මැතිවරණයෙන් ඉදිරියට

July 31, 2011
Publication:
The results of the elections for 65 local bodies show that no decline or collapse has yet happened in public confidence in the Rajapaksa coalition government. With the faults and weaknesses of its administration plainly visible, the public have still chosen, among the alternatives open to them, the one that approves it.

පළාත් පාලන ආයතන 65ක් සඳහා පැවති මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කැරෙන්නේ රාජපක්ෂ සන්ධාන ආණ්ඩුව කෙරෙහි වන මහජන විශ්වාසයේ පිරිහීමක් හෝ බිඳ වැටීමක් තවමත් ඇතිවී නැති බවය. ආණ්ඩුවේ පාලනයේ පැහැදිලිව දැකිය හැකි වැරදි හා දුර්වලතා ද තිබියදී මහජනයා තමන්ට තිබුණු විකල්ප අතුරින් මහින්ද රාජපක්ෂ පාලනය අනුමත කරන විකල්පය තෝරාගෙන තිබෙන බව පෙනේ. රටේ පවතින දේශපාලන ක්‍රමය අනුව පළාත් පාලන මැතිවරණයක් මුළුමනින් ජයගැනීමේ හැකියාව විරුද්ධ පක්ෂයට නැතත්, තමන් බලවත් දේශපාලන විකල්ප බව පෙන්නුම් කිරීමටවත් එජාප හෝ ජවිපෙ සමත්ව නැත. මේ පක්ෂ දෙකම ලබාගෙන ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද අනුපාතිකයන්ට වඩා අඩු ඡන්ද අනුපාතිකයකි.

ශ්‍රී ලංකාව ඉන්නේ ජාත්‍යන්තර තලයේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින තත්ත්වයකය. ඒ අර්ථයෙන් මෙම ඡන්ද ප්‍රතිඵලය ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවේ මහජනයා විසින් දෙන ලද පැහැදිලි පණිවුඩයක් ලෙසද සැලකිය හැකිය. මහජනයා විසින් ලබාදී තිබෙන එම වාසිදායක තත්ත්වය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම ආණ්ඩුවේ වගකීමකි. ශ්‍රී ලංකාව ලෝකය සමග කෝපයෙන් රණ්ඩු කරන තැනකට යායුතු නැත. දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ ශ්‍රී ලංකා විරෝධී බලවේගයන් ඇති කර තිබෙන අවුල සන්සුන් මනසින් යුතුව හා බුද්ධිමත්ව ලිහාගත යුතුව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව මුළු වැර යොදා ක්‍රියාකරන තැනකට යායුතුය. ලැබී තිබෙන ජනවරම අර්ථවත් වනු ඇත්තේ එවිටය.

දෙමළ ජනතාවගේ සැබෑ දේශපාලන නියෝජිතයන් කව්ද යන ප්‍රශ්නයටද මෙම මැතිවරණයෙන් පැහැදිලි පිළිතුරක් ලැබී තිබේ. ඒ අනුව දෙමළ ජනතාවගේ පිළිගත් නියෝජිතයා වන්නේ දෙමළ සන්ධානයයි. දෙමළ ජනයා ඒ පිළිබඳව දී තිබෙන තීන්දුවට ආණ්ඩුව සේ ම සිංහල ජනයා ද ගරු කළ යුතුය. දෙමළ ජනයාගේ නියෝජිතයන් විය යුත්තේ කව්ද යන්න තීන්දු කළයුතුව තිබෙන්නේ ආණ්ඩුව විසින්වත් සිංහල ජනතාව විසින්වත් නොව දෙමළ ජනතාව විසින්ය. දැන් ඔවුන් එය තීන්දු කර තිබෙන නිසා දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී ආණ්ඩුව තමන් සමග සිටින දෙමළ දේශපාලන කණ්ඩායම් සමග නොව, දෙමළ සන්ධානය සමග ගනුදෙනු කරන තැනකට යායුතුය. ඒ බව ආණ්ඩුව පිළිගත යුතුවා පමණක් නොව, ඒ බව ප්‍රකාශ කිරීමටද මැලි නොවිය යුතුය.

අනවශ්‍ය බාහිර බලපෑම්වලට ඉඩ ලැබී ඇත්තේ බාහිර කෙරෙන් බලපාන නොවිසඳුණු අභ්‍යන්තර ප්‍රශ්න තිබෙන නිසාය. ඒ තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ ජනවර්ග ප්‍රශ්නය හා තව තව කුණුවෙන්නට ඉඩ නොදී සියලුදෙනාගේ ගෞරවයට හේතුවන ලෙස එය විසඳා ගැනීමෙනි. ඒ සඳහා සුදුසු වටාපිටාවක් ඇති කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටය. ආයුධ අත ඇතිව සිටින දෙමළ කල්ලි නිරායුධ කළ හැකිය. එසේ කරන බව ආරක්ෂක ලේකම්වරයාද මැතිවරණයෙන් පසු පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක හමුදාවන්ගේ දර්ශනයද අඩු කළ හැකිය. එම ප්‍රදේශවල හමුදාව බැරක්කවලට යවා සිවිල් ආරක්ෂක කටයුතුවල සම්පූර්ණ වගකීම පොලීසියට භාරදිය හැකිය. හදිසි නීතියද ඉවත් කළ හැකිය. අත්අඩංගුවේ සිටින්නන් පුනරුත්ථාපනය කොට නිදහස් කිරීමේ ක්‍රියාවලියද වේගවත් කළ හැකිය. යුද්ධ කාලයේ සීමාව ඉක්මවා ගිය වැරදි සිදුවී ඇත්නම් ඊට අදාළව ලැබෙන පැමිණිලි ගැන සොයා බලන විශ්වාසයට හේතුවන යාන්ත්‍රණයක් ඇති කළ හැකිය.

ඒ සමග දෙමළ ප්‍රශ්නයට දියයුතු දේශපාලන විසඳුම කුමක්ද යන්නද බැ?රුම් ලෙස සලකා බලන තැනකට යා හැකිය. ඒ සඳහා දෙමළ සන්ධානය සමග සාකච්ඡා කරන තැනකට යා හැකිය. රටට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන සේ ම රටේ සියලු ජනයාගේද විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමකි.