කලක් අත්අඩංගුවේ තබාගෙන සිට නිදහස් කළ “මව්බිම” පුවත්පතේ මාධ්‍යවේදීනී මුනිසාමි පරමේශ්වරී පිළිගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති උත්සවයකදී එජාප හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන පිළිබඳව අපූරු විවේචනයක් ඉදිරිපත් කර තිබුණි.
ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ පරමේශ්වරී මෙනෙවිය තමන්ට ප්‍රසිද්ධියේ ස්තුති කරන්නේ මන්දැයි ඇගෙන් විමසූ විට ඔබතුමා මා නොදැන මට උපකාර කළ ද, මාධ්‍යවේදීන් වශයෙන් තමා සමග එකට සිටින අය ඒ විශේෂ මොහොතේදී උදව් නොකළ බවය. එම ප්‍රකාශය තමන් තුළ මහත් කණගාටුවක් ඇති කළ බව ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා තිබුණි.
“අප නියෝජනය කරන්නේ මේ රටේ දේශපාලනඥයින්ගේ පාර්ශ්වයයි. පරමේශ්වරී නිදහස් කරගැනීමේ සටනේදී ඉදිරියෙන් සිටිය යුතුව තිබුණේ දේශපාලකයන් නොව මාධ්‍යවේදීන්ය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ ඇතැම් සිංහල පුවත්පත් ඇය කොටි කතක් ලෙස හැඳින්වීමය. ඇගේ බෑගයේ ක්ලේමෝ බෝම්බ ගෙන ගිය බවට චෝදනා කිරීමය.”
රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කර්තෘ සංසදය ද විවේචනයට ලක් කොට තිබුණි. කර්තෘ සංසදයේ නිශ්ශබ්දතාව ගැන ප්‍රශ්න කළ විට රටේ නීතිය අනුව ක්‍රියා කරන බවට කර්තෘ සංසදය ප්‍රකාශ කළ බවත්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සාධාරණ යැයි කර්තෘ සංසදය කියන්නේ දැයි ප්‍රශ්න කරමින් කියා තිබුණේ කර්තෘ සංසදයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා යවන ලිපිය පුවත්පත්වල පළ නොකිරීම නිසා අවසානයේ ඒ ලිපිය මුදල් ගෙවා දැන්වීමක් වශයෙන් පළ කරන්නට සිදුවූ බවය.
මුනිසාමි පරමේශ්වරි සම්බන්ධයෙන් කර්තෘ සංසදය දක්වා තිබෙන නිහඬතාව ද රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කොට තිබුණි.
ජනමාධ්‍යවල ක්‍රියා කලාපය අරබයා රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙන විවාදය ඉතා වැදගත්ය. රනිල් වික්‍රමසිංහ මහතා අවසාන විග්රහයේදී ප්‍රශ්න කරන්නේ ජනමාධ්‍යවේදීන් වශයෙන් හා ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන වශයෙන් ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන සිය සමාජ වගකීම හරියාකාරව ඉටු කරන්නේ ද යන ප්රශ්නය.
ජනමාධ්‍ය හා ජනමාධ්‍ය සංවිධාන පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා නගන ප්‍රශ්න ඉතා සාධාරණය. ජනමාධ්‍ය සිය සමාජ වගකීම් හරියට ඉටු කළේ නම්, මේ රට මෙතරම්ම අවලස්සන නොවන්නට ඉඩ තිබුණි. එහෙත් රට මෙතරම් අවලස්සන වීම කෙරෙහි ජනමාධ්‍යවේදීන්ගේ අශෝභන ක්‍රියා කලාපය පමණක් නොව දේශපාලනඥයන්ගේ අශෝභන ක්‍රියා කලාපය ද බලපා තිබේ. ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයකු වශයෙන් හා විපක්ෂයේ නායකයා වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම් හරියාකාරව ඉටු කළේ යැයි කීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබේද?
ආණ්ඩු පක්ෂයකට පමණක් රාජ්‍යයක් කුණු කළ නොහැකිය. රාජ්‍යයක් කුණු වූ තත්ත්වයකට පත්වනුයේ ආණ්ඩු පක්ෂයක් වැරදි කරන විට විපක්ෂය සිය වගකීම් හරියාකාරව ඉටු නොකරයි නම් පමණය. ශ්‍රී ලංකා රාජ්‍යය පහසුවෙන් ගොඩගත නොහැකි කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේ ආණ්ඩු පක්ෂය හා ජනමාධ්‍යවේදීන් කරන වැරදි නිසා පමණක් නොව, සිය සමාජ වගකීම හරියාකාරව ඉටු කරන විපක්ෂයක් රටේ නොමැති වීම නිසාය.
