පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට අදාළ මහා පාවාදීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවිය. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය හා ඊට අදාළ ප්‍රොටකෝලය නීතිගත කිරීම සඳහා ආණ්ඩුව විසින් සකස් කොට අධිකරණයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට අනුමැතිය ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඒ මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට අදාළව එම ජාත්‍යන්තර සම්මුතියෙන් ලැබී තිබුණු ආරක්ෂාව අහෝසි කෙරිණ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය
ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අනුගමනය කළ පිළිවෙත හා එය විසින් පුරවැසි අයිතිවාසිකම් විෂයෙහි ඇති කරන්නට නියමිත විනාශකාරී ප්‍රතිඵල ගැන කරුණු සොයා බැලීමක් කරන්නට ප්‍රථම මෙම සම්මුතියේ පසුබිම තේරුම් ගැනීම වැදගත්ය.
1966 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේදී මූලික අයිතිවාසිකම් විෂයට අදාළව ජාත්‍යන්තර සම්මුති තුනක් සභා සම්මත කරගන්නා ලදි.
ඒවා මෙසේය.
1. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය
2. ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය
3. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පළමු වෛකල්පික ප්‍රොටකෝලය
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ලෙස සැලකෙනුයේ එම සම්මුතීන් තුන, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ දෙවැනි වෛකල්පික ප්‍රොටකෝලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය යන ලේඛන 05ටය.
මුලින් සඳහන් සම්මුතීන් තුන රටවල් 35ක ස්ථිරත්වයෙන් බලගන්වන ලද්දේ 1976දීය. 1966 දෙසැම්බර් වන විට ඊට අත්සන් තබා තිබුණු රාජ්‍යයන් සංඛ්‍යාව 132කි. ශ්‍රී ලංකාව ද මෙම ජාත්‍යන්තර සම්මුතීන් දෙකට 1980 ජූලි 11 වැනි දින අත්සන් තබන ලද අතර, 1997 සැප්තැම්බර් 1 වැනි දින එහි ප්‍රොටකෝලයට අත්සන් තබන ලදි.
මෙම ජාත්‍යන්තර සම්මුතියේ අරමුණ වූයේ එක්සත් ජාතීන්ගේ සංගමය තුළ සාමාජිකයන් ලෙස ඒකරාශි වී සිටින රාජ්‍යයන්ට මානව හිමිකම් සඳහා පොදු ප්‍රතිපත්තියක් ඇති කොට ඒ සඳහා පොදු එකඟතාවක් ඇති කරගැනීමය. එසේ ඇති කරගත් එකඟත්වයට අනුකූල භාවිතයන් එම රාජ්‍යයන් හි පවත්වාගෙන යෑමය. එම ප්‍රතිපත්තියට පටහැනිව කිසියම් රාජ්‍යයක් තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවේ නම් එහිදී අයිතිවාසිකම් අහිමිවූවන්ට දේශීය අධිකරණයෙන් සහන ලබාගැනීමට නොහැකි වූ අවස්ථාවලදී ජාත්‍යන්තර වශයෙන් සහන ලබාදිය හැකි ජාත්‍යන්තර ආයතන ක්‍රමයක් ඇති කිරීමය. එම ආයතන ක්‍රමයට ලැබෙන පැමිණිලි විභාග කොට තීරණයක් ලබාදීමේ බලය පැවරීමය. එසේ දෙනු ලබන තීරණ ස්වාධීන රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වන තත්ත්වයක් සහතික කිරීමය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 41 වැනි වගන්තිය අනුව අයිතිවාසිකම් උල්ලංඝනය කරන රාජ්‍යයකට එරෙහිව වෙනත් රාජ්‍යයකට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. එසේම ප්‍රොටකෝලයට අත්සන් තබා ඇති රාජ්‍යයක පුරවැසියකුට ද අයිතිවාසිකම් උල්ලංඝනයකදී එම රාජ්‍යයට එරෙහිව පැමිණිලි කළ හැකිය. දෙවර්ගයේම පැමිණිලි විභාග කරනු ලබන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පිහිටුවා ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (Committee දෙර ්‍යමප්බ ඍසටයඑි) මගිනි. රාජ්‍යයකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන පුරවැසියෙකුට එම අයිතිය හිමිවනුයේ අවශ්‍ය සුදුසුකම් (Admissibility ඍැුමසරපැබඑි) සම්පූර්ණ කර ඇත්නම් පමණය. අයිතිවාසිකම් උල්ලංඝනයකදී දේශීය ප්‍රතිකර්ම සම්පූර්ණ කළ යුතු බව ඉන් අදහස් වේ. එහි තේරුම අයිතිවාසිකම් අහිමි වූ පුරවැසියා ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත යායුත්තේ පළමුව ඒ රටේ අවසාන අධිකරණය වෙත ගොස් සාධාරණය ඉටු කරගත නොහැකි වූ අවස්ථාවකදී පමණක් බවය. එසේ නැතහොත් දේශීය ප්‍රතිකර්ම සම්පූර්ණ කිරීමෙන් තොරව මානව කමිටුව වෙත ඉදිරිපත් කරන පැමිණිල්ලක් සාමාන්‍යයෙන් එහි විභාගයට ගන්නේ නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය සම්මුතියට එරෙහිව ගියේ ඇයි?
