ශ්‍රී ලංකාව තිබෙන අවුල් විසඳා ගන්නවා වෙනුවට ඒවා තව තව අවුල් කරගනිමින් සිටින බව පෙනේ. ප්රභාකරන් පරාජය කිරීමේ යුද්ධයට එරෙහිව බටහිර බලවතුන්ගෙන් එල්ල වී තිබුණු අවහිරතා නොසලකා එම යුද්ධය ජයග්‍රාහී තැනකට ගෙනයෑමට හැකිවූයේ අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබුණු සහාය නිසාය. ඉන්දියාවෙන් ලබාගනිමින් තිබුණු සහාය සඳහා ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට විවිධ පොරොන්දු දුන් බවද පෙනෙන්නට තිබේ. එසේ දෙන ලද පොරොන්දු අතර යුද්ධයෙන් පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට දෙන ලද සහතිකය ප්‍රධාන විය.
එවැනි පොරොන්දුවක් දෙන ලද්දේ ඉන්දියාව ඉල්ලා සිටි නිසාද නැතිනම් ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් දෙන ලද පොරොන්දුවක්ද යන්න නොපැහැදිලිය. කවර ආකාරයට හෝ ශ්‍රී ලංකාව එවැනි පොරොන්දුවක් ඉන්දියාවට දී තිබුණු අතර එය නිතර ජප කැරෙන දේශපාලන මන්ත්‍රයක් බවට ද පත් කරගෙන තිබුණේය. යුද්ධය අවසන්වීමෙන් පසුත් ශ්‍රී ලංකාව දෙන ලද එම සහතිකය විටින් විට අලුත් කළේය. මේ නොබෝදා ඉන්දියා නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි දිනට පෙරදින ද විශේෂයෙන් පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවකදී රජයේ මාධ්‍ය ප්‍රකාශකයා කීවේ 13 සමග ඊට වැඩි දෙයක් දෙන බවය. එහෙත් ඉන්දීය නියෝජිත පිරිස පැමිණි විට ජනාධිපතිවරයා ඔවුන් සමග කියා ඇත්තේ පොලිස් බලතල හා ඉඩම් බලතල දෙනවාට විරුද්ධ පිරිසක් ආණ්ඩු පක්ෂය තුළ සිටින නිසා එම බලතල දීමේ හැකියාවක් නැති බවය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඉන්දීය නියෝජිත පිරිස පමණක් නොව සාධාරණව කල්පනා කරන ශ්‍රී ලාංකිකයන්ද අන්දමන්ද කිරීමට හේතුවීයැ”යි කිව හැකිය.
13 වැනි සංශෝධනය
දෙමළ ජනයාගේ ප්‍රශ්නයට තිබෙන හොඳම විසඳුම 13 සංශෝධනය නොවනවා විය හැකිය. ඊට වඩා හොඳ විසඳුම් තිබෙනවා විය හැකිය. වඩා හොඳ විසඳුමක් තිබුණේ නම් එය පැහැදිලි කොට ඉන්දියාව ඊට එකඟ කරවාගත යුතුව තිබුණේය. එහෙත් ඒ වෙනුවට අප කළේ 13 වැනි සංශෝධනය ඊට තිබෙන හොඳම විසඳුම ලෙස සලකා එය ක්‍රියාත්මක කරන බවට ඉන්දියාවට හා ලෝකයට පමණක් නොව ලංකාවේ දෙමළ ජනතාවට ද සහතිකවීමය.
මගේ මතය වන්නේ මෙම ප්රශ්නයේදී ඉන්දියාව 13 වැනි සංශෝධනයම ඉල්ලා සිටින දරදඬු තැනක නොසිටි බවය. ඉන්දියාව සිටියේ දෙමළ ජනතාවගේ විශ්වාසයට හේතුවන වෙනත් විසඳුමක් වුව බාරගන්නා මටසිලුටු තැනකය. එහෙත් වඩා හොඳ විකල්පයක් ඉදිරිපත් නොකොට 13ට අතිරේකව තවත් එක දෙයක් දෙන බව සහතික වූයේ ශ්‍රී ලංකාවය.
මීට මාස හය හතකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනවල තෝරාගත් පිරිසක් සමග ඉන්දියානු ආණ්ඩුවේ ආරාධනයක් අනුව ඉන්දියාවේ චාරිකාවක යෙදීමේ අවස්ථාව අපට ලැබුණි. එහිදී විවිධ අංශවල ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරීන් හමුවී ඔවුන් හා සාකච්ඡා කිරීමේ අවස්ථාව අපට ලැබුණි. ඉන්දියාවට අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රී ලංකාව ලවා 13 වැනි සංශෝධනයම ක්‍රියාත්මක කරවා ගැනීමද නැතිනම් විකල්ප විසඳුමකට ඉඩක් තිබේද යන්න දැනගැනීමට මට අවශ්‍ය වූ අතර මම එම ප්රශ්නය ඉන්දියාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හමුවූ හැම ෆෝරමයකදීම පාහේ මතු කළෙමි.
මා ඔවුන් වෙත ඉදිරිපත් කරන ලද ප්රශ්නය සැකෙවින් මෙසේ විය.
13 වැනි සංශෝධනය උද්වේගකර පරිසරයක් තුළ ඇතිකර ගන්නා ලද විසඳුමකි. උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ නිජබිමක් ලෙස පිළිගැනීම ඊට ආවේණික ලොකු දුර්වලතාවක් විය. දෙමළ නිජබිම් සංකල්පය මුලදී ඉන්දියාවද පිළිනොගත්තේය. අවසානයේදී එය පිළිගත්තේ ඉදිරිපත් කරන විසඳුමකට එල්ටීටීඊ එකඟත්වය ලබාගැනීම සඳහා එය අවශ්‍ය පූර්ව කොන්දේසියක් බවට පත්ව තිබූ නිසාය.
දැන් අවි අතට ගත් ප්රභාකරන් කෙනකු හා එල්ටීටීඊයක් දර්ශනයේ නැති තත්ත්වයක් තුළ පැරණි 13 වැනි සංශෝධනයට සීමා නොවී වඩා යථාර්ථවාදී විසඳුමක් ඇතිකර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබේද? ශ්‍රී ලංකාවේ තරම අනුව බලන විට පළාත් සභා බල ප්‍රදේශය නුවුවමනා තරමින් විශාලය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් විමධ්යගතකර තිබෙන්නේ පළාත් අනුව නොව, දිස්ත්‍රික්ක අනුවය. තමන්ගේම පාලනයක් සඳහා සටන් කළ ජනවර්ගයක් සිටින ප්‍රදේශයක් ලෙස හා බොහෝදුරකට එකම ජනවර්ගයකට සීමාවූ පළාතක් ලෙස සලකා උතුරු පළාතට පමණක් පළාත් සභා ක්‍රමයක් ඇති කරන අතර නැගෙනහිර ඇතුළු රටේ සෙසු ප්‍රදේශ සඳහා බලය බෙදාහැරෙන ඒකකය දිස්ත්‍රික්කය බවට පත්කර ගතහොත් ඉන්දියාව එවැනි විසඳුමක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න මා නගන ලද ප්රශ්නය විය.
එක තැනකදී හැර හැම ෆෝරමයකදීම සාකච්ඡා සභාවට සහභාගි වූ ප්‍රධාන නිලධාරියා ඊට දෙන ලද පිළිතුර එක සමාන විය. ඊට පිළිතුරක් දිය නොහැකිය යන්න ඒ හැම තැනකදීම ලැබුණු පිළිතුර විය.
එහෙත් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සිවශන්කර් මෙනන් සහභාගි වූ ෆෝරමයේදී ඔහු ඒ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේය.
ඔහු ඊට දෙන ලද පිළිතුර මෙසේය.
