විනිසුරුවරුන්ගේ වැටුප් ආරාවුල

October 29, 2026
Publication:
On the second day of the judges' fundamental rights case the chief justice said in open court that he would resign if the matter were not settled fairly before the next hearing. Ivan sets out the actual salary scales from magistrate to chief justice, accepts that the grievance may be real, and argues that the way it is being pressed damages the court more than the pay scale does.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හා දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනුණු දෙවැනි දිනයේදී අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මහත් ආන්දෝලනයට හේතුවන ප්‍රකාශයක් විවෘත අධිකරණයේදී කළේය.

මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට අධිකරණයේ විනිසුරුවරුන්ට ඔවුන් කරන සේවයේ ගෞරවයට හේතුවන වැටුප් තලයක නොතැබීමේ පිළිවෙත විවේචනය කරමින් ඊළඟ නඩු දිනයට පෙර මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් නොදෙන්නේ නම්, තමන් හොබවන තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.

තමන්ට ලැබෙන වැටුප් පිළිබඳව විනිසුරුවරුන්ට සාධාරණ දුක් ගැනවිල්ලක් තිබෙනවා විය හැකිය. එහෙත් එම දුක්ගැනවිල්ල විසඳා ගැනීමට තමන්ගේම අධිකරණයක් ඉදිරියට යෑම කොතරම් සාධාරණද? ඒ සමඟ විනිසුරුවරුන්ට අන් රාජ්‍ය සේවකයන්ට මෙන් වෘත්තීය සමිති අරගලයක නිරතවීමේ අයිතියක් නැති බව ද අමතක කළ නොහැකිය. එවැනි සීමාවන් තිබියදීත් තමන්ගේ වෘත්තීය ගැටලු තමන් නියෝජනය කරන අධිකරණය හරහා විසඳා ගැනීමේ පිළිවෙතක් සාධාරණ හා යුක්තිසහගත වේයැ”යි කිව නොහැකිය.

තමන්ට ලැබෙන වැටුප් පිළිබඳව ගැටලු ඇත්තේ විනිසුරුවරුන්ට පමණක් නොවේ. අන් රාජ්‍ය සේවකයන්ට ද ඒ පිළිබඳව නොවිසඳුණු ගැටලු ඇත්තේය. ඔවුන් ඒවා වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් මගින් නිරාකරණය කරගැනීමට දරන ලද උත්සාහයන් ගණනාවකදී අධිකරණය ඔවුන්ගේ වැඩ වර්ජන පිළිවෙතකට එරෙහිව තහනම් නියෝග දෙන පිළිවෙතක් අනුගමනය කළේය. වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ආරාවුල්වලදී වැඩ වර්ජන සටන් පිළිවෙත ඔවුන්ට තිබෙන මූලික අයිතියකි. එවැනි වෘත්තීය සටන් පිළිබඳව දැඩි පිළිවෙතක් අනුගමනය කළ අධිකරණය අධිකරණයේ තමන්ගේම පිරිසක් සම්බන්ධයෙන් සහයෝගිතා ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට අධිකරණයෙන් පිටස්තර රාජ්‍ය සේවකයන් තුළ අධිකරණය පිළිබඳව ඇතිවන හැඟීම කුමක්ද?

මහාධිකරණ විනිසුරුවරුන් උපයන වැටුපට සාපේක්ෂව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගී ඇති බව සලකා එම විෂමතාව දුරු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2004 මැයි 7 වැනිදා මහාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප්වල වෙනසක් ඇති කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම කැබිනට් සංදේශයේදී අගවිනිසුරුවරයා උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ මහාධිකරණ විනිසුරුවරයෙකු සියලු දීමනා සමඟ උපයන මාසික වැටුප් ආදායම අගවිනිසුරුගේ මාසික වැටුප් ආදායමට වඩා රුපියල් 14,000ක් වැඩි බවය.

එම කැබිනට් සංදේශයේ මහාධිකරණ විනිසුරුවරයෙකුගේ මාසික ආදායම (2004 මාර්තු මාසය) සඳහා ගණන් බලා තිබුණේ මෙසේය.

මහාධිකරණ විනිසුරුවරුන් උපයන වැටුප් ආදායම හා ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් උපයන වැටුප් ආදායම අතර තිබෙන්නේයැ”යි කියන පරතරය තුනී කිරීම සඳහා මෙම විනිසුරු ප්‍රභේදවලට ලැබෙන වැටුප් තලවල වෙනසක් ඇති කළේය.