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම වැළැක්වීමට අගවිනිසුරුවයා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකුට වඩාත්ම අවශ්‍ය වූයේ වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණය භුක්ති විඳින පරීක්ෂාවට ලක් නොවන පරම බලය යටතේ එම පිරිස විසින් සිදු කරනු ලබන අත්තනෝමතික ක්‍රියාකාරකම් අභියෝගයට ලක්වන තත්ත්වයක් ඇතිවන නිසාය. ඇත්ත වශයෙන් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවලට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ පැමිණිලි පෝලිමක් තිබුණි. මේ දක්වා ලංකා ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කමිටුව තීරණ 5ක් ප්‍රකාශ කර තිබෙන අතර, ඒ හැම තීරණයක්ම පාහේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවලට එරෙහිව දෙන ලද තීරණ ලෙස සැලකිය හැකිය. එම තීරණ අතරින් අදහස් පළකිරීමේ නිදහස හා හිතුවක්කාරී ලෙස නඩු පැවරීම්වලින් ආරක්ෂාවීමේ අයිතිය ආරක්ෂා කර දෙමින් මා විසින් කරන ලද පැමිණිල්ලට අදාළව දෙන ලද තීන්දුවත්, සාධාරණ නඩු විභාගයක් ලැබීමට තිබෙන අයිතිය හා නීතියට පටහැනිව දෙන දඬුවම්වලින් නිදහස්ව සිටීමේ අයිතිය තහවුරු කරමින් ටෝනි එම්මානුවල්ගේ පැමිණිල්ලට අදාළව දෙන ලද තීන්දුවත් ඉතා වැදගත්ය. මීට අතිරේකව තීරණයක් ලබාදීමට නියමිත පැමිණිලි අතර ද දේශපාලන හා නෛතික වැදගත්කමක් ඇති පැමිණිලි ගණනාවක් තිබේ. ඒ අතර එස්.බී. දිසානායකගේ පැමිණිල්ල ප්‍රධානය.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන තැනකට තල්ලුවීම කෙරෙහි බලපා තිබෙන එක් ප්‍රධාන හේතුවක් වන්නේ එහි ක්‍රියාකාරකම් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් නැතිකමය. දේශපාලනකරණය ඊළඟ හේතුවය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විනය පාලන බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයකින් හැර උසස් අධිකරණ දෙකේ විනිශ්චයකාරවරුන් තනතුරුවලින් පහකළ නොහැකිය. උසස් අධිකරණ දෙකේ ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කිරීමේ උනන්දුවක් පාර්ලිමේන්තුවට නැත. එවැනි උනන්දුවක් තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නායකයා විධායකයේ දේශපාලන අතකොලුවක් ලෙස ක්‍රියා කරයි නම් ආණ්ඩු පක්ෂය සිරිතක් ලෙස තමන්ට වාසිදායක ලෙස ක්‍රියා කරන අධිකරණ නායකයාට එරෙහිව ක්‍රියා නොකරන නිසා උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු දෝෂාභියෝගයකින් පවා පහ කිරීම දුෂ්කරය.
