ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදය

October 2, 2011
Publication:
Will the split that has opened inside the JVP hasten the decline it was already travelling towards, or will it renew the party and make it strong again? Six sections follow, on Kumar Gunaratnam, on correct Marxism, on the JVP's social background, on commitment, on the absence of a forward vision, and on what should be done.

ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම එය පරිහානිය කරා යමින් තිබුණු ගමන වේගවත් කිරීමට හේතුවේද? නැතිනම් මේ භේදය නිසා ජවි පෙරමුණ අලුත් කිරීමට හේතුවී එය නැවත ශක්තිමත් කිරීමට හේතුවේද?

මේ භේදය නිසා ජවිපෙ සඟවා ගෙන තිබුණු සමහර රහස් හෙළිදරව්වෙමින් තිබෙන බවද පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට මාරුවී තිබියදීත් එය රහසිගත අංශයක් ද පවත්වාගෙන ගොස් ඇති බව පෙනේ. එයට ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයකට අතිරේකව අප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් ද තිබී ඇති බව පෙනේ. එසේම ප්‍රසිද්ධ නායකයන්ට අතිරේකව අප්‍රසිද්ධ නායක පිරිසක් ද සිටි බව පෙනෙන්නේය. එයින් අපේක්ෂා කළේ අවශ්‍ය වෙතොත් ප්‍රසිද්ධ දේශපාලනය අතහැර රහසිගත දේශපාලනයකට මාරුවීමේ ඉඩක් තබා ගැනීමද? ගැටුම ඇතිවී තිබෙන්නේද ප්‍රසිද්ධ නායකයන් හා අප්‍රසිද්ධ නායකයන් අතරය.

ප්‍රසිද්ධ නායකයන් අබිබවා අප්‍රසිද්ධ නායකයන් කිසියම් විශාල ප්‍රමාණයකට පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමට සමත්ව තිබෙන බවද පෙනේ. කැරලිකාර කණ්ඩායමේ ප්‍රකාශකයා බවට පත්ව සිටින පුබුදු ජයගොඩ කියා තිබෙන ආකාරයට මෙම කණ්ඩායම් දෙක අතර පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිටම මතවාදී තලයේ බෙදීමක් තිබුණේය. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය ද විවාදයට හේතුවී තිබෙන කරුණක් වී තිබේ. ජවිපෙ, ප්‍රධාන පක්ෂ දෙකේ මුක්කු බවට පත් නොවී තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන්න එම කණ්ඩායමේ මතය වී තිබේ. ඒ මතය දේශපාලන මණ්ඩලයේ හෝ මධ්‍යම කාරක සභාවේ වැඩිදෙනාගේ පිළිගැනීමට හේතුවී ඇතත්, අනුර කුමාර දිසානායක පක්ෂයෙන් ඉවත් වන බවට කරන ලද තර්ජනයක් හේතු කොටගෙන සරත් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය පිළිබඳව ගෙන තිබූ තීරණය වෙනස් නොකරන ලද බවද කියනු ලැබේ. ඔවුන්ට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයකට අතිරේකව ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ද මතභේද තිබුණු බව කියනු ලැබේ.