වයඹ පළාත් සභා මැතිවරණයේදී ජනමාධ්‍ය වේදීන් ලෙස තමන් වෙත පැවරී තිබුණ සමාජ වගකීම උපරිම ලෙස ඉටු කළේය. හදිසි නීතිය යටතේ පළාත් සභා මැතිවරණ කල් දමා තිබූ අවස්ථාවක ඊට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපය නොව ජනමාධ්‍යවේදීන්ය. ඉන්පසු එහි ප්‍රතිඵලයක් වශයෙන් පවත්වන ලද වයඹ පළාත් සභා මැතිවරණය ඡන්ද මංකොල්ලයක් බවට පත් කරගත් විට එම මංකොල්ලය කරුණු සහිතව රටට හෙළිදරව් කළේ ද ජනමාධ්‍යවේදීන්ය. එහෙත් අවාසනාවට ඒ අරගලය එතැන් සිට ඉදිරියට ගෙනයෑමට කොන්ද පණ ඇති විපක්ෂයක් රටේ නොතිබුණේය. විපක්ෂය කෙරෙන් ප්‍රකාශ වූ එම නෝන්ජල් තත්ත්වයට ප්‍රධාන කොට වගකිවයුතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.
පළාත් සභා මැතිවරණවලින් පසු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපතිවරණයට තරග කළ ජනාධිපතිනිය විසින්ම මැතිවරණ කොමසාරිස් ධුරයට පිටස්තරින් ගෙනා හෙංචයියෙක් පත් කළ විට ඊට එරෙහිව උසාවි ගියේ ද රනිල් වික්‍රමසිංහ මහතා නොව ජනමාධ්‍යවේදීන්ය. එම නඩුව පැමිණිල්ලේ වාසියට හේතුවන ලෙස විභාගවෙමින් තිබෙන අවස්ථාවක ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ජනාධිපතිනියගේ හිතුවක්කාරී ක්‍රියාකලාපය උසාවිය ඉදිරියේ අනුමත කිරීම නිසා එම නෛතික අරගලය පරාජයෙන් අවසන් විය.
ඉන්පසු අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ආරවුලක් මතුවූ අවස්ථාවේදී ඒ වෙනුවෙන් නෛතික අරගලයක යෙදුණේ ද රනිල් වික්‍රමසිංහ මහතා නොව, ජනමාධ්‍යවේදීන්ය. එම අරගලයත් පරාජිත අරගලයක් බවට පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතාය. දැන් ඒ වෙනුවෙන් ලොකුම වන්දිය ගෙවන්නට සිදුවී තිබෙන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාටමය.
ඉන්පසු ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමට හේතුවූ 17 වැනි සංශෝධනය පෙට්ටියට දමා ඇණ ගසන පාපකර්මයට ද රනිල් වික්‍රමසිංහ මහතා දායක විය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ස්වාධීන මැතිවරණ කොමිසමට ව්‍යවස්ථා සභාව නිර්දේශ කළ සාමාජිකයන් පත් කිරීමෙන් වැළකී සිටි අවස්ථාවේදී ඊට එරෙහිව බලවත් ලෙස නැගී සිටීමේ යුතුකමක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණත්, විධායක ජනාධිපති ක්රමයේ තටු කපනවා දකින්නට තිබෙන අකමැත්ත නිසා රනිල් වික්‍රමසිංහ කළේ නිහඬව සිටීම මගින් ඊට අනුබල දීමය.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෑන හසුරුවා මැරුම් කෑ රෝහණ කුමාර වෙනුවෙන් ඔබ යුතුකම් ඉටු කළේද? රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගී ගයා හිංසනයට ලක්වූ රූකාන්ත හා චන්ද්‍රලේඛා වෙනුවෙන් යුතුකම් ඉටු කළේද? රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වේදිකාවල කතා කරන්නට ගොස් තමාගේ නිවස හා චිත්‍රපටි කෞතුකාගාරය අහිමි කරගත් චිත්‍රපටි නිළි අනෝජා වීරසිංහට යුතුකම් ඉටු කළේද? එජාපය වෙනුවෙන් කට අහිමි කරගත් හඟුරන්කෙත මිනිසා වෙනුවෙන් හෝ එජාප වෙනුවෙන් වයඹ පළාත් සභා ඡන්දයේදී ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමකට ලක්වූ කාන්තාව වෙනුවෙන් යුතුකම් ඉටු කළේද?
ජනමාධ්‍යවල හැසිරීම විවේචනය කිරීම හොඳය. ඔවුන් ඉටු කළ යුතු සමාජ වගකීම ද පෙන්වාදීම ද සුදුසුය. ඒ සමග විපක්ෂ නායකයා වශයෙන් තමන්ගේ කාර්යය භාරය ගැන ද විවේචනාත්මකව කරුණු සලකා බලන තැනකට යෑම වැදගත්ය. •