වගා සංග්‍රාමය

August 7, 2011
Publication:
Whatever it is officially called, the government has begun the second stage of its cultivation campaign. In the first stage a small packet of fertiliser with a few kinds of seed was given out among people interested in home gardening, and it was heard from various places that the seed was not good and that only a small part of it germinated; in the second, fruit and vegetable plants were given.

හැඳින්වෙන නිල නාමය කුමක් වුවත් ආණ්ඩුව සිය වගා සංග්‍රාමයේ දෙවැනි අදියර ආරම්භ කර ඇති බව පෙනේ. පළමු අදියරයේදී ඇට වර්ග කිහිපයක් සමග පුංචි පොහොර පැකැට්ටුවක් ගෙවතු වගාවට උනන්දුවක් ඇති අය අතර බෙදා දුන්නේය. ලැබුණු බීජ හොඳ බීජ නොවන බවටත් පැළවූයේ දෙන ලද බීජවලින් සුළු ප්‍රමාණයක් පමණක් බවටත් තැන් තැන්වලින් අසන්නට ලැබුණි. දෙවැනි අදියරේ පලතුරු පැළ හා එළවළු පැළ ලබාදෙන ලදි. කොතරම් සීමිතකම් තිබුණද මෙම වැඩසටහන ගෙවතු වගාව සඳහා ග්‍රාමීය මහජනයා අතර උද්යෝගයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. ආණ්ඩුව මෙම වැඩසටහනින් අපේක්ෂා කරන්නට ඇත්තේද එයමය.

77 ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව ග්‍රාමීය ප්‍රදේශවල වගා කිරීමට ඉඩම් තිබෙන දුප්පත් මිනිස්සු පවා එම ඉඩම්වල වගාකිරීමෙන් වැළකී සිටියෝය. මා ජීවත් වන ගමේ 77ට පෙර එළවළු කොරටු කරන මිනිස්සු සිටියෝය. නගරයේ එළවළු වෙළෙන්දෝ ඒ කොරටුකාරයන් සොයාගෙන ගමට ආවෝය. එහෙත් 77න් පසු ගමේ එළවළු කොරටු සංස්කෘතිය බිඳ වැටුණි. ගම්මුන් සිය ඉඩම්වල එළවළු වගාකරනවා වෙනුවට නගරයට ගොස් එළවළු මිලදී ගන්නා සංස්කෘතියක් ඇතිවිය. ඒ නිසා දුප්පත් මිනිසුන් පවා තමන්ට තිබෙන ඉඩම්වලින් නිසි ප්‍රයෝජන නොලබන තත්ත්වයක් ඇතිවිය. එහෙත් දැන් ඒ තත්ත්වය නැවත වෙනස්වෙමින් තිබෙන බව පෙනේ. නැවත වගා කිරීම සඳහා අලුත් උද්යෝගයක් ඇතිවී තිබෙන බව දැකිය හැකිය. එය යහපත් නැඹුරුවක් ලෙස සැලකිය හැකිය.

මහජනයා ගොවිතැනට උනන්දු කරවීම හොඳ දෙයකි. එහෙත් එහිදී ආණ්ඩුවට මහජනයාට දියහැකි ආදර්ශයක් ඇත්තේය. රට පුරා ආණ්ඩුවට අයත් ගොවිපොළ විශාල සංඛ්‍යාවක් ඇත්තේය. ඒ හැම ගොවිපොළකටම කිසියම් විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙන අතර යටිතල පහසුකම් සේ ම ආණ්ඩුවෙන් පඩි ලබන සේවක පිරිසක්ද සිටින්නේය. මේ හැම ගොවිපළක්ම සරුසාර, ලාභ ලබන, මහජනයාට ආදර්ශයට ගත හැකි ගොවිපොළ බවට පත් කරන වැඩසටහනට ආණ්ඩුවට අත ගැසිය හැකිය. දැනටත් ආණ්ඩුවේ ගොවිපොළ අතර හොඳ ගොවිපොළ තිබෙනවා විය හැකිය. ඒ සමග නරක ගොවිපොළ ද ඇත්තේය.

මම මෑත දිනකදී නුවර ගිය අවස්ථාවකදී ගන්නෝරුවේ ඇට හා පැළ විකුණන වෙළෙඳ කුටි බලන්නට ගියෙමි. හදබිම අධිකාරිය පවත්වාගෙන යන වෙළෙඳ ප්‍රදර්ශන කුටියේ තොග ගණන් ගැනීමක් සිදුවෙමින් තිබුණු නිසා එදින එම භූමිය මහජනයාට වසා තිබුණි. ඒ නිසා එය අත්හැර අනෙක් කුටි බලන්නට සිදුවිය. ඒවා දැකීමෙන් මා තුළ ඇතිවූයේ ප්‍රබෝධයක් නොව කලකිරීමකි. විකුණන්නට තිබෙන පැළ දෙස බැලීමෙන් පමණක් වුවත් ඊට ලබාදී තිබෙන සැලකිල්ලේ ප්‍රමාණය තේරුම් ගත හැකිය. සමහර ප්‍රදර්ශන පැළ කුටි ඇතුළත පැළ වෙනුවට තිබුණේ පැරණි ලෑලි ගොඩවල්ය. එක් ප්‍රදර්ශන කුටියකට ගිය විට එහි ඇතුළත කිසිවකු සිටින බව පෙනෙන්නට නොතිබුණි. එහි භාර නිලධාරියා කොහේ හෝ සිට ඒ ස්ථානයට පැමිණියේ විනාඩි 10ක් පමණ ගතවූ පසුය. ඔහුට පැළ විකිණීමේ කිසිදු උනන්දුවක් තිබෙන බවක්ද පෙනෙන්නට නොතිබුණි. ස්ථානය පිරිසිදු තත්ත්වයක නොතිබුණු අතර එහි තිබුණු පැළද සිත්ගන්නා තත්ත්වයක නොතිබුණි.