කැබිනට් මණ්ඩලය එදා ඇති කරන ලද එම වෙනස මෙසේය.

මීට අතිරේකව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට 1997 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 5%ක වැටුප් වර්ධකයක් ද ලබාදෙන ලදි. විශේෂ ශ්‍රේණියේ දිසා විනිසුරුවරුන් සඳහා ද ඒ දින සිට ක්‍රියාත්මක වන පරිදි 3%ක වාර්ෂික වැටුප් වර්ධකයක් ලබාදෙන ලදි.

ඊට අතිරේකව අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛ අංක 1/1997 යටතේ දරන වගකීම්වල ස්වභාවය අනුව ගෙවන රු. 15,000 මාසික දීමනාව ද ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට ද ගෙවීමට තීරණය කරන ලදි.

ඊටත් අතිරේකව අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට ගෙවන මාසික බදු කුලී දීමනාව වන (Rent Allowance) රුපියල් 4000, රුපියල් 12,000 දක්වා වැඩි කරන ලදි. පහළ අධිකරණයේ විනිසුරුවරුන්ට ඒ සඳහා ගෙවන මාසික දීමනාව රුපියල් 10,000කි.

කැබිනට් මණ්ඩලය ගනු ලැබූ එම තීරණය අනුව 2001 ජනවාරි 1 වැනිදා සිට 2004 ජූනි 30 වැනිදා දක්වා විශේෂ දීමනාවේ හිඟය ගෙවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට වෙන් කරන ලද මුදල රුපියල් හැටනව ලක්ෂ තිස් දහසකි. (6,930,000.00) එම විෂයේදී පමණක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට ලැබුණු හිඟ දීමනාව රුපියල් හය ලක්ෂ තිස් දහසකි. අභියාචනාධිකරණ විනිසුරුවන්ට එම හිඟ දීමනාව ගෙවීම සඳහා වෙන් කරන ලද මුදල රුපියල් තිස්පන් ලක්ෂ අනූ දෙදහස් සීයකි. (3592,100.00කි)

හිඟ වැටුප් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 11 දෙනා වෙනුවෙන් වෙන් කරන ලද මුදල රුපියල් තිස් එක් ලක්ෂ තිස් දෙදහස් එකසිය දොළහයි ශත විසි හතරකි. (3132112.24) අභියාචනාධිකරණ විනිසුරුවරුන් එකළොස්දෙනා සඳහා එය රුපියල් එකළොස් ලක්ෂ තිස්හත් දහස් පන්සිය හැත්තෑ හයයි ශත අසූඅටකි. (1137536.88) හිඟ බදු කුලී දීමනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ගෙවන ලද හිඟ මුදල රුපියල් පන්ලක්ෂ විසිඅට දහසකි. (528,000.00) අභියාචනාධිකරණ විනිසුරුවන් සඳහා එය රුපියල් හාර ලක්ෂ අසූ දහසකි. (480,000.00)

මේ තොරතුරු අධිකරණයේ විනිසුරුවන්ට ලැබෙන වැටුප් හා අතිරේක දීමනා පිළිබඳ කිසියම් චිත්‍රයක් ලබාදෙයි.

2006 ජූනිවල සිට රජයේ සේවකයන්ට ලබාදෙන ලද වැටුප් වැඩි කිරීම අනුව අධිකරණයේ විනිසුරුවරුන්ට ලැබෙන මූලික වැටුප් මෙසේය. පළමු ශ්‍රේණියේ දෙවැනි පන්තියේ මහේස්ත්‍රාත්වරයෙකු සඳහා මාසිකව ලබන වැටුප රු. 34,335කි. මහාධිකරණ විනිසුරුවරයෙකු සඳහා රුපියල් 54,235කි. අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු සඳහා රුපියල් 63,500කි. අභියාචනාධිකරණයේ සභාපති හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සඳහා රුපියල් 65,000කි. අගවිනිසුරු සඳහා රුපියල් 70,000කි. සම්පූර්ණ චිත්‍රයක් ඇති කරගැනීමට නම් මේ ලබන වැටුපට ලබන විවිධ දීමනා ද එකතු කළ යුතුය. එවිට අගවිනිසුරුට හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට ලැබෙන මාසික ආදායම (වැටුප හා දීමනා සමග) රුපියල් ලක්ෂයකට වැඩිය. පහළම අධිකරණයේ විනිසුරුවරයෙකුට ලැබෙන මාසික ආදායම රුපියල් පනස් දහසකට වැඩිය.

