යුද්ධය නපුරුය විනාශකාරීය, ඒ සමඟ එය ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරයි

March 15, 2009
Publication:
Answering Ravaya readers angry at his support for the war, Ivan points to Gandhi raising an ambulance corps in the Boer War and blessing the Allies against Hitler, and argues that the Second World War was won not by non-violence but by a greater counter-violence. He applies the same reasoning to the two JVP insurrections and to this one, and — drawing on Michael Roberts — describes the people held with the LTTE as citizens of a de facto state that ran its own courts, customs and army on Sri Lankan salaries.

එල්ටීටීඊයට එරෙහිව ආණ්ඩුව දියත් කර තිබෙන යුද්ධයට මා පක්ෂපාත ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීම සමහර රාවය පාඨකයන්ගේ දැඩි විරෝධයට හේතුවී තිබේ. පසුගිය සතියේ කර්තෘට ලියුම් පිටුවේ පළවූ ලිපියකින් යුද්ධය තුළ විරුද්ධ පක්ෂය රඟපෑ භූමිකාව පිළිබඳව මා පළ කර තිබූ අදහස් විවේචනය කර තිබුණේ සිය කෝපය ද ප්‍රකාශ කරන ආකාරයටය. සමහර රාවය පාඨකයන් අතර පමණක් නොව, කර්තෘ මණ්ඩල සාමාජිකයන් අතර පවා මා ඒ ගැන දරන අදහස් නොපිළිගන්නා අය සිටිති. එහෙත් අවාසනාවකට බොහෝදෙනෙකු එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට විරුද්ධ වන්නේ තර්කානුකූල හේතු නිසා නොව, හැඟීම්බර හේතු නිසාය. මිනිසුන් අනුකම්පා විරහිතව මරා දමන යුද්ධයකට පක්ෂ වන මිනිසා සාධාරණ මිනිසකු වන්නේ කෙසේදැ“යි ඔවුන් කල්පනා කරනවා විය හැකිය.

ගාන්ධි හා යුද්ධය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවිහිංසාවාදයක් වෙනුවෙන් පෙනී සිටි ගාන්ධි පවා දකුණු අප්‍රිකාවේ සිටියදී සිදුවූ බුවර් යුද්ධයේදී ඉන්දියානුවන්ගෙන් ඇම්බියුලන්ස් සේනාංකයක් ගොඩනගා ගෙන බ්‍රිතාන්‍ය හමුදාවට ආධාර කළේය. දෙවැනි ලෝක යුද්ධයේදී ද මිත්‍ර පාර්ශ්වයට ආශිර්වාද කළේය. යුද්ධය ආරම්භ වන්නට පෙර ඔහු යුදෙව්වන් හිංසාවට ලක් කළ හිට්ලර්ගේ පාලනය විවේචනය කරමින් ප්‍රකාශ කළේ ““මනුෂ්‍ය වර්ගයාගේ නාමයෙනුත්, මනුෂය වර්ගයා වෙනුවෙනුත් නිර්දෝෂි යුක්තිසහගත යුද්ධයක් කළයුතු නම්, මුළු ජාතියක්ම නිරර්ථක කෘෘර වධබන්ධනයන්ට පත්කිරීම වළකාලීම අරමුණු කොටගෙන ජර්මනියට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණ”” බවය. එහෙත් ගාන්ධිගේ ආශිර්වාදය ලද මිත්‍ර පාර්ශ්වය දෙවැනි ලෝක යුද්ධය ජයගත්තේ අවිහිංසාවාදයෙන් නොවේ. ප්‍රතිපක්ෂය මුදාහළ ප්‍රචණ්ඩත්වය අභිබවා යන මහා ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීම මගිනි.

