මීළග පාර්ලිමේන්තුවෙහි සංයුතිය කුමක් වෙයි ද?.

December 2, 2001
Publication:
Ahead of the December 2001 election, the piece examines how the departure of the Muslim Congress, the Ceylon Workers' Congress and the NUA costs the People's Alliance about 15 seats. It works through the 2000 district results to show how bonus seats, the 5 per cent cut-off and remainders gave the JVP its ten seats, argues that the JVP is unlikely to become kingmaker, and projects a UNF vote near 50 per cent if rigging and violence are held in check.

ලංකාවේ 12 වැනි පාර්ලිමේන්තුව සඳහා පැවැත්වෙන මහ මැතිවරණයට ඇත්තේ තව දින කීපයකි. මෙවර මැතිවරණයේ ප්‍රතිඵල කෙසේ වේද? පොදු පෙරමුණ යළි බලයට පත්වෙයි ද? ප්‍රබල ඇමතිවරුන් හා දේශපාලනඥයන් රැසක් පොදු පෙරමුණෙන් බිඳී ගොස් එක්සත් ජාතික පක්ෂය සමග ගොඩනැගූ එක්සත් ජාතික පෙරමුණ බලයට පත්වේද? ආසන 10ක් පමණක් හිමිවී තිබියදි පරිවාස ආණ්ඩු වැඩසටහන මගින් පොදු පෙරමුණු ආණ්ඩුව නිසි මගට යොමු කළේ යැයි කියන ජනතා විමුක්ති පෙරමුණ ආසන කීයක් ජය ගනීද ? කවුරු ජයග්‍රහණය කළ ද ආණ්ඩු පිහිටුවීම සඳහා වන දුරස්ථ පාලනය ජවිපෙ සතුවේද? දැන් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සැමගේ අවධානය යොමුවී ඇත්තේ මේ ප්‍රශ්න කෙරෙහිය.

රාජ්‍ය බලය සඳහා මූලික වශයෙන් තරගය ඇත්තේ පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් අතරේය. ආණ්ඩු බලයක් අපේක්ෂා නොකළ ද ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් උතුරු-නැගෙනහිරින් බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ දේශපාලන පක්ෂ ගණනාවක සන්ධානය වූ “ද්‍රවිඩ එක්සත් සන්ධානයත්” සැලකිය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබෙතියි අපේක්ෂාවෙන් පසුවෙති.

මෙවර ජයගන්නේ කවුරුන් දැයි විමසීමට මීට වසරකට පෙර 2000 අගෝස්තු මස පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල පාදක කරගැනීම අනිවාර්ය වේ.

පසුගිය මහ මැතිවරණයේදි ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 75.61%ක් ඡන්ද පාවිච්චි කළහ. එය අනූ එක් ලක්ෂයක් පමණ වේ. මෙයින් ඡන්ද 4,81,000ක් ප්‍රතික්ෂේප විය.

එම මැතිවරණයේදි ප්‍රධාන දේශපාලන පක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණයන් හා හිමිවූ මන්ත්‍ර සංඛ්‍යා මෙසේ ය.

2000 මහ මැතිවරණයේදි දේශපාලන පක්ෂවල පැවති සංයුතිය මෙවර වෙනස් වී තිබේ. එය මෙවර ප්‍රතිඵලවලට බලපෑ හැකි ප්‍රධාන සාධකයක් වී තිබේ.

2000දි පොදු ජන එක්සත් පෙරමුණ සමන්විත වූයේ ශ්‍රීලනිප, ලසසප, කොප, ශ්‍රීලමප, දේශප්‍රේමී ජනතා පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු සංගමය සහ මහජන එක්සත් පෙරමුණ යන පක්ෂවලිනි.

2001 මැතිවරණයේදි මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු සංගමය පොදු පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පෙරමුණ හා සන්ධාන ගතවී සිටී. එවර මුස්ලිම් කොංග්‍රසය දිස්ත්‍රික් මන්ත්‍රී ධුර 6ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 1ක් දිනාගත් අතර ලංකා කම්කරු කොංග්‍රසය දිස්ත්‍රික් මන්ත්‍රී ධුර 3ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 1ක් දිනා ගත්තේය. ගියවර මුස්ලිම් කොංග්‍රසයේ හවුල් පක්ෂය වූ “ජාතික සමගි සන්ධානය” (NUA) මුස්ලිම් කොංග්‍රස් ලකුණ වූ “ගස” ලකුණන් වෙනම තරග කළ අතර, දිස්ත්‍රික් ආසන 3ක් සහ ජාතික ලැයිස්තු ආසන 1ක් ඔවුහු දිනා ගත්හ.

