අධිකරණය ජනමාධ්‍ය හා සමාජ-දේශපාලන යථාර්ථය

July 31, 2011
Publication:
Uvindu Kurukulasuriya, once a freelance writer for Ravaya, questioned Ivan's present silence on the burning questions of the judiciary in an article for the Sunday Leader on the 17th. He opened with something that interests the public: that the president, minister Basil Rajapaksa and the prime minister attended a reception at the home of Saliya Hettige on his appointment to the Supreme Court.

මීට කලකට පෙර රාවයේ නිදහස් ලේඛකයකු ලෙස ක්‍රියා කළ උවිඳු කුරුකුලසූරිය පසුගිය 17 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතට අධිකරණය ගැන ලියන ලිපියක් මගින් අධිකරණයේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ වර්තමානයේ මා දක්වන නිහඬ පිළිවෙත ප්‍රශ්න කිරීමකට ලක් කර තිබුණි. ඔහු ලිපිය ආරම්භ කර තිබුණේ මහජන උනන්දුවට හේතුවන කාරණයකිනි. එනම් මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූ සත්‍ය හෙට්ටිගේ මහතාගේ පත්වීම වෙනුවෙන් නිවසේ පැවති ප්‍රියසම්භාෂණ උත්සවයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමති බැසිල් රාජපක්ෂ හා අගමැති දි.මු. ජයරත්න යන දේශපාලන නායකයන් සහභාගි කරවා ගැනීමේ හරි වරද ගැනය.

මෙම ලිපියෙන් උවිඳු අධිකරණයේ වර්තමානයේ සිදුවන කටයුතු විවේචනයට ලක් කිරීමෙන් නොනැවතී අධිකරණයේ ස්වාධීනත්වය සඳහා සටන් කළ පුවත්පත් කතුවරයකු වශයෙන් මා මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු දැන් අධිකරණයේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිදැ”යි ප්‍රශ්න මතුකර තිබුණි.

උවිඳු නගන ලද ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතුයැ”යි මා කල්පනා කළේ ඒ ප්‍රශ්නයට ලැබෙන දේශපාලන හා මහජන වැදගත්කම පමණක් සලකා නොව, ඒ ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට ඉන් ලැබෙන අවස්ථාව ද සලකාය. උවිඳු මෙවැනි විවේචනාත්මක ලිපියක් ලියන විට තමා මෙම ලිපිය ලියන්නේ ශ්‍රී ලංකාවේ සිට නොව පිටුවහලේ සිට බව සිය ලිපියේ සඳහන් කළ යුතුව තිබුණි. සාමාන්‍යයෙන් මර්දනීය ආණ්ඩුවකට එරෙහිව දේශපාලන රැකවරණය මත විදේශ රටක සිට ලිවීම හා තම රටේ සිට ලිවීම එක සමාන වන්නේ නැත. එසේ පළකරන ලිපියකදී ලිපියේ නෛතික වගකීම පැවරෙන්නේ ද ලිපිය ලියන ලද ලේඛකයා මත නොව ලිපිය පළකරන පුවත්පත මතය.

අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් මා කිසියම් අරගලයක නිරත වී නම් එය ඉඳහිට පුවත්පතකට ලියන විවේචනයකට සීමාවූ දෙයක් නොවන බව පළමුවෙන්ම කිව යුතුය. එය මිනිත්තු කිහිපයක හෝ දින කිහිපයක අරගලයක් නොවීය. ඒ සඳහා ගතවූ කාලය දශකයකට ආසන්නය. අධිකරණයේ ඇසෙන නඩු ගැන වාර්තා කරනවා හැරුණු විට අධිකරණය විවේචනයට හෝ විචාරයට ලක් කරන ජනමාධ්‍ය සම්ප්‍රදායයක් ඊට පෙර රටේ නොතිබුණු බවද කිව යුතුය.

