රට මුහුණ දී තිබෙන සියලු අවුල්වල මුල ඇත්තේ නිදහසේ

October 29, 2026
Publication:
There is a connection between everything now insoluble and the independence said to have been won in 1948. We are a country that did not fight for it: it came from the English as a gift. Had we had to fight as India did, Ivan argues, the natives divided by race, religion, language and caste would have had to be brought together against a common enemy, and that welding is what never happened.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විසඳගත නොහැකි තත්ත්වයක තිබෙන සියලු අවුල් හා 1948 දී ලබාගත්තේ යැයි කියන නිදහස අතර සම්බන්ධයක් පවතී.

අප නිදහස දිනාගැනීම සඳහා සටන් නොකළ දේශයකි. සටන් කිරීමකින් තොරවම ඉංග්‍රීසීන්ගෙන් අපට නිදහස තෑගි වශයෙන් ලැබුණේය.

ඉන්දියාවට මෙන් නිදහස දිනාගැනීම සඳහා සටන් කරන තැනකට යන්නට සිදුවී නම් වර්ග, ආගම්, භාෂා හා කුල මත බෙදි සිටි සියලු ස්වදේශිකයන් පොදු සතුරා පරාජය කිරීම සඳහා එකට ඒකරාශී කිරීම අත්‍යවශ්‍ය වන්නට ඉඩ තිබුණි. එවැනි ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළක් ජයගැනීම සඳහා භේදවලින් තොරව ඒ සියලු දෙනාට සමාන පිළිගැනීමක් ලබාදෙන්නට සිදුවන්නට ඉඩ තිබුණා සේ ම, නිදහස දිනාගැනීම සඳහා එක සටන් පෙරමුණක සමගි සම්පන්නව සටන් කරන්නට සිදුවන තත්ත්වයක් තුළ වර්ග, ආගම්, භාෂා, කුලභේද තුනී වී ඉන්දියාවේ මෙන් පොදු ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය වන්නට ද ඉඩ තිබුණි. නිදහස දිනාගැනීමේ ක්‍රියාවලිය ගමන් ගත්තේ එවැනි ගමන් මගක නම්, නවීන දේශපාලන ක්‍රමයකට පරිවර්තනය වීමට අවශ්‍ය දේශපාලන පරිණතභාවය ලැබී පොදු ජාතික දෘෂ්ටියකින් ක්‍රියා කරන තැනකට යන්නට සමාජය සමත් වන්නට ඉඩ තිබුණා සේ ම හරසුන් ජාතික නායක පිරිසක් වෙනුවට දූරදර්ශී ජාතික නායක පිරිසක් ද ගොඩනැගෙන්නට ඉඩ තිබුණේය.

ඉංග්‍රීසි යුගය තුළ ගොඩනැගුණු ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා සම ජාතියක් (එක්සත් ජාතියක්) ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත් එම කොන්දේසිය සම්පූර්ණ කරගැනීමට රටක් වශයෙන් අපි අසමත් වීමු. ඒ නිසා එකඳු ලේ බිඳක්වත් නොසෙල්වා නිදහස දිනාගැනීමෙන් පසු කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්වන්නට අපට සිදුවිය.

ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමයක් ගැන සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සෝල්බරි සාමිවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල රාජකීය කොමිසම ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව වන විට නිදහස සමග ඇති කරගත යුතු ආණ්ඩු ක්‍රමය පිළිබඳව පොදු මතයක් රටට නොතිබුණි.

ඇතිවිය හැකි සිංහල ආධිපත්‍යයන් පිළිබඳ බියක් සුළු වාර්ගික නායකයන් අතර ගොඩනැගී තිබුණි. ඇතිවිය හැකි ගොවිගම වෙල්ලාල ආධිපත්‍යයන් පිළිබඳ බියක් ගොවිගම හා වෙල්ලාල නොවන කුල කණ්ඩායම්වල නායකයින් අතර ගොඩනැගී තිබුණේය. ඇතිවිය හැකි බෞද්ධ ආධිපත්‍යයක් පිළිබඳ බියක් බෞද්ධ නොවන ආගමික නායකයන් අතර තිබුණේය.