““ඔබ කල්පනා කරන විදිය හරියැ”යි මටද සිතෙනවා. අපි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළයුතුයැ”යි බලකරන්නේ නැත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ විශ්වාසයට හේතුවන ඔවුන්ට සාධාරණය ඉටු කරන වෙනත් විසඳුමක් වුවත් භාරගැනීමට ඉන්දියාව සූදානම්යැ”යි ඔහු කීවේය.
ඉන් පෙනෙන්නේ 13ට සීමා නොවී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ පිළිගැනීමට හේතුවන වෙනත් විසඳුමකට වුවත් යෑමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබුණු බවය. එවැන්නකට බාධා කරන තැනක ඉන්දියාව නොසිටි බවය. එහෙත් ඒ සඳහා වන විකල්ප වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවට නොතිබුණි.
සමාන අයිතිවාසිකම්
මට පෙනෙන අන්දමට මෙම ප්රශ්නය විසඳාගත යුතු ආකාරය ගැන ජනාධිපතිවරයාට තමන්ගේම වන වෙනම මතයක් තිබුණේය. එහෙත් ජනාධිපතිවරයා කල්පනා කරන ආකාරයේ හා මෙම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දියයුතුයැ”යි විශ්වාස කරන අය කල්පනා කරන ආකාරයේ මූලික වෙනසක් තිබුණි. එහිදී ජනාධිපතිවරයාගේ ආදර්ශ මාදිලිය වූයේ ඉන්දියාව හෝ බටහිර රටවල් නොව සිංගප්පූරුව හා මැලේසියාවය. බලය බෙදාහරින තැනකට නොගොස් සමාන අයිතිවාසිකම් තහවුරු කරන ප්‍රතිපත්තියක් දැඩි ලෙස පවත්වාගෙන යෑම ඒ රටවල් දෙකම අනුගමනය කරන ප්‍රතිපත්තිය වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කල්පනාව වූ බව පෙනෙන්නේ ඒ ක්‍රමය ශ්‍රී ලංකාව සඳහා ද යොදාගත යුතු බවය.
ඔහු ත්‍රිභාෂා ප්‍රතිපත්තියට උපරිම බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු දෙමළ භාෂාව ඉගෙන ගන්නා අතර දෙමළ නොවන ජනතාවගෙන් ද දෙමළ භාෂාව ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටියේය. අන්‍ය ජාතික භාෂා ප්රවීනතා විභාගයට රාජ්‍ය සේවකයන් යොමු කරන ලද අතර සිංහල රාජ්‍ය සේවකයන් අතර දෙමළ භාෂා ප්රවීනතා විභාගයට පෙනී සිටින අයගේ හා සිංහල නොවන රාජ්‍ය සේවකයන් අතර සිංහල භාෂා ප්රවීනතා විභාගයට පෙනී සිටින්නන්ගේ ශීඝ්‍ර ඉහළයෑමක් මෙම අවුරුදු කිහිපය තුළ සිදුවිය. ඒ සමග දෙමළ භාෂාවෙන් වැඩකළ හැකි අය රාජ්‍ය සේවයට අලුතෙන් එකතු කරගැනීමක් ද සිදුවිය. පොලිස් සේවයට දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි අලුත් පිරිසක් එකතු කරගනු ලැබූ අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා ද දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි පිරිසක් අලුතෙන් එකතු කරගන්නා ලදි. උතුරු නැගෙනහිර දෙපළාතේ පරිපාලන සේවා තනතුරුවලට ද දෙමළ භාෂාවෙන් වැඩ කළහැකි පිරිසක් එකතු කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවක් ද පෙනෙන්නට තිබේ. ඔහුගේ අපේක්ෂාව වූ බව පෙනෙන්නේ සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමය.