ප්‍රශ්නය තේරුම් කිරීම

අධිකරණය බරපතළ ලෙස ප්‍රශ්න කරන දිග්ගැසුණු ක්‍රියාදාමයකට මා තල්ලු වූයේ අහඹු සිද්ධියකිනි. මහේස්ත්‍රාත්වරයකු අතින් සිදුවී තිබුණු සනාථ කළ හැකි නොහොබිනා වරදක් මා වාර්තා කළේ සිදුවී තිබුණු එම වරද ඒ මගින් නිවැරදි කරගත හැකිවේය යන විශ්වාසයකිනි. එහෙත් අධිකරණ බලධාරීහු එම වාර්තාකරණය ඉදිරියේ අහක බලාගෙන සිටියෝය. වරද කළ මහේස්ත්‍රාත්වරයා නීතිපතිගේද සහාය ඇතිව මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා මට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. ඒ තත්ත්වය ඉදිරියේ මම මාගේ ආරක්ෂාව සඳහා මහේස්ත්‍රාත්වරයා පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බලන තැනකට තල්ලු වූයෙමි. ඔහු අධිකරණ සේවයට එකතුවීමට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර තිබුණු අතර තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචාවක් නිසා ඔහු සේවයෙන් පලවා හැර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන ලද පොලිස් පරීක්ෂණයෙන් මාගේ නිර්දෝෂීභාවයත්, මහේස්ත්‍රාත්වරයාගේ දූෂිත ස්වරූපයත් සනාථ විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා සිය පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත යැවීය. නීතිපති නීතිගරුක පුද්ගලයකු වී නම් ඔහු කළ යුතුව තිබුණේ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් සඳහා පරීක්ෂණ වාර්තාව අධිකරණ සේවා කොමිසම වෙත යොමු කිරීමය. ඒ වෙනුවට ඔහු කළේ ඔහුට මහේස්ත්‍රාත්වරයා සමග තිබුණු විවිධ සම්බන්ධකම් මත එම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය.

ඉන්පසු මා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව සටන් තැනකට ගියේ ද ඔහු මෙම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව හොඳින් තහවුරු කරගැනීමෙන් පසුවය.

සටනකට යන්නට පෙර මම නීතිපති ගැන කරුණු සොයා බලන තැනකට ගියෙමි. සොයාගන්නා ලද කරුණු ඒ මොහොතේදී මාගේද විස්මයට හේතුවිය. ඉන්පසු මම ඔහුට එරෙහිව සටන් කරන තැනකට ගියෙමි. මා ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද ප්‍රසිද්ධ චෝදනා අතර එක් බරපතළ චෝදනාවක් වූයේ රසායන ඉංජිනේරු ජයසේකර විසින් ඔහු සමවගඋත්තරකරුවකු කරමින් සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුවේදී තමන්ට වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා ඔහු සිය නිල බලය අයථා ලෙස පාවිච්චි කර තිබූ ආකාරයයි. ඒ වන විට ඔහු අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකුව සිටියේය. පසුව එහි සභාපති විය. දික්කසාද නඩුව විභාග කළ විනිසුරුවරයා ඔහු තිරය පිටුපස සිට මෙහෙයවා තිබුණි. නඩුව විමසූ විනිශ්චයකාරවරයා පැමිණිලිකාර ජයසේකර සම්බන්ධයෙන් අනුගමනය කර තිබූ ප්‍රතිපත්තිය නීතියට පටහැනි වූවා පමණක් නොව, අමානුෂික හා පීඩාකාරී ද වීයැ”යි කිව හැකිය.

අවසානයේ මට එකවිට පහළ අධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනකුට ද නීතිපතිට ද එරෙහිව බරපතළ චෝදනා එල්ල කරන තැනකට යන්නට සිදුවිය. ඒ සඳහා වන මගේ හඬ නැගීම අතනෑර එක දිගට කරගෙන යන්නක් බවට පත්වීම නිසා ඒ ගැන කුමක් කළ යුතුද යන්න තීන්දු කිරීම සඳහා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවීමට නීතිඥ සංගමයේ එවකට සිටි ප්‍රධානියාට (ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා) සිදුවිය.

