ඊළග නිරික්ෂණය පළකර ඇත්තේ ශ්රේෂ්ඨාධිකරණයට අභිනවයෙන් තේරි පත්වී සිටින ඩී. විග්නේෂ්වරන් විනිසුරුවරයාය. වයස් සීමාව, අධිකරණ තලයේ අත්දැකීම්, ජේයෂ්ඨත්වය හා ප්රජාතන්ත්රවාදය මත කෙරෙන උසස්වීම්වලට වැඩි ඉඩක් නැති බව ද, විධායකයේ අභිමතයෙන් තොරව කිසිදු ඉහළ තනතුරක් දැරිමට ඉඩක් නැති බව ද ඔහු ප්රකාශ කළේය. මෙම නිරික්ෂණ දෙක එක්ව ගත්විට ලැබෙන චිත්රය ඉතාමත්ම බියකරුය.
එජාප ආණ්ඩු කාලයේ පවා විධායකය විසින් අධිකරණයට ඇගිලි ගසන හා සමහර අවස්ථාවල ප්රසිද්ධියේ තර්ජනය කෙරෙන අවස්ථා තිබුණද, ඒ සියලු බලපෑම් නොසලකා අධිකරණය සිය ස්වාධීනත්වය බොහෝ දුරකට රැකගනිමින් ඉදිරියට ගමන් ගන්නා තත්ත්වයක් තිබුණේය. විශේෂයෙන් ම මානව අයිතිවාසිකම් නඩු තලයේ කැපී පෙනෙන ප්රගතියක් පෙන්නුම් කිරීමට ද සමත් වී තිබුණේය. එහෙත් දැන් උදාවී තිබෙන තත්ත්වය ඊට සහමුලින්ම වෙනස්ය. ස්වාධීනතාව රැකගැනීමට දරන උත්සහායකටවත් ඉඩක් නොලැබෙන ආකාරයට අධිකරණය සිය ග්රහණයට නතුකර ගැනීමට විධායකය සමත් වී සිටී. ඒ නිසා විශේෂයෙන් ම දැන් මානව හිමිකම් අහිමිවූවන්ට අධිකරණය ඉදිරියට ගොස් යුක්තිය ඉටුකර ගැනීමට තිබුණු ඉඩකඩ ද බොහෝ දුරට ඇහිරි තිබේ. මේ තත්ත්වය ගැන රහසේ මැසිවිලි නගන තත්ත්වයක් නීතිඥයන් අතර තිබුණත්, කිසිවෙක් ඒ ගැන ප්රසිද්ධියේ කතා කරන්නට සූදානම් නැත. නීතිඥ සංගමය ද මුළුමණින් නිහඬ ය.
දේශපාලන වැදගත්කමක් ඇති හැම මානව හිමිකම් නඩුවක්ම පාහේ තමන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් වෙත අගවිනිසුරුවරයා විසින් ගෙන්වා ගන්නා විශේෂ ක්රමයක් දැන් ශ්රේෂ්ඨාධිකරණයේ ක්රියාත්මක වේ. ආණ්ඩුවේ පැත්තෙන් කෙරෙන කිසිම වරදකට ශ්රේෂ්ඨාධිකරණයෙන් සහන ලබාගැනීමේ ඉඩක් ඇත්තේම නැති තරම්ය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ප්රකාශයට පත් කර තිබුණු අවස්ථාවක රජයට අයත් ලේක්හවුස් ආයතනයත්, රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවාවත් නීතියට පටහැනිව පොදු පෙරමුණට සෘජු ලෙස ආධාර කරන ප්රතිපත්තියක් පවත්වාගෙන යාමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති කරු ජයසූරිය මහතා එම ආයතන දෙකට එරෙහිව වෙන් වෙන්ව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (FR 577/2000 yd FR 578/2000) ඉදිරිපත් කළේය. පෙත්සම්කරු මැතිවරණයක් පැවති එවැනි අවස්ථාවකදි එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීම මගින් අපේක්ෂා කරන්නට ඇත්තේ මැතිවරණයක් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවක නීතියට පටහැනිව සිදුවෙමින් පැවති එම වරද නිවැරදි කරගැනීම විය යුතුය. එහෙත් අගවිනිසුරුවරයා කළේ වහාම වරද නිවැරදි කරනවා වෙනුවට පනින රිලවුන්ට ඉනිමං බඳින පිළිවෙතක් අනුගමනය කිරීමය. ලේක්හවුසියට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම නිෂ්ප්රභා කරන ලද අතර, අනෙක් පෙත්සම මානව හිමිකම් කොමිසමට යොමු කළේය.