ජර්මනිය යටත් කරගැනීම සඳහා රටේ තිබෙන ගොඩනැගිලි පොළොවට සමතලා වන තෙක් අහසින් බෝම්බ හෙළීය. ජපානය යටත් කරගැනීම සඳහා ජපානය මත පරමාණු බෝම්බ දෙකක් හෙළන්නට සිදුවිය. හිරෝෂිමාවලට හෙළන ලද පරමාණු බෝම්බයෙන් පමණක් එම දිනයේදී පමණක් මියගිය සංඛ්‍යාව 80,000කි. දෙවන ලෝක යුද්ධයෙන් මියගිය මුළු සංඛ්‍යාව මිලියන 50කි. ඉන් මිලියන 35ක්ම සාමාන්‍ය වැසියෝ වූහ. එහි දකින්නට ලැබෙන චිත්‍රය ඉතා බිහිසුණු හා අමානුෂික වුවත් එම යුද්ධයෙන් මිත්‍ර පාක්ෂිකයන් පරාජය වී හිට්ලර් ප්‍රමුඛ ප්‍රතිපක්ෂය ජයගත්තේ වී නම් ලෝකයට කුමක් වන්නට ඉඩ තිබුණේද? ගාන්ධි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවිහිංසාවාදියෙකු වුවත්, ඒ මොහොතේ මිත්‍ර ජාතීන්ගේ ප්‍රතියුද්ධය රඟපෑ ඉදිරිගාමී භූමිකාව තේරුම් ගනිමින් ඊට ආශිර්වාද කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

දකුණේ සිංහල කැරලි දෙක

මාගේ ජීවිත කාලය තුළ රටේ සන්නද්ධ නැගිටීම් තුනක් ඇතිවිය. ඉන් එකකට (71 කැරැල්ලට) මගේ ද ළඟ සම්බන්ධයක් තිබුණි. එම කැරැල්ල පරාජය වීමෙන් පසු මගේ නිගමනය වූයේ එය අවශ්‍යයෙන්ම පරාජය කළ යුතුව තිබුණු කැරැල්ලක් බවය. අපට බලය අල්ලා ගැනීම සඳහා වන මහා ආවේගයක් තිබුණද බලය අල්ලා ගැනීමෙන් පසු කරන්නේ කුමක්ද යන්න ගැන ජවිපෙ පළමු පෙළ නායකත්වයට පවා කිසිදු අවබෝධයක් නොතිබුණි. වැරදිලාවත් කැරැල්ලෙන් අප ජයගත්තේ නම්, සාර්ථක රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යෑමේ හැකියාව අපට තිබුණේද යන ප්‍රශ්නය මා විසින් මතු කරන ලදුව එය ගැරහිලි හා තර්ජන ගර්ජන මැද වුවත් උණුසුම් විවාදයට හේතුවූ මාතෘකාවක් බවට පත්විය. ජවිපෙ දෙවැනි කැරැල්ලට මගේ සම්බන්ධයක් නොතිබුණි. එය බලය යොදා පරාජය කළයුතු බව මා ඒ ගැන දැරූ මතය විය. එම කැරැල්ල ජේවීපී ය ජයගන්නට යන බවට රටේ ප්‍රකට මතයක් පැවති අවස්ථාවේ පවා මා පළ කළ මතය වූයේ ජවිපෙට කැරැල්ල ජයගැනීමේ හැකියාවක් නැති බව හා අවසානයේ එය පරාජය වීම නොවැළැක්විය හැකි බවය.

ආයුධ සන්නද්ධ බලයන් දෙකක් අතර කෙරෙන අනුකම්පාවිරහිත අරගළයක් තුළ රජ කරන්නේ නග්න බලය වන නිසාම මානව අයිතිවාසිකම් බිඳවැටීමක් මිස, මානව අයිතිවාසිකම් ආරක්ෂාවීමක් සිදුවිය නොහැකිය. අනෙක් අතට සන්නද්ධ කැරැල්ලක් පරාජය කිරීමට නම් එම කැරැල්ල මුදාහරින නග්න බලයේ පරිමාව ඉක්මවා යන නග්න බලයක් මුදාහැරිය යුතුය. 71 කැරැල්ල මුදාහළ නග්න බලයේ පරිමාව දෙවැනි කැරැල්ලට සාපේක්ෂව විශාල නොවීය. ඒ නිසා කැරැල්ල පරාජය කිරීම සඳහා මුදාහැරුණු ප්‍රතිනග්න බලයේ පරිමාව ද විශාල නොවීය. එහෙත් ජවිපෙ දෙවැනි කැරැල්ල මුදාහළ නග්න බලයේ පරිමාව අතිවිශාල විය. ඒ නිසාම එය පරාජය කිරීම සඳහා මුදාහැරුණු ප්‍රතනග්න බලයේ පරිමාව ද ඉතා විශාල විය. පළමු කැරැල්ලෙන් මරණයට පත් අයගේ සංඛ්‍යාව 5000ක් වන විට දෙවැනි කැරැල්ලෙන් මරණයට පත් අයගේ සංඛ්‍යාව 50,000කට අඩු නොවීය. 71 කැරැල්ල හා එය මර්දනයේදී මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මිස මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් සිදු නොවූවා සේම දෙවැනි කැරැල්ල මර්දනයේදී ද මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනයවීමක් මිස මානව හිමිකම් ආරක්ෂාවීමක් සිදු නොවීය.