පාර්ලිමේන්තුවේ නිශ්ශබ්දතාව
අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා ජවි පෙරමුණ ඒකාබද්ධව ඉදිරිපත් කළ දෝෂාභියෝගයේදී අගවිනිසුරුට පක්ෂපාත විනිසුරුවරුන් තිදෙනක් පාර්ලිමේන්තුවේ කතානායකට එරෙහිව දෙන ලද වාරණ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. එය පාර්ලිමේන්තුවට එරෙහිව අගවිනිසුරුවරයාට හිතවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනෙකු විසින් දියත් කරන ලද නෛතික කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකිය. එම හිතුවක්කාරී ක්‍රියාවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ පක්ෂ භේදයකින් තොරව බලවත් විරෝධයක් මතු වුව ද තමන්ට තිබෙන අධිකරණ බලය නීතියට පටහැනිව හිතුවක්කාරී ලෙස පාවිච්චි කළ විනිසුරුවරුන්ට එරෙහිව දඬුවම් කිරීමක් සිදු නොවීය. එදා එම වාරණ නියෝගය පිළිබඳ කරුණු සොයා බලා විනිසුරුවරුන් නීතියට පටහැනිව හිතුවක්කාරී ලෙස බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇත්නම් ඔවුන්ට නිසි දඬුවම් පමුණුවන ප්රතිපත්තියකට ගියේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගමන් මග මීට වඩා යහපත් වන්නට ඉඩ තිබුණි. පාර්ලිමේන්තුව එසේ නොකිරීමෙන් පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් සිදුවූයේ යැයි කිව හැකිය.
හිතට එකඟව ක්‍රියාකිරීමට ඉඩක් නැතැයි කියමින් අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු එම කොමිසමෙන් ඉවත්වීම ද ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතුව තිබුණු තවත් වැදගත් අවස්ථාවකි. සාමාජික විනිසුරුවරිය හා විනිසුරුවරයා අධිකරණ සේවා කොමිසමෙන් ඉවත්වීම කෙරෙහි බලපා විනිසුරුවරුන් පත් කළ අවස්ථාවේදී හා අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත් කළ අවස්ථාවේදී එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට එරෙහිව සී. විශ්වලිංගම් ප්රමුඛ විද්වතුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය අවස්ථාවේදී ද සිදුවී තිබුණු වරද නිවැරදි කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට පෙත්සම්කරුවන්ට තර්ජනය කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. මෙසේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ව්‍යවස්ථාව මරා දමන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට පරම බලයක් තිබිය යුතුද?
ශ්‍රී ලංකාවේ අන් සියලු ආයතන දූෂිත සේ ම ශ්‍රේෂ්ඨාධිකරණය ද දූෂිතය. ඒ නිසාම ජාත්‍යන්තර මට්ටමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් තිබීම යහපත්ය. අනෙක් අතට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් ගරු කටයුතු හා පිරිසිදු තත්ත්වයක තිබෙන තත්ත්වයක් යටතේ වුවත් එහි ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කෙරෙන තත්ත්වයක් තිබීම රටේ යහපතට හේතුවේ. මොනම ආයතනයකටවත් පරීක්ෂාවට ලක් නොවන පරම බලයක් නොතිබිය යුතුය. පරම බලය දූෂිත වන අතර, ඒකාධිපති ක්රියාකාරීත්වයකට ඉඩ සලසයි. ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන අධිකරණය ලෙස සැලකීමේ පුරුද්දෙන් අපට වඩා දියුණු හා බලවත් රටවල් පවා ඉවත්ව තිබෙන අතර, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට හා ප්‍රොටකෝලයට අත්සන් තබා තිබෙන සාමාජික රටවල් ජිනීවාහි මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණවලට ගරු කරති.
අපට වඩා ඉතා බලවත් රටක් ලෙස සැලකිය හැකි කැනඩාව තම රටට අදාළව මානව හිමිකම් කමිටුව විසින් දෙන ලද තීරණයක් සම්බන්ධයෙන් ක්‍රියාකර තිබෙන ආකාරය මෙසේය.