ඔවුන්ගේ තීරණය වූයේ මා පහළ අධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව එල්ල කරන චෝදනා විභාග කළයුතු බවත්, ඒ සඳහා පවත්වන පරීක්ෂණයන්ගෙන් චෝදනා සනාථ නූනහොත් අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා මට එරෙහිව දැඩි දඬුවම් දිය යුතු බවත්, චෝදනා ඔප්පු වුවහොත් විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව දැඩි දඬුවම් දිය යුතු බවත් විනිසුරුවරුන් දෙදෙනාගේ චෝදනා ඔප්පු වුවහොත් පමණක් නීතිපතිට එරෙහිව මා නගා තිබෙන චෝදනා ගැනද සොයා බලන තැනකට යායුතු බවය. නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයට ඔවුන්ගේ එම නිර්දේශයන් එවකට හිටපු අගවිනිසුරුවරයාට දැනුම් දෙන ලදි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කර තිබුණු චෝදනා පරීක්ෂා කිරීම පිණිස අගවිනිසුරුවරයා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කළේය. එම පරීක්ෂණ දෙකේදී විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කළ චෝදනා සනාථ විය. විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවයෙන් ඉවත් කරන ලෙස පරීක්ෂණ කමිටු දෙක නිර්දේශ කර තිබුණද එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා කොමිසමට උනන්දුවක් තිබූ බවක් පෙනුණේ නැත.

මා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේ පරීක්ෂණ කමිටු දෙකේ කටයුතු අවසන් කිරීමෙන් පසුවය. නීතිපති සරත් නන්ද සිල්වා නීතිපති ධුරයේ තබා නීතිඥයකුගේ තත්ත්වයකවත් තබා නොගත යුතු තරම් දූෂිත පුද්ගලයකු බව සනාථ කිරීමට අවශ්‍ය තරම් කරුණු සනාථ වී තිබුණු අවස්ථාවකදීය.

නීතිපතිට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සම් දෙකේ චෝදනා පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ වන විට නීතිපති සිටියේ බෙල්ල හිරවෙන්න ආසන්න තත්ත්වයකය. ජනාධිපතිනියට සිය මිතුරා බේරාගැනීමට අවශ්‍ය වූ අතර ඇය ඒ සඳහා කළේ චෝදනාලාභී තත්ත්වයක සිටි නීතිපති අගවිනිසුරු ධුරයට පත්කිරීමය.

ඊළඟට මට අරගල කරන්නට සිදුවූයේ රටේ අගවිනිසුරුවරයා සමගය. නෛතික අර්ථයෙන් මට තෝරා ගැනීමට ඉතිරි වී තිබුණු එකම විකල්ප ක්‍රියාමාර්ගය වූයේ ඔහුගේ පත්කිරීම අභියෝගයට ලක්කරමින් ඔහුගේම පාලනය යටතේ පැවති ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමය. මා එසේ කළේ ඉන් යුක්තිය ඉටුකර ගැනීමට පුළුවන්කමක් ඇතැ”යි කියන විශ්වාසයකින් නොව අරගලයේ රශ්මිය නිවෙන්නට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා එසේ කිරීම අවශ්‍ය වූ නිසාය.

ඉන්පසු අගවිනිසුරුවරයාට එරෙහිව අවස්ථා දෙකකදී දෝෂාභියෝග දෙකක් ඉදිරිපත් විය. ඒ දෝෂාභියෝග දෙකටම ඇතුළත් මූලික චෝදනා මා ඔහුට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රසිද්ධ චෝදනා විය. ඒ අවස්ථා දෙකේදීම ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැර අගවිනිසුරුවරයා ආරක්ෂා කරගත්තාය.

මේ දෝෂාභියෝග දෙකෙන් පසුව අගවිනිසුරුවරයා දියවන්නා ඔය අසළ නවතා තිබෙන වාහනයක කාන්තාවක සමග අඩ නිරුවතින් සිටි අවස්ථාවකදී පොලීසියේ සෝදිසියට ලක්වී එය රටේ මහත් ආන්දෝලනයකට හේතුවූ දෙයක් බවට පත්විය. ඒ නිසාවත් ඔහුට එරෙහිව කිසිදු දෙයක් සිදුවූයේ නැත.