මානව හිමිකම් ආරක්ෂා කරගනිමින් ප්‍රචණ්ඩ අරගළයක් කළහැකි ආකාරය හෝ ප්‍රචණ්ඩ අරගළයක් මර්දනය කළ හැකි ආකාරය තවමත් කිසිවකු විසින් හෝ සොයාගෙන නැත. 88 ජූනි බස් වර්ජනය දෙවැනි කැරැල්ලේදී ජවිපෙ හා ආරක්ෂක හමුදා අතර නග්න බලය සඳහා පැවති තරගය හා ඒ නිසා මහජනතාවට විඳින්නට සිදුවූ පීඩාව ප්‍රකාශයට පත් කළ ප්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මගී ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන බස් ගමනාගමනය මුළුමනින් ක්‍රියාවිරහිත තැනකට ගැනීමට ජවිපෙට අවශ්‍ය වී, ලංගම හා පෞද්ගලික බස්රථ වැඩ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නියෝග කළේය. එම නියෝගයට අවනත නොවන අයට මරණ දඬුවම් පමුණුවන බව ද ප්‍රකාශ කළේය. මගී ප්‍රවාහන සේවා ක්‍රියාවිරහිත වීම වැළැක්වීම ආරක්ෂක හමුදාවල අරමුණ වූ අතර, ජවිපෙ නියෝග නොසලකා මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යන ලෙස ආරක්ෂක හමුදා බස් සේවකයන්ට නියෝග කළේය.

ඉන්පසු වැඩ කරන බස්රථ සේවකයන් ජවිපෙ විසින් මරා දමන තත්ත්වයක් ද අනෙක් අතට වැඩ නොකරන බස් රථ සේවකයන් ආරක්ෂක හමුදා හෝ අතුරු හමුදා විසින් මරා දමන තත්ත්වයක් ද ඇතිවිය. 1988 ජූනි 12 වැනිදායින් ආරම්භ වී ජූලි 13 වැනිදා බස්වර්ජනය නිමාවන විට දෙපාර්ශ්වය අතින් මරණයට පත්ව තිබූ ලංගම සේවකයන් ගණන 115ක් තරම් විශාල විය.

යුද්ධය හා මානව හිමිකම්

සන්නද්ධ බලයන් දෙකක් අතර කෙරෙන අරගළයක් සුන්දර හෝ මටසිලිටුවිය නොහැකිය. එය දෙපැත්තටම ජීවිතය හා මරණය අතර අරගළයකි. එවැනි අරගළයක් ආරම්භ වූ පසු එය ඉදිරියට ගලායන්නේ ගැටුමේ ස්වභාවය විසින් නියම කරනු ලබන ධර්මතාවන්ට අනුකූලවය. යුද්ධයක් අමානුෂික හා නිරර්ථක වන නිසා සියලු යුද්ධ ප්‍රතික්ෂේප කරන පිළිවෙතක් පවා හැමවිටම වලංගුවන්නේ නැත. දෙවැනි ලෝක යුද්ධයේදී නාසි පක්ෂය පරාජය වීම ලෝකයේ පොදු යහපතට හේතුවිය. එහෙත් ඒ පරාජය කිරීම වෙනුවෙන් ද අතිවිශාල මිලක් ගෙවන්නට ලෝකයට සිදුවිය. 71 ජවිපෙ කැරැල්ල හා ඔවුන් 87-89 කැරැල්ල පරාජය කිරීම රටේ යහපතට හේතුවිය. එහෙත් එම කැරලි දෙකම පරාජය කිරීමේදී මහා පරිමාණයෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද සිදුවිය. මානව හිමිකම් ආරක්ෂාව සඳහාම කැරලි මර්දනයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ද අවශ්‍ය විය. මෙම මූලධර්ම මත පිහිටා එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය ද විග්‍රහ කළ හැකිය.