මෙවර ගියවර ආසන 15ක් නියෝජනය කළ මුස්ලිම් කොංග්‍රසය (7) ජාතික සමගි සන්ධානය නිල පිල (4) සහ ලංකා කම්කරු කොංග්‍රසය (4) එක්සත් ජාතික පෙරමුණෙන් තරග වැදිම නිසා බැලු බැල්මට එම පෙරමුණට ආරම්භයේ දිම වාසියක් ලැබී තිබේ. ලංකා කම්කරු කොංග්‍රසය එජා පෙරමුණ සමග සන්ධාන ගතවීම නිසා එම පෙරමුණට බදුල්ල දිස්ත්‍රික්කයේදිත් මහනුවර දිස්ත්‍රික්කයේදිත් ලොකු ශක්තියක් ලැබී තිබේ.

ඒ අනුව පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී සන්ධාන ශක්තිය ආරම්භයේදිම දිස්ත්‍රික් මන්ත්‍රී ධුර 12කින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 3කින් වශයෙන් ධුර 15කින් අඩුවේ.

ටෙලෝ, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, ඊපීආර්එල්එෆ් ප්‍රබල කණ්ඩායම, ද්‍රවිඩ එක්සත් පෙරමුණ සමග “දෙමළ එක්සත් සන්ධානය” ගොඩ නගා තරග වැදිම නිසා උතුරු නැගෙනහිරදි පොදු පෙරමුණට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ.

බලයේ සිටින ආණ්ඩුවක් මහ මැතිවරණයකට මුහුණ දිමේදි පවතින ආණ්ඩුව ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩුවීමත් විපක්ෂයේ ලබන ඡන්ද ප්‍රතිශතය වර්ධනය වීමත් සාමාන්‍ය තත්ත්වයයි. 1994 ජනාධිපතිවරණයේදි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලැබූ ඡන්ද ප්‍රතිශතය 62%ක් වූ අතර, 1999 දි ජනාධිපතිවරණයේදි එම ඡන්ද ප්‍රතිශතය 51% දක්වා පහත වැටිණ. 1994 පොදු පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රතිශතය 48.94% වූ අතර, 2000 මහ මැතිවරණයේදි එම ඡන්ද ප්‍රතිශතය 45.10% දක්වා පහත වැටිණ. මෙවර මැතිවරණයට අදාළ ජනමත විමසුම්වලට අනුව මේ වනවිට පොදු පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 10%කින් 35% දක්වා පහත වැටී තිබේ.

පොදු පෙරමුණේ ජේ‍යෂ්ඨ ඇමතිවරු, නාගරික මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නීතිඥ සංවිධාන සාමාජිකයන්, නීති උපදේශකයන්, පොදු පෙරමුණ හැර ගොස්, එක්සත් ජාතික පෙරමුණ වටා ගොනුවීම ද මෙම ඡන්ද ප්‍රතිශතය පහළ වැටීමට හේතුවී තිබේ.

මෙම සාධක ද සැලකිල්ලට ගෙන 2001 ප්‍රතිඵල කෙසේ විය හැකි ද විමසීමට පෙර විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණයකි. ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වය. ජනතා විමුක්ති පෙරමුණ 2000 මැතිවරණයේ දි ප්‍රථම වරට ඉදිරිපත්වී ආසන 10ක් දිනා ගැනීමත්, පොදු පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවකට යාමත් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය පොදු ජන එක්සත් පෙරමුණේම පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයක් සේ සලකා ආණ්ඩුවේ ජනමාධ්‍ය ක්‍රියා කිරීමත්, ජනතා විමුක්ති පෙරමුණ ඉතාම සීමිතව ආණ්ඩුවට අවලාද නැගීම හා පොදු පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණට කිසිදු පහරක් නොගැසීමත් නිසා ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ. ඒ මත අතර, ආසන විශාල ප්‍රමාණයක් ලබාගෙන මීළග ආණ්ඩුවල දුරස්ථ පාලකය විය හැකිය යන මතය ප්‍රබලව මතුවෙමින් තිබේ. 2001 මැතිවරණ ප්‍රතිඵල අනුව පොදු පෙරමුණට සහ එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි ආසන ප්‍රමාණය අනුමාන කිරීමට නම් ජවිපෙ තත්ත්වය පළමුව විමසා බැලීම අනිවාර්යය වේ.

