ලලිත් කොතලාවල ප්‍රහේලිකාවක්ද?

March 8, 2009
Publication:
The article examines the downfall of Lalith Kotelawala and the Golden Key Credit Company, questioning whether his philanthropic public image was a deliberate cover for an unregulated, fraudulent financial enterprise. It draws direct parallels between his deposit-taking methods and those of notorious scammers like Sakvithi Ranasinghe and Danduwam Mudalali. The piece further highlights systemic national issues, including the investment of undeclared black money by politicians, exorbitant corporate perks funded by depositors' money, and the severe lack of regulatory oversight concerning financial operations and advertising in Sri Lanka.

දේශමාන්‍ය ලලිත් කොතලාවල සැලකෙනුයේ රටේ සිටින පළමු පෙළේ සල්ලිකාරයෙකු හා මහා දානපතියෙකු ලෙසය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති වශයෙන් ඔහු යටතේ තිබූ ව්‍යාපාරික ආයතන සංඛ්‍යාව හාරසීයකට අඩු නොවන බවද කියනු ලැබේ. ඔහු දුප්පතුන්ට හා විපතට පත් අසරණයන්ට පිහිටවූවා පමණක් නොව එසේ පිහිටවන අවස්ථාවලදී එවැනි සිද්ධීන්ට මහත් ප්‍රසිද්ධියක් ද ලබාදුන්නේය. සක්විති රණසිංහ සිය තැන්පත්කරුවන් අමාරුවේ දමා රටින් පළාගිය විට සක්විති රණසිංහගේ මුළු ණය බර කරට ගන්නට පවා ඔහු ඉදිරිපත් විය. ඔහු දඬුවම් මුදලාලි හෝ සක්විති රණසිංහ මෙන් නිර්ප්‍රභූ පන්තියෙන් පැමිණි කෙනෙකු නොව ප්‍රභූ පන්තියෙන් පැමිණි කෙනෙකි. ලලිත් කොතලාවලගේ කඩා වැටීම, නැත්නම් ඔහු තමන්ගේ තැන්පත්කරුවන් විශාල පිරිසක් අමාරුවේ දැමීම හා අවසානයේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ආශ්‍රයෙන් ඔහු පිළිබඳව ඇති කරගත යුතුව තිබෙන නිගමනය කුමක්ද? වර්තමානයේ මුළු මහත් ලෝකයම අර්බුදය තුළ මහා පරිමාණයේ ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙන අතර, ලලිත්ගේ කඩා වැටීම සැලකිය යුත්තේ ඒ ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් වශයෙන්ද? නැතිනම් ඔහු සැලකිය යුත්තේ දඬුවම් මුදලාලිගේ හෝ සක්විති රණසිංහගේ තවත් නම්බුකාර අවතාරයක් ලෙසද? ලලිත් කොතලාවල ගෝල්ඩන් කී ක්‍රෙඩිට් ආයතනය හරහා තැන්පත්කරුවන්ගෙන් තැන්පතු ලබාගත් ආකාරය බොහෝ දුරකට දඬුවම් මුදලාලි හා සක්විති රණසිංහ තැන්පතු ලබාගත් ආකාරයට සමානය.

ඔහුගේ මෙම තැන්පතු ලබාගැනීමේ ව්‍යාපාරය මහ බැංකුවේ ලියාපදිංචි කර නොතිබුණි. මහ බැංකුවේ ලියාපදිංචිවීමෙන් තොරව එවැනි ව්‍යාපාරයක නිරතවීම නීති විරෝධී බව ඔහු දැන නොසිටියා විය නොහැකිය. ඔහු තැන්පතු ලබාගත්තේ ආපසු ගෙවීමේ අවංක අරමුණින් විය හැකි වුවත්, එම වැඩසටහන තුළ මහා අවදානමක් තිබුණු බව ඔහු නොදැන සිටියා විය නොහැකිය. මෙම නීති විරෝධී හා අවලස්සණ වැඩපිළිවෙල කළමනාකරණය කළ පුද්ගලයන්ට ගෙවන ලද අතිවිශාල වැටුප් හා පහසුකම් දෙස බලන විට ඔහුගේ අවංකභාවය බරපතළ ලෙස සැකයට ලක්වන්නේය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් ආයතනයේ ප්‍රධානියාට ඔහු ගෙවා තිබෙන මාසික වැටුප රුපියල් ලක්ෂ 60කටත් වැඩිය. ඔහුගේ පරිහරණය සඳහා ලබාදී තිබෙන සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව හයකි. ප්‍රධානියාගේ ලේකම්ගේ වැටුප රුපියල් ලක්ෂ දෙකකි. ලක්ෂ 60ක මාසික වැටුපක් යනු ඇදහිය නොහැකි තරම් විශාල වැටුපක් බව අමුතුවෙන් කිවයුතු නැත.