පිටස්තර වාර්ගිකයෙකු සමග විවාහ වීම නිසා තමා අයත්ව සිටි ගීතිකා කණ්ඩායමකින් නෙරපා හැරීමකට ලක්වූ ඇමරිකානු ඉන්දියානු කාන්තාවක් එම අයිතිවාසිකම් උල්ලංඝනයට එරෙහිව කැනඩා අධිකරණය වෙත ගොස් සාධාරණ තීන්දුවක් හිමිකර ගැනීමට අසමත් වූ පසු ලැබී තිබුණු අධිකරණ තීරණය අභියෝගයට ලක් කරමින් ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කළාය. එය සුළු ජාතීන්ට හා අන්‍ය ආගමිකයන්ට අදාළ සම්මුතියේ 27 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බව තීරණය කළ මානව හිමිකම් කමිටුව සිදුවී තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනයට ඇයට වන්දි ගෙවා අදාළ දේශීය නීතිය එවැනි අයිතිවාසිකම් උල්ලංඝනයකට ඉඩ නොලැබෙන පරිදි ප්‍රතිසංස්කරණය කොට ඒ බව කමිටුවට වාර්තා කරන ලෙස කැනඩා රාජ්‍යයට දැනුම් දුන්නේය. කැනඩා රාජ්‍යය ඒ අනුව ඇයට වන්දි ගෙව්වා පමණක් නොව, ආරාවුලට හේතුවූ දේශීය නීතිය ප්‍රතිසංස්කරණය කොට ඒ බව කමිටුව වෙත වාර්තා කළේය.
යුරෝපීය රටවලට බලපාන ආකාරයට පිහිටුවා ගෙන තිබෙන යුරෝපීය සම්මුතිය අනුව ද යුරෝපීය රටවල ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූ අවසාන බලය අහිමි වී තිබේ. යුරෝපියානු සම්මුතිය යටතේ පිහිටුවා ඇති යුරෝපියානු කොමිසම හා යුරෝපියානු අධිකරණය මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ඇති කර තිබෙන ඉතාමත් කාර්යක්ෂම හා ඉතාමත්ම බලාත්මක ආයතනය ලෙස සැලකේ. යුරෝපීය සම්මුතියට පාර්ශ්ව වූ රාජ්‍යයන් සම්මුතියේ සඳහන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවකදී ඊට එරෙහිව යුරෝපියානු කොමිසමට පැමිණිලි කිරීමේ අයිතිය එම රාජ්‍යයන්ගේ පුරවැසියන්ට හිමිය. එහිදී ප්රශ්නය විසඳා ගැනීමට අසමත් වුවහොත් පැමිණිල්ල යුරෝපියානු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය හිමිය. යුරෝපියානු අධිකරණය දෙන තීන්දු පිළිපැදීමට සම්මුතියට අයත් පාර්ශ්ව බැඳී සිටී.
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මානව අයිතිවාසිකම් විෂයේදී ආරක්ෂාව සඳහා බඳින ලද තාප්ප දෙකක් තිබුණි. තරමක් දුර්වල වුවත්, පළමු තාප්පය ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. වඩා ශක්තිමත් තාප්පය වී තිබුණේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට බලරහිත කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලැබී තිබුණු රැකවරණය අහෝසි කර තිබෙන අතර, අවසානයේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය බලාත්මකභාව අහෝසි කිරීම මගින් පුරවැසියන්ගේ ආරක්ෂාවට තිබුණු ඊළඟ විශාල තාප්පය ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බුල්ඩෝසර් කර තිබේ. දැන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නෛතික වශයෙන් මානව හිමිකම් අහිමි කරනු ලැබූ විශේෂ මනුෂ්‍ය කොට්ඨාසයක් බවට පත්ව සිටිති.
මෙම අශෝභන තත්ත්වය ගැන ජනාධිපති කියන්නේ කුමක්ද? පාර්ලිමේන්තුව කියන්නේ කුමක්ද? දේශපාලන පක්ෂ හා ඒවාහි නායකයන් කියන්නේ කුමක්ද? වෘත්තීයවේදී සංවිධාන හා වෘත්තීය සමිති කියන්නේ කුමක්ද? ආගමික නායකයන් හා ජනමාධ්‍ය සංවිධාන කියන්නේ කුමක්ද?
මෙම තීන්දුවත් සමග ජිනීවාහි මානව හිමිකම් කමිටුව පමණක් නොව, වෘත්තීය සමිති ආරාවුල්වලදී අධිකරණ බලයක් ඇති ෂඛධ (ජාත්‍යන්තර කම්කරු සංවිධානය) හෝ අධ්‍යාපනය හා සංස්කෘතියට අදාළව ආරාවුල්වලදී අධිකරණ බලයක් ඇති යුනෙස්කෝව වැනි කිසිම ආයතනයක් ශ්‍රී ලංකාවට වලංගුවන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක පෑන් පහරකින් ශ්‍රී ලංකාව බුරුමයක් බවට පත්කර තිබේ. •