ඉන්පසු මම ඔහු තනතුරේ සිටියදීම ඔහු පිළිබඳව මාගේ අත්දැකීම් පාදක කොටගෙන පොතක් ලියා පළ කළෙමි. එය මා සැලකුවේ ප්‍රශ්නය සවිස්තරාත්මක ලෙස මහජනයා අතරට ගෙනයෑම සඳහා යොදාගත හැකි මාර්ගයක් වශයෙනි.

ඒ කිසිවක් සිදුවූ වැරදි නිවැරදි කිරීමට හේතු නොවීය. ඔහු විශ්‍රාම යන වයස තෙක්ම තනතුරේ රැඳී සිටියේය. සරත් ෆොන්සේකා කරළියට නොඑන්නට උවිඳු කුරුකුලසූරියගේද, විරුද්ධ පක්ෂයේ ද පොදු අපේක්ෂකයා වන්නට ඉඩ තිබුණේද ඔහුය. සරත් ෆොන්සේකා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වීමෙන් පසු ද විරුද්ධ පක්ෂය එම ජනාධිපතිවරණයෙන් ජයගත්තේ නම් ජවිපෙ සැලසුම් අනුව අගමැති වන්නට ඉඩ තිබුණේද රනිල් නොව සරත් සිල්වාය.

අගවිනිසුරු සරත් සිල්වා මුල් කොටගෙන කැරුණු මේ අරගලය සරල අරගලයක් නොවීය. එය මට ජීවිතයත්, මරණයත් අතර කැරෙන අරගලයක් විය. ඔහු නිල බලය මැර බලය පමණක් නොව, හදි හූනියම්කාරයන්ගේ සහාය ද ලබා ගත්තේය. මහේස්ත්‍රාත් අතින් දූෂණය වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්කි දෙමින් මෙම පරීක්ෂණ කොමිටිය ඉදිරියේ සාක්ෂි දීමෙන් වැළකී සිටින ලෙසත්, එසේ නොවෙතොත් ඔහු මරා දමන බවට දැනුම්දීමක් කර තිබෙන බවත් කියා සිටියේය. ඉන්පසු ඔහු අබිරහස් ලෙස මරා දමන ලදි. මා ඇතුළු රාවය පුවත්පතේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළකින් අප බේරුණේ අනූනවයෙනි. මා ගමන් ගන්නා වෑන් රථයකට එකම දිනක ඇසිඩ් ප්‍රහාර දෙකක් එල්ල විය. මාගේ හොඳම මිතුරා සේම මගේ නීතිඥයා වූ ද සුරංජිත් රෝගාතුර වී අකාලයේ මියගියේ මේ අර්බුදය විසින් ඔහු වෙත ඇති කළ මානසික පීඩනය දරාගත නොහැකිවීම නිසාය. ටෝනි අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් නඩු පැවරීමට මගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඔහුට එරෙහිව පවරන ලද නඩුව නීතියේ පිළිගත් සියලු මූලධර්මයන්ට පටහැනිව තමාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන ටෝනිට බරපතළ වැඩ ඇතිව එක් සිරදඬුවමක් පැමිණ වූවා පමණක් නොව, බන්ධනාගාරයට ගිය පළමු දිනයේම මාරාන්තික ප්‍රහාරයකට මුහුණ දෙන්නට ඔහුට සිදුවිය. සිරදඬුවම අවසන් කොට නිදහස්වීමෙන් පසුත් ඔහු පැහැරගෙන යෑමට දරන ලද උත්සාහයක් නිසා ඔහුට ජීවිත ආරක්ෂාව සඳහා රට අතහැර පලා යන්නට සිදුවිය. මෙම අර්බුදය තුළ සරත් නන්ද සිල්වා තමන්ට අවනත නොවූ අධිකරණ නිලධාරීන්ගෙන් පළිගත්තේය. රක්ෂාව අහිමි කරගත් එක් විනිසුරුවරයෙක් සියදිවි නසා ගත්තේය. තමන්ගේ බලපදනම ශක්තිමත් කරගැනීම සඳහා දෙන ලද අසාධාරණ නඩු තීන්දු නිසා පීඩාවට පත් විශාල පිරිසක් ද සිටියේය.