මෙහිදි 2000 මහ මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව වැදගත් වේ.

ඒ ඒ දිස්ත්‍රික්කයට නියමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් තිබේ. උදාහරණයකට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙවර 21කි. 2000දි එම සංඛ්‍යාව 20කි. මහ මැතිවරණයේදි එම දිස්ත්‍රික්කයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ ලැබූ ඡන්ද අනුපාතයට ආසන බෙදා වෙන් කෙරේ. එහිදි ආසනයක හිමිකම ලැබීමට ගණන් ගැනීමට නම් පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5%ක් ලැබීම අනිවාර්යය වේ. මෙය සළුවීමේ සීමාවයි.

2000 වසරේදි කොළඹ දිස්ත්‍රික්කයේදි පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාව 10,14,220කි. සළුවීමට අවශ්‍ය 5% ඡන්ද 50,711කි. 5% සීමාවට වැඩියෙන් ගෙන ආසන සඳහා සළු වූයේ එජාපය-ඡන්ද 4,40,684යි. පොදු පෙරමුණ ඡන්ද 3,94,146 සහ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 78,133ක් පමණ. ඒ අනුව සළුවූ පක්ෂ ලබා තිබූ පක්ෂවල ඡන්ද ප්‍රමාණය 9,12,963කි. දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයට “ප්‍රසාද” (බෝනස්) මන්ත්‍රී ධුරය හිමිවන හෙයින් දිස්ත්‍රික්කයට නියමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් පළමුව මෙම “ප්‍රසාද” මන්ත්‍රී ධුරය ඉවත් කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේදි එවිට බෙදි යන්නේ මන්ත්‍රී ධුර 19ක් පමණ. එක් ආසනයක් ලැබිමට පක්ෂයක් ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව නිගමනය කරනුයේ සළු වූ පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 19න් බෙදිමෙනි. ඒ අනුව 2000 කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයක අවම ඡන්ද 48050ක් හිමිවිය යුතුවිය.

එජාපය ලැබූ ඡන්ද සංඛ්‍යාව 48,050න් බෙදූ විට ආසන 9ක් හිමි වී තවත් ඡන්ද 8234ක් ඉතිරිවේ. පොදු පෙරමුණ ලැබු 3,94,146 එසේ බෙදූ විට ආසන 8ක් හිමිවී තවත් ඡන්ද 9746ක් ඉතිරිවේ. ජවිපෙ ලැබූ ඡන්ද සංඛ්‍යාව බෙදිමේදි ආසන 1ක් හිමිවී තවත් ඡන්ද 30,073ක් ඉතිරි වේ. ප්‍රසාද මන්ත්‍රී ධුරයත් සමග දැන් එජාපයට මන්ත්‍රී ධුර 10කි. පො.පෙ. මන්ත්‍රී ධුර 8කි. ජවිපෙට මන්ත්‍රී ධුර 1කි. එවිට තවත් මන්ත්‍රී ධුරයක් ඉතිරිවේ. එහි හිමිකරු තෝරනුයේ මන්ත්‍රී ධුර හිමිවීමෙන් පසු ඉතිරිවූ ඡන්ද (කොට) සලකා බැලීමෙනි. ඉතිරිවු කොටවලින් ලොකු කොටය ජවිපෙ කොටයයි. එය ඡන්ද 30,073කි. ඒ අනුව එම කොට මන්ත්‍රී ධුරය ජවිපෙට හිමිවේ. එවිට එජාප 10කි. පොපෙ 8කි. ජවිපෙ 2කි.

