යුද්ධයෙන් ඔබ්බට

March 8, 2009
Publication:
Alongside ending the war and answering Tamil grievances, Ivan argues, the country must attend to the global downturn reaching it: strengthen reserves, cut the imports it can do without, encourage bicycles, and teach English to the tradesmen and nurses already trained but shut out of the Western labour market for want of it. Agriculture, he writes, is the country's protection in this crisis.

ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට එරෙහිව කරන යුද්ධය ඉක්මණින් අවසන් කොට දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීම අවශ්‍ය වී ඇතත්, ඒ සමග රට වෙළාගනිමින් තිබෙන ආර්ථික අර්බුදය ගැන ද නිසි අවධානයක් යොමුවිය යුතුව තිබේ. මුළු ගෝලීය ලෝකයම වෙලාගත් මහා ආර්ථික කඩා වැටීමක් පවතී. ලෝකයේ මහා පරිමාණයේ මූල්‍ය සමාගම් කඩාවැටෙමින් දැවැන්ත කර්මාන්තශාලා වැසීයමින් රක්ෂා අහිමිවූවන්ගේ ගොඩ මහා පරිමාණයෙන් ඉහළයමින් පවතී. භාණ්ඩ නිෂ්පාදනයේ සේ ම වෙළෙඳාමේ ද ලෝක මට්ටමෙන් මහා බිඳවැටීමක් පවතී. මෙම ලෝක ආර්ථික අවපාතයට ගොදුරු වී සිටින සමහර රටවල් සමග සසඳන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් ඉතා අයහපත් නොවෙතත්, ඉක්මණින් හෝ තරමක් ප්‍රමාද වී හෝ එම තත්ත්වය අප රට කෙරෙහි ද බලපානු නොවැළැක්විය හැකිය. ඒ නිසා සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කළයුතු ප්‍රතිපත්ති මොනවාදැ”යි හරිහැටි හඳුනා ගනිමින් ඒවා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතුය.

ප්‍රධානම දේ අපි අපගේ විදේශ මුදල් සංචිතය තරකර ගත යුතුය. තේරුමක් නැති ආනයනයන් කපා හැරිය යුතුය. සංක්‍රාම ආදායම වර්ධනය කරගැනීමට හේතුවන පියවර ගත යුතුය. ආනයන වියදම් කපාහැරීමේදී මෝටර් රථ ආනයනය කපා හැරිය හැකිය. පලතුරු ආනයනය මුළුමනින් කපාහැරිය හැරිය. චොක්ලට්, චීස්, කෝඩියල්, සිරප්, බිස්කට් වර්ග වැනි දේ ද ආනයනය කිරීම නැවැත්විය හැකිය. ග්‍රෙනයිට්, ටයිල් වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය ද කපාහැරිය හැකිය. විස්කි, බ්‍රුන්ඩි වැනි විදේශීය නිෂ්පාදිත මත්පැන් ආනයනය නතර කළ හැකිය. මේ හැමදෙයක් සඳහාම යොදා ගතහැකි හොඳ දේශීය ආදේශකයන් තිබෙන අතර, එවැනි අනවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවීම මගින් විදේශ විනිමය ඉතිරි කරගත හැකි අතර, එවැනි පියවරක් එවැනි අංශවල දේශීය නිෂ්පාදකයන්ගේ වර්ධනයට ද හේතුවේ. මෙවැනි අර්බුදයක් නොතිබුණු අවස්ථාවක පවා සමහර ඥාණවන්ත රටවල් කෙටි දුර ගමන් සඳහා පාපැදි භාවිතය ධෛර්යමත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

එහෙත් ශ්‍රී ලංකාව පාපැදි භාවිතය අධෛර්යමත් කොට මෝටර් වාහන භාවිතය ධෛර්යමත් කළේය. පාපැදි භාවිතය පරිසර දූෂණය අවම කරන අතර, ජීවන වියදම අවම තත්ත්වයක තබාගැනීමට ද ආධාර කරයි. ආර්ථික කඩා වැටීමක් තිබියදීම අද බටහිර ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ පිටතින් පැමිණෙන ශාස්ත්‍රාලීය උගතුන්ට නොව, පුහුණු කාර්මිකයන්ටය. වඩුවන්, පෙදරේරුවන්, වෙල්ඩින්කරුවන්, පයිප්ප කාර්මිකයන් වැනි පුහුණු ශිල්පීන්ට විශාල ඉල්ලුමක් ඇති අතර, ඔවුන්ට ගෙවන වැටුප් ද ඉහළ මට්ටමක පවතී. ලංකාවේ තාක්ෂණ හා කාර්මික විද්‍යාල ඒ සඳහා 500කට වැඩි පිරිසක් පුහුණු කර ඇතත්, බටහිර රටවලට අවශ්‍ය අවම ඉංග්‍රීසි දැනුම ඔවුන්ට නැතිකම නිසා ඔවුන්ට එම රටවල තිබෙන රක්ෂා ඉඩ ප්‍රස්ථා හිමිකර ගැනීමට තිබෙන පුළුවන්කම අහිමි වී තිබේ. දැනට පුහුණු වී සිටින සාත්තු සේවිකාවන්ට ද මේ සාධකමය බලපා තිබේ.

පුහුණුව ලබා සිටින ඒ සියලුදෙනාට බටහිර රටවලට යෑමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ගේ ආර්ථික ජීවිත යහපත් කළ හැකි අතර, ශ්‍රී ලංකාව උපයන සංක්‍රාම ආදායම ද වර්ධනය කරගත හැකිය. මේ අර්බුදයේදී අපේ ආරක්ෂාවට තිබෙන ලොකුම දේ වනුයේ කෘෂිකර්මයයි. අපේ රටේ ආහාර අප ම නිපදවා ගන්නා අතර, ලෝක වෙළෙඳපොළ සඳහා අපට නිපදවිය හැකි ආහාර වර්ග හඳුනා ගනිමින් අපනයනය සඳහා එළවළු හා පලතුරු වැනි ආහාර නිපදවන වැඩපිළිවෙලක් මගින් රටට හොඳ විදේශ විනිමය ආදායමක් සඳහා පෞද්ගලික අංශය ධෛර්යමත් කරන පිළිවෙතක් ආණ්ඩුවට ආරම්භ කළ හැකිය. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශවල සේවය කරන සේවකයන් ඔවුන්ගේ නිවෙස්වලට කිට්ටුම ශාඛාවේ වැඩකිරීමට ඉඩ ලබාදෙන මාරු ප්‍රතිපත්තියක් ඇති කිරීමෙන් ඈත ප්‍රදේශවල වැඩ කරන සේවකයන්ට ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සඳහා දරන වියදම් සීමා කළ හැකි අතර, ඒ නිසා ඉතිරි වන කාලය ඔවුන්ට ඒ මගින් වෙනත් ආර්ථික කාර්යයක් සඳහා ද යොදාගත හැකිය.

මේ මහා අර්බුදය තුළ පවා සැඟවුණු ඉඩ ප්‍රස්ථා පවතී. ඒවා හරිහැටි හඳුනාගෙන ඒ වෙනුවෙන් ශක්තිය යොමු කරන තැනකට යා හැකි නම් අර්බුදය මගින් ඇතිකර තිබෙන අඳුර ආලෝකයක් බවට පත් කරගත හැකිය.