කොමිසම ඉදිරියට ගිය ජී.ජී. පොන්නම්බලම් මහතා එක් ජාතියකට තවත් ජාතියක් අභිභවා ක්‍රියාකළ නොහැකි ආකාරයට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසන සකස් විය යුතු බවට තර්ක කළේය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද විසඳුම වූයේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසනවලින් සියට පනහක් මහ ජාතිය වන සිංහලයින්ට ලැබෙන ආකාරයටත්, ඉතිරි සියයට පනහ සුළු ජාතීන්ට ලැබෙන ආකාරයටත් ආසන ඇති කළ යුතු බවය.

සෝල්බරි ව්‍යවස්ථාවට පෙර ක්‍රියාත්මක වූ ඩොනමෝර් ව්‍යවස්ථාව ද පොදුවේ සුළු ජාතීන්ගේ විරෝධයට හේතුවිය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ සඳහා ව්‍යවස්ථා සභාවේ පැවති ඡන්දයේදි මෙම යෝජනා වලට පක්ෂව ඡන්ද 19ක් ලැබෙන විට විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය ඡන්ද 17කි. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පළමුවන රාජ්‍ය සභා මැතිවරණය උතුරේ දෙමළ ජනතාව වර්ජනය කළේය. ඉන්පසු 1935 ජූනි 8 වැනි දින ලංකා දෙමළ, ඉන්දිය දෙමළ හා මුස්ලිම් නියෝජිතයන් එකට එක්වී යටත් විජිත ලේකම් වෙත ඉදිරිපත් කරන ලද සංදේශයක් මගින් වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කොට ප්‍රාදේශීය නියෝජන ක්‍රමයක් ඇති කිරිමෙන් මහ ජාතියේ ආධිපත්‍යයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව ප්‍රකාශ කරමින් කාරක සභා ක්‍රමය වෙනුවට කැබිනට් ක්‍රමයක් ඇති කරන්නේ නම් අනිවාර්යෙන් ඊට සුළු ජාතීන් ද ඇතුළත් විධිවිධාන ක්‍රමයක් ඇති කළ යුතු බව කියා සිටියේය.

ඇති කරන්නට යන ආණ්ඩු ක්‍රමය පිළිබඳ මතභේද තිබුණේ සුළු ජාතිකයන්ට පමණක් නොවන බව ද කිව යුතුය. ඇතිවිය හැකි ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයන් ගැන තමන් තුළ ඇතිවී තිබෙන බිය සෝල්බරි කොමිසම හමුවට ගිය සුළු කුලවලට අයත් නියෝජිතයෝ ද ප්‍රකාශ කර සිටියහ.

දෙමළ සමාජයේ පීඩිත කුල නියෝජනය කළ සංවිධානයක් වන දෙමළ සුළුතරයන්ගේ සංගමය පීඩිත කුලවලට මන්ත්‍රීවරුන් ඡන්දයෙන් නොව නාමකරණයෙන් පත් කරන ලෙස ඉල්ලා සිටියේය. සර්වජන ඡන්දය ඔවුන්ට සාධාරණ නියෝජනයක් ලබාදිමට සමත් වී නැති බව ද ඔවුහු කියා සිටියහ. වතුකරයේ පීඩිත කුල නියෝජනය කළ සංවිධානයක් වන සමස්ත ලංකා පීඩිත කුල සභාව වතුකරයේ ද්‍රවිඩ සමාජයට අයත් පීඩිත කුලවලට වෙනම ඡන්ද නාමලේඛනයක් ඇති කොට ඒ මගින් වෙනම ඡන්ද කොට්ඨාස ලබාදෙන ක්‍රමයක් ඇති කර දෙන ලෙස ඉල්ලා සිටියේය. පීඩිත කුලවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු බවටත්, ඔවුන්ට ව්‍යවස්ථාදායකය තුළ විශේෂ නියෝජනයක් ලබාදිය යුතු බවටත් තර්ක කළේය.

