙන් සිටි ජනාධිපති ජයවර්ධනගෙනි. එහෙත් දෝෂාභියෝගයේ එක් අදියරයකදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ සහාය පළ කළේය. එම ක්‍රියාව ලලිත් ඇතුලත්මුදලිගේ කොතරම් කෝපයට හේතුවීද කියනවා නම්, නිවසේ එල්ලාගෙන සිටි ජනාධිපති ජයවර්ධනගේ ඡායාරූපය ඔහු එම ස්ථානයෙන් ඉවත් කළේය.
ලලිත් වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබුණේ දෝෂාභියෝග ක්‍රියාවලියට මව වෙනුවට අනුර සම්බන්ධ කරගන්නටය. එය බූමරංගයක් විය හැකි බව මම ඔහුට කීවෙමි. අනුර කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකරන තැනකට ගියහොත් එය බණ්ඩාරනායක මැතිනියගේ කෝපයට හේතුවිය හැකි බවත් මෙවැනි අවදානම්සහගත කාර්යයකදී විශ්වාසය තැබිය හැක්කේ පුතා නොව, මව කෙරෙහි බවත් මා කී විට ලලිත් මගේ අදහස පිළිගත්තේය. ඉන්පසු ඔහු එම ක්‍රීඩාව දැනට සිදුවෙමින් තිබෙන ආකාරය මට පැහැදිලි කළේය. මෙම ක්‍රියාව මෙහෙයවන නායකයන් තිදෙනාට හැමවිටම එකට හමුවී කතා කළ හැකි තත්ත්වයක් නැති බවත් ඒ වෙනුවට සිදුවන්නේ තමන් හා ගාමිණී නම් කළ විශ්වාසවන්ත නියෝජිතයන් දෙදෙනකු එකට හමුවී සාකච්ඡා කොට සැලසුම් කිරීම බවත් බණ්ඩාරනායක මැතිනිය සඳහා ද එවැනි නියෝජිතයකු අවශ්‍ය වන බවත් කියා ඒ සඳහා තෝරා ගැනීමට සිටින හොඳම පුද්ගලයා කවුදැ”යි මගෙන් ඇසුවේය. මම එක පයින් අනුරුද්ධගේ නම කීවෙමි. අනුරුද්ධ සමග තිබුණු සම්බන්ධය ලලිත් දැන සිටියේය. ඉන්පසු දිනක ලලිත් මා කැඳවා අනුරුද්ධට ඉක්මනින් තමා හමුවන ලෙස දැනුම් දෙන ලෙස කීවේය. ලලිත් හා මා අතර තිබුණු ඇසුර අනුරුද්ධ ද දැන සිටියේය. මා වැඩි විස්තරවලින් තොරව මොනවා හෝ ලොකු දෙයක් සඳහා ලලිත්ට ඔහු හමුවන්නට අවශ්‍ය වී තිබෙන බවත්, ප්‍රමාද නොකොට හමුවන ලෙසත් අනුරුද්ධට දැනුම් දුන්නෙමි.
ඉන්පසු අනුරුද්ධ ලලිත් හමුවූයේය. ඉන්පසු දෝෂාභියෝග වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනියගේ නියෝජිතයා ලෙස ඒ ක්‍රියාවලියට ශ්‍රීලනිපයෙන් සම්බන්ධ කරගත් එකම පුද්ගලයා වූයේ අනුරුද්ධය. ඔහු එම වැඩසටහනේ රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් තමන් වෙත පැවරී තිබුණු වගකීම හොඳින් ඉටු කිරීමට සමත්වීයැ”යි කිව හැකිය.
චන්ද්‍රිකා ශ්‍රීලනිපයට සම්බන්ධ කරගන්නා විට අනුරුද්ධ ඊට සහාය දුන්නද චන්ද්‍රිකා පිළිබඳව අනුරුද්ධ තුළ හෝ අනුරුද්ධ පිළිබඳව චන්ද්‍රිකා තුළ හෝ පූර්ණ විශ්වාසයක් තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ නැත. මා චන්ද්‍රිකාගේ සමීප ආධාරකරුවකු වීම ගැන අනුරුද්ධ ප්‍රශ්නයක් කරගත්තේ ද නැත.
