නායකත්වයේ වෙනසක් සඳහා අභ්‍යන්තරයේ මතුවී තිබුණු කැරැල්ල පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. ඔහු කැරැල්ල ජයගත්තේ තමන්ට තිබුණු ප්‍රතිරූපය අහිමි කරගනිමිනි. ඒ මගින් ඔහු ද ලැජ්ජා නැතිකම අත්හළ නායකයකුගේ තත්ත්වයට පත්වී සිටී. අපට සිටින්නේ ලජ්ජා නැතිකම අත්හළ නායකයෝය. ජයග්‍රාහී වුවත් දැන් රනිල් සිටින්නේ ද ඒ කුණු ගොඩේය. ඔහු පරාජයෙන් පසු තම කැමැත්තෙන් පක්ෂ නායකත්වය අත්හැර ගියේ නම්, සමහරවිට බොහෝ කල් නොගොස් පාක්ෂිකයින් විසින් නැවත ඔහු නායකත්වයට කැන්දාගෙන එන්නට ඉඩ තිබුණි. එම තත්ත්වය එම පක්ෂයට අලුත් ජීවයක් ලබාදෙන්නට ද ඉඩ තිබුණේය. එහෙත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය අනුව පක්ෂ නායකත්වය සමග එම පක්ෂය ද කුණුවන තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය.
කැරලිකරුවන්ට සිය අරමුණ ජයගත නොහැකි වූයේ එවැනි කැරැල්ලක් ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ප්‍රඥාව හා නිර්භීතකම නොතිබුණු නිසාය. ලැජ්ජා නැතිකම හා කොන්ද පණ නැතිකම දැන් හැම පක්ෂයකටම ආවේණික පොදු ලක්ෂණයක් බවට පත්වී තිබේ.
රනිල්ගේ අපේක්ෂාව වී තිබෙන බව පෙනෙන්නේ මහින්ද අනාගත් පසු රජකමට පත්වීමය. චන්ද්‍රිකා හිතන බව පෙනෙන්නේ ද ඊට සමාන ආකාරයකටය. රනිල් සමග එකට එකතු වී නැගී සිටීමට සුදුසු මොහොතක් ළගඳීම එළඹෙනු ඇති බව ඇගේ ද අපේක්ෂාව වී තිබෙන බව පෙනේ.
ජේ.ආර්. බලයට ආවේ තරුණ කාලයේදි නොව, මහලු බවට පත්වීමෙන් පසුවය. ජේ.ආර්. මාමාට සේ තමාට ද මහලු බවට පත්වීමෙන් පසුව හෝ රජකම ලැබෙනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී තිබේ. එහෙත් ජේ.ආර්. බලයට ආවේ අහම්බෙන් හෝ පිනට නොව ඒ අරමුණ වෙනුවෙන් මහත් ඇප කැපවීමකින් හා ධෛර්යවන්තව ක්‍රියාකිරීම නිසාය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප කැපවීම හා ධෛර්යය පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට කරන නූල් සූත්තරවලට පමණක් සීමාවී තිබෙන්නකි. මහලු ජේ.ආර්.ට තරුණ රනිල් වික්‍රමසිංහට නොතිබුණු තරුණ ජවයක් තිබුණේය. ජේ.ආර්. විපක්ෂයේ සිටියදි නිර්භීතව සටන් කළ නායකයෙකි.