කුමාර ගුණරත්නම්

ඉතාම වැදගත්ම දේ මෙම ප්‍රතිකණ්ඩායමේ නායකයා බව කියන කුමාර ගුණරත්නම් දමිළ ජාතිකයකු වීමය. සිංහලවාදී පක්ෂයක ප්‍රතිකණ්ඩායමක් මෙහෙයවන නායකයා දමිළයකු වීම සංකේතාත්මක වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය. ජවිපෙ මාක්ස්වාදී සංවිධානයක් ලෙස පෙනී සිටියද 71 කැරැල්ලට පෙර යුගයේදී එයට දෙමළ විරෝධී අන්තර්ගතයක් තිබුණි. එය සිංහලකමට බර තබා ක්‍රියා කළ සුළු ජාතීන් කෙරෙහි ඇති කරගත් සැකයක් හා විරෝධයක් තිබූ ව්‍යාපාරයක් විය. එහෙත් 71 කැරැල්ලෙන් පසුව මහ නඩුවේදී බාල තම්පෝ සමග විජේවීර ඇතුළු විජේවීර සමග සිටි සමහර ප්‍රධාන නායකයන් පවත්වාගෙන ගිය සමීප සම්බන්ධය ඒ සියලුදෙනා කිසියම් ප්‍රමාණයකට ට්‍රොට්ස්කිවාදීන් බවට පත්කිරීමට හේතුවී තිබුණි. ඒ නිසා සිරගෙයින් නිදහස ලබා ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වූ මූල් අවධියේදී දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගත්තා පමණක් නොව, දෙමළ ජනතාවට අවශ්‍ය නම් වෙන්වීමේ අයිතිය පවා තිබෙන බවද පිළිගත්තේය. එහෙත් එම අන්තවාදී මතයේ සිට සිංහල ජනතාව අතර වැඩ කිරීම පහසු නැති බව තේරුම් ගත් විට නැවත ඒ මතය අතහැර පැරණි සිංහලවාදී ස්ථාවරයට මාරුවූ අතර ඒ ස්ථාවරයේ වෙනසක් ඇති කිරීමට ලයනල් බෝපගේ දරන ලද උත්සාහය සාර්ථක වූයේ නැත. ලයනල් බෝපගේ කරලියට ගෙනා විවාදය ජවිපෙ තුළ අලුත් ආකාරයකින් මතුවී තිබෙන බව පෙනේ.

කුමාර මහත්තයා නමින් හැඳින්වුණු කුමාර ගුණරත්නම් පක්ෂයේ ප්‍රසිද්ධ නායකයකු නොවූවද ඔහුට පක්ෂය කෙරෙහි බලපෑමේ විශාල බලයක් තිබුණු බව හෙළිදරව් වී තිබුණේ මීට කලකට ඉහතදීය. ඔහු ජවිපෙ දෙවැනි කැරැල්ලේ පළමු පෙළේ නායකයකු වන රංජිතම් ගුණරත්නම්ගේ සහෝදරයාය. රංජිතම් ගුණරත්නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ශිෂ්‍යයෙකි. 1985 දී අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සභාපතිවරයාය. කැරැල්ල අවසාන කාලයේදී දේශපාලන මණ්ඩල සාමාජිකයකු ද සන්නද්ධ අංශයට සම්බන්ධ කැපී පෙනෙන අයෙක් ද විය. කලක් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසද ක්‍රියා කළේය. මරණයට පත්ව ඇත්තේ 1990 ජනවාරිවලදීය. ඔහු කෑගල්ල ප්‍රදේශයේ කෙනකු වූ අතර පියා දෙමළ ද, මව සිංහල ද වූයේය. රංජිතම් චතුර සිංහල කථිකයකු වූ අතර ඔහු පෙනීසිටියේ රංජිත් ගුණරත්න යන සිංහල නමිනි. ජවිපෙ දෙවැනි කැරැල්ලේ අවසාන අදියරයේදී කුමාර ගුණරත්නම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාරව ක්‍රියා කළ ජවිපෙ නායකයා විය. දෙවැනි කැරැල්ලේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවද මරා දැමුණේ නැත. එවැනි අය ඉන්නේ කිහිපදෙනකු පමණය. දෙවැනි කැරැල්ලට තිබුණු උරුමය නිසා පක්ෂ අභ්‍යන්තරයේ ඔහුට කැපී පෙනෙන පිළිගැනීමක් ලැබී තිබුණද වෙනත් අයට වෙනස්ව ඔහු දමිළ කෙනකු වීම නිසා අප්‍රසිද්ධ තත්ත්වයක සිටින්නට සිදුවී තිබුණු බවද පෙනේ. මෙම අර්බුදයේදී ඔහු ගැන කතා කිරීමට කණ්ඩායම් දෙකම අකමැත්තක් දැක්වීම කෙරෙහි ඔහුගේ දෙමළකම බලපා තිබෙන බවද පෙනේ. දැන් මතුවී තිබෙන ප්‍රතිකණ්ඩායමේ නායකයන් වැඩි පිරිසක් අප්‍රසිද්ධියේ වැඩ කළ නායකයන් වීම හේතු කොටගෙන ඔවුන් ජවිපෙ නැවත සන්නද්ධ අරගල මාවතට ඇදගෙන යෑමට වැර දරන කණ්ඩායමක් ලෙස පෙනෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන බවද පෙනේ. ඒ ගැන පුබුදු ජයගොඩ කර තිබෙන ප්‍රකාශය ප්‍රශස්තය. ඔහු කියන්නේ නව ලෝක තත්ත්වය තුළ ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයට මාරුවීමට කල්පනා කළහොත් ඔවුන් මුග්ධයන් විය යුතු බවය. එයින් පෙනෙන්නේ මෙම ප්‍රවණතාවට කැලෑ ගතවීමට කල්පනා කරන පිරිසක් නොවන බවය. එහෙත් ඔවුන් අනියම් ලෙස කියන්නේ තමන් හරි මාක්ස්වාදී මාවතේ යන බවය.