සළු වූ පක්ෂ අතර ආසන වෙන් කරනු ලැබුවේ ආසනයක් සඳහා ඡන්ද 48050ක් වශයෙනි. සිහළ උරුමය කොළඹ දිස්ත්‍රික්කයේදි ඡන්ද 49,671ක් ලබා තිබුණ. එහෙත් එම පක්ෂය 5% සළුවීමේ සිමාවට 50711ක් ලබා නොතිබුණ. යම් හෙයකින් “සිහළ උරුමය” තවත් ඡන්ද 1040ක් ලබා සළුවී සිටියේ නම්, අවසානයේ ඉතිරි කොටසට හිමිවූ මන්ත්‍රී ධුරය හිමිවන්නේ සිහළ උරුමයටය. මේ අනුව ජවිපෙට මෙවර මැතිවරණයේදි ආසන තුනක් දිනාගැනීමට නම් ඡන්ද 1,50,000ක් ඉක්මවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලබාගත යුතුවේ. එනම් ගියවරට වඩා ඡන්ද 72,000ක් ලබාගත යුතු වේ.

ගම්පහ දිස්ත්‍රික්කය; ආසන 15කි. සළු වූ පක්ෂ වූයේ පොදු පෙරමුණ (4,70,018), එජාප (3,78,328) සහ ජවිපෙ (73110) පමණ. ඒ අනුව ආසනයකට හිමිකම් ලැබීමේ අවමය 54,203කි. “ප්‍රසාද” මන්ත්‍රී ධුරය පොදු පෙරමුණට වෙන් කළ පසු පොදු පෙරමුණට ආසන 8යි. ඉතිරි 36,390කි. එජාපය ආසන 7යි, ඉතිරි 53,110කි. ජවිපෙ ආසන 1යි. ඉතිරි 18907කි. ලොකු කොටයට හිමිවූ 18 වැනි අසුන ඒ අනුව එජාපයට හිමිවිය. ජවිපෙට තවත් ආසනයක් ලැබීමට තවත් ඡන්ද 35,296ක් ගත යුතුව තිබුණ.

කළුතර දිස්ත්‍රික්කය; ආසන 10කි. සළුවු පක්ෂය වූයේ පොපෙ (2,55,175) එජාපය (2,17,215) සහ ජවිපෙ (38,373)යි. ආසනයකට හිමිකම් කීමට ලැබිය යුතු ඡන්ද සංඛ්‍යාව 56,751කි. ඒ අනුව පොපෙට ප්‍රසාද ධුරය වෙන් කළ පසු පො.පෙ ආසන 4ක් හා ඉතිරිය 28,171කි. එජාපය මන්ත්‍රී 3 සහ ඉතිරිය 46,962කි. තවත් මන්ත්‍රී ධුර එකකි. ඉන් එකක් ඉතිරි ලොකු කොටය තිබූ එජාපයට හිමිවූ අතර පොපෙ ඉතිරිකොටය (28,171)ට වඩා ජවිපෙ කොටය (38,371) ලොකු වූ හෙයින් 10 වැනි මන්ත්‍රී ධුරය ජවිපෙට හිමි විය. ආසන දෙකක් ලැබීමට තවත් ඡන්ද 75,129ක් ගත යුතුවිය.

ගාල්ල දිස්ත්‍රික්කය; ආසන 10කි. සළු වූයේ පො.පෙ. (2,64,601), එජාපය (2,12,205), ජවිපෙ (41,620)යි. ආසනයක් සඳහා හිමිකම් කීමේ ඡන්ද සංඛ්‍යාව 57,586කි. “ප්‍රසාද” ධුරය පොපෙ වෙන් කළ විට ඉතිරි ආසන 9කි. පොපෙ ආසන 4යි ඉතිරිය 34,257කි. එජාපයට ආසන 3යි. ඉතිරිය 39,297කි. ජවිපෙ 41,600ක් හෙයින් එක් අසුනක් එම පක්ෂයට ද, ඉතිරි වැඩි කොටස හිමි එජාපයට ඉතිරි ආසනය ද හිමිවිය. ඒ අනුව පොපෙ 5, එජාපය 4, ජවිපෙ 1යි, ජවිපෙ ආසන 2ක් ලැබීමට නම් තවත් ඡන්ද 73,652ක් ලැබිය යුතු විය.