පරාජයෙන් පසු ප්‍රතිඵල නිකුත් කරන නිල උත්සවයට සහභාගි වී ඡන්දය ගැන තමන්ට විවේචනයක් ඇතොත්, එය ප්‍රකාශ කොට තමන්ට ඡන්දය දුන් හතළිස් හය ලක්ෂයක් ජනතාවට ස්තුතිය පළකිරීමටවත් ඔහුට ආත්ම විශ්වාසයක් නොතිබුණේය. ලක්ෂ ගණනකගේ නම් ඡන්ද හිමි නාමලේඛනයෙන් කපාහැර ඇති බව දැනගත් පසු අඳේනා නගනවා හැර එය දේශපාලන ප්‍රශ්නයක් ලෙස බලවත් ලෙස ඉදිරියට ගැනීමට අසමත් වූයේය. ඔහු ඒ ගැන රටට කීවේ ලක්ෂ හතරක් පමණ වන එජා පාක්ෂිකයන්ගේ ඡන්ද පක්ෂ නාමලේඛනයෙන් කපාහැර ඇති බවත්, ඊළග පළාත් පාලන ඡන්දයට පෙර ඒ සියලු දෙනාගේ නම් ලියාපදිංචි කරවීම පිණිස තමන් ක්‍රියාකරන බවත්ය.
අද අපි ජීවත්වන්නේ නවීන පරිගණක ලෝකයකය. පරිගණක කිහිපයක ආධාරයෙන් පැරණි ඡන්ද ලේඛනයට ඇතුළත්ව තිබී අලුත් නාමලේඛනයේදි ඉවත් කරන ලද පිරිසක් වී නම් ඔවුන් කව්ද, ඔවුන්ගේ ප්‍රමාණය හරියටම කොතරම් ද යන්න සොයාගැනීමට වසර ගණනක් ගතවන්නේ නැත. එවැනි සොයා බැලීමකින් පසු මැතිවරණ කොට්ඨාසයකට හෝ දෙකකට සීමාවන ආකාරයට ක්ෂේත්‍ර අධ්‍යයනයක් කළේ නම් සිදුවී තිබෙන්නේ කුමක්දැයි හරියටම සොයා ගත හැකිවන්නට ඉඩ තිබුණු අතර, ඉන්පසු ඉතාමත් ශක්තිමත් පදනමක් මත පිහිටා නඩුකරයක් ආරම්භ කරන්නට හැකිවන්නට ඉඩ තිබුණි. උසාවියෙන් සාධාරණ විසඳුමක් ලබාගැනීමට අසමත් වී නම් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගොස් ඒ නඩුව ජයගන්නට හැකිවන්නට ද ඉඩ තිබුණේය.
ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයකු ජීවතුන් අතර සිටියේ නම් ඡන්ද අහිමිවූ සියලු දෙනා අධිකරණය ඉදිරියට යවන වැඩපිළිවෙළකට නායකත්වය දෙන්නට ඉඩ තිබුණේය. මැතිවරණ පරාජයෙන් පසු තමන්ට ලැබුණු ඉතා වැදගත් තුරුම්පුවක් පවා හරිහැටි පාවිච්චි කිරීමට නොදත් කම්මැලි නායකයකු සාර්ථක ලෙස රටක් ආණ්ඩු කරන්නේ කෙසේද?
එජාප සිය අභ්‍යන්තර ප්‍රශ්න බේරාගෙන තිබෙන ආකාරය අනුව එම පක්ෂය කැබලි වී කුණුවී ගඳ ගසන තත්ත්වයකට තල්ලු වීම නොවැළැක්විය හැකිය. මේ තත්ත්වය ඉදිරියේ කැරලිකරුවන් සිය ආරක්ෂාව සඳහා පක්ෂය අතහැර ආණ්ඩුවට එකතු වනු ඇති අතර, එම තත්ත්වය තාවකාලික වශයෙන් හෝ ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.
මේ කණ්ඩායම ආණ්ඩුවට එකතු වන්නට යන්නේ ආණ්ඩුවේ ඉදිරි ගමන සඳහා බාහිරෙන් තවත් පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන අවස්ථාවකය. ජවිපෙ සමග බොහෝ දුර යා නොහැකි බව සිය ප්‍රායෝගික අත්දැකීම්වලින් ම වැඩිකල් නොගොස් ආණ්ඩුව තේරුම් ගනු ඇති අතර, ආණ්ඩුවට එකතු වන්නට යන මේ පිරිස ආණ්ඩුවට අවශ්‍ය වනු ඇත්තේ ඒ සමග ඇතිවන හිඩැස පිරවීම සඳහාය.