රට නැවත සාකච්ඡාවෙන් ගනුදෙනු බේරා ගන්නවා වෙනුවට යුද්ධයෙන් ගනුදෙනු බේරාගන්නා තැනකට තල්ලුවී යමින් පවතී.
සටන් විරාම ගිවිසුම සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා සුදුසු ශක්තිමත් වටාපිටාවක් ඇති කරලීමට සමත් වුවත් ඒ අවස්ථාව ඵලදායී ලෙස ප්රයෝජනයට ගැනීමට රට සමත් නො වී ය.
සටන් විරාම ගිවිසුම නිසා එතෙක් මහා පරිමාණයෙන් සිදුවූ යුද්ධයට නැවතීමේ තිතක් තැබීමේ හැකියාව ලැබුණ ද ඒ නිසා දෙපාර්ශ්වය අතර ගැටුම මුළුමනින් අවසන් වූයේ නැත. එළිපිට කෙරෙන යුද්ධය නතර වී ඉලක්කගත පුද්ගලයින් ඝාතනය කෙරෙන මෙහෙයුම් අඩු වැඩි වශයෙන් දෙපැත්තෙන් ම සිදුවිය. කොටි සංවිධානයේ පිස්තෝලකරුවන් විසින් ප්රතිපක්ෂ ක්රියාකරුවන් ද, බුද්ධි අංශ නිලධාරීන් ද ඝාතනය කරනු ලැබී ය. ප්රති පක්ෂය විසින් ද අදෘශ්යමාන ස්වරූපයකින් කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් ඝාතනය කරනු ලැබී ය. සාම කතා සිදුවූයේ ද සාම කතා බිඳ වැටීමෙන් පසු, ඒකාබද්ධ යාන්ත්රණයක් සඳහා වන නිල නොවන කතා සිදුවූයේ ද හොර රහසේ කෙරෙන එම ඝාතන ඉදිරියට යමින් තිබියදි ය.
සටන් විරාම ගිවිසුමක් ඇති කරගත් පමණින් එතෙක් වෛර සහගත යුද්ධයක යෙදි සිටි ප්රතිපක්ෂ දෙක මහා උපාසකයන් බවට පත්වන්නේ නැත. ප්රසිද්ධියේ මහා පරිමාණයෙන් කරන යුද්ධය නැවතී හොර රහසේ එකිනෙකාට එරෙහිව පහර දෙන තත්ත්වයක් අස්වාභාවික නොවන අතර, එම තත්ත්වය දකුණු අප්රිකාවට සේ ම අයර්ලන්තයට ද පොදු විය. සාම සාකච්ඡා ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට සමත් වී නම්, දෙපාර්ශ්වය හොර රහසේ කෙරෙන ඝාතන ද අවසන් කිරීමට බලකෙරෙන තැනට යොමුවන්නට ඉඩ තිබුණි. සාම සාකච්ඡා මගින් විසඳුමක් ඇති කරගැනීමට ජාත්යන්තර ප්රජාව බල කරන්නේ ද එවැනි තර්කානුකූල අවසානයක අපේක්ෂාවෙනි.
සන්ධාන ආණ්ඩුවට මෙම සංකීර්ණ ප්රශ්නය පිළිබඳ එක මතයක් නො තිබුණි. ජනවාර්ගික ප්රශ්නය පිළිබඳව ජනාධිපතිනිය දරන මතය ජවිපෙ දරන මතයට වඩා වෙනස් ය. එහෙත් ඇය ජවිපෙ සමග සන්ධානයක් ඇති කර ගැනීම සඳහා ඒ ගැන තමන් දරන මතය නො සලකා ජවිපෙ මතය සමාජ ගතවීමට ඉඩ දී බලා සිටියා ය.
ජවිපෙ සමග එකතු වී එජාප ආණ්ඩුව පරාජය කිරිමෙන් පසුව දැන් තමන් දරන මතයේ පිහිටා ඉදිරියට යෑමට ඇයට අවශ්ය වී තිබෙන අතර, ජවිපෙ ඊට ඉඩදිමට සූදානම් නැත. දෙපාර්ශ්වය අතර මතුවී තිබෙන මෙම ගැටුම දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමට හේතු වී තිබෙන අතර, එම අස්ථාවරභාවය පෙරළා රටේ වාර්ගික සම්බන්ධතා කෙරෙහි බලපාන තත්ත්වයක් ඇතිවෙමින් පවතී.
එල්ටීටීඊය හා ආණ්ඩුවේ හමුදා අතර නිල නොවන ආකාරයකින් සිදුවන අරගලය ද වර්ධනය වෙමින් ඉදිරියට යමින් තිබෙන අතර, බුද්ධි බලකායේ අණදෙන නිලධාරී මේජර් මුතාලිෆ්ගේ ඝාතනය සටන් විරාම ගිවිසුම අර්බුදයකට තල්ලු කරන වටාපිටාවක් නිර්මාණය කිරීමට හේතුවෙමින් තිබෙන බව පෙනේ.
සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසු දෙපාර්ශ්වය අතර නිල නොවන ආකාරයකින් සිදුවෙමින් පැවති ඝාතන පාලනය කළ නො හැකි තත්ත්වයකට පත්ව ඇත්තේ සටන් විරාම ගිවිසුම තුළ අවශ්යයෙන් ම ඉදිරියට යා යුතු සාකච්ඡාමය ක්රියාවලියේ ඇති වී තිබෙන ඇණහිටීම නිසා ය. දෙපාර්ශ්වය සාකච්ඡා කරන තත්ත්වයක සිටියේ නම්, නිල නොවන ආකාරයකින් සිදුවන ඝාතන සාකච්ඡාවට ලක්වන්නට ඉඩ තිබුණි. සිදුවිය යුතුව තිබෙන්නේ ඇණහිට තිබෙන සාකච්ඡා නැවත ආරම්භ කොට පවතින ආරාජික තත්ත්වය පාලනය කළ හැකි තත්ත්වයක් ඇති කරගැනීම ය. එහෙත් ආණ්ඩුව තුළ පවතින බෙදිම නිසා එවැනි ක්රියාමාර්ගයකට යොමුවීමේ හැකියාවක් ආණ්ඩුවට නැත.
යුද්ධයකට මුල පිරිම අමාරු නැතත්, එයින් රටට විශාල විනාශයක් මිස, යහපතක් සිදුවීමට ඉඩක් නැත.