මෙම අර්බුදයෙන් උපරිම වාසි ලබාගත් පිරිසක් ද සිටියේය. ඒ දිග පෝලිමේ සිටි අය අතර ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝ් හා ජනමාධ්‍යවේදීහු ද වූහ. ඒ පෝලිමේ රාවයෙන් දොට්ට දැමූ ජනමාධ්‍යවේදියෙක් ද සිටියේය. ඒ සියලුදෙනා මේ අවස්ථාවෙන් උපරිම වාසි ලබා ගත්තෝය.

මේ අරගලයෙන් (හා වෙනත් අරගලවලින්) මා ඉගෙන ගත් වැදගත් පාඩමක් ඇත්තේය. මට පමණක් නොව, රටටද වැදගත් වන්නේ එම පාඩමය. පාලන අධිකාරියට සම්බන්ධ හෝ පාලන අධිකාරියේ සහාය ලබන බලවත් පුද්ගලයකු මොනතරම් බරපතළ වරදක් කළද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. ලංකාව පමණක් නොව, ඉන්දියාව ද දූෂණයෙන් පිරුණු රටකි. එහෙත් ලංකාව හා ඉන්දියාව අතර තිබෙන ලොකුම වෙනස වන්නේ ඉන්දියාවේ දූෂිත පුද්ගලයන්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම නොසලකා සාමාන්‍යයෙන් නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් තිබීම හා ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොතිබීමය. එය අපේ රටේ පවතින දේශපාලන ක්‍රමයේ මූලික දෝෂයක් ලෙස සැලකිය හැකිය.

ජනමාධ්‍යවේදීන් වැරදි සිදුවන විට ඒවා වාර්තා කරන්නේ හුදෙක් මහජනතාවට දැනුම්දීම සඳහා පමණක් නොව, ඒ වැරදි සිදුවීම වැළැක්වීම සඳහාය. වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම පිණිසය. එය ජනමාධ්‍ය වාර්තාකරණයේ වැදගත්ම පරමාර්ථයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවන බරපතළ වැරදි ජනමාධ්‍යවල වාර්තා වීම නිසා ඒ වැරදි නිවැරදි කිරීමක් හෝ වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් හෝ සිදුවන්නේ නැත. එවැනි වාර්තාකරණයක් දේශපාලන බලධාරීන් කෙරෙහි බලවත් බලපෑමක් ඇති නොකරන්නා සේ ම ඒවා කියවන මහජනයා කෙරෙහි ද ගැඹුරු බලපෑමක් ඇති නොකරයි. සිදුවන වැරදි හෝ දූෂණ වාර්තා කිරීමෙන් කිසිවක් සිදුනොවන බව ඒවා වාර්තා කරන ජනමාධ්‍යවේදීහුද දන්නාහුය. තමන්ගේ වාර්තාකරණයෙන් පසුව ඵලදායී කිසිවක් සිදුනොවීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සලකා බැලිය යුතු තරමේ වැදගත් හා බරපතළ ප්‍රශ්නයක් වී ද නැත. ඔවුහු වාර්තා කරති. දේශපාලන බලධාරීහුද මහජනයා ද ඒවා කියවති. ඊළඟ දිනය උදාවන විට සියල්ල සියලුදෙනාට අමතකය. ඒ සියලුදෙනාගේ ගණයට පාලකයන් හා මහජනයා පමණක් නොව ජනමාධ්‍යවේදීහුද අයත්ය. නැවත ඊළඟ දිනය හෝ ඊළඟ සතිය ඇරඹෙන්නේ ද ඒ ආකාරයටය. දූෂණය පිළිබඳව පළවී ඇති උණුසුම් පුවතක් පුළුටු කරගත් මුහුණින් යුතුව දේශපාලන බලධාරීහු කියවති. ඒ පුවත් ඒවා කියවන මහජනයා තුළද ඒ මොහොතේ අප්‍රසන්න හැඟීමක් ඇති කරයි. එහෙත් පසුදින වන විට හෝ ඊළඟ සතිය වන විට සියල්ල සියලුදෙනාට අමතකය. වාර්තාකරණයේ යෙදුණු ජනමාධ්‍යවේදියාට ද අමතකය. ඔවුන්ට පසු විපරමක් අවශ්‍යවන්නේ නැත. ඔවුන්ට වැදගත්වන්නේ ද ඊළඟ සතියේ පළකිරීම සඳහා අලුත් කතාය.