තම කුලයේ සාමාජිකයන්ට මනාප පදනමක් මත ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රී ධුර ලබාගැනීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ඇති කර දෙන ලෙස කරාව කුලයේ ප්‍රකාශකයින් සෝල්බරි කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය. ධීවරයන්ගේ මධ්‍යම සමිතිය කියා සිටියේ ගොවිගම කුලය නියෝජනය කරන කෘෂිකර්මයට විශේෂ සැලකිලි ලැබෙන මුත් ධීවර කර්මාන්තයට අවශ්‍ය තරම් සහයෝගයක් නොලැබෙන බවය. බත්ගම හා වහුම්පුර කුල නියෝජනය කළ නියෝජිතයෝ ද කුලය නිසා තමන්ට මුහුණුදිමට සිදුවී තිබෙන අසාධාරණකම් හා වෙනස්කම් ගැන කතා කළහ. තම කුල දෙක එකතුව ගත් කල සිංහල සමාජයේ තුනෙන් එකක් තරම් පිරිසක් නියෝජනය කරන මුත් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ පවත්වන ලද ඡන්දයෙන් තම කුල දෙකේ එකදු නියෝජිතයකු හෝ තේරි පත් නොවූ බවත්, ඒ නිසා තම කුලවලට ප්‍රමාණවත් මන්ත්‍රී ධුර ප්‍රමාණයක් සහතික කරන ක්‍රමයක් ඇති කරන ලෙසත් ඉල්ලා සිටියහ.

සෝල්බරි කොමිසමට මෙම දුක්ගැනවිලි හෝ සමාජයේ පැවති යථා තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට නැත. වර්තමානයේ දේවල් සිදුවන ආකාරයටම ඩී.ඇස්. සේනානායක හා ඔලිවර් ගුණතිලක යන දෙදෙනා මෙම කොමිසම එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අනියම් ලෙස පාලනය කිරීමට සමත් වී යැයි ද කිව හැකිය.

තමා ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතේ රාමුවෙන් ඔබ්බට යන රාජකීය කොමිසමක් (සෝල්බරි කොමිසම) ලංකාවට එවීම ඩී.ඇස්. සේනානායකගේ සතුටට හේතු නොවූ බව මහාචාර්ය කේ.එම්. ද සිල්වා “ජේ.ආර්. ජයවර්ධන” සිය චරිතාපදානයේ සඳහන් කරයි. “කොමිසමේ විෂය ක්ෂේත්‍රය පුළුල් කිරීමට විරෝධය දැක්වූ ඩී.ඇස්. සේනානායක ප්‍රමුඛ ඇමති මණ්ඩලය එය වර්ජනය කිරීමට තීරණය කළේය. ඊටත් වඩා දැඩි පියවරක් ගනිමින් ලංකා ජාතික සංගමය ව්‍යවස්ථා සංශෝධනය සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට යෝජනා කරමින් සෝල්බරි කොමිසම වර්ජනය කිරීමට තීරණය කළේය.””

මෙම විෂය හා ලියැවී ඇති ලේඛන සංඛ්‍යාව විශාලය. ඒවා පරිස්සමින් කියවන විට පෙනී යනුයේ නිදහස පිළිබඳ සමස්ත ගනුදෙනුව සටකපට ගනුදෙනුවකට වැඩි දෙයක් නොවන බවය.

නිදහස අරගලයකින් තොරව සටකපටිකමින් දිනාගැනීම සඳහා දියත් කෙරුණු රංගනයේදි ඩී.ඇස්. සේනානායක වෙනුවෙන් කපටි නරියාගේ භූමිකාව රගපා ඇත්තේ සර් ඔලිවර් ගුණතිලකය.