ආණ්ඩුව මහජනයා ලවා වගා කරවන්නට පෙර ආණ්ඩුවේ වියදමින් පවත්වාගෙන යන ගොවිපොළ සශ්‍රික, කාර්යක්ෂම හා මහජන හිතකාමී ආදර්ශ ගොවිපොළවල් බවට පත් කළ යුතුය. ඒ හැම ගොවිපොළකම පඩි ලබන නිලධාරීන් හා සේවක පිරිසක් සිටින නිසා ඒ අරමුණ කරා ළඟාවීම දුෂ්කර විය නොහැකිය.

මීට කලකට පෙර ලබුදූව ගොවිපොළේ වෙළෙඳ කුටිය ඉතා අනර්ඝ හා ආකර්ෂණීය තත්්ත්වයක තිබුණි. අධිශීතකරණවල පල් නොකළ කුකුළු මස්, එළු මස්, ඌරු මස් වැනි මස් වර්ගද, අලුත් එළවළු හා පලතුරු වර්ගද, එළකිරි, එළුකිරි, මීකිරි වැනි කිරි වර්ගද ගොවිපළේ පළුදු වන බිත්තර යොදාගෙන නිපදවූ අනර්ඝතත්ත්වයේ ලා සැලකිය හැකි කේක් හා වටලප්පන් ද තිබුණි. මෙම වෙළෙඳ කුටියට විශාල අලෙවියක් තිබුණි. බඩු මිලදී ගැනීමට ලොකු පෝලිමක ඉඳීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. මොකක් හෝ දේශපාලන ඇඟිලි ගැසීමක් නිසා කළමනාකරු වෙනස් වී වෙළෙඳ කුටියද භාණ්ඩ නැති මැස්සන් ඇහිරෙන තැනක් බවට නැවත පත්විය. මොනයම් හේතුවක් නිසා හෝ එම තත්ත්වයේ දැන් වෙනසක් සිදුවී තිබෙන බව පෙනේ. තිබුණු පරණ තත්ත්වයටම දියුණු නැතත්, නැවත හොඳ අලුත් මස් වර්ග, එළවළු හා පලතුරු වර්ග මිලදී ගත හැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

ආණ්ඩුවේ හැම ගොවිපොළක්ම එවැනි තත්ත්වයකට ගෙනා හැකිය. ගෙනා යුතුය. ඒ වගකීම කරට ගතයුත්තේ ආණ්ඩුවය. ආණ්ඩුවේ හැම ගොවිපොළක්ම සමෘද්ධිමත්, ආදර්ශ ගොවිපොළවල් බවට පත්කරන අතර හොඳ පැළ හා බීජ සපයන, වගා කිරීමට උනන්දුවක් දක්වන මහජනයාට උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙන, එළවළු වර්ග, පලතුරු වර්ග, මස් වර්ග හා බිත්තර වර්ග සපයන මධ්‍යස්ථාන බවට පත්කළ හැකිය. අවශ්‍ය නම් ඒවා ගොවිපොළේ නිෂ්පාදන පමණක් නොව ප්‍රදේශයේ ගොවීන්ගේ ගොවි නිෂ්පාදන ද විකුණන විකුණුම් මධ්‍යස්ථාන බවට පත් කළ හැකිය. ආණ්ඩුවට මහජනයාට දිය හැකි ආදර්ශය එයයි.

ආණ්ඩුවේ කිතුල් ප්‍රතිපත්තිය යහපත් හා වැඩදායකය. දැන් බලපත්‍ර ලබාගැනීමකින් තොරව කිතුල් මැදිය හැකිය. කවලම් කළ කිතුල් පැණි හා හකුරු වෙනුවට වැඩි මිලකට කවලම් නොකළ අව්‍යාජ කිතුල් පැණි හා හකුරු නිපදවීමට නිෂ්පාදකයන් උනන්දු කළ යුතුය. වල් ඌරන්, රිලවුන් හා වඳුරන් හා, දඬු ලේනුන්ගෙන්ද සිදුවන හානිය ගැන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. වල් ඌරු ප්‍රශ්නයට තිබෙන හොඳම විසඳුම වල්ඌරු මස් ප්‍රවාහනයට පනවා තිබෙන තහනම ඉවත් කිරීමය. රිලවුන් වඳුරන් හා දඬුලේනුන් සම්බන්ධයෙන්ද සුදුසු දැඩි ප්‍රතිපත්තියකට යා යුතුව තිබේ.