ඊට පෙර 17 වැනි ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද පිළිවෙත ද නීතියට පටහැනිය. අගවිනිසුරුවරයා නීතිපතිව සිටියදි නව ව්යවස්ථා කෙටුම්පත සකස් කිරීමට ක්රියාකාරි ලෙස දායක වී තිබුණා පමණක් නොව, එම ව්යවස්ථාව වෙනුවෙන් ආණ්ඩුව දියත් කර තිබුණු ප්රචාරක ව්යාපාරයට ද දායකවෙමින් රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ද සහභාගි වී තිබුණේය. තමාගේ ක්රියාකාරි සහභාගීත්වයෙන් කෙටුම්පත් කළ නීතියක් තමා විසින්ම විනිශ්චයට ලක්කිරීම කවර මට්ටමකින්වත් යුක්තිසහගත විය නොහැකිය. එය විනිශ්චය කිරීම සඳහා විනිශ්චය මණ්ඩලය පත් කරන ලද ආකාරය ද අතෘප්තියට පත් සියලු පාර්ශ්වවල විරෝධයටත්, සැකයටත් හේතු විය.
නීති විරෝධී ආකාරයකින් සිදු කෙරෙන පත්කිරිම්, දේශපාලන බලපෑම් මත කෙරෙන උසස්වීම්වලට එරෙහිව ඉදිරිපත් වන නඩු සම්බන්ධයෙන් ද (FR 607/99, FR 608/99 iy FR 579/95) අගවිනිසුරුවරයා අනුගමනය කර ඇති ප්රතිපත්තිය ද යුක්තියට පටහැනිය. එම පත්කිරිම්වල තිබෙන හරි වැරදි සලකා බලනවා වෙනුවට දේශපාලන කෝණයකින් බලා ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියාකර තිබෙන බව දෑකිය හැකිය.
අගවිනිසුරුවරයා රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයට සම්බන්ධ වෛද්යවරයකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් (FR 681/99) නිෂ්ප්රභා කිරිමෙන් නොනැවතී “මොහු රජයේ වෛද්ය නිලධාරියෙකි. රජයේ වෛද්ය නිලධාරින් කිසිවිටෙකත් වැඩ නොකරයි. ඔවුන් සිය සේවා ස්ථානවල කිසිවිටෙකත් රැඳී නොසිටියි. ඔවුන් දන්නේ වැඩ වර්ජනය කිරීමට පමණය. ඒ නිසා රජයේ වෛද්යවරුන්ට දඬුවම් පැමිණවීම සුදුසුයි” කියා විවෘත අධිකරණයේ දි ප්රකාශ කිරීම නිසා අගවිනිසුරුවරයාගේ එම ප්රකාශය ප්රසිද්ධ නිවේදනයක් මගින් හෙළා දැකීමට රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයට සිදුවිය.
දුම්රීය රියදුරන් වර්ජනයක යෙදි සිටි අවස්ථාවක විෂය භාර ඇමතිවරයා දුම්රිය රියැදුරන් නොවන පිරිසක් යොදා දුම්රිය දිවවීමේ සිද්ධියකට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවත් අගවිනිසුරුවරයා විසින් නිෂ්ප්රභා කරන ලද්දේ අනතුරක් සිදුවී නැති බැවින්, මූලික අයිතිවාසිකම් කඩවීමක් ද සිදුවී නැති බව ප්රකාශ කරමිනි. එහි තේරුම මහජනතාවගේ ජීවිත අනතුරකට ලක් කළ හැකි එවැනි ක්රියා අනතුරුක් ඇති වන තෙක් ම කරගෙන යාමේ අයිතියක් ආණ්ඩුවකට තිබෙන බව නේද?