එවැනි ගෙවීමක් මගින් ඔහුගෙන් අපේක්ෂා කළේ උපරිම වශයෙන් තැන්පතුකරුවන් රවටා මුදල් ලබාගැනීමේ වැඩපිළිවෙල වඩ වඩා බලවත් ලෙස ඉදිරියට ගෙනයෑමද? තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබෙන මුදල බිලියන 30ක් බව කියනු ලැබේ. මෙම තැන්පත්කරුවන්ගේ ස්වභාවය කුමක්ද යන්න හා ඔවුන්ගේ තැන්පතුවල ප්‍රමාණය කොතරම්ද යන්න තවමත් ප්‍රසිද්ධ නැත. විශාල වශයෙන් සල්ලි ඇති අය සොයායමින් 35%ක් දක්වා වන වාර්ෂික පොලියක් ලබාදීමේ සහතිකය මත තැන්පතු ලබාගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් සමාගම ක්‍රියාවට නගා තිබෙන බව පැහැදිලිය. තැන්පත්කරුවන් තුළ විශ්වාසය ඇති කිරීම සඳහා ජප කළ මන්ත්‍රය වී ඇත්තේ ලලිත් කොතලාවලගේ කීර්තිනාමයයි. ඊට අතිරේකව ලැබෙන ක්‍රෙඩිට් කාඩ්පත ද එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට බලපා තිබෙන බව පෙනේ. වැඩි පොලියක් ලබාගැනීමේ අරමුණින් තමන් සන්තකයේ තිබෙන නීත්‍යනුකූලව උපයාගත් සියලු ඉතිරිකිරීම් පරදුවට තබා ක්‍රියාකළ අසරණයන් සිටින්නා සේ ම, බැංකුවක තැන්පත් කළ නොහැකි ලෙස නීති විරෝධී ලෙස මහා පරිමාණයෙන් මුදල් උපයා ගත් දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධාරීහු වැනි අය ද ඔවුන් අතර සිටිති.

තැන්පත්කරුවන් අතර සිටින ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලකයන් කවුද යන්න තවමත් රටට රහසකි. එසේම ඔවුන් අතර සිටින රාජ්‍ය නිලධාරීන් කවුද යන්න ද රටට රහසකි. ආර්ථිකයේ කළු සල්ලිවලට හිමි පංගුව විශාලය. එහි තරම පිළිබඳ හරි ඇස්තමේන්තුවක් නැත. මෙවැනි නීති විරෝධී ව්‍යාපාරවලට පහසුවෙන්ම පැවතිය හැකිවී තිබෙන්නේ ද ඒ නිසාය. උගස් ගැනීම හා පොලියට දීම ලාභ ඉපැයිය හැකි පහසු මාර්ගයකි. කෙනෙකු ඍජු ලෙස පොලී කරන විට පොලීකාරයන්ට මුදල් දී අනියම් ලෙස පොලී වෙළෙඳාමේ යෙදෙන විශාල පිරිසක් ද රටේ සිටිති. දඬුවම් මුදලාලිට සක්විතිට හා ලලිත් කොතලාවලට අසුවී සිටින තැන්පතුකරුවන්ගේ ප්‍රමාණයේ විශාලත්වය දෙස බලන විට අපේ රටේ තැන්පතුකරුවන් අතට ලැබෙන වැඩි පොලිය ගැන මිස, තැන්පතුවලට ලැබෙන ආරක්ෂාව ගැන නොසලකන විශාල පිරිසක් රටේ සිටින බව පෙනේ. දඬුවම් මුදලාලි ළඟ මුදල් තැන්පත් කළ කිසිවෙක් තමන්ගෙන් ලබාගන්නා මුදල්වලට ඔහු කරන්නේ කුමක්ද යන්න නොදැන සිටියෝය.

