රට කාලකන්නි කිරීමට ඉඩ නොදෙමු

January 4, 2004
Publication:
People:
A New Year editorial warning that a religious rift is being added to Sri Lanka's ethnic conflict. Recalling Lee Kuan Yew's use of Sri Lanka as the example of a failed state, it traces how caste, religion and language disputes each divided the country in turn and asks whether the majority will once again follow a small extremist minority, as in July 1983.

උදා වූ නව වසර රටට සුභ නව වසරක් වනවාද නැද්ද යන්න අවසාන විග්‍රහයේදි තීන්දු කරනු ඇත්තේ රටේ ජනතාව විසින් ම මිස දෛවය විසින් නොවේ.

මේ නව වසර උදා වූයේ තිබෙන අවුල් අතරට අලුත් අවුලක බියකරු සංඥාවක්ද එකතු කරමිනි.

ශ්‍රී ලංකාව දැනටමත් වාර්ගික අර්බුදයක් වෙනුවෙන් ඔරොත්තු නොදෙන තරම් විශාල ප්‍රමාණයකට ලේ හැලු ජාතියක් ලෙස සැලකිය හැකිය. මේ නව වසර එළඹියේ තිබෙන වාර්ගික ආරවුලට අතිරේකව ආගමික ආරවුලකට ද මුල පිරිමක් ඇති කරන ආකාරයට ය.

ලී ක්වාන් යූ අසාර්ථක රටක් ගැන කථා කරන හැම විට ම නිදර්ශනයට ගන්නේ ශ්‍රී ලංකාව ය. ශ්‍රී ලංකාවේ අසාර්ථක භාවයට මූලික හේතුව ලෙස ඔහු දක්වන්නේ වාර්ගික ආවේග කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් දක්වා තිබෙන අසාර්ථකභාවයයි. නිදහසේ සිටම ශ්‍රී ලංකාව වගකීමකින් යුතුව ක්‍රියා කරන දේශපාලන නායකයින්ගෙන් තොර රටක් ලෙස සැලකිය හැකිය. මේ ලස්සන පුංචි රටට නිරන්තරයෙන්ම ලේ ගලන අවලස්සන රටක් බවට පත්වීමට හේතු වී තිබෙන එක් වැදගත් සාධකයක් වී තිබෙන්නේ ද එයයි. සමාජයේ පවත්නා අවිචාරවත් බවද ඒ කෙරෙහි බලපා තිබෙන තවත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

විචාරවත් සමාජයක් ඇතොත් දක්ෂෂ නායකයින්ගෙන් තොරව වුවත් සමාජයකට ඉදිරියට යා හැකිය. අනෙක් අතට සමාජය අවිචාරවත් වුවත් දියුණු හා දක්ෂෂ නායකයන් ඇත්නම් සමාජය දියුණුව කරා ගෙන යාමේ හැකියාවක් එවැනි නායකයන් සතුය. මේ අංග දෙනෙක් එකක්වත් නැති විට සමාජයට විය හැකි හැම දෙයක් ම අප රටට ද සිදුවී ඇති බව කිව හැකිය.

ශ්‍රී ලංකාවේ නූතන යුගය ආරම්භ වන්නේ කුලය මුල් කරගත් මහා වාද විවාදවලිනි. ඉන් පසු මහා ආගමික වාද විවාද කරලියට ආවේය. ඒ පසුබිමේ තැනින් තැන ආගමික කෝලාහල ද ඇතිවිය. භාෂාව මුල් කරගත් වාද විවාද කරලියට ආවේ ඉන් පසුවය. ඉන් පසු විටින් විට ඇතිවන වාර්ගික කල කෝලාහල ක්‍රමයෙන් වාර්ගික යුද්ධයක් දක්වා වර්ධනය විය.

මෙතෙක් කරලියට පැමිණි කිසිම වාදයක් තර්කානුකූලව අවසන් කර ගැනීමට නොහැකි වීම නිසා දෝ ඒ අවතාරය නැවත නැවත කරලියට එමින් තිබෙන බවක්ද පෙනී යයි. අවසානයේ එම ආවේග නිසි කළමනාකරණයට ලක් නොකෙරෙන තත්ත්වයක් තුළ විය හැකිව තිබෙන්නේ සමාජය හැම ආකාරයකටම බෙදෙන තත්ත්වයකට පත්වීමය.

ආගම් මුල් කරගෙන රටේ මතුවෙමින් තිබෙන භේද, ශිෂ්ට සම්පන්න රාමුවක තබා ගැනීමට අසමත් වෙතොත් තිබෙන වාර්ගික බෙදිමට අතිරේකව ආගම් අනුවද බෙදි, ඇන කොටා ගන්නා තත්ත්වයකට රට තල්ලු වනු නොවැළැක්විය හැකිය.

මේ බේද වපුරන්නේ අන්තවාදි ඉතා සුළු පිරිසක් විය හැකිය. 83 කළු ජූලිය පිටුපස සිටියේද ඉතා සුළු පිරිසකි. එහෙත් රටේ බහුතර පිරිස ඒ සුළු පිරිසේ අන්තවාදි ක්‍රියා පාලනය නොකිරීම නිසා එය මුළු රටට ම බලපාන මහා අවුලක් බවට පත් වූයේය. එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමට හැකිවනු ඇත්තේ අන්තවාදි සුළු පිරිස්වල සාහසික ක්‍රියා පාලනය කිරිමට බහුතර ජනයා ක්‍රියාකාරි ලෙස මැදිහත්වන්නේ නම් පමණය.

ශ්‍රී ලංකාව සිය කැමැත්තෙන් විනාශ වන ජාතියක් බවට පත්වීමට ඉඩ දෙමු ද?