වැටුප් කොමිසම අගවිනිසුරුට ගෙවන පෞද්ගලික දීමනාව වූ රු. 7500 රුපියල් 17,500 දක්වා ද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ගෙවන රුපියල් 6000 පෞද්ගලික දීමනාව රුපියල් 13,000 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට ගෙවන රු. 5000 පෞද්ගලික දීමනාව රුපියල් 12,000 දක්වා ද, මහාධිකරණ විනිසුරුවරුන්ට ගෙවන රුපියල් 5000 පෞද්ගලික දීමනාව රුපියල් 10,000 දක්වා ද වැඩි කිරීමට ඇති එකඟතාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දෙන ලදි. ඊට අතිරේකව රු. 5000 රියදුරු දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද, ලබාදෙන ඉන්ධන ලීටර් 100 ලීටර් 200 දක්වා වැඩි කිරීමට ද, රුපියල් 25,000 වාහන දීමනාව රුපියල් 30,000 දක්වා ද, රුපියල් 30,000 වාහන දීමනාව රුපියල් 40,000 දක්වා වැඩි කිරීමට ද එකඟ විය. අවසාන විග්‍රහයේදී මෙම නඩුව පහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සලකා බලන නඩුවක් පමණක් නොවීය. ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ද සලකා බලන නඩුවක් විය.

විනිසුරුවරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් නඩුව ආශ්‍රයෙන් පැන නැගී තිබෙන ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සවස අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. ඊට අගවිනිසුරු සරත් නන්ද සිල්වා, (අධිකරණ සේවා කොමිෂන් සභාපති ධුරය දරන්නේ අගවිනිසුරුවරයාය. නඩුව විභාගයට ගැනුණේ ද අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය.) ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර, වැටුප් කොමිසමේ සභාපති ලයනල් ප්‍රනාන්දු, නඩුව පවරන ලද සංගම් දෙකේ නියෝජිතයන් හා ශ්‍රේෂ්ඨාධිකරණ ලේකම්වරයා යන මහතුන් සහභාගි වී තිබේ. කරුණු සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ විනිශ්චයකාරවරුන්ට පමණක් වැටුප් වැඩි කරන ප්‍රතිපත්තියක් සමස්ත රාජ්‍ය සේවයේම තිබෙන වැටුප් විෂමතා ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතුවනු ඇති නිසාත්, රටේ පවතින අර්බුදය තුළ වැටුප් වර්ධකයක් සඳහා අතිරේක බරක් දැරීමේ හැකියාව මේ මොහොතේ රජයට නැති නිසාත් අධිකරණයට පමණක් වැටුප් වැඩි කරන ප්‍රතිපත්තියකට තමන්ට එකඟවිය නොහැකි බවය.

ඊළඟට දැන් අගවිනිසුරුවරයා කරන්න යන්නේ කුමක්ද? ප්‍රකාශ කර තිබෙන ආකාරයට තනතුරෙන් ඉල්ලා අස්වන්නේද?

මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි නම් තමා තනතුරෙන් ඉල්ලා අස්වන බවට අගවිනිසුරුවරයා කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය දේශපාලන තලයේ විවිධ කතාබහට හේතුවූ මාතෘකාවක් විය.

අගවිනිසුරුවරයා පාකිස්තාන අගවිනිසුරුවරයා ආදර්ශයට ගනිමින් දේශපාලන තලයේ සටන්කාමී භූමිකාවක් රඟපාන්නට සූදානම් වන බව සමහර අයගේ මතය විය. අගවිනිසුරුවරයාට ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට අවශ්‍ය වී ඇති බව තවත් සමහර අයගේ මතය වී තිබේ. ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ විරෝධී සියලු බලවේගයන්ගේ පොදු අපේක්ෂකයා වීම ඔහුගේ අභිලාෂය වන බව කියන මතයක් ද පවතී. ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබෙන ඡන්ද කැඩීමේ හැකියාවක් ඔහුට ඇති නිසා ඔහු තුන්වැනි අපේක්ෂකයකු ලෙස කරළියට ගැනීම එජාපයේ අභිලාෂය වී තිබෙන බව කියන මතයක් ද පවතී. මේ සියලු ජනප්‍රිය මතවාදයන්ට වෙනස්ව අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පසුව සසුන් ගතවනු ඇතැ”යි කියන මතයක් ද තවත් සමහර අය අතර පවතී. විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා අනුගමනය කරනු ඇත්තේ කුමන ප්‍රතිපත්තියක් ද යන්න පැහැදිලි නැත.