බස්නාහිර පළාත් සභා මැතිවරණයට පෙර චන්ද්‍රිකා මා හා තවත් කිහිපදෙනකු සමග කරන සාකච්ඡාවකදී අනුරුද්ධ පිළිබඳව නොමනා යෝජනාවක් මා වෙත ඉදිරිපත් කරන ලදි. චන්ද්‍රිකා පක්ෂයට එකතු වී සිටියද පක්ෂය තුළ තමන්ට තිබෙන පිළිගැනීම හා ස්ථාවරභාවය පිළිබඳව විචිකිච්ඡාවක් ඇයට තිබුණි. අනුරුද්ධ පාර්ලිමේන්තුව නියෝජනය කළේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයකු ලෙසය. අවශ්‍ය නම් අනුරුද්ධට සිය පාර්ලිමේන්තු මන්ත්‍රීකමින් ඉවත් වී ඒ අවස්ථාව තමන්ට ලබාදිය හැකියැ”යි ඇය විශ්වාස කළාය. මේ අදහසට අනුරුද්ධ එකඟ කරවා ගන්නා ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය. එම යෝජනාව ගැන පූර්ණ විශ්වාසයක් මා තුළ නොතිබුණද අදහසක් ලෙස එය අනුරුද්ධ වෙත ඉදිරිපත් කිරීමට මම එකඟ වීමි. මේ සඳහා අනුරුද්ධ හමුවීමට නුවර යන ගමනට මා සමග එකතු වන ලෙස ඇය හේමසිරි ප්‍රනාන්දුගෙන් ද ඉල්ලා සිටියාය. ඒ අනුව හේමසිරි සමග ඔහුගේ වාහනයෙන් අනුරුද්ධ හමුවීමට නුවර ගියෙමු. එම යෝජනාව අනුරුද්ධගේ කෝපයට හේතුවූ අතර එහිදී ඔහු කෝපවූයේද මා සමග නොව හේමසිරි සමගය.
රිය අනතුරකින් ඔහුගේ කකුලේ බිඳීමක් ඇතිවන්නට පෙර එක් සවසක “ඒ” කණ්ඩායම සමග අනුරුද්ධ නක්ෂත්‍රකරුවකු හමුවන්නට ගියේය. නක්ෂත්‍රකරුවා සාම්ප්‍රදායික නක්ෂත්‍රකරුවකු නොව ශාස්ත්‍රාලයීය උගතෙකි. ඔහු උගත් ප්‍රධාන විෂය වී තිබුණ් ගණිතයයි. නක්ෂත්‍රකරු සමග අනුරුද්ධ කිසියම් ප්‍රමාණයක දැන හැඳුනුම්කමක්ද තිබුණි. නක්ෂත්‍රකරු ඔහුගේ කේන්ද්‍රය බලා ඔහුගේ දකුණු කකුල කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා එය ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. වෙන දෙයක් නොවේ නම් සමහරවිට බල්ලකු වුවත් එය සපාකෑමට ඉඩ තිබෙන බව කීවේය. අනුරුද්ධ රිය අනතුරකට ලක්වූ විට අනතුරට ලක්වූයේ කුමන කකුලද යන්න දැනගැනීමේ කුහුලක් මා තුළ ඇතිවිය. මා ඔහු බලන්නට රෝහලට ගිය විට දකුණු කකුල පිළිබඳව ෆොනී කී අනාවැකිය ඔහු මට මතක් කර දුන්නේය. මා නක්ෂත්‍රය විශ්වාස කරන කෙනෙක් නොවූවද ඒ අත්දැකීම මට පහසුවෙන් අමතක කළ නොහැකිය.
පොදු පෙරමුණ බලයට පත්වූ පසුව ඔහු බලශක්ති ඇමති ධුරයට හා නියෝජ්‍ය ආරක්ෂක ඇමති ධුරයට පත්විය. ඒ සමග මම ඔහු සමග පැවැත්වූ ඇසුර ද අත්හැරියෙමි. අවසාන වරට හමුවූයේ එම තනතුරු දෙකේ දිවුරුම් දුන් දිනයේ ඔහුගේ ඒ වනවිටත් අස්පරස් නොකර තිබුණු නිල නිවසේ මිත්‍රයන් පස්දෙනකු සඳහා පැවති ප්‍රිය සාදයකදීය.