මාතර දිස්ත්‍රික්කය; ආසන 8කි. සළුවූයේ පො.පෙ. (2,03,690), එජාප (1,46,855) සහ ජවිපෙ (38,757)යි. ආසනයක් සඳහා ගත යුතු ඡන්ද ප්‍රමාණය 55,614ක් විය. ප්‍රසාද මන්ත්‍රී ධුරය පො.පෙ.ට වෙන් කළ විට ඉතිරි ආසන 7 පො.පෙ. මන්ත්‍රී 3යි, ඉතිරිය 36,848කි. එජාපය මන්ත්‍රී 2ක් හා ඉතිරිය 35,627කි. ජවිපෙ කොටය පොපෙ හා එජාප කොටවලට වඩා ලොකු හෙයින් මන්ත්‍රී ධුරයක් ජවිපෙට හිමිවිය. පො.පෙ. ඉතිරි කොටස ඊළගට ලොකු කොටය හෙයින් අවසාන මන්ත්‍රී ධුරය පො. පෙරමුණට හිමිවිය. ජවිපෙ තවත් ආසනයක් දිනීමට නම් තව ඡන්ද 72,471ක් ලැබිය යුතුවිය.

හම්බන්තොට දිස්ත්‍රික්කය; ආසන 7කි. සළු වූ පක්ෂය වූයේ එජාප (1,19,074), පො.පෙ. (1,10,305) සහ ජවිපෙ (42,042)ය. ආසනයට හිමිකම් සීමාව ඡන්ද 45,236කි. ප්‍රසාද මන්ත්‍රී ධුරය එජාපයට වෙන් කළ පසු එජාපයට ආසන 2යි ඉතිරිය 28,602කි. පො.පෙ. ආසන 2යි. ඉතිරිය 19833කි. ජවිපෙ ලබාගත් 42,042ට එක් මන්ත්‍රී ධුරයක් ද, ඉතිරි ලොකු කොටය වූ එජාප 28,602 ඉතිරි මන්ත්‍රී ධුරය ද හිමිවිය. ඒ අනුව එජාප 4, පො.පෙ. 2, ජවිපෙ 1යි. තවත් ආසනයකට ජවිපෙ තවත් ඡන්ද 48,430ක් ගත යුතුවිය.

කෑගල්ල දිස්ත්‍රික්කය; ආසන 9කි. සළු වූ පක්ෂ පො.පෙ. (2,01,114), එජාප (1,75,627) සහ ජවිපෙ (22,028)ය. ආසනයකට හිමිකම් සීමාව ඡන්ද 49,846කි. ප්‍රසාද ආසනය පො.පෙ. වෙන් කළ පසු ඉතිරිය පො.පෙ. ආසන 4යි, ඉතිරිය 11,730යි. එජාපය ආසන 3යි ඉතිරිය 26,089. ජවිපෙ 5% ලබා සිටියද, එජාප ඉතිරි කොටස 26,089 ජවිපෙට වඩා විශාල හෙයින් අවසන් ආසනය එජාපයට හිමිවිය. ජවිපෙට ආසන 2ක් ලැබීමට නම් තවත් ඡන්ද 72,471ක් ලැබිය යුතු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කය; ආසන 8කි. සළු වූ පක්ෂ වූයේ පො.පෙ. (1,69,424), එජාප (1,44,662) සහ ජවිපෙ (21,274) ය. ආසනයකට හිමිකම් ලැබීමේ සීමාව ඡන්ද 47,908කි. ප්‍රසාද මන්ත්‍රී ධුරය පො.පෙ. වෙන් කළ විට ඉතිරි ආසන 7න් පො.පෙ. ආසන 3යි ඉතිරිය 25,700. එජාප ආසන 3යි ඉතිරි 938යි. ජවිපෙ 21,274 (5.06%) ලබා සළුවී සිටියද එම ප්‍රමාණයට වඩා පොපෙ ඉතිරි කොටය විශාල වූ හෙයින් අවසාන ආසනය ද පොපෙට හිමිවිය. ඒ අනුව පොපෙ 5, එජාප 3යි. ජවිපෙට ආසන 2ක් ලැබීමට නම් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තවත් ඡන්ද 74,542ක් ලබාගත යුතුවිය.

කුරුණෑගල දිස්ත්‍රික්කය; ආසන 15කි. සළුවූ පක්ෂ වූයේ පො.පෙ. (3,58,794), එජාප (3,23,623) හා ජවිපෙ (40,780) ය. ආසනයකට හිමිකම් ලැබීමේ සීමාව ඡන්ද 51,585කි. ප්‍රසාද මන්ත්‍රී ධුරය පො.පෙ. වෙන් කළ විට ඉතිරිආසන 14ක් පො.පෙ. ආසන 6යි, ඉතිරිය 49,244කි. එජාපය ආසන 6, ඉතිරිය 13,073කි. පො.පෙ. ඉතිරිය 49,244 ලොකු කොටය හෙයින් එයට එක් මන්ත්‍රී ධුරයක්ද, එජාප ඉතිරි කොටයට වඩා ජවිපෙ ලැබූ ප්‍රමාණය විශාල හෙයින් ඉතිරි ආසනය ජවිපෙට ද හිමිවිය. ඒ අනුව පොපෙ 8, එජාප 6 සහ ජවිපෙ 1යි. ජවිපෙට ආසන 2ක් හිමිවීමට නම් තවත් ඡන්ද 62,390ක් ලබාගත යුතුවිය.