හරි මාක්ස්වාදය

හරි මාක්ස්වාදී මාවතද කිසිවකුටත් මෙතෙක් පෙන්වාදීමට නොහැකි වී තිබෙන උභතෝකෝටිකයක් ලෙස සැලකිය හැකිය. ධනේශ්වර ක්‍රමය කෙළවරක් නැති අර්බුද මැද පවතින ක්‍රමයක් බවට පත්ව තිබුණද සමාජවාදය ඊට තිබෙන විසඳුම ලෙස තහවුරු වී නැත. මාක්ස්වාදය මුල් කරගත් සමාජවාදී අදහස්වලට දෘෂ්ටිමය තලයේ විශාල පිළිගැනීමක් තිබුණු යුගයක් ලෝකයේ තිබුණි. එය ධනේශ්වර ක්‍රමයට එරෙහිව තිබෙන එකම විකල්පය ලෙස එකල පිළිගැනුණි. ඒ නිසා ඒ අරමුණ වෙනුවෙන් කැරුණු ජයග්‍රාහී විප්ලව ගණනාවක් ද ලෝකයේ විවිධ රටවල සිදුවිය. ඒ කිසිදු ජයග්‍රාහී විප්ලවයක් තිබෙන ධනේශ්වර ක්‍රමයට වඩා යහපත් හෝ සාධාරණ විකල්ප සමාජ ක්‍රමයක් ඇති කිරීමට සමත් වූයේ නැත. ධනේශ්වර ක්‍රමය ඊට ආවේණික සියලු නරක ලක්ෂණ තිබියදීත් නිෂ්පාදන බලවේගයන්ගේ හා සම්බන්ධතාවල පරිණාමයේ ස්වභාවික ඵලයක් වන විට මාක්ස්වාදී අදහස් දරන්නන් උත්සාහ කළේ රාජ්‍ය බලය මත පිහිටා බලහත්කාර ලෙස කෘත්‍රිම නිෂ්පාදන ක්‍රමයක් නිර්මාණය කරන්නටය. ඒ අත්හදා බැලීම් වෙනුවෙන් දැවැන්ත මිලක් ගෙවන ලද අතර යහපත් ප්‍රතිඵලයක් වෙනුවට ඇතිවූයේද ධනේශ්වර ක්‍රමයේම විකෘතියකි. ඒ ක්‍රියාවලියේ අසාර්ථකභාවය විසින් සමාජවාදී ක්‍රමයට තිබුණු පිළිගැනීම මුළුමනින් බිඳ වැටුණි. ධනේශ්වර ක්‍රමය පිළිබඳ බලවත් අතෘප්තියක් ලෝක ජනතාවට ඇතත් සමාජවාදී ක්‍රමයක් ඇතිකර ගැනීම ඊට තිබෙන විකල්පය ලෙස ලෝක ජනතාව සලකන්නේ නැත.

