මැතිවරණයේදි සිදුවූ වැරදි නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීමක්

March 24, 2002
Publication:
The UNF's large local government victory is read as a mandate for its peace programme and a rejection of the President and the JVP-led anti-peace forces. But the piece records black marks: opposition agents driven from polling stations and Samurdhi recipients' ballots used by others in some areas. It argues that the government, which had wanted a clean election but did not instruct its candidates firmly, must investigate and discipline its own offenders rather than point to election petitions.

පළාත් පාලන මැතිවරණයෙන් එජාපයට ලැබී තිබෙන විශාල ජයග්‍රහණය එජා පෙරමුණු ආණ්ඩුව විසින් ආරම්භ කොට තිබෙන සාම වැඩපිළිවෙලට පක්ෂපාතව ලැබී තිබෙන ජනවරමක් ලෙසත්, පෙරළා ජනාධිපතිනියට, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සාම විරෝධී බලවේගයන්ගේ ක්‍රියා කලාපයන්ට ජන අකමැත්තක් ඇති බව ප්‍රකාශ කිරීමක් ලෙසත් සැලකිය හැකි ය.

මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන ප්‍රධාන ම දේ සාමය යි. සාමය දිනාගැනීමෙන් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි ය. ඒ අරමුණ දිනාගත හැකි වනු ඇත්තේ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති ජනවාර්ගික අර්බුදයට සියලු පාර්ශ්වයන්ගේ ගෞරවයට හේතු වන කල් පවත්නා විසඳුමක් ඇති කරගත හැකි වේ නම් පමණ ය.

එජා පෙරමුණ ලැබූ මෙම ජයග්‍රහණය තුළ ආණ්ඩුවේ ගෞරවයට හේතු නොවන කළු පැල්ලම් ද ඇති බව කිව යුතු ය. ආදර්ශමත් පිරිසිදු මැතිවරණයක් ආණ්ඩුවේ නායකයන්ගේ අපේක්ෂාව වී තිබුණත්, මුළු රටේ ම නොවූවත්, සමහර ප්‍රදේශවල ලැබූ ජයග්‍රහණයේ ගෞරවය හීන කිරීමට හේතුවන දූෂණ සිදුවී ඇති බව ද අවධාරණයෙන් කිව යුතු ය. සමහර ඡන්ද මධ්‍යස්ථානවල විරුද්ධ පක්ෂ නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථානවලින් පළවා හරින ලද අවස්ථා ගණනාවක් වාර්තා වේ. සමෘද්ධිලාභීන්ගේ ඡන්ද පත්‍රිකා ලබාගෙන ඔවුන්ගේ ඡන්ද පාවිච්චි කිරිමේ සිද්ධීන් ද වාර්තා වේ. මේ වැරදි රටේ හැම තැනකම සිදුවී නැතත්, සිදුවී ඇත්තේ වෙනදා ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් හා මැතිවරණ දූෂණ ඉහළ මට්ටමක පැවති ප්‍රදේශවල පමණක් වුවත්, මේ තත්ත්වය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන සිදුවී ඇති ඒ වැරදිවලට වගකිවයුතු සිය පක්ෂයේ අයවලුන්ට දඬුවම් පැමිණවීම ආණ්ඩුවේ වගකීමකි.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනන්‍ය කෙරෙන්නේ මැතිවරණවලදි ය. එවැනි ඉතා වැදගත් අවස්ථාවන් පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම අනුව පවත්වාගෙන යෑම ආණ්ඩුවේ වගකීමකි. ආදර්ශමත් නිදහස් හා සාමකාමී මැතිවරණයක් ආණ්ඩුවේ නායකයන්ගේ අපේක්ෂාව වුවත්, එම අපේක්ෂාව ජයගැනීම සඳහා සිය අපේක්ෂකයන් හා පාක්ෂිකයන් දැනුවත් කරන වැඩපිළිවෙලක් ආණ්ඩුවට තිබුණු බවක් පෙනෙන්නට නැත. අඩුම වශයෙන් ඒ සඳහා වන බලවත් දැනුම් දිමක්වත් සිය අපේක්ෂකයන්ට කරනු ලැබුවේ නම් මේ තත්ත්වය මීට වඩා යහපත් ලෙස පාලනය කිරීමට හැකිවන්නට තිබුණ.

වෙනදා මෙන් නොව බරපතල වැරදි සිදුවූ තැන් ඇත්නම් මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරිමේ හැකියාවක් ලබාදි ඇතැයි ආණ්ඩුවට කිව හැකි වුවත්, එසේ කීම මේ ප්‍රශ්නයට පිළියමක් වන්නේ නැත. ආණ්ඩුවට මෙහිදි දිය හැකි හොඳම ආදර්ශය, සිදුවී ඇති වැරදි සොයා බලා වැරදි කළවුන්ට විනයානුකූලව දඬුවම් පමුණුවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය. එවැනි පිළිවෙතකින් අනාගතයේ මෙවැනි වැරදි සිදුවීමට තිබෙන ඉඩකඩ ඇහිරිය හැකි ය.