මොණරාගල දිස්ත්‍රික්කය; ආසන 5කි. සළු වූ පක්ෂ පො.පෙ. (91,404), එජාප (75,900) සහ ජවිපෙ (13,159). ආසනයක හිමිකම් සීමාව ඡන්ද 45,140කි. ප්‍රසාද මන්ත්‍රී ධුරය පො.පෙ.ට වෙන් කළ පසු පො.පෙ. ආසන 2යි ඉතිරි 1124කි. එජාප ආසන 1යි ඉතිරි 30760. ජවිපෙ 7.15% ලබා සළු වුව ද එජාපයේ ඉතිරි කොටය 30760ක් හෙයින් ඉතිරි ආසනය එජාපය සතුවිය. පො.පෙ. ආසන 3, එජාප ආසන 2. ජවිපෙට මොණරාගලින් ආසනයක් ලබාගැනීමට තවත් ඡන්ද 31,981ක් ලබාගත යුතුවිය.

ඒ අනුව 2000 මහ මැතිවරණයේදි ජවිපෙට ඉතිරි කොටවලට ද ඇතුළුව කොළඹින් 2, ගම්පහ 1, ගාල්ල 1, මාතර 1, කළුතර 1, හම්බන්තොට 1 සහ කුරුණෑගල 1යි වශයෙන් දිස්ත්‍රික්ක 7න් ආසන 8ක් හිමිවිය.

ජවිපෙ රත්නපුරදි ඡන්ද 22,222 (4.8%), මොණරාගල 13,159 (7.15%), මාතලේ ඡන්ද 10,673 (4.89%), කෑගල්ල ඡන්ද 22028 (5.35%), පුත්තලම ඡන්ද 12,317 (4.20%), අනුරාධපුරය ඡන්ද 21274 (5.06%), පොළොන්නරුව ඡන්ද 11,161 (6.27%), දිගාමඩුල්ල ඡන්ද 5696 (2.13%), මඩකලපුව ඡන්ද 295 (0.15%), ත්‍රිකුණාමලය ඡන්ද 3301 (2.47%), වන්නි ඡන්ද 444 (0.53%), යාපනය ඡන්ද 172 (0.14%), බදුල්ල ඡන්ද 16,414 (4.54%), නුවරඑළිය ඡන්ද 6299 (2.09%) සහ මහනුවර ඡන්ද 21565 (3.56%) ලැබුව ද එම දිස්ත්‍රික්ක 15න් එකදු අසුනක් හෝ දිනාගත නොහැකි විය.

ඒ ඒ දේශපාලන පක්ෂ දිවයිනෙන්ම ලබාගත් වලංගු ඡන්ද අනුපාතයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 ඒ ඒ පක්ෂ අතර බෙදේ. පසුගිය මහ මැතිවරණයේදි පාවිච්චි වූ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 85,93,668ක් විය. එය 29න් බෙදූ විට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පක්ෂයක් ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව 2,96,333කි.

ගියවර දිවයිනෙන්ම ඡන්ද 1,27,863ක් ලබාගත් සිහළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ හෙයින්, තම පක්ෂය දිස්ත්‍රික්ක වශයෙන් ආසනයක් දිනාගැනීමට අසමත් වුව ද දිවයිනෙන් ඡන්ද ලක්ෂයක් ගත්විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවන්නේය යන මුළාවෙන් වාමාංශික එක්සත් පෙරමුණු නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැන්නවුන් පවා පසුවේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක හිමිකමට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණය 2,96,333ක් වූ හෙයින්, පොදු පෙරමුණ ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 39,00,901ට මන්ත්‍රී ධුර 13ක් හිමිවූ අතර, ඡන්ද 47,572ක් ඉතිරි විය. එජාපය ලැබූ ඡන්ද 34,77,770ට ආසන 11ක් හිමිවී ඡන්ද 2,18,110ක් ඉතිරි විය. ජවිපෙ ලැබූ ඡන්ද 5,18,774ට ආසන 1ක් හිමිවී ඡන්ද 2,22,441ක් ඉතිරි විය. ඒ අනුව පළමු වටයේදි ඉහත පක්ෂ 3ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 24ක් හිමිවූ අතර, තවත් 5ක් ඉතිරි විය. ජාතික සමගි සන්ධානය (NUA) ඡන්ද 1,97,983ක් ලබා සිටි අතර සිහළ උරුමය ලබා සිටියේ ඡන්ද 1,27,863කි.