සාකච්ඡා මගින් විසඳුමක් ඇතිකර ගැනීමට කිසිදු ඉඩක් නොතිබුණු තත්ත්වයක් තුළ ඔවුන්ගේ අරගළය ඊට ගැලපෙන උපරිම බලයක් යොදා මර්දනය කිරීම යුක්තිසහගතය. මර්දනය කිරීමකින් තොරව නග්න බලයට ඉඩදී බලා සිටින ප්‍රතිපත්තියක් තවදුරටත් අනුගමනය කළේ නම් ඉන් රටට සේම දෙමළ ජනතාවට ද විය හැකිව තිබූ හානිය අතිවිශාලය. එල්ටීටීඊය වැනි ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කරන අරගළයක් ජයග්‍රාහී විය හැක්කේ, ඔවුන් අරගළ කරන විශේෂ ස්වභාවයට ගැළපෙන ලෙස ප්‍රතිඅරගළය කරන්නේ නම් පමණය. එවැනි අරගළයක් තුළ මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවීම නොවැළැක්විය හැකිය. පොදු යහපත පිණිස එල්ටීටීඊය පරාජය කිරීම අත්‍යවශ්‍ය වන නිසාම ඒ සඳහා කෙරෙන අරගළයක් තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද යුක්තිසහගත වන්නේය. එය මානව හිමිකම් ආරක්ෂාව සඳහා කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය.

මෙම අරගළය තුළ මිනිසුන් හා මිනිස් බෝම්බ වෙන් කොට හඳුනාගැනීමේ දුෂ්කරතාවක් ඇති බව ද අමතක නොකළ යුතුය. මිනිසකු අත්අඩංගුවට ගත හැකිය. එහෙත් මිනිස් බෝම්බයක් අත්අඩංගුවට ගත නොහැකිය. එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කොට පවත්වාගෙන යන යුද්ධයේදී කොළඹ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ආරක්ෂක හමුදා අසමත් වී නම්, උතුරේ කෙරෙන සමස්ත යුද්ධය අරුත් විරහිත ක්‍රියාවක් වන්නට ඉඩ තිබුණි. උතුරේ කෙරෙන යුද්ධය සාර්ථක කරගැනීමට හැකිවූයේ කොළඹ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ක්‍රියාකිරීමට තිබෙන හැකියාව පාලනය කිරීමට සමත් වූ නිසාය. ඒ සඳහා ක්‍රියාවට නගන ලද වැඩපිළිවෙල කොළඹ ජීවත් වන දෙමළ ජනතාව කෙරෙහි කිසියම් පීඩාවක් ඇති කිරීමට හේතුවිය. එල්ටීටීඊයට ඇති බිය නිසා කොළඹ තෝරාගත් නිවසක නැවතුම් ගැනීමට අවශ්‍ය වූ විට දෙමළ ජනතාව ඔවුන්ට නොකැමැත්තෙන් හෝ ඉඩදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

එහෙත් ආරක්ෂක හමුදා ක්‍රියාවට නගන ලද දැඩි ප්‍රතිපත්තිය නිසා දෙමළ ජනතාවට ඔවුන්ට නැවතුම්දීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියකට මාරුවිය. ඒ සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ අන්තර් සම්බන්ධතා ජාලය සාර්ථක ලෙස කඩා දැමීම නිසා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සාර්ථක ලෙස අඩපණ කිරීමට ආරක්ෂක හමුදා සමත් විය. එහෙත් මතුපිටින් බලන කෙනෙකුට එය පෙනුණේ කොළඹ දෙමළ ජනතාව පීඩාවට ලක් කිරීමේ දුෂ්ට අරමුණින් දියත් කරන ලද වැඩපිළිවෙලක් ලෙසය.