මෙවැනි සන්දර්භයක් තුළ ජවිපෙ හරි මාක්ස්වාදී ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම ජවිපෙ මුහුණ දී තිබෙන දේශපාලන අර්බුදයට විසඳුමක් වන්නේ නැත.

ධනේශ්වර ක්‍රමයේ අවලස්සණ ගති ලක්ෂණ තේරුම් ගැනීමට මාක්ස්වාදය ප්‍රයෝජනත් වනු ඇතත් ඉන් එහා ගිය විමුක්තිදායක කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාවක් ඊට නැත.

ජවිපෙ සමාජ පසුබිම

ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අතර තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වෙනස්ව අවවරප්‍රසාදිත ග්‍රාමීය සිංහල තරුණ ජනයා අතරින් බිහිවූ අපූරු ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යාපාරයේ සියලු නායකයන් උගත්, සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණි අය ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ ඉලක්ක මනෝරාජික වුවද ඒ මගින් අදහස් කළේ යහපත් හා සාධාරණ සමාජයක් ඇති කිරීමය. ඔවුන්ගේ ඉලක්ක උත්තම වුවද ඒ ඉලක්ක ජයගැනීමට තෝරාගත් මාර්ගය අධම විය. ඔවුන්ට හොඳ, නරක හා යහපත අයහපත ගැන සරල අර්ථකථනයක් තිබුණි. ඒ අනුව නරක හා අයහපත් ගණයට වැටෙන සියලු දේ පමණක් නොව, ඒ ගණයට වැටෙන සියලු මිනිසුන් ද තුරන් කිරීමෙන් වඩා යහපත් සමාජයක් ඇති කරගැනීමට හැකිවනු ඇතැ”යි විශ්වාස කළා පමණක් නොව, එම මනෝරාජික අරමුණ දිනාගැනීම වෙනුවෙන් තුරන් කළ යුතු බව පෙනෙන මිනිසුන් තුරන් කිරීම සඳහා ද සාහසික ලෙස ක්‍රියා කළේය. ඒ නිසා දෙවැනි කැරැල්ලේදී ඔවුන් අතින් දහස් ගණනක් මිනිස්සු ඝාතනයට ලක්වූහ. අවසානයේදී ඔවුන් ක්‍රියාවට නගන ලද රුදුරු ක්‍රියාවලිය විසින් ඔවුන්ගේ ජීවිත ද රුදුරු ලෙස ලෙස බිලිගත්තේය. ඒ නිසා රටේ පොදු යහපත පිණිස ඵලදායී කාර්යභාරයක් ඉටුකිරීමේ ශක්තිය තිබුණු විශාල පිරිසකගේ ජීවිත රටට අහිමි විය. ඔවුන්ගේ එම සාහසික වැඩපිළිවෙළ රාජ්‍යයේ මාංශභක්ෂක ස්වභාවයද වර්ධනය කළේය.

71 කැරැල්ලෙන් උගත යුතු හරි පාඩම් ඉගෙන නොගත්තේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පමණක් නොවේ. ජවි පෙරමුණද ඉන් උගත යුතුව තිබුණු හරි පාඩම් කිසිවක් ඉගෙන ගැනීමට අසමත් විය. 71 පරාජිත කැරැල්ලේ හරි පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව තිබුණේ නම් ඔවුන් කිසිසේත්ම දෙවෙනි සන්නද්ධ කැරැල්ලකට යොමු නොවිය යුතුව තිබුණි. මාඕ සේතුං කියා තිබෙන ආකාරයට වළක වැටීම මොළයට ලැබෙන ලාභයකි. එහෙත් වළක වැටීම මොළයට ලැබෙන ලාභයක් වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණය. අඥානයා ඉන් කිසිවක් ඉගෙන නොගනී. ජනතා විමුක්ති පෙරමුණද පළමුවරට වළක වැටීම මොළයට ලාභයක් කරගත්තේ නැත. ඒ නිසා දෙවැනි වර පහසුවෙන් ගොඩ ආ නොහැකි ගැඹුරු අගාධයකට වැටී මහා විනාශයක් ඇති කරගත්තේය.