ඉතිරි ආසන 5 ඉතිරි ඡන්ද කොට අතර බෙදිමේදි ජවිපෙ ඉතිරිය වූ 2,22,441ට එක් අසුනක්ද, එජාප ඉතිරිය වූ 2,18,110ට තවත් ආසනයක් ද, ඊළගට වැඩි ඡන්ද ලබා සිටි ජාතික සමගි සන්ධානයේ ඡන්ද 197,983ට එක් අසුනක් ද, ඉතිරි 29 වැනි අසුන සිහළ උරුමයේ ඡන්ද 1,27,863ට හිමි විය. අවසානයේදි පො.පෙ. 13, එජාප 12, ජවිපෙ 2, ජාතික එක්සත් සන්ධානයට 1ක් හා සිහළ උරුමයට 1ක් වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදි ගියේය. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 3ක් ඉලක්ක කරන්නේ නම් සමස්ත වශයෙන් දස ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුවේ.

මෙවර මැතිවරණ ව්‍යාපාරයේ පෙළ ගැස්ම සැලකිල්ලට ගත්විට බොහෝ අය නාමයෝජනා අවස්ථාවේ අපේක්ෂා කළ පරිදි ජවිපෙට ආණ්ඩු මෙහෙයවන දුරස්ථ පාලකයක් වීම අපහසුය. 2000දි ලබාගත් දිස්ත්‍රික්ක ආසන 8 සහ ජාතික ලැයිස්තු ධුර 2 රැකගැනීම වුව ජවිපෙට ලොකු ජයග්‍රහණයකි.

මත විචාරණ මගින් දක්වා ඇති පරිදි පො.පෙ. ඡන්ද ප්‍රතිශතය 35% දක්වා පහත වැටීම අනුව එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 50% දක්වා වැඩිවිය යුතුය. මෙහිදි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු සංගමය, ජාතික සමගි පෙරමුණ මෙන් ම පොදු පෙරමුණ අතහැර පැමිණ කොටස් ද සැලකිල්ලට ගත් විට සහ ජවිපෙ මෙවර ලබාගන්නා සෑම අතිරේක ඡන්දයක් ම පොදු පෙරමුණෙන් උදුරා ගන්නා ඡන්ද නිසාත් එක්සත් ජාතික පෙරමුණට 50%ක ප්‍රතිශතයක් ලැබීම දුෂ්කර නොවේ. පසුගිය මහ මැතිවරණයේදි ද පො.පෙ. දිස්ත්‍රික්ක 15කදි ජයගෙන ප්‍රසාද ආසන 15ක් දිනා ගත්තේය. ඒ ඒ දිස්ත්‍රික්කවලදි පොපෙ දිස්ත්‍රික්ක දිනාගෙන ඇති වැඩි ඡන්ද ප්‍රමාණය මෙවර මැතිවරණ ව්‍යාපාරයේ පෙළ ගැස්ම අනුව ගණන් බලන විට පොදු පෙරමුණට රැක ගත හැකි බව සංඛ්‍යා ලේඛනවලට අනුව පෙනෙන්නේ දිස්ත්‍රික්ක 3ක් පමණ. එය ද ඉතා අසීරුවෙනි.

මේ තත්ත්වය යටතේ දෙසැම්බර් 5දා අලුයම 5-7 අතර හොර ඡන්ද මෙහෙයුම අක්‍රීය වුවහොත් හා ප්‍රචණ්ඩත්වය මගින් තවත් ඡන්ද වැළැක්වීමට අසමත් වුවහොත් 12 වැනි පාර්ලිමේන්තුවේ සංයුතිය දළ වශයෙන් මෙසේ විය හැකිය.