දැන් පොලිසිය තියෙන්නේ මැඩම්ගෙ අතේය. ඇමතිවරුන් අයත්වන්නේ මැඩම්ගේ පක්ෂයට නොව රනිල්ගේ පක්ෂයටය. ඒ නිසාම දැන් චණ්ඩි පාට් දාන ඇමතිවරුන්ගේ දරුවන් මට්ටු කිරීමේ බලය ජනතාධිපතිනියට ලැබී තිබේ.
ඇමති කබීර් හෂිම්ගේ ඥාති දරුවන්ට සාහසික ලෙස පහර දුන් එස්.බී.ගේ හා මහින්දගේ දරුවන්ට අනුකම්පා විරහිතව අකුරටම නීතිය ක්රියාත්මක කරන තත්ත්වයක් ඇති කිරීමට ජනාධිපතිනිය සමත් වී තිබේ. දැන් ඔවුන්ට රටින් පිටවීම තහනම්ය. චෝදනා ගොනුකර තිබෙන්නේ දණ්ඩ නීති සංග්රහයේ 142, 382 හා 384 හා පොදු දේපළ ආඥා පනත යටතේය. පොදු දේපළ ආඥා පනත යටතේ පවරන නඩු සඳහා ඇප ලබාගත නොහැකිය. ප්රධාන පෙළේ ඇමතිවරුන් දෙදෙනෙකුගේ දරුවන්ට කිසියම් දිර්ඝ කාලයක් ඇප නැතිව රිමාන්ඩ් භාරයේ සිටිය යුතු තත්ත්වයක් මීට පෙර උදාවී නැත. එයින් පෙනෙන්නේ ද්වන්ද්ව පාලනය ද නරක නැති බවය.
ඒත් මෙවැනි දැඩි ප්රතිපත්තියක් ජනාධිපතිනිය තමන්ගේ ආණ්ඩු පාලනය පැවති යුගයේදි අනුගමනය නොකළාය. එසේ කළේ වී නම් එක්සත් ජාතික පක්ෂය අදත් ඉන්නවා ඇත්තේ විරුද්ධ පක්ෂයේය.
ඒත් මේ සියලු විකාර ඒ යුගයේදිත් අඩු පාඩුවකින් තොරව රටේ සිදුවිය. ඇමතිවරුන්ගේ දරුවන් පමණක් නොව සමහර ඇමතිවරු ද මදාවිකාරයන් ලෙස හැසිරුණ හ. සමහර මිනිසුන්ගේ දත් ගැලෙව්වේය. කාන්තාවන් නිරුවත් කළේය. කලාකරුවන්ට දස වධ දුන්නේය. ඒත් ඒ කාලේ එසේ කරන සියලුදෙනා තමන්ගේ කැබිනට් ඇමතිවරුන් හා ඔවුන්ගේ දරුවන් වීම හේතු කොටගෙන ඔවුන් සිදු කරන සහාසිකකම් දෙස නිශ්ශබ්දව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කිරීමට ජනාධිපතිනියට ද සිදුවිය.
එහෙත් දැන් බලයේ ඉන්නේ තමන්ගේ ආණ්ඩුවක් නොවන නිසා නීතිය අකුරටම ක්රියාත්මක කිරීමේ හැකියාව ජනාධිපතිනියට ලැබී තිබේ. විරුද්ධවාදින් සම්බන්ධයෙන් හෝ නීතිය අකුරටම ක්රියාත්මක කරන තත්ත්වයක් ඇති කිරීම කිසිදු පාලනයක් නැතිව තිබෙනවාට වඩා යහපත්ය.
අපේ ජාතික වීරයින්ට වෙමින් තිබෙන්නේ කුමක්ද?
