යුද්ධ ආයුධ ගනුදෙනුවලට අදාළ රාජ්ය ආරක්ෂක අමාත්යංශයේ ඉහළම නිලධාරීයෙකුට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසම පරීක්ෂණයක් ආරම්භ කොට පවත්වාගෙන යමින් සිටින බව පසුගිය 13 වැනිදා අධිකරණ ඇමති බැටී වීරකෝන් මහතා පාර්ලිමේන්තුවේ ප්රකාශ කළේය.
චෝදනා එල්ල වී තිබෙන එම පරිපාලන නිලධාරියා නම් කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියත්, අධිකරණ ඇමතිවරයා එම පුද්ගලයාගේ නම හෙළිදරව් කිරීම ප්රතික්ෂේප කළේ ය.
අවි ගනුදෙනු පිළිබඳ විෂය භාර ආයතනය ලෙස සැලකිය හැකි රාජ්ය ආරක්ෂක අමාත්යංශයේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී, ඒ සඳහා පරික්ෂණයක් පැවැත්වේ නම් එය ඉතාමත් බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. වහාම සිදුවිය යුතු දේ දූෂණ චෝදනා එල්ල වී තිබෙන එම පරිපාලන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමය. රාජ්ය සේවයේ දූෂණ චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයකුට එරෙහිව ක්රියාත්මක වන එම තත්ත්වය මේ පුද්ගලයාට එරෙහිව පමණක් ක්රියාත්මක නොවන්නේ ඇයි? රාජ්ය ආරක්ෂක අමාත්යංශය ද පවතින්නේ ජනාධිපතිනිය යටතේ ය. එවැනි ආයතනයක ප්රධාන පුද්ගලයෙකුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇත්නම්, ආරම්භ කර ඇති පරික්ෂණය අවසන් වන තෙක් වැඩ තහනම් කිරීම ජනාධිපතිනියගේ වගකීමකි.
ශ්රී ලංකාව වත්මනයේ වැඩිම වියදමක් දරන්නේ සංවර්ධනය සඳහා නොව යුද්ධය සඳහාය. පසුගිය වසරේ යුද්ධ වියදම රුපියල් දශ ලක්ෂ 4000කි. මේ වසරේ එය රුපියල් දශ ලක්ෂ 6000කි. සෑම පුද්ගලයෙක්ම කරන සෑම මිලදි ගැනීමක් වෙනුවෙන් භාණ්ඩයක වටිනාකමින් 7.5%ක බද්දක් යුද්ධය වෙනුවෙන් ලබාදෙයි. රටට ඔරොත්තු නොදෙන තරමට යුද්ධ වියදම ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින්නේය. වැඩියෙන්ම දූෂණ සිදුවන බවට චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ ද ආරක්ෂක අමාත්යංශයට ය.
රාජ්ය ආරක්ෂාව සඳහා අතවශ්ය කොන්දේසියක් ලෙස සලකා යුද්ධයට අදාළ සියලු ගනුදෙනු සිදුවන්නේ ඉතාමත් රහසිගත ආකාරයකින් වන නිසාම එම අංශයේ දූෂණ සිදුවීමට තිබෙන ඉඩකඩ ද විශාලය. යුද්ධ ආයුධ වෙළඳමේදි සිදුවන දූෂණ ගැන ඉඳහිට හෝ ජනමාධ්යයකින් කරුණු හෙළිදරව් කෙරෙතත්, ඒ ගැන කරුණු සොයා බලන තත්ත්වයක් ද රටේ නොපවතී. මහජනයා දන්නේ යුද්ධය සඳහා කෙරෙන යුද්ධ ආයුධ වෙළෙඳම දූෂණයෙන් පිරි ඇති බව පමණ ය.
ලංකාවේ අධිකරණය පිළිබඳව ඉතාමත් වැදගත් නිරික්ෂණ දෙකක් පසුගිය සතියේ දි ප්රකාශ විය. ඉන් එක් නිරික්ෂණයක් පළවූයේ ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව යටතේ ඇති මානව හිමිකම් කමිටුව ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අළලා පළකර තිබෙන අලුත්ම වාර්තාවේය. ශ්රී ලංකාවේ අගවිනිසුරුවරයා උසාවියේ නඩු ගොඩගැසීම වැළකීමේ ප්රයත්නයක් වශයෙන් යැයි කියමින් අධිකරණයේ විභාග වන මානව අයිතිවාසිකම් නඩු සීමාකර ඇති බවත්, අගවිනිසුරුවරයාගේ එම ක්රියාකලාපය නිසා ශරිර වධ හිංසාවන්ට ගොදුරු වූවන්ට පවා අධිකරණය මගින් සහනයක් ලබාගැනීමේ අයිතිය අහිමි වී ඇති බවත් එහි සඳහන්ය.