ශ්‍රීලනිප හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගත් පොදු එකඟතාව තාමත් ශ්‍රී ලංකා දේශපාලනයේ මොනයම් හෝ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවී නැත. ඒ නිසා එක් අතකට අයවැය ලේඛනය අභියෝගයකින් තොරව ජයගැනීමට ආණ්ඩුව සමත් වූ අතර, අනෙක් අතට ඒ නිසා පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වී තිබෙන තර්ජන හමුවේ සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමේ හැකියාව එජාප නායකයාට ලැබී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සිය පැරණි වෛරසහගත එදිරිවාදිකම් අතහැර අන්‍යොන්‍ය වශයෙන් සාකච්ඡා කරන තැනකට පැමිණ තිබේ. ජවිපෙ එවැනි ප්රතිපත්තියකට මාරුවීමෙන් ආණ්ඩුවට දෙමින් තිබෙන සංඥාව වනුයේ අවශ්‍ය නම් එජාප සමග එකතු වී ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ හැකියාව තමන්ට තිබෙන බවය. එවැනි ඉඟිකිරීම් එජාප නායකයාගේ පැවැත්මට ද වැදගත්ය.
පක්ෂ අභ්‍යන්තරයේ සමහර කණ්ඩායම්වලින් එල්ල වූ තර්ජන ගර්ජන හමුවේ සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට එජාප නායකයා සමත් වී ඇතත්, කැරලිකරුවන්ගේ ගෞරවයට හෝ විශ්වාසයට හේතුවන ලෙස ප්‍රශ්න නිරාකරණය කරගැනීමට සමත් වී නැත. ඒ තත්ත්වය යටතේ ඕනෑම මොහොතක පක්ෂය තුළ බිඳීමක් ඇතිවීමේ හැකියාව පවතී.
තාමත් ආණ්ඩු පක්ෂය තුළ ජනාධිපතිවරයාට එරෙහිව කැරලි ගසන තත්ත්වයක් ගොඩනැගී නැතත්, සමහර අය තුළ සැඟවුණු අතෘප්තියක් ඇති බව පැහැදිලිව දැකිය හැකිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද බොරදියේ හොරෙන් මාලු අල්ලන තැනකට පැමිණ තිබෙන බව පෙනේ. තමන්ට අහිමි වූ ශ්‍රීලනිප නැවත සියතට ගැනීමේ ආශාව ඇය අත්හැර නැත.
එහෙත් තාමත් ජනාධිපතිවරයාට බලවත් අභියෝගයක් වීමේ හැකියාවක් මේ කිසිවකුට නැත. ජවිපෙට නාමික වශයෙන් ආණ්ඩුවට විරුද්ධවීමේ හැකියාවක් ඇතත්, ආණ්ඩුව පරාජය කරන තැනකට යෑමේ හැකියාවක් නැත. හෙළ උරුමය විටින් විට ආණ්ඩුව විවේචනය කළ ද ජවිපෙට වෙනස්ව එම පක්ෂය සිටින්නේ ආණ්ඩුව සමගය. ආණ්ඩුව සමග එක්ව කටයුතු කරනවා හැර වෙන්වීමේ හැකියාවක් එම පක්ෂයට නැත.
එජාප තිබෙන්නේ ද ශක්තිමත් තැනක නොව, දුර්වල තැනකය. ඕනෑම මොහොතක එම පක්ෂයෙන් කිසියම් විශාල කණ්ඩායමක් ආණ්ඩුවට එකතු කරගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබෙන අතර, තාමත් ආත්ම විශ්වාසයකින් මැතිවරණයට මුහුණදීමේ හැකියාව තිබෙන්නේ ද ආණ්ඩුවට පමණය.
මැතිවරණයකට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආණ්ඩුවේ අභිලාෂය වී ඇතත්, එවැනි වෙනසක් ඇතිකර ගැනීමේ හැකියාව දැන් නොපවතී. එවැනි වෙනසක් ඇති කරනවාට සුළු ජාතික පක්ෂ පමණක් නොව, ජවිපෙ හා එක්සත් ජාතික පක්ෂය ද විරුද්ධය. ඒ නිසා පවත්වන්නට සිදුවන ඕනෑම මැතිවරණයක් පවත්වන්නට සිදුවනු ඇත්තේ අලුත් ක්‍රමයකට නොව තිබෙන ක්රමයටය.
තාමත් මැතිවරණයක වාසි ඇත්තේ ජනාධිපතිවරයාට වුවත්, මැතිවරණයකට යාමේ උනන්දුවක් ජනාධිපතිවරයා තුළ ඇති බවක් පෙනෙන්නට නැත. මැතිවරණයකට යාම ප්‍රමාද කරන තරමට එහි අවාසිය භුක්ති විඳින්නට සිදුවනු ඇත්තේ ද ජනාධිපතිවරයාටමය. බලයට පත්වන කවර ජනාධිපතිවරයෙකුගේ වත් කීර්තිය හැමදා පවතින්නේ නැත. තවමත් මහජනතාව අතර ජනාධිපතිවරයාට එරෙහිව බලවත් විවේචනයක් නැතත්, ඒ තත්ත්වය හැමදා පවතින්නේ නැත. දැනටමත් ඉසිලිය නොහැකි ජීවන බර පිළිබඳ බරපතල දුක්ගැනවිල්ලක් මහජනතාව අතර පවතී.
රටේ පවතින ජනවාර්ගික අර්බුදය ජනාධිපතිවරයාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකි අතර, ජනාධිපතිවරයාට සිය පැවැත්ම ශක්තිමත් කරගත හැකිවනු ඇත්තේ ද එම අර්බුදය රටේ මහජනතාවගේ ද ලෝක ජනතාවගේ ද ගෞරවයට හේතුවන ලෙස ජයගත හැකි නම් පමණය. රටේ පැවැත්ම, සමෘද්ධිය හා දේශපාලන ස්ථාවරභාවය කෙරෙහි එම ප්රශ්නය තීරණාත්මක ලෙස බලපා තිබෙන අතර, රටේ යහපතට හේතුවන වෙනස්කම් සඳහා ශක්තිමත් වටපිටාවක් ලබාදෙමින් රටට සාමය හා සමෘද්ධිය ළගා කරගත හැකිවනු ඇත්තේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදෙමින් එම අර්බුදය ජයගැනීමෙන් පමණය.