ඇප කැපවීම

සාම්ප්‍රදායික වමේ දේශපාලන පක්ෂවලින් පසුව වඩා නව්‍ය ආකාරයකින් ඇප කැපවීම හා පරිත්‍යාගය දකුණේ සිංහල දේශපාලන තලයට එකතු කළ ව්‍යාපාරය ලෙස සැලකිය හැක්කේද ජනතා විමුක්ති පෙරමුණය. ඇප කැපවීම හා පරිත්‍යාගය අගේ කළයුතු ඉතා යහපත් ගුණාංගයකි. එහෙත් එම ගුණාංගයේ ඵලදායී බව තීරණය කරන්නේ එය අවසානයේ ඇති කරන ප්‍රතිඵල මතය. අපිරිසිදු ළිඳක් ගැඹුරු වුවද කිසියම් පිරිසකට කැපවීමකින් ළිඳ ඉස එය පිරිසිදු ළිඳක් බවට පත් කළ හැකිය. එහිදී ළිඳ ඉසීම සඳහා කරන ලද ඇප කැපවීම තේරුමක් ඇති ඵලදායී ඇප කැපවීමක් ලෙස සැලකිය හැකිය. එහෙත් කිසියම් මිනිසුන් පිරිසකට එකට එකතු වී වතුර ඇද හිස්කළ නොහැකි අපිරිසිදු ජලාශයක් වතුර ඇද හිස් කිරීමට දරන ප්‍රයත්නය තුළ සිදුකරන ඇප කැපවීම මෝඩ ප්‍රයත්නයක් ලෙස මිස, ඵලදායී ප්‍රයත්නයක් ලෙස සැලකිය නොහැකිය. ජවිපෙ වෙනුවෙන් තරුණ තරුණියන් කළ ඇප කැපවීම ජනතා විමුක්ති පෙරමුණට වර්ණවත් පෙනුමක් ලබාදෙන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකළ ද ඔවුන්ගේ එම ඇප කැපවීම සමාජය කෙරෙහි ඵලදායී ප්‍රතිඵල ඇති කළ ඇප කැපවීමක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන්ගේ දෙවැනි කැරැල්ල කාලයේදී දකුණේ ගැටුම් උච්චතම තත්ත්වයක පැවති ග්‍රාමීය ප්‍රදේශයක ජවි පෙරමුණට එකතු නොවූ තරුණයකුගෙන් ජවිපෙට එකතු වී සිටි වෛද්‍ය ශිෂ්‍යයකු පිළිබඳව අසන්නට ලැබුණු කතාවක් මෙසේය. මෙම තරුණයා අයත් වූයේ ගමේ දුප්පත්ම හා පීඩිතම පවුලට වුවත් වෛද්‍ය අධ්‍යාපනයේදී සුවිශේෂ දක්ෂතා පෙන්නුම් කළ ඉතා හොඳ ගතිගුණ තිබුණු භේදයකින් තොරව ගමේ කොයිකාගේත් ආදරයට ලක්වූ තරුණයෙක් විය. විශ්වවිද්‍යාලයට යෑම ඒමට අවශ්‍ය බස් වියදමවත් දැරීමට බැරි තරම් දුප්පත් පවුලකින් පැවත එන ඔහු බස් රථයකට ගොඩවූ විට බොහෝ විට ඔහු දන්නා හඳුනන වෙනත් අය ඔහු වෙනුවෙන් බස් ටිකට් පත මිලදී ගත්තේය. වෛද්‍ය අධ්‍යාපනයේදී ඉතාමත් සුවිශේෂ දක්ෂතා පෙන්නුම් කළ මෙම ශිෂ්‍යයා ද අවසානයේදී ජවිපෙට එකතු වී දෙවැනි කැරැල්ලේදී ඝාතනයට ලක්විය. ඔහු පිළිබඳව මෙම කතාව කී තරුණයා කීවේ එම පීඩිත පවුලට තබා ඔවුන්ගේ සමස්ත ඥාති වර්ගයාට ද තවත් දශක කිහිපයකටවත් එවැනි දක්ෂතා ඇති තරුණයකු බිහිකරන්නට හැකි නොවනු ඇති බවය. ග්‍රාමීය සමාජයේ එවැනි විශේෂ ගණයේ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් දෙවැනි කැරැල්ලේදී මිය ගියෝය. ඒ මගින් සමාජයට සිදුවූ හානියේ ප්‍රමාණය දැවැන්තය. ජවිපෙට එවැනි තරුණ පිරිසක් පොළඹවා ගැනීමේ ශක්තිය තිබුණද ජවිපෙ ඔවුන් කැන්දාගෙන ගියේ අර්ථවත් තැනකට නොවේ. තේරුමක් නැති විනාශකාරී තැනකටය. එමගින් සමාජයට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය.