එයද මෙම ප්රශ්නය විසඳා ගැනීමට තිබුණු විකල්ප මාර්ගයකි. සියලුදෙනාට සමාන අයිතිවාසිකම් ලබාදෙන අතර මධ්‍යම රජයේ කටයුතු කෙරෙහි බලපෑමට වැඩි ඉඩක් ලබාදෙන ක්‍රියාමාර්ගයක් මගින් මෙම ප්රශ්නය විසඳාගත හැකිවේයැ”යි ඔහු අවංකව කල්පනා කළේ නම් ඔහු එම අදහස බලවත් ලෙස හා විස්තරාත්මක ලෙස ලෝකයාටද දේශීය මහජනතාවටද කිවයුතුව තිබුණි. සමාන අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිය පැහැදිලි කොට තවත් සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියක් කෙරෙහි මිස පළාත් මත හෝ ප්‍රාදේශීය පදනමක් මත ජනවර්ගවලට බලය බෙදාහැරෙන ක්‍රමයක් කෙරෙහි විශ්වාස නොකරන බව කීවේ නම් හා සමාන අයිතිවාසකම් සහතික කරන වැඩපිළිවෙළක් සියලුදෙනාට පෙනෙන ලෙස ක්‍රියාවට නගන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ඉන්දියාව, ලෝක ප්‍රජාව හෝ දේශීය දෙමළ ජනයා ඔහුගෙන් බලය බෙදාහරින ප්‍රතිපත්තියක් අපේක්ෂා නොකරන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ඔවුන්ගේ පූර්ණ අවධානය සමාන අයිතිවාසිකම් වැඩපිළිවෙළ කෙරෙහි යොමුවන්නට ඉඩ තිබුණි.
එහෙත් ජනාධිපතිවරයා තමන් කැමති සමාන අයිතිවාසිකම් ප්‍රතිපත්තියට බර තබා ක්‍රියාකරනවා වෙනුවට, ඒ පිළිවෙත ප්‍රමාණවත් තරමින් රටට පැහැදිලි කිරීමකින් තොරව, හිතේ නොතිබුණු දෙයක් ලෙස සැලකිය හැකි බලය බෙදාහරින ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නට ගොස් තමන්ගේ ඇත්ත වැඩසටහනට ලැබිය යුතු වැදගත්කමද අහිමි කරගත්තේයැ”යි කිව හැකිය. තමන්ගේ එකම අරමුණ සුළු ජාතීන් සමාන අයිිතිවාසිකම් ඇති පිරිසක් බවට පත්කිරීම හැරුණු කොට ඔවුන්ට වර්ග අනුව බලය බෙදාහැරෙන වැඩසටහනක් ගැන තමන් විශ්වාස නොකරන බව කීවේ නම් ඔවුන් බලය බෙදාහැරීමේ වැඩසටහනක් පිළිබඳව බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් තොරව සමාන අයිතිවාසිකම් ලබාදීම සඳහා අනුගමනය කැරෙන ප්‍රතිපත්ති කෙරෙහි ඔවුන්ගේ පූර්ණ අවධානය යොමුවන්නට ඉඩ තිබුණි. එහෙත් එසේ නොකිරීමෙන් දැන් සිදුවී තිබෙන්නේ වැඩි වැදගත්කමක් ලැබිය යුතුව තිබුණු සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ක්‍රියාවට නගන ලද වැඩසටහන්වලට ලැබිය යුතුව තිබුණු වැදගත්කම නොලැබී, බලය බෙදාහැරීමේ ප්‍රශ්නයට මුළු අවධානය යොමුවී එය ඉටු නොවන බව පෙනෙන විට දෙමළ නායකයන් පමණක් නොව සාමාන්‍ය දෙමළ ජනතාව ද අපේක්ෂාභංගත්වයට පත්වීමය.
