යුද්ධයෙන් ජයගෙන ප්‍රචාරණ යුද්ධයෙන් පරාජය වීම

July 3, 2011
Publication:
The government won its war against Prabhakaran in an astonishing way. What it failed to do was to understand in advance that after that victory it would have to fight a more complicated propaganda war against the diaspora friendly to him, and that failing in that war could cost it everything the fighting had won.

ආණ්ඩුව ප්‍රභාකරන්ට එරෙහිව කරන ලද යුද්ධය විස්මයජනක ආකාරයකින් ජය ගත්තේය. එම යුද්ධයෙන් ලබන ජයග්‍රහණයෙන් පසු ප්‍රභාකරන්ට හිතවත් දෙමළ ඩයස්පෝරාව සමග වඩා සංකීර්ණ ප්‍රචාරණ යුද්ධයක නිරතවීමට සිදුවන බව හා එම ප්‍රචාරණ යුද්ධයෙන්ද ජයගැනීමට අසමත්වෙතොත් යුද්ධයෙන් ලබාගත් සියලු ජයග්‍රහණයන් අහිමිවීමට පවා ඉඩ තිබෙන බව කල්තියා තේරුම් ගනිමින් ඊට ගැළපෙන උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඇතිකර ගැනීමට ආණ්ඩුව අසමත් විය.

ආණ්ඩුව යුද්ධයේදී දක්ෂ ලෙස සටන් කළේය. ප්‍රතිපක්ෂය විස්මයට පත්කරමින් ඔවුන් අන්ත පරාජයකට පත් කළේය. එහෙත් ඉන්පසු එළැඹෙ ප්‍රචාරක යුද්ධයේදී ආණ්ඩුව ඉන්නේ සාර්ථක තැනක නොව අසාර්ථක තැනකය. මෙම අසාර්ථකභාවය කෙරෙහි වඩාත්ම බලපා තිබෙන්නේ යුද්ධයෙන් පසු මුහුණ දෙන්නට සිදුවන ගැටලු පිළිබඳ හරි අවබෝධයක් ආණ්ඩුවට නොතිබීමය. ඒ සඳහා මුළු ශක්තිය යොදා ක්‍රියාකරන උපායමාර්ගික වැඩපිළිවෙළක් නොතිබීමය.

අඩුම වශයෙන් යුද්ධය අවසන්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන ක්‍රියාමාර්ගයකට වැඩි බර තබා ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කළේ නම් දෙමළ ඩයස්පෝරාවට කළහැකි හානිය අවම කරගැනීමට ඉඩ තිබුණි. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කල්මරන ප්‍රතිපත්තිය දෙමළ ඩයස්පෝරාවේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවී තිබේ.

චැනල් ෆෝ නාළිකාව ශ්‍රී ලංකාව පිළිබඳව විකාශය කළ වැඩසටහන ශ්‍රී ලංකාවට කර තිබෙන හානියේ තරම පිළිබඳව හා තවදුරටත් කරමින් තිබෙන හානියේ තරම පිළිබඳව ආණ්ඩුවට යථා අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මැදිහත්වීම ඔවුන් ගොඩනගන ලද චිත්‍රය උඩුයටිකුරු කිරීමට හේතුවී නැත. එහෙත් එම මැදිහත්වීමෙන් සියල්ල හොඳ අතට හැරී ඇතැ”යි කියන මානසිකත්වයක් ආණ්ඩුව තුළ සේ ම රටේ ජනතාව අතරද ගොඩනැගී තිබෙන බව පෙනේ. මෙය සැලකිය හැක්කේ ස්වයං මෝහනයක් ලෙසය.

වැදගත්දේ වනුයේ එම චිත්‍රපටිය සඳහා යොදාගත් රූපරාමු ව්‍යාජද අව්‍යාජද යන්න නොවේ. එය ලෝක ජනතාව අතර ඇතිකර තිබෙන බලපෑමේ ප්‍රමාණයයි. තවමත් ඊට ශ්‍රී ලංකාව බලවත් ලෙස ප්‍රතිචාර දක්වා නැත. එයින් වන්නේ ලෝක ජනතාව අතර ඉදිරිපත්වී තිබෙන චෝදනා සනාථවීමය. එය ශ්‍රී ලංකාව කෙරෙහි විශාල පිළිකුලක් ඇතිකිරීමට හේතුවී තිබේ. ශ්‍රී ලංකාව නිහඬ වී සිටියහොත් විය හැක්කේ මේ ආකාරයේ නිර්මාණ තව තව කරළියට ඒමය. ශ්‍රී ලංකාව ලෝකයේ පිළිකුලට හේතුවූ රටක තත්ත්වයකට පත්වීමය.

මෙම ප්‍රචාරණ යුද්ධයට මුහුණදීමට ශක්තිමත් දැක්මක්වත්, ශක්තිමත් වැඩපිළිවෙළක්වත් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත. බොරුවට කෑගැසීම ප්‍රශ්නයට විසඳුමක් නොවනවා සේ ම නිහඬව බලා සිටීමද ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. මේ ආකාරයට කටයුතු සිදුවන්නට ඉඩහැර බලා සිටියහොත් එය ජනාධිපතිවරයා හා ආණ්ඩුව කෙරෙහි පමණක් නොව, මුළු රට කෙරෙහිම විනාශකාරී ලෙස බලපෑ හැකිය. ශ්‍රී ලංකාව ලෝකයේ පිළිකුලට ලක්වූ හා කොන් කැරුණු රටක් බවට පත්විය හැකිය.

මේ තත්ත්වයෙන් අත්මිදිය හැකි එක් ක්‍රමයක් වන්නේ වැරදි සිදුවී ඇත්නම් ඒවා ගැන අවංකව සොයා බලන අතර චිත්‍රයේ විශාල හොඳ පැත්ත ලෝකයට ශක්තිමත් ලෙස ඉදිරිපත් කිරීමය.

මෙය රට මුහුණදී තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සලකා ක්‍රියාකරන තැනකට යායුතුය. යුද්ධයට යෙදූ අවධානයට සමාන අවධානයක් මෙම ප්‍රශ්නයට ලබාදිය යුතුය. මෙම අභියෝගය ජයගැනීම සඳහා සියලු ශක්තීන් හා දක්ෂතා එකට ගොනු කරන තැනකට යායුතුය. ඒ සමග බාහිර ඇඟිලි ගැසීම්වලට ඉඩක් නොලැබෙන ආකාරයට දෙමළ ජනයාගේ ප්‍රශ්න ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස ඉක්මනින් විසඳන තැනකට යා යුතුය.