ගංගොඩවිල සෝම හිමියන්ගේ අභාවය විසින් මුදාහළ කම්පන තරංග විසින් ජනිත කරනු ලැබූ හැගීම්බර හා උද්වේගකර වාතාවරණය තුළ සෝම හිමියන් ගැන කෙරුණු කතිකාවේදි ජීවතුන් අතර සිටින පුද්ගලයන් ගණනාවක් ද ජාතික හා ආගමික වීරයන් ලෙස අභිෂේක කිරීමක් සිදුවිය. එසේ වීරවරයින් බවට පත්වූ පුද්ගලයන් කිහිපදෙනා අතර මහා භාරකාර සෙනෙවිරත්න, ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හා අග්රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වා යන පුද්ගලයන් තිදෙනා ප්රධාන තැනක් ගත්හ. ප්රධාන පෙළේ නාමධාරි භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙක්ම ජනමාධ්යවලට ඒ දිනවල පුන පුනා කීවේ සෝම හිමියන් අභාවයට පත්කළා සේ ම මේ වීරවරයින් තිදෙනා ද විනාශ කිරීම සඳහා කුමන්ත්රණකාරි වැඩපිළිවෙළක් රටේ ක්රියාත්මක වන බවය. ඒ බව විස්තර කරන පත්රිකා ලක්ෂ ගණනක් රට පුරා බෙදාහැරෙන ව්යාපාරයක් ද ක්රියාත්මක විය.
එහෙත් පුදුමයකට මෙන් දැන් ඒ වීරවරයින් තිදෙනාගෙන් දෙදෙනෙකුටම අපරාධ චෝදනාවලට මුහුණ දෙන්නට සිදුවී තිබේ.
මහා භාරකාරයා අතුරුදහන්ය. ඔහු රටින් පිටවීම වළකන අධිකරණ නියෝගයක් ද පනවා තිබේ. ඔහුට එල්ල වී තිබෙන්නේ අල්ලස් චෝදනාවකි. මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු කෝටි ගණනක මුදල් ප්රමුඛ බැංකුවේ තැන්පත් කොට රුපියල් ලක්ෂ 19ක අල්ලසක් ලබාගැනීම ඔහුට එල්ල වී තිබෙන චෝදනාව වී තිබේ. තැන්පත් කළ මුදල්වලින් රුපියල් ලක්ෂ 200ක් දළදා මාළිගාවේ අරමුදල්ය.
සමහරවිට මහා භාරකාරයා සැගවී නොසිටිනවා විය හැකිය. තමන්ට තිබෙන එර්දි බලයෙන් අනුන්ට නොපෙනෙන තත්ත්වයකින් ජීවත්වනවා ද විය හැකිය. ඒ නිසා අල්ලස් කොමිසමේ නිලධාරින්ට ඔහු සිටින තැනක් නොපෙනෙනවා විය හැකිය.
ඊළග ජාතික වීරයා ලෙස සැලකිය හැකි තිලංග සුමතිපාලට එරෙහිව එල්ල වී තිබෙන්නේ අපරාධ චෝදනාය. රටේ සිටි නොම්මර එකේ කුලී මිනීමරුවා ලෙස සැලකිය හැකි ධම්මික අමරසිංහ ලවා “ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගේ නිවසට පහරදිම ඔහුට එල්ල වී තිබෙන එක් චෝදනාවකි. රජගෙදර සොඳුරු අපරාධකරුවාව සිටි බැද්දගානේ සංජීව ඝාතනය කිරීමේ කුමන්ත්රණය ඔහු විසින් අමරසිංහ ලවා දියත් කරවන ලද්දක්ය යන්න ඔහුට එල්ල වී තිබෙන ඊළග චෝදනාවයි. ධම්මික අමරසිංහ හොර විදේශ ගමන් බලපත්රයක් යටතේ 99 වසරේ එංගලන්තයේ පැවති ක්රිකට් ලෝක තරගය නැරඹීමට රැගෙන ගියේය යන්න ඔහුට එල්ල වී තිබෙන තවත් චෝදනාවකි.
මෙම වීරයාට පමණක් තිබෙන විශේෂ අනුහස් බලයක් නිසාදෝ සාමාන්ය පුරවැසියන්ට දොර වැසී තිබෙන පෝය දිනක උසාවි දොරටු ඔහු වෙනුවෙන් ඇරුණේය. මහේස්ත්රාත්වරයා නඩු අසා ඔහු සියලු චෝදනාවලින් ද නිදහස් කළේය. පසුව අධර්මිෂ්ඨ බලවේගයක් ක්රියාත්මක වී යුක්තිය ඉටු කළ එම ධර්මිෂ්ඨ නඩුකාර උතුමාණන්ගේ වැඩ තහනම් කළේය.