තර්කානුකූල අවසානයක් ඇති නොකිරීම
ප්රභාකරන් පරාජය කිරීමෙන් විවර වූ ඉඩ ප්රස්ථා ප්රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට අසමත්ව තිබුණද ප්රභාකරන්ගේ පරාජය දෙමළ ජනතාව ආශ්රයෙන් මතුවී තිබුණු ගැටලු විසඳා ගැනීමට දෙමළ ජනතාව අතර ද ශක්තිමත් වටාපිටාවක් ඇති කර තිබුණේය. බාහිර වශයෙන් බලන විට දෙමළ ජනතාව සිටියේ උද්වේගකර වටාපිටාවක වුවත් තමන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වූ කොටි ව්‍යාපාර අතින් ද තමන්ට බලවත් වරදක් සිදුවූයේය කියන හැඟීමක් දෙමළ ජනතාව අතර ගොඩනැගී තිබුණි. සාම්ප්‍රදායික දේශපාලන නායකයෝ තමන් තෝරාගත් දේශපාලන ගමන් මග මුළුමනින් අත්හැර අලුත් දේශපාලන ගමන් මගක් සඳහා කරුණු සලකා බලන තැනකට පැමිණ සිටියෝය. වෙනම රාජ්‍යයක් සඳහා තවදුරටත් තමන් පෙනී නොසිටින බවත්, එකම රාජ්‍යයක් තුළ ප්‍රශ්න විසඳා ගැනීම තමන්ගේ අභිලාෂය වන බවත් ඔවුහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තැනකට යොමුවී තිබුණේය. ප්රභාකරන්ගේ පරාජය ගැන ඔවුන් ප්‍රසිද්ධියේ සංතෝෂ වූයේ නැතත්, ඒ ගැන අප්රසිද්ධියේ සංතෝෂ වූහ. ඒ ලැබූ මහා පරාජයෙන් පසුව බලවත් සටනකින් තොරව තමන්ගේ ප්‍රශ්න සාධාරණව විසඳා ගැනීමට ඉඩක් ලැබෙනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළෝය. ප්රභාකරන් විසින් ජාතික ගීය ගැයීම තහනම් කිරීමෙන් වසර විශාල ගණනකට පසු දෙමළ ජාතික සන්ධානය තමන්ගේ නිල උත්සවයකදී උත්සව කටයුතු ආරම්භ කළේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමෙන් පසුවය.
එහෙත් දෙමළ ජනතාවගේ ආත්ම ගෞරවය පිළිබඳ ප්රශ්නයේදී ඔවුන් තුළ හිත්වේදනා ඇති නොවන ලෙස කටයුතු කිරීමට අපි අසමත් වීමු. ඔවුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම වැනි අහිංසක ක්‍රියාවකදී පවා අප ක්‍රියාකර තිබෙන්නේ ඉතාමත් සාහසික ආකාරයටය. වැදගත්ම දේ ජාතික ගීය පිළිගැනීම මිස එය ගායනා කරන භාෂාව විය නොහැකිය. ඔවුන් ජාතික ගීය පිළිගත්තේ බලකිරීමකින් තොරව නොව ස්වේච්ඡාවෙනි. අප එයින් සෑහීමට පත්වූයේ නැත. ඔවුන් දන්නා දෙමළ බසින් වෙනුවට ඔවුන් ලවා සිංහල බසින් එය ගායනා කරවා ගැනීමට අපට අවශ්‍ය විය. මෙම අගතිගාමී හා පීඩාකාරී ප්‍රවේශය අඩු වැඩි වශයෙන් වෙනත් බොහෝ තැන්වලද ක්‍රියාත්මක විය.
කෙනකු බඩගින්නට කන්න ඉල්ලා සිටි විට සාමාන්‍ය ආහාර වේලක් වෙනුවට වඩා හොඳ ආහාර වේලක් (සාමාන්‍ය බත් පැකට්ටුවක් වෙනුවට බුරියානි පැකැට්ටුවක්) ඔහුට දුන්නද ඒ හොඳ දේ ඔහුට දෙන්නේ ඔහු අවමානයට ලක්වන ආකාරයට නම් සමහරවිට ඔහු තමන්ට ලැබෙන හොඳ ආහාර වේල පවා ප්‍රතික්ෂේප කළ හැකිය. එසේ නැතහොත් බඩගින්න නිසා එය ආහාරයට ගත්තද ඔහුට ලැබෙන හොඳ ආහාර වේල, එය දෙනු ලැබූ පුද්ගලයා පිළිබඳව ඔහු තුළ ගෞරවයක් හෝ ප්‍රසාදයක් ඇති කරන්නේ නැත.
