මෙම පළාත් පාලන මැතිවරණයෙන් ප්රධාන දේශපාලන බලවේගයන් ලබාගන්නා ප්රතිඵලවල ස්වභාවය රටේ ඉදිරි දේශපාලන ගමන් මගෙහි හැඩතල කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට නියමිතය.
තමන් පසුගිය මැතිවරණයෙන් ලබාගත් ඡන්ද පදනමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකි ද යන්න ආණ්ඩුව ඉදිරියේ තිබෙන ප්රධාන අභියෝගයයි. පසුගිය මැතිවරණයේදි තමන් ලැබූ ඡන්ද පදනම වර්ධනය කරගැනීම කෙසේ වෙතත්, ආරක්ෂා කරගැනීමට හැකිද යන්න පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේ තිබෙන ප්රධාන අභියෝගය ලෙස සැලකිය හැකිය.
එජා පෙරමුණ පසුගිය මැතිවරණයේදි 4086026ක් ලබා ගත්තේය. පොදු පෙරමුණ ඡන්ද 33,30,815ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 8,15,353ක් ද ලබා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ තර්කය වී තිබුණේ එජා පෙරමුණට වැඩි ආසන සංඛ්යාවක් ලැබී ඇතත්, පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද එකට ගත් කල ආණ්ඩුව ලබාගත් ඡන්ද ප්රමාණයට වඩා වැඩි ඡන්ද ප්රමාණයක් තම පක්ෂ දෙක ලබාගත් බවය.
තමන් ලබාගත් ඡන්ද ප්රමාණයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට එජා පෙරමුණ සමත් වුවහොත් මෙම ව්යාපාර දෙකට සාම වැඩපිළිවෙලට බාධා කිරීමට තිබෙන හැකියාව සීමා කළ හැකි වනු ඇති අතර, තමන්ගේ ඉදිරි ගමනට ජනාධිපතිනිය කෙරෙන් එල්ල වී තිබෙන බාධාවලට එරෙහිව ශක්තිමත් ලෙස නැගී සිටීමේ හැකියාව ද ලැබෙනු ඇත.
පොදු පෙරමුණ ලබාගන්නා ඡන්ද ප්රමාණයේ ශීඝ්ර පිරිහීමක් පොදු පෙරමුණේ දේශපාලන ශක්තිය දුර්වල කිරීමට හේතුවනවාට අතිරේක වශයෙන් ජනාධිපතිනියගේ පැවැත්ම ද අබල දුබල කිරීමට හේතුවනු ඇත්තේය. එය ජනාධිපතිනියට එරෙහිව පොදු පෙරමුණ අභ්යන්තරයේ පවත්නා කැරැල්ල ශක්තිමත් කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
මැතිවරණ ප්රතිඵල වඩාත්ම තීරණාත්මක ආකාරයකින් බලපානු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහිය. සාම වැඩපිළිවෙලට එරෙහිව තීරණාත්මක ලෙස සටන් කරන බලවේගය බවට පත්ව ඇත්තේ ඔවුන්ය. ඔවුන් වාර්ගික ප්රශ්නයට සාමකාමී විසඳුමක්ඇති කරගැනීමට දරන උත්සාහය දකින්නේ රට දෙකට බෙදා ඊළමක් ලබාදිමට දරන දේශද්රෝහී උත්සාහයක් ලෙසය. ජනතා විමුක්ති පෙරමුණට තමන් පසුගිය මැතිවරණයේදි ලබාගත් ඡන්ද අට ලක්ෂය ආරක්ෂා කරගැනීමට නොහැකි වී ඔවුන් ලබාගන්නා ඡන්ද ප්රමාණයේ කැපී පෙනෙන පිරිහීමක් ඇතිවුවහොත් එය ජනතා විමුක්ති පෙරමුණේ අවසානයක ආරම්භය ලෙස ක්රියා කරන සන්ධිස්ථානයක් ලෙස ක්රියා කරනු නොවැළැක්විය හැකිය. එය ජනතා විමුක්ති පෙරමුණේ සාම විරෝධී ජාතිවාදි වැඩපිළිවෙල මහජනතාවට පමණක් නොව, ඔවුන්ට ඡන්දය දුන් මහජනතාව පවා අනුමත නොකරන බව පෙන්නුම් කරන සංඥාවක් වනු නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් විමල් වීරවංශ, ටිල්වින් සිල්වා, නන්දන ගුණතිලක වැනි එම පක්ෂයේ ජනප්රිය නායකයින් පක්ෂ අභ්යන්තරයේම බලවත් අවුලකට තල්ලු වනු නොඅනුමානය.