ඩී.එස්. සේනානායක කොමිසම වර්ජනය කළේ නිල වශයෙන් පමණය. කොමිසමේ සාමාජිකයන්ට තෘප්තිමත් හා සැප පහසු නිවාඩු චාරිකාවක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔලිවර් ගුණතිලක මගින් ඩී.ඇස්. සේනානායකට සංවිධානය කර තිබුණේය. ඒ සටකපට ගනුදෙනුවේදි ඔලිවර් ගුණතිලක කොතරම් දක්ෂ රගපෑමක යෙදිමට සමත් වූයේ ද කියතොත් කොමිසමේ ලේකම්වරිය සිය ප්‍රේමවන්තිය බවට පත්කර ගැනීමට ද ඔහු සමත් විය. අවසානයේ ඔහු ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ බවට පත්කර ගත්තේ ද ඇයයි. සිදුවෙමින් තිබුණු අශෝභන රංගනය සෝල්බරි කොමසාරිස්වරයා ද දැන සිටියේය. කොමිසමේ සෝල්බරි සාමිවරයාට තමන්ට මේ මොහොතේ කරන උදව් වෙනුවෙන් නිදහස් ලංකාවේ ආණ්ඩුකාර ධුරය ලබාදිමට සේම එම තනතුර පිළිගැනීමට ඔහු කැමති කරවා ගැනීමට ද මෙම කල්ලිය සමත් වී තිබුණි. කොමිසමේ ලේකම්වරිය සිය ප්‍රේමවන්තිය බවට පත්කර ගැනීම මගින් කොමිසම වයිට්හෝල් අධිකාරියට භාරදිමට නියමිත නිර්දේශ තමන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන තත්ත්වයක තබාගැනීමටත්, අවසානයේ වයිට්හෝල් අධිකාරිය වෙත බාර දෙන ලද වාර්තාවේ අසංශෝධිත පිටපත කල්තියා තමන් වෙත ලබාගැනීමටත් මෙම කල්ලිය සමත් විය.

මෙම සටකපට අශෝභන ගනුදෙනුවේදි තවත් වැදගත් චරිතයක් රගපෑ පුද්ගලයා වූයේ සර් අයිවර් ජෙනිංස්ය. ඔහු එකවිට ඩී.එස්. සේනානායක කල්ලියේ ද, වයිට්හෝල් අධිකාරියේ ද ද්විත්ව ඒජන්තයෙකු ලෙස ක්‍රියා කළේය.

ඔහු ලියා ඇති.Ceylon Constitution, නමැති නිබන්ධනයේ ඔහු ඒ ගැන කියන්නේ මෙසේය. ““…..

අවුරුදු පනහකට ආසන්න කාලයක් ආණ්ඩුක්‍රමවේදියෙකුගේ දේශනවලට ඉවසිලිමත්ව සවන් දිම ගැන මම අගමැතිට (ඩී.ඇස්. සේනානායකට) ණයගැති වෙමි. ලංකාව ඔහුටත් ඔලිවර් ගුණතිලකටත් කෙතරම් ණයගැති දැයි යම් දිනක පොතක් මගින් විස්තර කිරීමට මම අදහස් කරමි. ඔවුන් දෙදෙනා නොසිටින්නට තවමත් ලංකාව යටත් විජිතයකි.””

““ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංවර්ධන ක්‍රියාවලිය ඇරඹුණේ 1943.05.26 වැනිදාය. ඩොනමෝර් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඉල්ලීම පිට ලංකාවේ ආණ්ඩු ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශයක් එක්සත් රාජධානිය විසින් එදින නිකුත් කරන ලදි. එදා සවස මම ඩී.ඇස්. සහ ඔලිවර් (එවකට ලන්ඩනයේ ලංකා මහකොමසාරිස්) මුණ ගැසුණෙමි. ඩොමීනියන් තත්ත්වය ලබාගැනීම සඳහා ගතයුතු අවශ්‍ය පියවර ගැන ඔවුන් සමග සාකච්ඡා කළෙමි.. මම ඔවුන්ගේ ගුරු උපදේශක වීමි.””

““ලංකා රාජාඥාව 1947, කෙටුම්පත් කරන ලද්දේ ලන්ඩන් නුවරදිය. දුෂ්කර කාරණාවලදි මගෙන් විමසන ලදි.””

““ඇමතිවරුන්ගේ කෙටුම්පත පිළියෙළ කළේ මා විසිනි.””