කොටුවී සිටින සිවිල් ජනයා

එල්ටීටීඊය සමග කොටුවී සිටින සිවිල් ජනයා පිළිබඳ කෙරෙන ජනප්‍රිය කතාවලද හැඟීම්බර බවක් මිස, යථාර්ථවාදී බවක් නැත. එහි සිටින සිවිල් ජනයා පිළිබඳව මයිකල් රොබට්ස් කර තිබෙන විග්‍රහය ඉතා වැදගත්ය. එල්ටීටීඊයට, තමන්ගේ පාලනයට යටත් භූමි ප්‍රදේශයක්ද, රේගුවක්, පොලිසියක්, අධිකරණයක් හා ත්‍රිවිධ හමුදාවක් ඇතුළත් පාලන අධිකාරියක් ද එම පාලන අධිකාරියේ ආධිපත්‍යය පිළිගන්නා හා එම පාලන කලාපය තුළ ජීවත් වූ කිසියම් ප්‍රමාණයක මහජනතාවක් ද සිටියේය. එල්ටීටීඊය මේ සියල්ල එකට ගෙන පෙනී සිටියේ වෙනම රාජ්‍යයක් දක්වා වර්ධනයවීමට නියමිත තත්කාර්ය (de facto) රාජ්‍යයක් ලෙසය. ඒ රාජ්‍යයේ විධායක ජනාධිපති වූයේ ප්‍රභාකරන්ය. එහෙත් ඔවුන් වෙනම රාජ්‍යයක් ලෙස පෙනී සිටින අතර, සිය මුදල් ලෙස පිළිගත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයේ මුදල්ය. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අධිකරණය, රේගුව වැනි ආයතනවලට හැර ශ්‍රී ලංකා රාජ්‍යයේ අන් රාජ්‍ය සේවාවන්ට ද පවතින්නට ඉඩ හැරියේය.

ඒ මගින් ලංකාණ්ඩුවෙන් පඩි ලබන එහෙත් අවසාන විග්‍රහයේදී එල්ටීඊයට පක්ෂව ක්‍රියාකරන රාජ්‍ය සේවයක් පවත්වාගෙන ගියේය. එල්ටීටීඊ රාජ්‍යයට අවශ්‍ය විදුලිබලය, විදුලි සංදේශ සේවා, පාසල් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සහනාධාර වැනි සේවා ලබා දුන්නේය. ඒ සඳහා බරපැන දරන ලද්දේ ද ලංකා ආණ්ඩුව විසිනි. ශ්‍රී ලංකා ආණ්ඩුව සපයන සේවාවන් භුක්ති විඳි එහි සිටින ජනයා එකවිට විශාල ප්‍රමාණයකට දෙමළ කොටි රාජ්‍යයේ පුරවැසියන් ලෙස ද, ඊට අඩු ප්‍රමාණයකට ශ්‍රී ලංකා රාජ්‍යයේ පුරවැසියන් ලෙස ද පෙනී සිටියෝය. හැම පවුලකම එක් පුද්ගලයෙකු කොටි සංවිධානයට දීමට එහි වෙසෙන ජනයා බැඳී සිටියේය. ඊට අතිරේකව එහි වෙසෙන සියලු ජනයා කොටි ස්වේච්ඡා භට හමුදාවේ හෝ ශ්‍රම බල හමුදාවේ සාමාජිකයන් ලෙස ද සේවය කිරීමට බැඳී සිටියේය. බිළිඳුන් හැර එහි වෙසෙන සමස්ත ජනතාවට එක්තරා ප්‍රමාණයක යුද පුහුණුවක් ද ලබාදී තිබුණි.

යුදමය තත්ත්වයක් තිබෙන විට කොටි රාජ්‍යයට නොමිලේ සේවය කිරීමට ඔවුන් බැඳී සිටි අතර, යුද අගල් හා මහා පස් බැමි තැනීම සඳහා ශ්‍රමය ලබාගත්තේ ඔවුන්ගෙනි. කැමැත්ත නිසා හෝ බලකිරීම නිසා කොටි නායකයන්ගේ ආරක්ෂක මිනිස් පළිහක් බවට පත්ව සිටින සිවිල් ජනයාගේ ඇත්ත ස්වරූපය පිළිබඳ ඒ විස්තරයෙන් යම් හැඟීමක් ඇති කරගත හැකිය. ජීවිත අවදානමක් තිබියදීත් ඔවුන් එල්ටීටීඊ නායකයන් අතහැර නොඑන්නේ බලකිරීම නිසාම පමණක් නොවේ. ඔවුන්ට කොටි සංවිධානයට තිබෙන සමීප බැඳීම නිසාය. ඔවුන් එකවිට සිවිල් ජනතාවක් ද කොටි සංවිධානයේ මහජන හමුදාවේද සාමාජිකයෝ ද වෙත්. ඩී.බී.එස්. ජෙයරාජ් ලියන ලද අවසාන ලිපියේ කොටි සංවිධානයේ කාර්යධරයන්ගේ ප්‍රමාණය තුන් හාරදහසක් නොව, පනස් දහසක් පමණ විය හැකි බව කියා තිබුණි. ඔවුන් සමග ඉතිරි වී සිටින සිවිල් ජනයා කවුදැයි ඒ අනුව සිතාගත හැකිය.

