එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දී තිබෙන අර්බුදය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයට ආවේණික විකාරරූපී ස්වරූපය ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශ කෙරෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. පසුගිය සතියේ සිරිකොත පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හා දේශපාලන කමිටු සාකච්ඡාවේදී එජාපයේ බලවත් පිරිසක් පක්ෂ නායකත්වය අත්හරින ලෙස රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය. රුක්මන් සේනානායක කතා කරමින් ඩඩ්ලි සේනානායක අනුගමනය කළ ප්‍රතිපත්තිය ආදර්ශයට ගන්නා ලෙසත්, විරුද්ධ පක්ෂ නායකත්වයේ ඉඳිමින් පක්ෂ නායකත්වය අත්හැර පක්ෂ නායකත්වය කරු ජයසූරියට දී එස්.බී. දිසානායක හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනා නියෝජ්‍ය නායකයන් බවට පත්කරන ලෙසත් ඉල්ලා සිටියේය. දොස්තර ජයලත් ජයවර්ධන කීවේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය අත්නොහරින්නේ නම්, තමා ඉදිරි මැතිවරණයට තරග නොකරන බවය.
සජිත් ප්‍රේමදාස කීවේ නායකත්වයේ ඉක්මන් වෙනසක් පක්ෂයට අවශ්‍ය වී තිබෙන බවත්, එය අද හෙට සිදුනොවන්නේ නම් පක්ෂයට අනාගතයක් නැති බවත්ය. එස්.බී. දිසානායක කීවේද මහජනයා අතර රනිල්ට පිළිගැනීමක් නැති බවය. පක්ෂ නායකයාගේ ආරක්ෂාව සඳහා ඍජු ලෙස පෙනී සිටියේ වජිර අබේවර්ධන හා රේණුකා හේරත් පමණක් වුවත්, සාකච්ඡාව අවසන් වූයේ කිසිදු තීරණයකින් තොරවය. පක්ෂ නායකයා වෙනස් කිරීමේ බලයක් පක්ෂයට නැත. රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තෙන් පක්ෂ නායකත්වය අත්හරින්නේ නම් පමණක් අලුත් පක්ෂ නායකයකු තෝරාගත හැකිය. අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය තුළත්, පක්ෂ අතර බලය සඳහා තරගයක් පවතී. විධායක බලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය පක්ෂ අතර තරගය අභ්‍යාස කෙරෙන ප්‍රධානම මැතිවරණය ලෙස සැලකිය හැකිය. එම මැතිවරණයෙන් ජයගන්නා පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණය සේම අන් මැතිවරණ ද ජයගත හැකිය.
බලය සඳහා තරග කරන ප්‍රධාන පක්ෂවල නායකයා ලෙස සැලකෙන්නේ ද ජනාධිපති අපේක්ෂකයන්ය. 1994 දී පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු රනිල් ජනාධිපතිවරණ දෙකකට තරග කොට පරාජය විය. තවදුරටත් පක්ෂ නායකත්වයේ ඉන්නේ නම් 2009, 2010 හෝ 2011 පැවැත්වෙන ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයා වන්නේද රනිල්ය. රනිල් තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතුද යන ප්රශ්නය දැන් එම පක්ෂය තුළ මතුවී තිබෙන අර්බුදයට බලපා තිබෙන මූලික හේතුව වී තිබේ. මේ ප්රශ්නය මීට පෙර ද මේ තරම්ම බලවත් ලෙස නොවූවත් අඩු බලවත්කමකින් යුතුව මතුවිය. එහෙත් තමන්ට එරෙහිව මතුවූ එම කැරැල්ල පරාජය කොට තම නායකත්වය ආරක්ෂා කරගැනීමට රනිල් සමත් විය. පක්ෂයට බලය ලබාදෙන්නේ පක්ෂ නායකයාය. බලය ලබාගත යුතුව තිබෙන්නේ ජනාධිපතිවරණයක් හරහාය. 1994 ජනාධිපතිවරණයට රනිල් තරග නොකළේය. එම ජනාධිපතිවරණයට පක්ෂයේ කවුරු තරග කළත් එය ජයගත නොහැකි බව එම පක්ෂය දැන සිටියේය.
එහෙත් 1999 පැවති ජනාධිපතිවරණය කෙරෙහි පක්ෂය බලාපොරොත්තු ඇති කරගෙන සිටියේය. එය ජයගත නොහැකි වුවත් ඊළඟ ජනාධිපතිවරණයේදී නම් නොවැරදීම ජය තමන්ට ලැබෙනු ඇති බව පක්ෂය පමණක් නොව, රනිල් වික්‍රමසිංහ ද විශ්වාස කළේය. එහෙත් ජයගැනීමට වැඩි ඉඩක් තිබූ එම තරගයෙන් ද රනිල් පරාජයට පත්විය. එම ජනාධිපතිවරණයෙන් ජයගත් ප්රතිපක්ෂ නායකයා 2005 ජයග්රහණයෙන් පසු සිටි තත්ත්වයටත් වඩා බලවත් තත්ත්වයක් හිමිකරගෙන සිටින තත්ත්වයක් තුළ ඊළඟ ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයකු කෙරෙහි බලාපොරොත්තු ඇති කරගැනීමට එම පක්ෂයට සිදුවී තිබේ. මෙම දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය බලය නැතිව දේශපාලන පක්ෂයකට සාර්ථක ලෙස පැවතිය නොහැකිය. මැතිවරණ සඳහා වැය කළ විශාල මුදල් උපයා ගත හැක්කේ රාජ්‍ය බලය ඇත්නම් පමණය. ණයකරුවන්ගෙන් ලබාගත් විශල ණය පියවිය හැක්කේ ද රාජ්‍ය බලය ඇත්නම් පමණය.
