මාළිගා විවාදය යළි කරලියට

March 24, 2002
Publication:
A long reply by presidential media director Janadasa Peiris to a report that Rs 800 million had been spent on the site of a planned presidential palace has revived the controversy. The editorial notes what he leaves out about the Temple Trees renovation, including a swimming pool and mini-cinema, and about repairs to President's House, and observes that earlier leaders from S.W.R.D. Bandaranaike to Ranasinghe Premadasa lived in their own homes, a tradition Chandrika Kumaratunga broke.

ඉදිකරන්නට නියමිතව තිබූ ජනාධිපති මාළිගාවේ බිමට පමණක් රුපියල් කෝටි 80ක් වැය කර ඇති බවටත්, තවත් කෝටි 35ක් වැය කොට එම බිමේ වැඩකටයුතු නිම නොකළහොත් දැනට සකස් කර ඇති බිම් ප්‍රමාණය ද වැසි ජලයෙන් සේදියාමේ තර්ජනයක් ඇති බවට පළවූ පුවත්පත් වාර්තාවකට ජනාධිපතිනිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනදාස පිරිස් මහතා දිර්ඝ පිළිතුරක් දෙන තත්ත්වයක් ඉදිරියේ මාළිගා විවාදය යළි පණ ලබා ඇති බවක් පෙනේ.

ජනදාස පිරිස් කියන ආකාරයට ජනාධිපතිනිය මුලින් පදිංචි වී සිටි අරලියගහ මන්දිරය පදිංචියට නුසුදුසු තත්වයක නොතිබුණේය. ඇගේ මව අරලියගහ මන්දිරය බාර දෙන විට එහි තිබුණු වටිනා ගෘහභාණ්ඩ සහ බුමුතුරුණු කිසිවක් එහි තිබී නැත. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව තක්සේරු කළ මුදලටත් වඩා අඩු මුදලකට ජනාධිපතිනිය විසින් එය අලුත්වැඩියා කරවා තම පුද්ගලික ගෘහ භාණ්ඩ එහි ගෙනවිත් තැන්පත් කරන ලද බව ද ප්‍රකාශ කරයි.

ජනදාස පිරිස් මහතා අරලියගහ මන්දිරය ගැන කතා කරන විට කතා නොකරන වැදගත් කරුණු ගණනාවක් ද පවතී. ප්‍රතිසංස්කරණය සඳහා කළ වියදම ගැන නිහඬය. ප්‍රතිසංස්කරණයේදි එයට ඇතුළත් කළ අලුත් අංග ගැන ද නිහඬය. අරලියගහ මන්දිරයට ගෙනා පුද්ගලික ගෘහභාණ්ඩ මොනවාද ඒවා ආපසු ගෙන ගියේ ද, නැත්නම් මන්දිරයට පරිත්‍යාග කළේ ද යන්න ගැන ද නිහඬය.

පිහිනුම් තටාකය මන්දිරයට එකතු කළ අලුත් අංගයකි. රටේ ජනාධිපතිනියට පිහිනන්නට සිතෙන විට ඊට ගැලපෙන පිහිනුම් තටාකයක් තිබිය යුතුය. මිනි සිනමා ශාලාව ඊට එකතු කළ තවත් අංගයකි. ජනාධිපතිනිය බයිස්කෝප්වලට කැමති බැවින් චිත්‍රපටියක් බලන්නට සිතුණු විට ඊට ගැලපෙන මිනි සිනමාශාලාවක් පවත්වාගෙන යාම යුක්තිසහගතය. එවැනි දේවලට යන වියදම් ගෙවන්නේ මහජනයාගේ බදු මුදලින් වුවත්, බදු ගෙවන මහජනයා ප්‍රවේණිදාසයන් බැවින් වැඩවසම් ස්වාමියා කරන වියදම් ගැන කතා කිරිමේ අයිතියක් ඔවුන්ට තිබිය නොහැකිය.

ජනදාස පිරිස් මහතා කියා තිබෙන ආකාරයට ඉන්පසු පදිංචියට යන කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ද තිබී ඇත්තේ ඉතාමත් අබලන් හා කසිකබල් තත්ත්වයකය. ශත වර්ෂ පහක පමණ කාලයක් මැනවින් පවත්වාගෙන යාමට සමත්ව තිබූ ජාතික වස්තුවක් වූ එම ඓතිහාසික මන්දිරය ශත වර්ෂ එකහමාරකදි අබලන් විය. වසර අටක කාලයක් තුළ වහළ අලුත්වැඩියා නොකිරීම නිසා වැස්සකදි මුළු මන්දිරයම වැසි ජලයෙන් දෝරේ ගලා යන තත්ත්වයක තිබී ඇත.

එහිදි ජනදාස පිරිස් මහතා ප්‍රතිසංස්කරණ වියදම කොහෙන්ද යන්න නොසොයයි. අනෙක් අතට මන්දිරය තිබුණේ එතරම්ම අබලන් තත්ත්වයක නම්, ජේ.ආර්. වැසි දිනවල ඉන්නට ඇත්තේ තෙමි තෙමී විය යුතුය.

රාජ්‍ය නායකයන්ගේ නිල මන්දිර ගැන කතා කරන විට ජනදාස පිරිස් මහතාගේ දේශපාලන ස්වාමි දුව ඊට නව සම්ප්‍රදායක් එකතු කර ඇති බව ද කිව යුතුය. මීට පෙර අපේ රටේ රාජ්‍ය නායකයන් තමන්ට ලැබෙන නිල නිවාස පරිහරණය කළේ රාජකාරි කටයුතු සඳහා පමණය. ඒවා සිය ගොල්ල වර්ගයා සමග පදිංචි නිවාස බවට පත් කර ගන්නා සම්ප්‍රදායක් මීට පෙර නොතිබුණ. බණ්ඩාරනායක අරලියගහ මන්දිරය පාවිච්චි කළේ නිල වශයෙන් පමණය. පදිංචිව සිටියේ රොස්මිඩ් නිවසේය. ඩඩ්ලි පදිංචි වී සිටියේ ද වුඩ්ලන්ඩ්ස් නිවසේය. සිරිමා බණ්ඩාරනායක පදිංචි වී සිටියේ ද රොස්මිඩ් නිවසේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කොටුවේ නිල මන්දිරය පාවිච්චි කළේ ද රාජකාරි කටයුතු සඳහා පමණය. පදිංචිය පවත්වාගෙන ගියේ වෝඩ් පෙදෙස නිවසේය. ආර්. ප්‍රේමදාස පදිංචිය පවත්වාගෙන ගියේ සුපුරුදු සුචරිතයේය. රාජ්‍ය නායකයාට ලැබෙන නිල නිවසේ පදිංචියට යන නව සම්ප්‍රදායක් ආරම්භ කළේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කුමාරිහාමි විසිනි.