දෙමළ ජනතාව දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, පොහොසත් සංස්කෘතියකට හා දියුණු භාෂාවකට හිමිකම් කියන ජනවර්ගයකි. ඔවුන් මේ මොහොතේ පරාජිත තත්ත්වයකට පත්ව සිටියද ජාතික සමගියක් ඇතිකර ගැනීමට අවංකවම අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට හිමි වාර්ගික ගෞරවය පිළිබඳ ප්රශ්නවලදී සංවේදීව ක්‍රියාකිරීමේ යුතුකමක් හා වගකීමක් රටට ඇත්තේය.
දෙමළ ජනතාවට දෙන්නට දෙයක් ඇතොත්, එය කඩිනමින් දෙනවා මිස ඔවුන්ට බොරු නොකළ යුතුය. ඔවුන් බොරුවට රස්තියාදු නොකළ යුතුය. ඔවුහු වරක් සර්වපාක්ෂික සම්මේලනය දෙස බලාගෙන සිටියෝය. ඉන්පසු 13 ප්ලස් ගැන බලා සිටියෝය. දැන් ඔවුන්ට පාර්ලිමේන්තු කාරක සභාව ගැන බලා ඉන්නට සිදුවී ඇත්තේය.
පාර්ලිමේන්තු කාරක සභාවට සාර්ථක කාර්යභාරයක් ඉටු කළ හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය. හේතුව එවැනි ක්‍රියාමාර්ගයක් කෙරෙහි දෙමළ නායකයන්ගේ සහාය ලබාගැනීමට හැකියාවක් නැති නිසාය. අනෙක් අතට විරුද්ධ පක්ෂ ව්‍යාපාරය ද ඒ කෙරෙහි විශ්වාසය තබනු ඇතැ”යි සිතිය නොහැකිය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය පිණිස මොනතරම් විශාල දේවල් කළද ඔවුන් ජාතික සමගියක් ගැන විශ්වාස නොකරන ජනතාවක් බවට පත්වීමය.
ඇතිවී තිබෙන තත්ත්වයන් තුළ අසල්වැසි ඉන්දියාවද ලංකාවට සහාය දක්වන පිළිවෙතින් ඈත්වනු නොවැළැක්විය හැකිය. ඒ සමග ලෝක බලවේගයන් අතර ශ්‍රී ලංකාව තනිවීමේ ක්රියාවලියද වේගවත් වනු ඇත. ශ්‍රී ලංකාව අවමානයට ලක් කරනු ලැබූ, කොන් කරනු ලැබූ හා විවිධ තහංචි පැනවීම්වලට ලක් කරනු ලැබූ රටක් හා වැඩි වැඩියෙන් චීනය හා රුසියාව මත රඳා පවතින රටක් බවට පත්වනු ඇත්තේය. ඒ සමග රටේ පවතින අභ්‍යන්තර දේශපාලන අවුල් වියවුල්ද උග්රවනු නොවැළැක්විය හැකිය.
එම විශේෂ දේශපාලන වටාපිටාව තුළ ජනාධිපතිවරයාද වැඩි වැඩියෙන් ආඥාදායකයකු ලෙස ක්‍රියා කරන තැනකට තල්ලු වී යනු ඇත. අවසානයේ ප්රභාකරන් පරාජය කිරීම නිසා ලංකාව බිහිකළ ලොකුම වීරයා ලෙස ජනතාව විසින් පුදනු ලැබූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම ජනතාව විසින්ම ප්‍රජා පීඩකයකු ලෙස සලකන තත්ත්වයක් ඇතිවිය හැකිය.