මූලික නීතියට ගරු නො කරන රටක් නීතිගරුක රටක් වන්නේ කෙසේ ද?

October 29, 2026
Publication:
A constitution is a country's basic law, violating it is the gravest of impeachable offences, and a country that does not respect it cannot be called civilised in the political sense. The 17th amendment was passed unanimously, and the fate that has overtaken it is tragic: the first head of state to act in disregard of it, then the collapse of the Judicial Service Commission when two of its three members walked out.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන්නෙන් අදහස් වන්නේ රටේ මූලික නීතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සැලකෙන්නේ ඉතා බරපතළ දෝෂාභියෝගාත්මක වරදක් ලෙස ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නො කරන රටක් දේශපාලන අර්ථයෙන් ශිෂ්ටසම්පන්න රටක් ලෙස සැලකිය නො හැකි ය.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කරගැනීම සඳහා සකස් කෙරුණ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ ඒකඡන්දයෙනි. එහෙත් මේ වන විට එම ව්‍යවස්ථා සංශෝධනයට අත්වී තිබෙන ඉරණම ඛේදජනක ය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය නො සලකා ක්‍රියා කළ පළමු රාජ්‍ය නායිකාව ලෙස සැලකිය හැක්කේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම සඳහා නම් කළ නාමලේඛනයට ඇතුළත් එක් පුද්ගලයෙකුට ඇය චෝදනා කරමින් එම නාමලේඛනය අනුමත කිරිමෙන් වැළකී සිටියා ය. ව්‍යවස්ථා සභාව ජනාධිපතිනිය එම පුද්ගලයාට එල්ල කළ චෝදනාවේ හරි වරද සොයා බැලීමෙන් පසු එහි කිසිදු සත්‍ය පදනමක් නොවීම නිසා ව්‍යවස්ථා සභාව නැවත වරක් එම නාමලේඛනය ජනාධිපතිනිය වෙත යවනු ලැබූවත් ජනාධිපතිනිය ඊට අනුමැතිය දුන්නේ නැත. ඒ නිසා මැතිවරණ කොමිසම කවදාවත් පිහිටුවනු නොලැබූ කොමිසමක් බවට පත්විය.

එම විශේෂිත ප්‍රශ්නයේ දී පාර්ලිමේන්තුව ද කට අයාගෙන නිකම්ම බලා සිටියා මිස අඩු ම වශයෙන් එම ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ සංවාදයකට ලක් කිරීමක්වත් සිදු නො වී ය. ආණ්ඩු පක්ෂය අතින් වරදක් සිදුවන විට එය පෙන්වා දිය යුත්තේ විරුද්ධ පක්ෂය යි. එහෙත් මැතිවරණ කොමිසම නොපිහිටුවීම පිළිබඳ ප්‍රශ්නයේ දී විරුද්ධ පක්ෂය ද බකන් නිලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය.

ඉන්පසු පළමු ව්‍යවස්ථා සභාවේ නිල කාලය අවසන්වීමෙන් පසු දැන් දිර්ඝ කාලයක් යන තෙක් ව්‍යවස්ථා සභාව නො පිහිටුවීම නිසා ඒ සමග කල් ඉකුත් වූ කොමිෂන් සභා දෙකක පැවැත්ම ද අහෝසි විය. ඉන්පසු පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ බලතල විෂය භාර ඇමතිවරුන් අතට ගත්තේ ය. ඒ මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවී ඇතත්, ඒ ගැන ද දේශපාලන පක්ෂ මුළුමනින් නිහඬ ය.

ඉන්පසු අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් අධිකරණයේ ප්‍රධානියාට අනියම් ලෙස චෝදනා කරමින් අධිකරණ කොමිෂන් සභාවෙන් ඉවත්වීම නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පැවැත්ම ද අහෝසි විය. හිතට එකග ව කටයුතු කිරීමට ඉඩක් නැති බව ප්‍රකාශ කරමින් අධිකරණ සේවා කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්වීමේ සිද්ධිය පරික්ෂා කරන ලෙස නීතීඥ සංගමය ද විද්වත් වෘත්තිකයන්ගේ සංගමය හා එම විෂය ගැන උනන්දුවක් දක්වන වෙනත් සංවිධාන ගණනාවක් ද ඉල්ලා සිටියත්, ඔවුන් නගන ලද හඬට පාලක පක්ෂය හෝ පාර්ලිමේන්තුව සවන් දුන්නේ නැත.

ඉන්පසු අගවිනිසුරුවරයා එම පුරප්පාඩු සඳහා වෙනත් විනිසුරුවරුන් දෙදෙනෙකු ගේ නම් නිර්දේශ කරන ලද අතර, ජනාධිපතිවරයා එම නම් අනුමත කළේ ය.

මේ ආකාරයට ඉහළ ම තත්ත්වයක සිටින සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරත් නම් එවැනි රටක් නීතිගරුක රටක් ලෙස සැලකිය හැක්කේ කෙසේ ද?

අද දක්වා ම ව්‍යවස්ථා සභාවක් පත් කිරීමට නොහැකිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල වගකීමෙන් තොර ස්වභාවයයි. රටක් එවැනි තත්ත්වයකට ඇද වැටුණ විට ඒ රට පරිහානියට පත්වීම නො වැළැක්විය හැකි ය.