එහෙත් ඉන්පසුව නඩු ඇසූ නඩුකාර හාමුදුරුවෝ ද අපේ වීරවරයාගේ වීරත්වය කෙරෙහි ඇති කරගෙන තිබූ ගෞරවය නිසාදෝ ඔහුට උපරිම ලෙස සහන සලසන ප්රතිපත්තියක් අනුගමනය කළහ.
මේ වීරයන් තිදෙනා අතරින් තාමත් සෙනසුරු දසාව ලබා නැත්තේ අගවිනිසුරුවරයාට පමණය. එතුමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග දෙකට ඇතුළත් බරපතළ චෝදනා හැර එතුමාට එරෙහිව අලුත් චෝදනා ඉදිරිපත් වී නැත. ඉතිරිවී සිටින එකම ජාතික වීරයා ලෙස සැලකිය හැකි එතුමාව රැක ගැනීම ජාතිය සතු පරම යුතුකමක් ලෙස සැලකිය යුතුය.
මූලික අයිතිවාසිකම් අහිමි මැතිවරණ කොමසාරිස්
17 වැනි ව්යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසම පිහිටුවා අවසන් වන තෙක් මැතිවරණ කොමසාරිස්වරයාට සිය කැමැත්තෙන් ඉවත්වීමට හෝ විශ්රාම යාමේ හැකියාවක් නොපවතී. මැතිවරණ කොමසාරිස්වරයා එම දුක්ගැනවිල්ල රැගෙන අධිකරණය ඉදිරියට ගියේය. එවැනි අවුලකදි අධිකරණය වෙත පැවරෙන වගකීම වනුයේ අවුල නිරාකරණය කරගැනීමට සහායවීමය. එහෙත් අධිකරණය ඒ වෙනුවට කළේ, කණගාටුයි ඒ ගැන අපට කළහැකි කිසිවක් නැතැයි කියන පිළිතුර ලබාදිමය.
දැන් ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයා විශ්රාම යාමේ අයිතිය ද අහිමි පුද්ගලයෙකු බවට පත්වී තිබේ. තමා මරණයට පත්වුවහොත් මැතිවරණ පැවැත්වීම පවා කළ නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා රටට අනතුරු අගවා තිබේ.
ජනාධිපතිනියගේ සිට අගමැති දක්වා වන හැම කෙනෙක්මත් මැතිවරණයක් ගැන පුන පුනා කතා කළ ද මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස්වරයා පිළිබඳ ප්රශ්නය ඒ කිසිවකුට ප්රමුඛ වැදගත්කමක් ඇති ප්රශ්නයක් වී නැත. එය ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශට ද නොවැදගත් ප්රශ්නයකි. පාර්ලිමේන්තුවට ද එය වැදගත් ප්රශ්නයක් වී නැත. අවසානයේ දැන් මැතිවරණවලට යන්නට යන්නේ ද ඒ මූලික ප්රශ්නය නොසලකාය.
ජනාධිපතිනියගේ අභියෝගය අගමැති බාරගන්නේ ද?
ජනාධිපතිනිය ස්වාධීන රූපවාහිනීය මගින් කරන ලද සාකච්ඡාවේදි සාම ක්රියාවලියේ වගකීම බාරගැනීම අරබයා අගමැතිවරයා මතු කර තිබෙන මූලික ප්රශ්නයට දී තිබෙන පිළිතුර කදිමය. ඇය කියන්නේ සාම ක්රියාවලිය ඉදිරියට ගෙනයාම අත්හැර එය ජනාධිපතිනිය භාරගත යුතු නම් ඒ බව ප්රසිද්ධ රැස්වීම්වල ප්රකාශ කරනවා වෙනුවට තමන් වෙත නිල වශයෙන් දැනුම් දිමක් කළ යුතු බවය. එසේ කරන්නේ නම් සාම ක්රියාවලිය ඉදිරියට ගෙනයාමේ වගකීම බාරගැනීමට ඇය සූදානම් බවය.
