අධිකරණයට ගැලවුම්කාර භූමිකාවක් ඉටු කළ හැකි ද?

October 29, 2026
Publication:
The chief justice has become a popular source of hot news — changing the telecom tariff in consumers' favour, banning a satyagraha organised to extort from a sugar company, settling the grade one admission question the ministry could not. Ivan reads the signal he is sending — that everything but the courts has rotted — and answers that no institution is more answerable for the absence of the rule of law than the courts are.

ගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මහජනතාවගේ උනන්දුවට හේතුවන උණුසුම් පුවත් මවන ජනප්‍රිය මූලාශ්‍රයක් බවට පත්වී තිබේ.

ඔහු විධායකය අළලා කළ විවේචනයක් ආණ්ඩු විරෝධී බලවේග කුල්මත් කිරීමට තරම් හේතුවිය. ඔහු ටෙලිකොම් සමාගමේ බදු ප්‍රතිපත්තිය පාරිභෝගිකයන්ගේ වාසියට හේතුවන ලෙස වෙනස් කළේය. සෙවණගල සමාගමෙන් කප්පම් ලබාගැනීමේ අරමුණින් ඇමතිවරයෙකු විසින් සංවිධානය කොට පවත්වාගෙන ගියේ යැයි කියන සත්‍යග්‍රහ ව්‍යාපාරයක් තහනම් කොට සමාගමට අවහිර කරන ඒ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය. ආණ්ඩුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට විසඳා ගන්නට බැරි සංකීර්ණ ගැටලුවක් බවට පත්ව තිබූ 1 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රශ්නය කඩිනමින් විසඳා දුන්නේය. ඒ සමග ගුරුවරුන් පවත්වාගෙන ගිය උත්තර පත්‍ර බැලීමේ වර්ජනය ද විසඳා දුන්නේය.

ඉන්පසු අගවිනිසුරු තෝරාගත්තේ මේ රටේ කිසිම නායකයකුට විසඳන්නට බැරි ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබුණු ජනවාර්ගික අර්බුදයයි. යුද්ධය ප්‍රශ්නයට විසඳුමක් නොවන බව කියා උපරිම ලෙස බලය බෙදාගන්නා පිළිවෙතක් මගින් එය විසඳා ගත යුතු බව ඔහු කියා සිටියේය. දැන් බෝලය තිබෙන්නේ පීඩාවට පත් සුළු ජාතීන්ගේ පැත්තේය. ඔවුන්ගෙන් කවුරුන් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. ඒ සමග අගවිනිසුරුතුමා යුද්ධය තහනම් කොට බලය බෙදාහරින ලෙස විධායකයට හා පාර්ලිමේන්තුවට බල කෙරෙන නියෝගයක් නිකුත් කරනු නොඅනුමානය.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත අධිකරණය ගැන කියා තිබෙන කතාව නිවැරදිය. දැන් රටට විධායක ජනාධිපතිවරයකු හෝ කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නැත. පාර්ලිමේන්තුවක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අවශ්‍ය නැත. ඒ සියලු දෙනා ගෙදර යවා රට පාලනය කිරීමේ වගකීම අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණයට ලබාදිය යුතුය. එවිට ටික දිනකින් රට සුරපුරක් බවට පත්වනු නොඅනුමානය. අගවිනිසුරු ඍජු ලෙස හෝ අනියම් ලෙස රටට කියන්නට උත්සාහ කරන්නේ අධිකරණය හැර අන් හැම තැනක්ම කුණුවී තිබෙන බවය. මේ තත්ත්වයෙන් හෝ රට ඉතිරි වී තිබෙන්නේ තමන් යටතේ තිබෙන අධිකරණය නිසා බවය. රටේ අධිකරණ නායකයා රටට දෙන්නට යන එම සංඥාව නිවැරදිද?

රටේ නීතියේ පාලනයක් නැතිකම ගැන අන් හැම ආයතනයකට වඩා වගකිව යුත්තේ අධිකරණයයි. අධිකරණයෙන් ලැබුණු සහයෝගය නොවේ නම් මේ රටේ දේශපාලකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව මරා වළලා දැමීමේ ක්‍රියාව මේ තරම් පහසු නොවන්නට ඉඩ තිබුණේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම හා එය ආරක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීකම් අහිමි කරගැනීමෙන් තොරව පක්ෂ මාරු කළ නොහැකිය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මන්ත්‍රීකම් අහිමි කරගැනීමකින් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මාරුවීමේ ක්‍රමයක් ඇති කර දුන්නේ අධිකරණයයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලරහිත කිරීමට ද එය උනන්දුවෙන් ආධාර කළේය. අවසාන විග්‍රහයේදී නීතියේ පාලනයක් නැති තත්ත්වයක් රටේ ඇති කිරීමෙහි ලා අධිකරණය පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේය. ජනතාවට මානව හිමිකම් අහිමි කිරීමේදී ද එය පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේය.

අධිකරණය සාධාරණ නඩු විභාගයකින් තොරව මිනිසුන් හිරේ යවන ආයතනයක් ලෙස ක්‍රියා කළේය. බලයට පත්වන දේශපාලකයන්ට අත්තනෝමතිකව ක්‍රියාකිරීමට අවශ්‍ය රැකවරණය ලබා දුන්නේය. බලයට පත්වන ආණ්ඩු හා මහජනතාව අතර ඇතිවන ආරාවුල්වලදී මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරනවා වෙනුවට මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය.

දේශපාලකයන් පිස්සු නැටීම තේරුම් ගත හැකිය. අඩුම වශයෙන් එවැනි අය අවුරුදු 06කට වරක්වත් ගෙදර යැවීමේ අයිතිය මහජනයා සතුය. එහෙත් අධිකරණයේ තත්ත්වය ඊට වෙනස්ය. වැරදි කරන අධිකරණ නිලධාරීන් ගෙදර යැවීමේ හැකියාවක් මහජනතාවට නැත. අධිකරණය තිබෙන්නේ යුක්තිය පසිඳලන්නට මිස දේශපාලකයන්ට කේවට්ටකම් කරන්නට හෝ රට පාලනය කරන්නට නොවේ. අධිකරණය යුක්තිය ඉටුකරනවා වෙනුවට කර ඇත්තේ අයුක්තිය රජයන තත්ත්වයක් ඇති කිරීමය. ආයතනයක් වශයෙන් තමන් ද විනාශ වෙමින් මුළු දේශපාලන ආයතන ක්‍රමයම විකෘති කිරීමය. අධිකරණය අතින් සිදුවී තිබෙන ඒ වැරදි එක අධිකරණ නියෝගයකින් තබා අධිකරණ නියෝග දස දහස් ගණනකින්වත් නිවැරදි කළ නොහැකිය. •