මේ දේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොව, එල්ටීටීඊයටද අදාළය. ඒ මගින් සමාජයේ හොඳම සාරය විනාශ කිරීමක් සිදුවිය. ඒ අර්ථයෙන් ජේවීපී හා එල්ටීටීඊ නායකයන් සැලකිය යුත්තේ ශක්තිමත් හා තර්කානුකූල ඉදිරි දැක්මක් නොතිබුණු මුග්ධ නායක පිරිසක් ලෙසය. තුලනාත්මක වශයෙන් බලන කල සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල නායකයන් ජවිපෙ නායකයන්ට වඩා ඥානාන්විත නායක පිරිසක් ලෙස සැලකිය හැකිය. ඔවුහු ජවිපෙ නායකයන්ටත් වඩා මාක්ස්වාදීව සිතන මතන පිරිසක් වුවත් මාක්ස්වාදයේ එන ප්‍රචණ්ඩ අරගල න්‍යාය අදහන තැනක නොසිටියෝය. ප්‍රචණ්ඩ අරගල න්‍යාය අත්හදා බැලීමට අවශ්‍ය කරන ශක්තිමත් ජනපදනමක් එක යුගයකදී ඔවුන්ට තිබුණුමුත් ඔවුහු එවැනි විනාශකාරී අත්හදා බැලීම් ක්‍රියාවට නගන්නට උත්සාහ නොකළෝය. ඔවුහු 53 හර්තාලය පවා එක දිනකට සීමාවූ දෙයක් බවට පත් කළෝය. සාම්ප්‍රදායික වමේ පක්ෂ තනිව රාජ්‍ය බලය දිනාගන්නා තත්ත්වයක් හිමිකර ගැනීමට සමත්වූයේ නැතත් රාජ්‍ය බලය හිමිකර ගැනීමකින් තොරව පවා මේ රටේ ජනතාවගේ යහපත පිණිස වන ප්‍රතිසංස්කරණ රැසක් ඇති කිරීමට ඔවුහු බලපෑවෝය. ජවිපෙ ප්‍රචණ්ඩ කැරලි දෙකක නිරත වී ඇතත් ඒ කැරලි නිසා සමාජයට සිදුවූ අයහපතක් මිස විශේෂ යහපතක් නැත.