කෙටුම්පතට සුළු ජාතීන්ගේ එකගත්වය ලබාගැනීම සඳහා ඊට මූලික අයිතිවාසිකම් පිළිබඳ පනතක් ඇතුළත් කිරීමට ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වූ බවත්, එම මූලික අයිතිවාසිකම් පනත කෙටුම්පත් කරවා ගන්නා ලද්දේ ජේ.එල්. කුරේ විසින් බවත්, සුළු ජාතීන්ගේ බිය සැක තුරන් කිරීමට සකස් කෙරුණු “එම අයිතිවාසිකම් පනත” ඩී.ඇස්. සේනානායකගේ ද විශ්වාසයට හේතු වුවත්, ඩී.ඇස්. සේනානායකගේ ප්‍රධාන උපදේශකයා වී සිටි සර් අයිවර් ජෙනින්ස් ගෙන් එල්ල වූ විරෝධය නිසා එම අදහස අත්හරින්නට සිදුවූ බවත් මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන පිළිබඳව ලියා ඇති චරිතාපදානයේ සඳහන් වේ.

නිදහස ලැබී අවුරුදු පහළොවකට පසුව බී.එච්. ෆාමර් ශ්‍රී ලංකාවේ වර්ග, ආගම්, කුලභේද හා රටේ දේශපාලන ගමන් මග අළලා Ceylon A ාසඩසාැා භ්එසදබ නමින් පොත් පිංචක් ලියා පළ කළේ ය. එය ලංකාවේ අනාගතය ගැන ලියැවී තිබෙන හොඳම විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. එම පොත් පිංචට පෙරවදනක් ලියන සෝල්බරිසාමිවරයා සෝල්බරි කොමිසමට වැරදුණ තැන ගැන අපූරු පාපොච්චාරණයක් කරයි. ලංකාවේ සිංහල, දෙමළ වර්ගයා අතර කාලාන්තරයක් තිස්සේ පැවති විරෝධතා පිළිබඳව කොමිෂන් සභාවට තිබුණේ අල්ප දැනුමක් බවත්, එහෙත් අවුල් වියවුල් වලින් ගහණ ශතවර්ෂ ගණනාවක ඉතිහාසය නුතන ලාංකිකයින් කෙරේ දක්වන අවාසනාවන්ත බලපෑම කවරක්දැයි විස්තර කරන ෆාමර්ගේ පොත කියවන්නට කොමිෂන් සභාවට ලැබුණේ නම් ජාතිවාදි ප්‍රශ්නය විසඳ ගැනීමට හැකිවේ යැයි කොමිෂන් සභාව විශ්වාස නොකරන්නට ඉඩ තිබුණු බවක් එහි ප්‍රකාශ කරයි. ඉන්පසු ඔහු කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළයුතු බවට කොමිසම නිර්දේශ නොකිරීම අභාග්‍යයක් බවය.

අවසානයේ මුලික අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ 1977දිය. එම ක්‍රියාවලියේදි ජේ.ආර්. ට සහාය වූයේ ද මුල් පනත කෙටුම්පත් කළ ජේ.ඒ.එල්. කුරේමය.

ඩී.ඇස්. සේනානායක, ඔලිවර් ගුණතිලක කල්ලිය නිදහස දිනාගැනීම සඳහා වයිට්හෝල් අධිකාරිය සමග කෙරුණු සටකපට ගනුදෙනුවේදි ඉංග්‍රීසීන් බියවැද්දිමට පාවිච්චි කළ තුරුම්පුව වූයේ වාමාංශික ව්‍යාපාරයයි.

ඒ මොහොතේ ඩී.එස්. සේනානායක කෙරෙහි විශ්වාසය තබා ඩී.ඇස්. සේනානායකගේ අත තිබෙන බන්දේසියට නිදහස ප්‍රදානය නොකරයි නම් වයිට්හෝල් අධිකාරියට ඊළග වටයේදි ගනුදෙනු කරන්නට සිදුවනු ඇත්තේ ඩී.එස්. සේනානායක සමග වෙනුවට වාමාංශික නායකයන් සමග වන බවට සර් ඔලිවර් ගුණතිලක තර්ක කළේය. වයිට්හෝල් අධිකාරිය ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඩී.ඇස්. සේනානායකගේ දේශපාලන සුරක්ෂිතභාවය ආරක්ෂා වන ආකාරයට නිදහස ප්‍රදානය කිරීමට තීරණය කළේ ඔලිවර් ගුණතිලක මතු කළ එම තර්කයට ලැබෙන වැදගත්කම සැලකිල්ලට ගනිමිනි.