මා ප්‍රශ්න කිරීමකට ලක්කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මෙම අශෝභන යාන්ත්‍රික ක්‍රියාවලියයි. මුදල් වංචාවක් නිසා සේවයෙන් පහකළ පුද්ගලයකු අධිකරණ සේවයට එකතු වූයේ කෙසේද යන්න මට වැදගත් ප්‍රශ්නයක් විය. පසුව එම මහේස්ත්‍රාත්වරයා තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකාරියක තානායමකට ගෙන ගොස් ඇය සමග නිදාගෙන තිබියදී ඒ බව දැනදැනම නීතිපති එම මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කළේ ඇයිද යන්න මට වැදගත් ප්‍රශ්නයක් විය. ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයකු ආරක්ෂා කරන නීතිපති ද අන්ත දූෂිත පුද්ගලයකු බව සොයා ගත් විට ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පමණක් නොව, නීතිපතිට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් ඇතිකර ගැනීමට මට අවශ්‍ය විය. මම ඒ ගැන දිගින් දිගට ලීවෙමි. කතුවැකි වශයෙන් හෝ ලිපි වශයෙන් ලියන ලද වාර ගණන සීයකට වැඩිය. පෑනෙන් කරන වාර්තාකරණයෙන් පමණක් එය සිදුකළ නොහැකි බව තේරුම් ගිය විට මම ඒ අරමුණ ජයගැනීම සඳහා උසාවි ක්‍රියාමාර්ගයකට යොමු වූයෙමි. චෝදනාලාභී දූෂිත නීතිපතිවරයා අගවිනිසුරු ධුරයට පත් කළ විට ඔහුට එරෙහිව පාර්ලිමේන්තු දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී වූයෙමි. එයද අසාර්ථක වූ විට ඔහු තනතුරේ සිටියදීම ඔහුගේ නොහොබිනා ක්‍රියාකලාප ගැන පොතක් ලියා පළ කළෙමි.

එම සිද්ධියේදී යුක්තිය ඉටුකරවා ගැනීමට දරන ලද උත්සාහය වෙනුවෙන් ගතකරන ලද කාලය දීර්ඝය. ඒ කිසිදු ක්‍රියාමාර්ගයක් නිසා මට මගේ පරමාර්ථය ඉටුකර ගැනීමට නොහැකි වූවා පමණක් නොව එම පුද්ගලයා නිසි කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය පසු සැදැහැවත් ධර්ම දේශකයකුගේ වේශයෙන් හා ගැලවුම්කාර දේශපාලන නායකයකුගේ වේශයෙන් නැවත කරළියට ආවේය. ඔහුගේ අපකීර්තිමත් ඉතිහාසය නොසලකා දැන් සැදැහැවත්තු මහත් අභිරුචියකින් යුතුව ඔහුගේ ධර්ම දේශනාවන්ට සවන් දෙති. ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීහු මහත් අභිරුචියකින් යුතුව ඔහුගේ දේශපාලන කතාවලට සවන් දෙති.