ඉදිරි දැක්මක් නොතිබීම

යථාර්ථවාදී තර්කානුකූල ඉදිරි දැක්මක් නොතිබීම ජවි පෙරමුණෙන් මෙම අසාර්ථකභාවය කෙරෙහි බලපෑ ලොකුම සාධකයක් ලෙස සැලකිය හැකිය. තර්කානුකූල ඉදිරි දැක්මක් ඇති කරගත හැක්කේ සමාජය පිළිබඳව එනම් සමාජයේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ හරි විශ්ලේෂණයක් ඇත්නම් පමණය. ජවි පෙරමුණට අතීත ශ්‍රී ලංකා සමාජය පිළිබඳව හරි විශ්ලේෂණයක් නොතිබුණි. වර්තමාන සමාජය ගැනද හරි විශ්ලේෂණයක් නොතිබුණි.

එය සිටියේ පැරණි ශිෂ්ටාචාරයට විවේචනයෙන් තොරව වන්දනාමාන කරන තැනකය. අප පෘතුගීසීන් එන්නට පෙර සිටි තැනට ආපසු යායුතු බව වරක් විජිත හේරත් ප්‍රකාශ කර තිබුණි. අතීත ශිෂ්ටාචාරයේ අගය කළයුතු බොහෝ යහපත් දේ තිබුණේය. ඒ සමග අනුමත කළ නොහැකි අයහපත් අංග ද තිබුණි. ශ්‍රම විභජනය සකස් වී තිබුණේ වැඩවසම් කුල ක්‍රමය පදනම් කොටගෙනය. තිබුණු ආණ්ඩු ක්‍රමය ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් විය. තිබුණු ශිල්ප ක්‍රමය ඉතා නොදියුණු විය. ලංකාව අල්ලා ගත් බ්‍රිතාන්‍යයන් අශීලාචාර තත්ත්වයක සිටින යුගයක ශ්‍රී ලංකාව වඩා ශිෂ්ටසම්පන්න තත්ත්වයක සිටි බව සත්‍යයකි. එහෙත් අතීත ශ්‍රී විභූතිය ඈත අතීතයේ එක්තරා කාලවකවානුවකට පමණක් සීමාවූ දෙයක් වී තිබුණි. ඉන්පසු දීර්ඝ කාලයක් රට තිබුණේ එකතැන පල්වෙන තත්ත්වයකය.

අධිරාජ්‍යවාදය ගැන පවා ජනතා විමුක්ති පෙරමුණට සාධාරණ ඓතිහාසික විශ්ලේෂණයක් නොතිබුණි. ඔවුහු අධිරාජ්‍යවාදයේ දුටුවේ දුෂ්ට පැත්ත පමණය. ඓතිහාසික අර්ථයෙන් එය ඉටු කළ ප්‍රගතිශීලී කාර්යභාරය නොදැක්කෝය. එය රට එක්සත් කළේය. නවීන අර්ථයෙන් වන දේශසීමා සහිත ජාතික රාජ්‍යයක්ද, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ද රටට ලබා දුන්නේය. නව සමාජ ආර්ථික ක්‍රමයට රට යොමු කළේය. ඔවුන් රටේ සාරය කොල්ලකෑ බව සත්‍යයකි. එසේ කරන අතර ඔවුහු රට, දියුණු හා නවීන රටක් බවට පත් කළෝය.

වියයුත්තේ කුමක්ද?

ගාන්ධිගේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට ඉන්දියාවේ අතීතය ගැන සේ ම ඉන්දියාව කෙරෙහි පැවති බ්‍රිතාන්‍ය ආධිපත්‍යය ගැනත් අපේක්ෂා කරන නිදහස පිළිබඳවත් තියුණු න්‍යායික විශ්ලේෂණයක් තිබුණි. ශක්තිමත් ඉදිරි දර්ශනයක් ඇති කරගැනීමට කොංග්‍රසය සමත්ව තිබුණේ එම න්‍යායික විශ්ලේෂණයන් නිසාය. ගාන්ධි නිදහස ලෙස දැක්කේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් ලබන නිදහස පමණක් නොවේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ලැබී තිබුණු ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම දුටු ඔහු එසේ කිරීමට නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් නිදහස දිනාගැනීම සඳහා කරන අරගලය තුළ කුල භේදයට තිබුණු පිළිගැන්ම නැති කොට ආගමික හා වාර්ගික බෙදීම් තුනී කොට එක්සත් ඉන්දියානු ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව තේරුම් ගනිමින් එම තුන් ඈඳුතු අරමුණ එක අරගලයක් තුළ සම්පූර්ණ කරගැනීමට වෙර දැරීය.