ඉන්පසු කාලයේදී මම ඔහු විවේචනය කර ඇත්තෙමි. ඉතාමත් දැඩි ස්වරයකින් විවේචනය කළ අවස්ථාද තිබුණි. රග්බි ක්‍රීඩක ජොයෙල් ඝාතන සිද්ධියේදී, මාගේ පෑන හැසිරවීම දැඩි ස්වරයක් ගත්තේයැ”යි කිව හැකිය. එහෙත් කිසිවිටෙකත් ඔහු තමන්ට තිබුණු අතිවිශාල බලය මා බියගැන්වීමට හෝ මා පීඩාවට පත් කිරීමට පාවිච්චි නොකෙළේය. එවැනි මිනිසුන් මේ රටේ පවතින දේශපාලනයේදී හමුවන්නේ ඉතාමත්ම කලාතුරකිනි.
මා ගැන කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිනිය කෝපයෙන් අදහස් පළ කළ අවස්ථාවකදී ඔහු මා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක පිිහිටා කතා කර තිබුණි. “එයා අපට ආධාර කළා. ඒ ආධාර කරද්දිත් ඔයගොල්ලො බලයට ආවාම වැරදි කළොත් විවේචනය කරනවා කියලා කිව්වා. දැන් එයා ඒක කරනවා. ඒක එයාගේ හැටි” එහිදී ඔහු අදහස් පළකර ඇත්තේ ඊට සමාන ආකාරයකිනි.
ජොයෙල් පෙරේරා සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තුවේදී මාගේ මිත්‍රයකු හමුවූ අවස්ථාවකදී අනුරුද්ධ ඔහු නිදහස් තැනකට රැගෙන ගොස් මා ගැන මෙසේ කියා තිබුණි. “එයා මාව විවේචනය කරනවා. එයා එහෙම කරාවි කියලා මම දැනගෙන හිටියා. ඒකට කමක් නැහැ. ඒත් එයා මගේ දරුවාව විවේචනය කරපු වෙලාවේ මට ලොකු කනගාටුවක් ඇතිවුණා. එයා මගේ දරුවෝ දන්නවා. මම එයාගේ දරුවො දන්නවා. ඒ නිසා එහෙම කළ එක හොඳ නැහැයි කියලයි මම හිතන්නගෙ ඒත් මම පොඩ්ඩක්වත් එයත් එක්ක තරහ නැහැ.” ඒ කතාව මාගේ මිත්‍රයාගෙන් අසන්නට ලැබුණු විට විට මා සිත තුළ සසලවීමක් ඇතිවූ බව කිවයුතුය.
අවසාන වරට මා ඔහු හමුවූයේ උඩතලවින්න ඝාතන නඩුවෙන් නිදහස් වී කොළඹට පැමිණි පළමු දිනයේය. අපි තුන්දෙනකු ඔහුගේ ඇරයුම පරිදි ඔහුගේ නිවසට ගියෙමු. එය මට ඔහු, බලයට පත්වූ පසු දිනයේ හමුවීමෙන් පසු හමුවූ පළමු අවස්ථාව හා අවසාන අවස්ථාවද විය. එදින අප නොයෙකුත් දේවල් කතා කරමින් ලස්සන සන්ධ්‍යාවක් ගත කළේයැ”යි කිව හැකිය.
සාම්ප්‍රදායික දේශපාලනඥයකු තුළ දකින්නට ලැබෙන සීමාසහිතකම් ඔහු තුළ ද තිබුණේය. ඒ සමග ඔහු අමතක කළ නොහැකි යහපත් ගතිගුණ ඇති හොඳ මිත්‍රයකුද වීයැ”යි කිව හැකිය.
ඔහුට හා ඔහුගේ පවුලේ සියලුදෙනාට ශෝකය පළ කරන අතර ඔහුට සදාකාලික සුව නින්දක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.