මේ සටහන ලියන්නේ පළාත් පාලන මැතිවරණයට පෙර දිනයේය. මැතිවරණය පැවැත්වෙන දිනයේ මොන මොනවා වේදැයි කිව නොහැකිය. එහෙත් මෙතෙක් පැවති තත්ත්වය 1997 දි පොදු පෙරමුණ යටතේ පැවති පළාත් පාලන මැතිවරණය සමග සසඳන විට පොදු පෙරමුණට වඩා යහපත් හැසිරිමක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් වී තිබෙන බව කිව යුතුය. ප්රචණ්ඩ ක්රියාකාරකම්වල ප්රමාණය අඩුය. කල එළියේ මහා පරිමාණයෙන් මැතිවරණ කටයුතු සඳහා රාජ්ය සම්පත් යොදා ගැනීමක් ද සිදු නොවීය. වැදගත්ම දේ අගමැතිවරයා මැතිවරණ කටයුතුවලට බලවත් ලෙස සම්බන්ධ නොවී සිටීමය. ඒ නිසා ආණ්ඩුවේ බලවත් මෙහෙයවීමකින් තොරව මැතිවරණ කටයුතු සිදුවන තත්ත්වයක් ඇතිවිය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව සාමය ඇති කිරීම සඳහා ආරම්භ කොට තිබෙන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවාට අතිරේකව ජනාධිපතිනිය සමග කරන ගනුදෙනුව ද අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
ඒ සඳහා යොදාගත හැකි විකල්ප රාශියක් ඇතත්, ප්රශස්තම ක්රමය වනු ඇත්තේ විධායක ජනාධිපති ක්රමය තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ නම්, එම ක්රමය තුළ පවත්නා නොගැලපීම් ඉවත් කිරීම සඳහා ව්යවස්ථා ප්රතිසංස්කරණයකට යාමය. ඒ මගින් ජනාධිපතිවරයාට හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ලැබී තිබෙන බලය අහෝසි කළ හැකිය. කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගැනීම කෙරෙහිත්, කැබිනට් මණ්ඩලය ගනු ලබන තීන්දු කෙරෙහිත් වැරදි ලෙස බලපෑමට තිබෙන අයිතිය ඉවත් කළ හැකිය. ජනාධිපතිවරයෙකු ඉවත් කිරීම සඳහා ව්යවස්ථාවේ ඇති හාස්යජනක ප්රතිපාදනය සංශෝධනය කළ යුතුය. පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ජනාධිපතිවරයා ප්රතික්ෂේප කරයි නම් ජනාධිපතිවරයා ඉවත් කිරීමට දෝෂාභියෝගයක් අවශ්ය විය යුතු නැත. තුනෙන් දෙකේ ඡන්දයකින් පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරිමේ හැකියාවක් තිබිය යුතුය. එහෙත් ජනාධිපතිවරයෙකු චේතනාන්විතව ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝණය කරන අවස්ථාවකදි හා බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකදි පාර්ලිමේන්තුවේ බහුතර පිරිසකට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව තිබිය යුතුය. එවැනි යෝජනාවකට ඇතුළත් චෝදනා පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ කෙරෙන විමර්ශනයකදි ඒ චෝදනාවලට ජනාධිපති වරදකරුවකු බව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ නම් ජනාධිපතිවරයාගේ තනතුරු අහිමි කිරීමකට ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පමණක් ප්රමාණවත් විය යුතුය.
ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා යන ගමන තුළ වෙනදා දක්නට නොලැබුණු විධිමත් භාවයක් පවතී. දෙපාර්ශ්වයට තමන්ට ආවේණික කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා ඇප කැපවූ බවක් ද පෙනෙන්නට තිබේ. සාකච්ඡා සඳහා වන ඊළග අධියරයට එළඹීමට හැකිවනු ඇත්තේ කොටි සංවිධානය මත පනවා තිබෙන තහනම තාවකාලික පදනමකින් හෝ ඉවත් කරන්නේ නම් පමණය. වඩා සංකීර්ණ ප්රශ්න මතුවනු ඇත්තේ සාකච්ඡාමය අදියරයට ප්රවිෂ්ඨ වීමත් සමගය. සියල්ල අවසාන වශයෙන් තීන්දු කරනු ඇත්තේ කොටි සංවිධානයේ නායකයා ප්රභාකරන් ආයුධ සන්නද්ධ මාවත අතහැර ප්රජාතන්ත්රවාදි ප්රවාහයට එකතුවීමට සූදානම් ද නැද්ද යන ප්රශ්නය මතය. අද ලෝකයේ පවතින්නේ ආයුධ බලයෙන් සුළු ජාතියක් පාගා ගෙන සිටීමට ඉඩක් නැති හා එවැනි පීඩනයක් තිබෙන අවස්ථාවක පීඩිත පක්ෂයට පවා ආයුධ සන්නද්ධව ක්ර්රියාකිරීමට ඉඩක් නැති වාතාවරණයකය. ඒ අර්ථයෙන් දෑන් පවතින්නේ ශ්රී ලංකා ආණ්ඩුව කොටි සංවිධානයට සුපුරුදු යුද්ධයේ මාවත අතහැරිමට බල කෙරෙන තත්ත්වයකි. කොටි සංවිධානයට සුපුරුදු යුද්ධයේ මාවත අත්හැරිමට පහසු නැත. අපහසුවෙන් වුවත් සාමකාමී මාවතට පිටින් සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා දේශපාලන වශයෙන් සටන් කරන තත්ත්වයකට අවතීර්ණ වීමට හැකි වෙතොත්, ඔවුන් දේශපාලන වශයෙන් වඩා බලවත් තත්ත්වයක් හිමිකර ගැනීම ද නොවැළැක්විය හැකිය.
දකුණු අප්රිකාවේ මැන්ඩෙලාට ඉතා බලවත් දේශපාලන නායකයකු බවට පත්වීමට හැකිවූයේ අවශ්යම අවස්ථාවේදි ආයුධවලට ආයුබෝවන් කීමට අවශ්ය තියුණු දැක්මක් හා ඒ සඳහා අවශ්ය කරන මටසිලුටු භාවය ඔහු තුළ තිබුණු නිසාය. ඒ ධර්මතාව ප්රභාකරන්ට ද වලංගුය. ප්රභාකරන් සිය ජාතියේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා යොදාගෙන තිබෙන ප්රචණ්ඩ මාවත අතහැර සාමකාමී මාවතකට මාරුවීමට සමත් වෙතොත් සහ වඩා බලවත් හා පිළිගත් නායකයකු බවට පත්වීමෙන් නොනැවතී, දෙමළ ජනතාවගේ ඓතිහාසික දුක්ගැනවිලිවලට ද ගෞරවයට හේතුවන විසඳුමක් ඇති කරගැනීමට සමත් වනු ද නොවැළැක්විය හැකිය.
එහෙත් දෙපාර්ශ්වයම සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමකට යා යුත්තේ ජාත්යන්තර වශයෙන් එල්ල වී තිබෙන බලපෑම නිසා නොව, දෙපාර්ශ්වයටම ගෞරවනීය පැවැත්මක් සඳහා එසේ කිරිමේ අවශ්යතාව සලකාය.