එහෙත් ශ්‍රී ලංකාව නිදහස ලබාගත්තේ එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය. නිදහසින් පසුව ශ්‍රී ලංකාවට කෙළවරක් නැති තරමට ලේ හලන්නට සිදුවී තිබෙන්නේ ඒ නිසාය. සමාජයේ පවත්නා වර්ග භේදය, කුල භේදය හා ආගම් භේදය කෙරෙහිත් දේශපාලන ක්‍රමයේ පවත්නා අත්තනෝමතිකභාවය, දූෂණය හා අගතිය කෙරෙහිත් ප්‍රධාන කොට බලපා තිබෙන්නේ එම සාධකයයි. එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඇති කරගත නොහැකිය. මහත්මා ගාන්ධි කුල අනුව, වර්ග අනුව, ආගම් අනුව බෙදී සිටි ජනයා එකට ඒකරාශි කොට එක්සත් ඉන්දියානු ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් නොව, කුල භේදයට, වර්ග භේදයට හා ආගම් භේදයට එරෙහිව සමස්ත ජනතාවම කෙරෙහි බලපාන ආකාරයේ මතවාදී තලයේ කරන දෘෂ්ටිමය අරගලයක් මගිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කළහැක්කේ මතවාදී වශයෙන් එකට එකතු කළ ජාතියක් තවදුරටත් එකට තැබීම සඳහා නෛතික පදනමක් ලබාදීම පමණය. විය යුතුව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර සමාජය මතවාදී අරගලයකට යොමු කිරීමය. වර්ගවාදයෙන්, කුලවාදයෙන් හා ආගම් වාදයෙන්ද, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවසම් ආකල්පවලින් ද කිලිටි වී තිබෙන සමාජ හදවත් පළමුකොට පිරිසිදු කළ යුතුය. බහුත්වවාදී ආකල්ප සහිත එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය. එය සැලකිය හැක්කේ දෙවැනි නිදහස් අරගලය ලෙසය. එය ප්‍රචණ්ඩත්වයෙන් කිලිටි නොවූ දැහැමි අරගලයක් විය යුතුය. එය වර්ග භේදයෙන්, කුල භේදයෙන් හා ආගම් භේදයෙන් ද දූෂණයෙන් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස්වලින් ද සමාජ අධ්‍යාත්මය පවිත්‍ර කරන ව්‍යාපාරයක් විය යුතුය. එවැනි ක්‍රියාමාර්ගයක් එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරනවාට අතිරේකව ජනහිතකාමී නව දේශපාලන ක්‍රමයක් හා ඊට ගැළපෙන නව දේශපාලන සංස්කෘතියක් ද ඇති කිරීමට හේතුවනු ඇත. අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ එම ඓතිහාසික අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකරන සමාජ දේශපාලන ව්‍යාපාරයකි. සියලු ජනවර්ගවලට සමාන අයිතිවාසිකම් ලබාදෙන අතර ඔවුන්ගේ වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කරගැනීමට ඉඩදෙන, කුලභේදයට තිබෙන පිළිගැනීම තුරන් කරන, ආගම් අතර සංහිඳියාවක් ඇති කරන ප්‍රජාතන්ත්‍ර වටිනාකම් පෝෂණය කරන ව්‍යාපාරයකි. අනුන් වෙනස් කරන්නට ප්‍රථම තමන් වෙනස්වෙමින් විකල්ප සංස්කෘතියක් සඳහා පෙනී සිටින ව්‍යාපාරයකි.