ඒ ගැන තැන්පත්කරුවන්ගෙන් ප්‍රශ්න කළ විට පොදුවේ දෙන ලද පිළිතුර වූයේ ““ඔහු කරන්නේ කුමක්ද යන්න අපට වැදගත් නැත. අපිට ඔහු අකුරටම පොලී දෙනවා”” යන්නයි. ගෝල්ඩන් කී ආයතනයේ මුදල් තැන්පත් කළ ක්‍රිකට් තරුවක් එම තැන්පතු සඳහා ලැබිය යුතු පොලිය නොගෙනම එය වැල් පොලී වන්නට ඉඩ හැර තිබුණි. අවසානයේ ඔහුට අහිමි වූ තැන්පතුවේ වටිනාකම රුපියල් මිලියන 60 කි. ලලිත් කොතලාවල මහා දානපතියකු ලෙස පෙනී සිටියේය. හැම වැදගත් දන් දීමකදීම ඊට විශාල ප්‍රසිද්ධියක්ද ලබාදුන්නේය. දේශපාලන පොර පිටියේ සිටි මහා මිනිස්සුන්ට දන් දුන්නා සේම අසරණයන්ට ද පිහිට වූයේය. සක්විති රණසිංහ සිය තැන්පත්කරුවන්ට පොල්ල තබා රටින් පළාගිය අවස්ථාවේදී ඒ සියලු තැන්පත්කරුවන්ට අයවිය යුතු මුදල් තමන් ගෙවන්නට සූදානම් බව ද ප්‍රකාශ කළේය. මේ සියල්ල ලලිත් කොතලාවලට කරන්නට අවශ්‍ය වූයේ තමන් පවත්වාගෙන ගිය කූට ව්‍යාපාරය සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට එසේ ක්‍රියාකිරීම අවශ්‍ය වූ නිසාද? නැතිනම් ඇත්තටම ඔහු තුළ පැවති දානශීලී ස්වභාවය නිසාද? ඒත් නැතිනම් ඒ දෙකම නිසාද? මෙවැනි කූට ජාවාරමක් සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට නම් අධිපතියාට හොඳ කීර්තිනාමයක් තිබීම අත්‍යවශ්‍යය.

ලලිත් කොතලාවලට එවැනි කීර්තිනාමයක් තිබුණේය. බොහෝදෙනෙකු ඔහු දැක්කේ කවදාවත් බංකොළොත් නොවන ලොකු සල්ලිකාරයෙකු ලෙසය. ඔහු නිර්ලෝභීව මුදල් වැය කළේය. අසරණයන්ට ප්‍රසිද්ධියේ පිහිට වූයේය. සක්විති රණසිංහගේ කුරුසිය තමන්ගේ කරට ගන්නට ද උත්සාහ කළේය. ඔහු කරන ලද ඒ හැම ක්‍රියාවක්ම ඔහුගේ තැන්පතුකරුවන් අතර හා අලුත් තැන්පතුකරුවන් ඔහු වෙත ආකර්ෂණය කරගැනීමට බලපෑවේය. සක්විති රණසිංහගේ බර කරට ගන්නට තමන් සූදානම් බව ලලිත් කොතලාවල ප්‍රකාශ කරන අවස්ථාව වන විටත් ඔහුගේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් ව්‍යාපාරය අර්බුදයට යමින් නොතිබුණේද? එය අර්බුදයට යමින් තිබුණේ නම්, එවැනි ප්‍රකාශයක් මගින් ඔහු ඉලක්ක කළේ අලුත් තැන්පත්කරුවන්ද? සිය ව්‍යාපාර සමූහයේ පාලන බලය ඒවා පාලනය කරනවුන්ට පවරා සියලු වගකීම්වලින් නිදහස් වන වටාපිටාවක් සඳහා ඔහු ක්‍රියාකරමින් සිටියේ ඇයි? දැන් ධනය හරි හම්බ කළා ඇතැයි කියන අවංක හැඟීම නිසාද? නැතිනම් මතුවන්නට නියමිත දෝෂාරෝපණවලින් කල් තියා ඇඟ බේරාගැනීමට අවශ්‍ය වූ නිසාද? ලලිත් කොතලාවල තමන් උපයන ලද ධනයෙන් කොතරම් ප්‍රමාණයක් විදේශ ගතකර තිබේද? ඔහුගේ බංකොළොත්භාවය කෙරෙහි වෙනත් සාධකවලට අතිරේකව එම සාධකය බලපෑවේද? මහන්සි නොවී සල්ලි හම්බුකර ගතහැකි පහසුම මාර්ග වැඩියෙන්ම ඇති රට ශ්‍රී ලංකාව විය හැකිය.

