13 වැනි සංශෝධනය ආශ්රයෙන් නැවත මහා අවුලක් ඇති කරගනිමින් තිබෙන බව පෙනේ. යුද්ධය අවසන් කිරීමෙන් පසු 13 වැනි සංශෝධනයට අතිරේකව එක දෙයක්ම එකතු කොට ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා ප්‍රධාන කොට ඉන්දියාවටද ලෝකයට ද සහතික වී තිබුණේය. යුද්ධය පැවති කාලයේ යුද්ධයට එරෙහිව ඉන්දියාව අභ්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් පාලනය කිරීම සඳහා ඉන්දියාව පාවිච්චි කරන ලද්දේද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දෙන ලද එම සහතිකය. එය අප්‍රසිද්ධ සහතිකයක් නොවූ අතර මුළු රටටම ඇසෙන ලෙස දෙන ලද ප්‍රසිද්ධ සහතිකයක් විය. ඒ අවස්ථාවේදී රට අභ්‍යන්තරයේ සිටින මොනම දේශපාලන බලවේගයක්වත් ඊට විරුද්ධ වූයේ නැත.
යුද්ධය අවසන් වූ වහාමද ඉන්දියාවේ ආරක්ෂක උපදේශක නාරායන් පැමිණි අවස්ථාවේදීද ඒ සම්බන්ධයෙන් දෙන ලද සහතිකය නැවත අලුත් කළේය. ඒ වනවිට ප්රභාකරන්ගේ ව්‍යාපාරය පරිපූර්ණ වශයෙන් පරාජය කර තිබුණද එහිදීත් ජනාධිපතිවරයා දෙන ලද සහතිකය අලුත් කිරීම ගැන කිසිම ව්‍යාපාරයක් සිය විරෝධය පළකළේ නැත.
ඉන්පසු ජනාධිපතිවරණය ජයගැනීමෙන්පසු සිදුවූ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදීද දෙරටේ නායකයන් දෙදෙනා එකට නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට එම සහතිකය ඇතුළත්ව තිබුණි. ඒ අවස්ථාවේදීද ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඊට විරෝධය පළ කළේ නැත.
ඉන්පසු මේ මෑත දිනක විදේශ ඇමතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවේදී දෙරටේ විදේශ ඇමතිවරුන් දෙපළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. 13ට විරෝධය පළ කෙරෙන විරෝධතා ආරම්භවන්නේ එතැන් සිටය.
දැනටමත් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව ඉන්නේ ලොකු අවුලකය. ඒ ලොකු අවුල ලිහාගැනීමෙන් තොරව ශ්‍රී ලංකාව තවත් ලොකු අවුලක් ඇති කරගනිමින් සිටින බව පෙනේ.
මේ ප්‍රශ්නයට 13 වන සශෝධනයට වඩා හොඳ විසඳුම් තිබෙනවා විය හැකිය. එසේ නම් ඒවා මොනවාද යන්න අප ප්‍රකාශ කළ යුතුව තිබුණි. අනෙක් අතට ඉන්දියාවට එවැනි පොරොන්දුදීමෙන් වැළකී සිටිය යුතුව තිබුණි. දෙමළ ප්රශ්නය ඉන්දියාවට සංවේදී ප්රශ්නයකි. තමිල්නාඩුවේ ඇතිවී තිබෙන ආණ්ඩු මාරුව ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව කෙරෙහි එල්ල වන පීඩනය උග්‍ර කිරීමට හේතුවී තිබේ. දැනටමත් තමිල්නාඩු මැතිසබය, ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක ඇති කළයුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ. තමිල්නාඩු ව්‍යවස්ථාදායකය එම යෝජනාව සම්මත කරගෙන තිබෙන්නේද ඒකමතිකවය.
බටහිර ලෝකයෙන් එල්ල වී තිබුණු පීඩනය මැද ශ්‍රී ලංකා ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කළ යුද්ධය ජයග්‍රාහී අවසානයක් දක්වා ඉදිරියට ගෙනයෑමට ශ්‍රී ලංකාව සමත් වූයේ ඉන්දියාවෙන් ලැබුණු සහාය නිසාය. ආරක්ෂක ලේකම්වරයා පසුව ප්‍රකාශ කර ඇති පරිදි එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියානු සාධකය හොඳින් කළමනාකරණය කළේය. කිසිදු සැකයක් ඇති නොවන පරිදි කිසිවක් නොසඟවා හැම දෙයක්ම ඔවුන්ට දැනගන්නට සැලැස්සුවේය. ලොකු බලවතුන් විරුද්ධකම් කරද්දීත් ශ්‍රී ලංකාවට සිය අරමුණ කරා යා හැකිවූයේ අපගේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් අපට ලැබුණු රැකවරණය හා සහයෝගය නිසාය. අපේ වැඩේ කරගත් පසු අපි දැන් ඉන්දියාවට කොකා පෙන්වන්න උත්සාහ කරන්නේ නම් එය යහපත් හෝ රටේ ගෞරවයට හේතුවන්නේ නැත.
රටක් වශයෙන් ජාත්‍යන්තර තලයේ අප ඉන්නේ මහා අවුලකය. මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ කිසිවක් නොකළේය. එහෙත් එය සැප්තැම්බර් දක්වා අපට දෙන ලද කල්දීමක් පමණක් විය. මෙවැනි ලොකු අවුලක් තිබෙන අවස්ථාවක තවත් ලොකු අවුලක් ඇති කරගන්නේ නම් රට සලකන්නට වෙන්නේ මෝඩ රටක් ලෙසය.
ශ්‍රී ලංකාව මේ මොහොතේදී ඉන්දීය විරෝධී, චීන විරෝධී හෝ බටහිර විරෝධී වියයුතු නැත. සන්සුන් මනසකින් යුතුව තිබෙන අවුල් නිරාකරණය කරගත යුතුය. ඉන්දියාව බලවතකු නිසා ඇය ඉදිරියේ දණ නැමිය යුතු නැතත්, ළඟම අසල්වැසියා වශයෙන් ඉන්දියාව සමග උපරිම සහයෝගයකින් වැඩ කරන තැනකට යායුතුය.