ඒකාබද්ධ යාන්ත්‍රණය හා ඉදිරි දේශපාලන අර්බුදය

June 5, 2005
Publication:
At the donor conference in Kandy the President promised to sign the joint tsunami mechanism with the LTTE despite pressure from extremists. For the JVP it has become a question of survival, while neither the President nor Ranil Wickremesinghe will trust the other; the editorial warns that no option will end the confusion soon.

අන්තවාදින්ගෙන් එල්ල වන පීඩනය නොසලකා තමන් ඒකාබද්ධ යාන්ත්‍රණයට අත්සන් තබන බවට ජනාධිපතිනිය නුවර පැවති ආධාර සමුළුව ඉදිරියේ සහතික වූවාය. ජනතා විමුක්ති පෙරමුණ එවැනි තත්ත්වයක් පිළිගැනීමට අකමැති වුවත්, ඔවුන් තමන්ට ලැබී තිබෙන රාජ්‍ය බලය අත්හරින තත්ත්වයකට නොයනු ඇති බව ජනාධිපතිනියගේ තක්සේරුව වී තිබුණි.

මේ ප්‍රශ්නයේදි ජනතා විමුක්ති පෙරමුණ සිටියේ ද දෙපැත්තට වැනෙන තත්ත්වයකය. එහෙත් අභ්‍යන්තරයෙන් ගලා එන පීඩනය තුළ එය ඔවුන්ගේ පැවැත්ම හා ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වූයේය. දැන් ඔවුන්ගේ අවසාන නිගමනය වී ඇත්තේ ආණ්ඩුව ඒකාබද්ධ යාන්ත්‍රණයට අත්සන් තබන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවය.

දැන් ජනාධිපතිනිය කරන්නේ කුමක්ද? තෝරාගන්නේ ඒකාබද්ධ යාන්ත්‍රණය ද? නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ ද?

ආණ්ඩුවේ ආරක්ෂාව පිණිස ජනතා විමුක්ති පෙරමුණ සතුටු කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයට අත්සන් තැබීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පමණක් නො ව, සිය පාක්ෂිකයින් හා ජනතාව ඉදිරියේ පවා ඇයට තිබෙන පිළිගැනීම බිංදුව දක්වා පහත වැටෙන්නේය.

අනෙක් අතට ජාත්‍යන්තර ප්‍රජාවට හා රටට පොරොන්දු වූ පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයට අත්සන් තැබුවහොත් ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වී යන තත්ත්වයක් තුළ සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්ත්වයක් ඇතිවන්නේය.

මේ තත්ත්වය තුළ ජනාධිපතිනිය ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයට අත්සන් තැබීමෙන් වැළකී සිටිය යුතුය.

නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ ඉවත්වීමෙන් සිදුවන අඩුව වෙනත් ආකාරයකින් පුරවාගත යුතුය. ඒකාබද්ධ යාන්ත්‍රණයට අත්සන් තබන්නේ නම්, දෙමළ සන්ධානයේ සහාය ආණ්ඩුවට ලැබෙනු ඇත්තේය. එහෙත් ආණ්ඩුවේ පැවැත්මට ඔවුන්ගෙන් ලැබෙන සහාය පමණක් ප්‍රමාණවත් නැත. ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ ප්‍රශ්නයට ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි පමණක් නො ව, හෙළ උරුමය කෙරෙහි ද බලපායි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩු පක්ෂයට අහිමි වන ආසන ගණන 39කි. හෙළ උරුමයේ ආසන 09ත් සමග එය ආසන 48ක් කෙරෙහි බලපායි. දෙමළ සන්ධානයට ඇත්තේ ආසන 22ක් පමණය.

මේ අඩුව පුරවා ගැනීම සඳහා එක්කෝ ජනාධිපතිනිය එක්සත් ජාතික පක්ෂ නායකයා සමග සන්ධානයකට යා යුතුය. නැතිනම් එක්සත් ජාතික පක්ෂයෙන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එකතු කරගත යුතුය.

මේ මොහොතේ ජනාධිපතිනිය ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ සූදානම් නැතිවා සේ ම, රනිල් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකිරීමට ජනාධිපතිනිය ද සූදානම් නැත. මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීම සිය පැවැත්ම රැකගැනීමට ජනාධිපතිනිය ඉදිරියේ තිබෙන එක් පිළියමකි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය අරබයා එක්සත් ජාතික පක්ෂය තුළ විශාල ව්‍යාකූලභාවයක් ඇතත්, ජනාධිපතිනියට අවශ්‍ය තරම් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් එකතු කරගැනීම පහසු නැත. ඒ හැකියාව ජනාධිපතිනියට ඇත්නම් එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය අධිකරණ ආරක්ෂාව අගවිනිසුරු කෙරෙන් ලබාගත හැකිවනු ඇතැයි සිතිය හැකිය. විරුද්ධ පක්ෂය අතහැර ආණ්ඩුවට එකතු වන්නන්ගේ මන්ත්‍රීකම අහිමි නොවන බව සහතික කිරීමට ආණ්ඩුව සමත්ව ඇතත්, එම සහතිකය නිසා පමණක් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය අතහැර ආණ්ඩුවට එකතු වනු ඇතැයි සිතිය නොහැකිය.

ජනාධිපතිනියට තිබෙන ඊළග විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යාමය.

ජනාධිපතිකමේ තවදුරටත් ඉඳිමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකිවා සේ ම ජනාධිපතිකමෙන් ඉවත් වී, වෙනත් කෙනෙකු එම තනතුරට පත්කොට, අගමැති අපේක්ෂකයා ලෙස තරග බිමට ඒමේ හැකියාව ද ඇය සතුය.

එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ බර තබා ඇත්තේ ජනාධිපතිවරණයකට මිස, පාර්ලිමේන්තු මැතිවරණයකට නොවේ. තවමත් ආසන සංවිධායකයින් පත් නොකළ ප්‍රදේශ තිබෙන අතර, සංවිධායකයින් පත්කර තිබෙන ප්‍රදේශවල ද ආරාවුල් පවතී.

ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලනිප වෙන් වෙන්ව තරග කරන පාර්ලිමේන්තු මැතිවරණයකදි ජයගැනීමේ වැඩි වාසිය ලැබෙනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙත් චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කරයි නම් එජාපයට තිබෙන වාසිය අවම කිරීමේ හැකියාව ඇයට ලැබෙනු ඇත්තේය.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවහොත් ජවිපෙ හා හෙළ උරුමය ලොකුම අවුලකට යන පක්ෂ බවට පත්වනු ඇත්තේය. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි පැවති මහජන ප්‍රසාදයේ බිඳ වැටීමක් පවතින අතර, හෙළ උරුමයට තිබුණු මහජන පිළිගැනීමේ ද පිරිහීමක් පවතී.

පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් සිය නිල කාලය සම්පූර්ණ වීමෙන් පසු පාර්ලිමේන්තුවට තේරි පත්වීමේ හැකියාව ද ජනාධිපතිනිය සතුය.

තිබෙන විකල්ප වලින් කුමන විකල්පයක් තෝරාගත්ත ද රටේ පවතින අවුල් සහගත බවේ ඉක්මන් වෙනසක් ඇතිවීමට ඉඩක් නැත. කොටි සංවිධානය කුමන හේතුවක් නිසා හෝ සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වන තත්ත්වයක් ඇතිවුවහොත් අතිවිශාල විනාශයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.