මාගේ “නොනිමි අරගලය” කියවා මාගේ හිත මිතුරකු මට කීවේ ගොගොල්ගේ මළ මිනිස්සු කියවූ පසු ඇතිවූ හැඟීමට සමාන හැඟීමක් තමා තුළ ඇතිවූ බවය. අගවිනිසුරුවරයාට එරෙහිව කරන ලද අරගලයේදී ඔහු ද හැකි පමණින් මට උදව් කළේය. විධායක ජනාධිපති හා ජනතා පරමාධිපත්‍යය යන තේමාව යටතේ මේ මෑත දිනකදී අගවිනිසුරු මහජන පුස්තකාලයේ පවත්වන ලද දේශනය සංවිධානය කර තිබුණේ මාගේ එම මිතුරා ද සම්බන්ධ සංවිධානයක් මගිනි. ඒ දේශනය ගැන පළ කරන ලද කුඩා දැන්වීමක්ද අත ඇතිව රාවයට පැමිණ ඇති මගේ මිතුරා එම දේශනය පිළිබඳ නොමිලේ දැන්වීමක් රාවයේ පළකරවා ගැනීමට උත්සාහ කළ බව මට කර්තෘ මණ්ඩලයෙන් අසන්නට ලැබුණි. එයින් පෙනෙන්නේ ඒ හිත හොඳ මිතුරාටද සියල්ල ඉක්මනින් අමතක වී ඇති බව නොවේද?

ප්‍රශ්නය හා ඊට තිබෙන විසඳුම

මා යම් දෙයක් පිළිබඳව පුවත්පතකට එක ලිපියක් ලියා යුක්තිය ඉටු නොවීම ගැන කෑගසන්නකුු ලෙස සැලකිය නොහැකිය. කිසියම් වැදගත් දෙයක් හා ඊට ඈඳුණු විවිධ දේ ගැන වාර්තා සිය ගණනක් ලියා පළකොට ඉන් අරමුණ ඉටුකරගෙන නොතිබූ කල ඊළඟට නීත්‍යනුකූලව යොදාගත හැකි අන් මාර්ග ප්‍රශස්ත ලෙස යොදාගැනීමකින් පසුත් නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමේ අරමුණ සම්පූර්ණ කරගැනීමට අසමත් වූ විශේෂ තත්ත්වයක් යටතේ කතා කරන්නකු ලෙස සැලකිය හැකිය. ඒ සඳහා ගතවූ කාලය අවුරුදු දහයකට ආසන්න වන විට ද්‍රව්‍යමය වශයෙන් ඒ වෙනුවෙන් වැය කළ මිලක් ද තිබුණු බව කිව යුතුය. එය මහජනයාගේ හා විදේශ ආයතනවලින් ලබාගන්නා ලද මුදල් ආධාර මත ක්‍රියාත්මක වූ දෙයක් නොවීය.

එතරම් දැවැන්ත උත්සාහයකින් පසුත් මට නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් දිනාගැනීමට නොහැකි වී නම් සිදුවන වැරදි හෝ දූෂණ පිළිබඳ පසු විපරමකින් තොරව පළකැරෙන සරල වාර්තාකරණයකින් එම තත්ත්වය දිනාගත නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත. මා මෙම නිගමනයට ආවේ මේ සිද්ධියට අදාළ එක අත්දැකීමකින් නොව අත්දැකීම් ගණනාවකින් පසුවය. ජනමාධ්‍ය වාර්තාකරණයේ ප්‍රධාන පරමාර්ථය ජනතාව හා බලධාරීන් දැනුවත් කොට වැරදි සිදුකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීම මගින් සමාජයේ සිදුවන වැරදි අවම කිරීම නම් එම පරමාර්ථය කිසිසේත්ම ඉටු කරගත නොහැකි සමාජ හා දේශපාලන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පවතින්නේයැ”යි කිව හැකිය. එය වර්තමානයේ සේ ම විධායක ජනාධිපති ක්‍රමයක් ඇතිවූ 1977 සිට රටේ පවතින යථාර්ථය ලෙස සැලකිය හැකිය.