ඔවුන් බාහිර පෙනුමෙන් සිවිල්ය. අභ්‍යන්තර හරයෙන් ගත්විට කොටි සංවිධානයේ විවිධ මට්ටම්වලට අයත් ක්‍රියාධරයෝ වෙති. එම ජනතාව කොටි සංවිධානයට තිබෙන සමීපතාව කුමක් වුවත්, ඔවුන් කෙරෙහි සංවේදීව ක්‍රියාකිරීම ආණ්ඩුවේද ආරක්ෂක හමුදාවේද වගකීමකි. ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහිව කරන යුද්ධය ආරම්භ කරන අවස්ථාව වන විට ඔවුන් උතුරු නැගෙනහිර දෙපළාතේ වර්ග කිලෝමීටර් 15,600ක් (ඩී.බී.එස්. ජෙයරාජ්ට අනුව) පාලනය කළේය. දැන් ඔවුන් වර්ග කිලෝමීටර් (සිවිල් ජනයා සඳහා ලබාදී තිබෙන ආරක්ෂක කලාපය ද ඇතුළුව) වර්ග කිලෝමීටර් 60-70ක් තරම් භූමි ප්‍රමාණයක කොටුවී සිටිති. කොටි සංවිධානයේ නායකයන්ට යටත්වීමේ හැකියාවක් නැත. අන්තර්ජාතික ප්‍රජාව ලවා සටන් විරාමයක් ලබාගැනීමට දරන ලද උත්සාහයන් ද සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. ඔවුහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩබිමෙන්, මුහුදෙන් හා අහසින් යන හැම අතකින්ම කොටු කරන ලද තත්ත්වයකට පත්ව සිටිති.

සිවිල් ජනයා ලෙස හැඳින්වෙන ජනයා අතර ආයුධ සන්නද්ධව සැඟවී සිටින කොටි සංවිධානයේ නායකයන් අත්අඩංගුවට ගන්නේ හෝ විනාශ කරන්නට යන්නේ කෙසේද යන්න පැහැදිලි නැතත්, ඔවුන්ගේ පැවැත්ම කෙටිකාලීන වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කොටි සංවිධානය අවසාන වශයෙන් පරාජය කිරීමෙන් පසු රටේ ජනතාවගේ යහපතට හේතුවන ලෙස පවතින චිත්‍රයේ යහපත් වෙනසක් ඇතිවනු නොවැළැක්විය හැකිය. 87-89 දෙවැනි කැරැල්ල අවසාන වශයෙන් පරාජය කිරීමෙන් ආරක්ෂක හමුදා දකුණේ තැන් තැන්වල ඉදිකර තිබූ තාවකාලික කඳවුරු ඉවත් කරගනිමින් යළි බැරැක්කවලට ගියෝය. ඒ සමග දකුණේ ජන ජීවිතයද සාමාන්‍ය තත්ත්වයට පත්විය. සමාජයේ පැතිර පැවති මරණ බිය තුරන්වෙමින් නැවත සමාජය නිදහසේ හුස්ම ගන්නා හා නිදහසේ දේශපාලන වාද විවාදවල යෙදෙන තැනකට ආවේය. එල්ටීටීඊ යුද්ධය අවසන්වීමෙන් පසු දෙමළ සමාජයේ ද එවැනි වෙනසක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

Editors Note


Michael Roberts is the Sri Lankan-born anthropologist at the University of Adelaide; D.B.S.
Jeyaraj is the Tamil journalist then writing from Toronto. The June 1988 bus strike Ivan
describes killed 115 Ceylon Transport Board workers in a month, caught between JVP orders
not to work and army orders to work. Ivan’s own connection to the 1971 insurrection,
mentioned here in passing, was as a participant.