පක්ෂයට පමණක් නොව, පාක්ෂිකයන්ටද ජවයක් ඇතිවන්නේ ජයග්‍රහණයක් පෙනෙන්නට ඇත්නම් පමණය. මැළැවෙමින් තිබෙන පක්ෂයට නව ප්රබෝධයක් ලබාදීමට නම් පක්ෂයට ජයග්‍රාහී පෙනුමක් දීමට සමත් නව පක්ෂ නායකයකු පක්ෂයට අවශ්‍ය වී ඇතැ”යි ඔවුහු සිතති. තමන්ගේ ගැලවුම්කරුවා විය හැක්කේ කව්ද යන්න ඔවුන්ට හරිහැටි පැහැදිලි නැතත්, රනිල් සමග නම් ඉදිරියට යා නොහැකි බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. එහෙත් මන්ත්‍රීවරුන් කෑගැසූ පමණින් නායකත්වය අත්හැරයෑමට රනිල් සූදානම් නැත. රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වන විට එජාපයේ ජනාධිපති රනිල්ය. රටේ පරම බලය ජනාධිපති අත තිබෙන්නා සේ පක්ෂයේ පරම බලය තිබෙන්නේ රනිල් අතේය. පක්ෂ නායකයා තීරණය කරන්නේ පාක්ෂිකයන් නොව පක්ෂ නායකයාය. දේශපාලන ක්‍රමය සකස් වී ඇත්තේ පක්ෂ නායකත්වයට පත්වන පුද්ගලයෙකුට තමන් මැරෙන තෙක් හෝ තමන් කැමති තෙක් නායකත්වයේ රැඳී සිටිය හැකි ආකාරයටය.
පක්ෂ නායකයා මළ පසු නව පක්ෂය නායකයකු තෝරන ක්‍රමයක් මිස, කොතරම් දුර්වල විය හැකි වුවත් නායකත්වයේ සිටින පුද්ගලයෙකු නායකත්වයෙන් ඉවත් කරන ක්‍රමයක් පක්ෂ එම ව්‍යවස්ථාවේ නැත. රනිල් වික්‍රමසිංහ වර්තමානයේ රඟපාන භූමිකාවට සමාන භූමිකාවක් 1977 න් පසු සිරිමා බණ්ඩාරනායක මැතිනිය රඟපෑවාය. ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසුත් ඇය පක්ෂ නායකත්වය අත්නොහැරියාය. පක්ෂ නායකත්වය වෙනස් කිරීමට ක්‍රියාත්මක වූ හැම කැරැල්ලක්මත් පක්ෂ ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී තිබුණු පරම බලය ප්‍රයෝජනයට ගනිමින් කුඩුපට්ටම් කළේය. ජේ.ආර්. ජයවර්ධන රනිල් වැඩියෙන්ම ප්‍රිය කරන දේශපාලකයාය. ඔහු නෑකමින් රනිල්ගේ මාමාය. රටේ පවතින මෙම අපූරු දේශපාලන ක්‍රමය නිර්මාණය කළ නිර්මාපකයා ඔහුය. රනිල් මේ මොහොතේ ජේ.ආර්. (සිය මාමා) ආදර්ශයට ගනු නොඅනුමානය. ජේ.ආර්. ලිස්සන ගහේ මුදුනට නැග ගත්තේ හැත්තෑ එක්වන වියේදීය.
එම ධර්මතාව තමාට අදාළ නොවන්නේ ඇයිදැ”යි රනිල් කල්පනා නොකරන්නේ නම් එය පුදුමයකි. ඔහුට මෙසේ කල්පනා කළ හැකිය. ““මම 1999දී පැරදුණෙමි. 2005 දීත් පැදුණෙමි. 2011දීත් පැරදිය හැකිය. එහෙත් ධෛර්යසම්පන්නව නායකත්වය අත්නොහැර අල්ලාගෙන සිටීමට හැකිවෙතොත්, 2017 දී ජයග්‍රාහකයා විය හැකිය. එවිට මගේ වයස අවුරුදු 68 කි. මාගේ මාමා ලිස්සන ගහේ මුදුනට නැග ගත්තේ අවුරුදු 71දීය. මම එතැනට එන්න යන්නේ අවුරුදු 68දීය. මගේ මාමාට වඩා අවුරුදු 3කට කලිනි. ඉන්පසු මගේ මාමා මෙන් තරුණ ඇමතිවරුන් පිරිසක් පිරිවරාගෙන මම අවුරුදු 12 ක් එක දිගට රට පාලනය කරමි.”” අවුරුදු 8කට පසුව එළඹෙන්නට නියමිත එම වසන්තය වෙනුවෙන් කවුරු විරුද්ධ වුවත් තමා පක්ෂ නායකත්වය අත්නොහරින්නේයැ”යි රනිල් කල්පනා කළහොත් ඊට එරෙහිව පක්ෂයට කළහැකි දෙයක් නැත. අවසාන විග්රහයේදී පක්ෂය ලෙස සැලකෙනුයේ ප්‍රමාණය කොතරම් වුවත් රනිල් සමග සිටින අයවලුන්ය.
රනිල් එළවන්නට හෝ අන් සියලු දේට පෙර ශිෂ්ටසම්පන්න ව්‍යවස්ථාවක් ඇති කරගැනීමේ වැදගත්කම එම පක්ෂය තේරුම් ගත යුතුය. පක්ෂය තුළ සැබෑ වෙනසක් ආරම්භ වනු ඇත්තේ එවිටය.