මෙම කල්ලිය ඉදිරියේ තිබුණු ඊළග අභියෝගය වූයේ තුනෙන් දෙකක ඡන්දයෙන් කෙටුම්පත රාජ්‍ය මන්ත්‍රී සභාවේ අනුමත කරවා ගැනීමේ අභියෝගයයි. නිදහස ලබාදිමට නම් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත විය යුතු බවට වයිට්හෝල් අධිකාරිය ඩී.එස්. සේනානායක වෙත පැහැදිලි දැනුම් දිමක් කර තිබුණි. ඒ සඳහා සුළු ජාතීන්ගේ අනුමැතිය දිනාගැනීම අත්‍යවශ්‍ය වූ අතර, දෙමළ කොංග්‍රසය සෝල්බරි ව්‍යවස්ථාවට විරුද්ධ වීමට ඒ වන විටත් ගෙන තිබුණු තීරණය ජයගැනීම ඔහු ඉදිරියේ තිබුණු ප්‍රධාන අභියෝගය විය.

ඩී.ඇස්. සේනානායක හා ඔලිවර් ගුණතිලක සෝල්බරි කොමිසම ග්‍රහණයට ගත් සමාන ආකාරයටම සෝල්බරි ව්‍යවස්ථාවට විරුද්ධ වීමට තීරණය කර තිබූ දෙමළ මන්ත්‍රී කණ්ඩායම ද සිය ග්‍රහණයට ගැනීමට අවසානයේ ඔවුන් සමත් විය.

ඡන්දයට පෙර ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර තිබුණ ද ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදි කෙටුම්පතට පක්ෂව ඡන්ද 51ක් ලැබෙන විට විරුද්ධව ලැබුණේ ඡන්ද 3ක් පමණ ය. ඩබ්ලිව්. දහනායක හා වතුකරය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ කේ.ආර්. නටේස් අයියර් හා අයි. එක්ස් පෙරේරා පමණය. ද්‍රවිඩ කොංග්‍රසයේ නායක ජී.ජී. පොන්නම්බලම්, එස්. ධර්මරත්නම් සමග හදිසියේ විදේශගතව තිබුණි.

කිසිදු අරගලයකින් තොරව සටකපටකමින් ලබා ගත් නිදහස එම සටකපට වැඩපිළිවෙළට සම්බන්ධ වූවන්ට (ඩී.එස්. සේනානායක, ඔලිවර් ගුණතිලක, සෝල්බරිසාමි හා සර් අයිවර් ජෙනින්ස් යනාදින්ට) ප්‍රයෝජනවත් වන්නට ඇතත්, ඉන් රටට යහපතක් සිදුවී ද යන්න ප්‍රශ්නයකි.

සුළු ජාතීන් ආරක්ෂා කරන බවට තරයේ පොරොන්දු වෙමින් කෙටුම්පත සඳහා සුළු ජාතීන්ගේ අනුමැතිය ලබාගත් ඩී.ඇස්. සේනානායකට එම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පෙර සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් මර්දනය කරන තැනකට යන්නට සිදුවිය. ඉන්පසු බලයට පැමිණි සියලු නායකයන් එම ආදර්ශය අනුගමනය කළ බව ද පෙනේ.

ඩී.ඇස්. සේනානායක පටු ආත්ම ලාභය සඳහා වතු කම්කරුවන්ගේ පුරුවසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන්පසු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩානායක ව්‍යවස්ථාවේ මූලධර්ම නොසලකා දෙමළ භාෂාවෙන් කතා කරන දෙමළ හා මුස්ලිම් ජනතාවට සිය මව් බසින් වැඩ කටයුතු කරගැනීමට තිබුණු අයිතිය අහිමි කළේය. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ එකදු ලේ බිඳකුදු නොසොල්වා නිදහස දිනාගත් රට නිරන්තරයෙන් ලේ හලන මස් මඩුවක තත්ත්වයකට පත්වීමය.