ඊළඟට මට වැදගත් දේ වූයේ ඒ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීමය. මෙවැනි ප්‍රබල අත්දැකීමකින් පසුත් ඒ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් නැතිව තවදුරටත් මා පැරණි වාර්තාකරණයේම යෙදෙන ජනමාධ්‍යවේදියකු වී නම් අන් අය මා ගැන සිතන්නේ කුමක් වුවත් මට මා ගැන සිතන්නට වෙන්නේ මෝඩ රජකු ලෙසය. පිත්තක් රැගෙන මාළු බෑමට ගඟට යන මිනිසකුට මාළු අසු නොවී එහෙත් ඔහු දිගින් දිගට හැමදාමත් මාළුබෑමේ කාරියේ යෙදෙන්නේ නම් හා හවසට ඔහු හැමදාම එන්නේ හිස් අතින් නම් ඔහු සැලකිය යුත්තේ ලොකු මෝඩයකු ලෙසය. ඔහු මෝඩයකු වන්නේ ඒ ඇයිද කියන ප්‍රශ්නය නොවිමසා දිගින් දිගට ඵලවිරහිත කාර්යයක යෙදෙන පුද්ගලයකු වන නිසාය. ඔහු මෝඩයකු නොවේ නම් තමන්ගේ පිත්තට මාළු අසු නොවන්නේ ඇයිද කියන ප්‍රශ්නය පළමු දිනයේම නොවේ නම් දින කිහිපයකට පසුව හෝ සොයා බැලිය යුතුය. එක්කෝ ගඟේ මාළු නැතිවිය යුතුය. නැත්නම් ඔහු මාළු අල්ලන ක්‍රමයේ ලොකු දෝෂයක් තිබිය යුතුය. උවිඳු වැනි ජනමාධ්‍යවේදීන් අයත් වන්නේ ඒ ගණයටය. ඔවුන්ට වැදගත් පිත්ත ගඟේ දමාගෙන ඉඳීම මිස මාළු ඇල්ලීම නොවේ.

මගේ අත්දැකීම් මෙම මූලික ප්‍රශ්නයට පිළිතුරක් සොයන තැනකට මා යොමු කළේය. මම මාළු බෑම තාවකාලිකව නවතා එම මූලික ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම සඳහා කරුණු හදාරන තැනකට යොමු වූයෙමි. බලවත් පුද්ගලයන් වැරදි කරන අවස්්ථාවලදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න මගේ හැදෑරීමට ලක්වූ මූලික ප්‍රශ්නය විය. දේශපාලන ක්‍රමය ගොඩනගා තිබෙන්නේ පාලක පක්ෂයට සම්බන්ධ දේශපාලකයන් හා සමීප ආධාරකරුවන් වැරදි කරන විට නීතිය ක්‍රියාත්මක නොවන ආකාරයටය. නීතියට හසුවීමේ තර්ජනයකින් තොරව ඔවුන්ට උපරිම වාසි නෙළාගත හැකි ආකාරයටය. ක්‍රමය සකස් කර තිබෙන්නේ මහජනයාද මෙම දූෂිත ක්‍රමයට ගැටගැසෙන හා ඒ මගින් ඔවුන්ටද අතිරේක වාසි ලබාගත හැකි ආකාරයටය. ජනමාධ්‍යවේදින් ගැන කිවයුත්තේද එයමය.

එම මූලික ප්‍රශ්නයට සොයාගත් පිළිතුර විසින් මතුකරන අලුත් අතුරු ප්‍රශ්න කෙරෙහිද අවධානය යොමු කිරීමට මට සිදුවිය. බරපතළ වැරදි කරන බලවත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් රටේ පවතින්නේ රටේ පවතින දේශපාලන ක්‍රමය නිසා නම් එම දේශපාලන ක්‍රමය වෙනස් කළ හැකිද, වෙනස් කළ හැකි නම් එසේ කළයුත්තේ කෙසේද යන්න එයින් පැනනැගුණු ප්‍රධාන අතුරු ප්‍රශ්න දෙක ලෙස සැලකිය හැකිය. පළමු අතුරු ප්‍රශ්නයට මට දිය හැකි පිළිතුර වන්නේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ හැකිය යන්නයි. එය එසේ කළහැක්කේ කෙසේද යන ඊළඟ අතුරු ප්‍රශ්නයට මා සොයාගෙන තිබෙන පිළිතුර ඉක්මනින් හා විස්තරාත්මකව ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙමි.

එතෙක් මම මාළු බෑමට යෑමෙන් වැළකී සිටිමි.