කුරිරු වධ හිංසාවන්ට ලක්වූවන්ගේ මානව අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් පවත්වාගෙන ගොස් ඇති පිළිවෙත ද කුරිරු වධ හිංසාවන්ට අදාළව ශ්රී ලංකාව 1994 දි අත්සන් තබන ලද ජාත්යන්තර සම්මුතියට ද ඒ වෙනුවෙන්ම නීතිගත කොට තිබෙන වධ හිංසා පනතට ද පටහැනිය. එම පනතට අනුව වධ හිංසා පැමිණවීම අවුරුදු 07කට නොඅඩු අවුරුදු 10කට නොවැඩි සිරදඬුවමකට ලක් කළ හැකි බරපතල වරදකි.
වවුනියාවේදි නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන අත්අඩංගුවේ සිටියදි, අමානුෂික වධ හිංසාවන්ට ලක්වූ පරරාජසේකරන් බාලසේකරන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් (FR 547/98) ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. අධිකරණය විසින්ම අධිකරණ වෛද්ය නිලධාරියාගෙන් ලබාගත් වාර්තාව අනුව මේ පුද්ගලයාගේ අධෝමුඛයේ පී.වී.සී. නලයක් යවා තිබුණු අතර, ලිංගේන්ද්රියේද ස්ථාන කිහිපයක් පුළුස්සා තිබුණි. ඔහුගේ හිසේ ද, පපුවේ ද තුවාල කැළල් ගණනාවක්ම තිබුණි. ඔහුට අගවිනිසුරුවරයාගෙන් ලැබුණු සහනය රුපියල් 15,000ක වන්දියකි. එය ද වධ හිංසාවන්ට වගකිවයුතු අයට එරෙහිව ගතයුතු ක්රියාමාර්ගයක් පිළිබඳව කරන කිසිදු නිර්දේශයකින් තොරවය.
එජාප විරෝධතා ව්යාපාරය වාර්තා කරන්නට ගිය ජනමාධ්යවේදින්ට ජනාධිපති ආරක්ෂක අංශය පහරදිමේ සිද්ධියට එරෙහිව ජනමාධ්යවේදින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේදි අගවිනිසුරුවරයා වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙන්නේ ද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් සිදුවී තිබෙනවාද යන්න සොයා බලන තැනකට යනවා වෙනුවට කැමරා අහිමි වූ මාධ්යවේදින්ට වන්දියක් ලබාදිම මගින් ප්රශ්නය ගොඩින් බේරාදෙන්නට උත්සාහ කරන ප්රතිපත්තියක් අනුගමනය කිරීමය. එහි තේරුම කැමරා උපකරණ පොඩි පට්ටම් කිරීම නීති විරෝධී වුවත්, පහරදිම නීති විරෝධී නැති බවද?
විග්නේෂ්වරන් විනිශ්චයකාරවරයා ප්රකාශ කර තිබෙන ආකාරයට අධිකරණයේ කෙරෙන උසස්වීම් සඳහා ජේයෂ්ඨත්වය, පළපුරුද්ද, ප්රවීණත්වය වැනි සාධක බල නොපායි. ඉහළ තනතුරුවලට පත්වීමේ හැකියාව ඇත්තේ විධායකයේ අභිමතය ලැබිය හැකි පුද්ගලයන්ට පමණය. අයිතිය ලැබිය හැක්කේ නීතිය හා යුක්තිය අනුව ක්රියාකරන අයට නොව, දේශපාලන කෝණයකින් කරුණු සලකා ක්රියා කරන අයට පමණය. අධිකරණයත් ආණ්ඩුවේ පක්ෂ ශාඛාවක තත්ත්වයකට පත්වීම මගින් ඇති කරන ප්රතිඵලය කවර මට්ටමකින්වත් යහපත් විය නොහැකිය.