රැවටීම ඒ සඳහා තිබෙන ලොකුම මාර්ගයයි. රූපවාහිනී නාලිකාවලින් නිතර නිතර මහජනයාට කියන්නේ පෙන්ශුයි කාසි තුනක් මිලදී ගැනීමෙන් ලොකු සල්ලිකාරයෙකු විය හැකි බවය. රේඩියෝ නාලිකාවලට සවන්දීමෙන් ද මුදල් ඉපැයිය හැකිය. සමහර බැංකුවල ස්ථිර තැන්පත්කරුවෙකු වීමෙන් ලබාගත හැකි තෑගි මුදල්වල වටිනාකම රුපියල් මිලියන සිය ගණනකි. වෙනත් අයෙකුගේ පාලනය යටතේ තිබෙන තේක්ක ගස් කිහිපයකට ආයෝජනය කිරීමෙන් ද දශකයකට හෝ දෙකකට පසුව කෝටිපතියෙකු විය හැකිය. වෙනත් බොහෝ රටවල වෙළෙඳ දැන්වීම් සඳහා නීති රීති පවතී. මහජනයා රවටා ගසාකෑමේ අරමුණකින් වෙළෙඳ දැන්වීම් පළවන අවස්ථාවලදී එම රැවටීමේ වැඩපිළිවෙල පිටුපස සිටින ව්‍යාපාරිකයාට එරෙහිව පමණක් නොව, ඒ අරමුණ වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන වෙළෙඳ දැන්වීම් ඒජන්සිවලට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වේ. එහෙත් අපේ රටේ එවැනි නීති රීති නැත.

මහජනයා රැවටීම සඳහා ද නිර්මාණශීලී දැන්වීම් නිපදවිය හැකිය. මහජනයා රවටන එවැනි නිර්මාණශීලී දැන්වීම් සඳහා සම්මාන ලැබෙන අවස්ථා ද පවතී. රටේ බොහෝ ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ කොටස් වෙළෙඳපොළෙන් ලබාගන්නා මහජන මුදල්වලින් හෝ තැන්පත්කරුවන්ගෙන් ලබාගන්නා තැන්පත් මුදල්වලිනි. එහෙත් බොහෝ ව්‍යාපාරිකයන් එසේ ලබාගන්නා මහජන මුදල්වලට ඇති බැඳීම හා වගකීම කෙරෙහි සැලකිලිමත්වන්නේ නැත. ලලිත් කොතලාවල සිය සමාගම් පොකුරේ ප්‍රධානීන්ට වාහන ලබාදීමේදී බීඑම්ඩබ්ලිව් වැනි අධිසුඛෝපභෝගී මිල අධික වාහන ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ වැරදි සම්ප්‍රදාය වෙනත් ව්‍යාපාරික ආයතන ද අනුගමනය කරනු දැකිය හැකිය. සමාගමක වගකිවයුතු නිලධාරියෙකුට ඔහුගේ පරිහරණය සඳහා වාහනයක් දීම අත්‍යවශ්‍ය විය හැකිය. එහෙත් රුපියල් මිලියන හතර පහකට හොඳ වාහනයක් ලබාගැනීමේ පුළුවන්කම තිබියදී හුදෙක් මහන්තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා රුපියල් මිලියන 10 ක් 15 ක් වටිනා වාහනයක් ලබාදෙන්නේ නම් එම නාස්තිකාර වියදමේ බර දරන්නට සිදුවනුයේ කොටස්කරුවන්ට හෝ තැන්පතුකරුවන්ට නොවේද? කුඩා ළමුන් ජංගම දුරකතන පරිහරණයට ඇබ්බැහි නොකරන ලෙස ජනාධිපති ඔබාමා එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් අපේ රටේ කුඩා ළමුන් ජංගම දුරකතන සමාගම්වල පහසු ඉලක්ක බවට පත්ව තිබෙන ආකාරය ඒ සඳහා පළකෙරෙන වෙළෙඳ දැන්වීමකින් හොඳින් දැකිය හැකිය. ව්‍යාපාරික සමාගම් ලාභය ගැන මිස, සමාජ වගකීමකින් තොරව ක්‍රියාකරන විට ඒ වෙනුවෙන් සමාජයට ගෙවන්නට සිදුවන වන්දිය විශාලය.