එය අගමැතිවරයා වෙත එල්ල කරන ලද බරපතළ අභියෝගයක් ලෙස සැලකිය හැකිය. ඇය ආරක්ෂක අමාත්යාංශය ආපසු දෙන්නට සූදානම් නැත. අගමැති ද ආරක්ෂක අමාත්යාංශය නැතිව සාම ක්රියාවලිය ඉදිරියට ගෙනයාමේ වගකීම බාරගන්නට ද සූදානම් නැත. එසේ නම් දැන් විය යුතුව තිබෙන්නේ සාම ක්රියාවලිය ඉදිරියට ගෙනයාමේ වගකීම බාරගන්නා ලෙස ජනාධිපතිනිය වෙත නිල වශයෙන් දැනුම්දිමය. ඇය එය ඉදිරියට ගෙනයාමේ වගකීම බාරගන්නේ නම් ඇගේ ඒ ගමනට සහාය දිමට ආණ්ඩු පක්ෂය හිත හදාගත යුතුය.
තුන්වරක් දිවුරුම් දිම
දෙවැනි වර පදවි ප්රාප්තිය වෙනුවෙන් තුන් වරක් දිවුරුම් දිමේ කතාව දැන් ජනාධිපතිනිය ද පිළිගෙන තිබේ. තමා ජයග්රහණය කළ මොහොතේ රටේ ඇතිවී තිබූ විශේෂ තත්ත්වයත් ධුරයේ කටයුතු කළහැකි තත්ත්වයක සිටින බව ජනතාවට පෙන්නුම් කිරීම සඳහාත්, මැතිවරණයෙන් පසුව දිවුරුම් දිමක යෙදිමට තමන්ට සිදුවුවත් නිසි දිවුරුම්දිම ඉන්පසු රහසේ කරන ලද බව ඇය පිළිගනී. ඇය කියන ආකාරයට ඒ අවස්ථාවට ලක්ෂ්මන් කදිරගාමර් මහතා ද සහභාගි වුයේය.
එහෙත් මේ දිවුරුම් දිම රහසේ කරන ලද්දේ ඇයිද යන ප්රශ්නයට ජනාධිපතිනිය දී තිබෙන පිළිතුර ශක්තිමත් නැත. උත්සවයක් ගැනීමේ අවශ්යතාව නොතිබුණා විය හැකිය. ජාතිය අමතා කතා කිරීමේ අවශ්යතාවක් ද නොතිබුණා විය හැකිය. එහෙත් අඩුම වශයෙන් දිවුරුම්දිමක් කරන ලද බව ජනමාධ්යවලට සැගවූයේ ඇයි? දිවුරුම් දිමක් කරන ලද බව ප්රවෘත්ති නිවේදනයකින් හෝ රටට දැනුම් නොදි එය රහසිගත තත්ත්වයක තබාගත්තේ ඇයි? එය සාමාන්යයෙන් සිදුවිය නොහැක්කකි. ඒ ක්රියාව ඉතාමත් රහසිගත තත්ත්වයක තබාගැනීමේ අවශ්යතාව කෙරෙහි බලපෑ රහස කුමක්ද?
අවසානයේදි ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය තීරණය කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ඔහු දන්නේ එක දිවුරුම් දිමක් ගැන පමණය. රටේ ජනතාව දැන සිටියේ ද එක දිවුරුම් දිමක් ගැන පමණය.
මෙය සැබෑවට නොවී පසුව හොඳ නුවණ පෑදිම නිසා තමන්ගේ නිල කාලය අවුරුද්දකින් වැඩි කර ගැනීම සඳහා කරන ලද නිර්මාණයක් වුවත්, එහි වලංගුභාවය අවසන් වශයෙන් තීන්දු කරනු ඇත්තේ ජනාධිපතිනියගේ ගජ මිතුරා ලෙස සැලකිය හැකි අග්රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වා මහතාය.