සාපරාධී අපහාස නීතියටත් වඩා එම නීතිය ජනමාධ්‍යවේදීන්ට එරෙහිව භාවිතයට යොදා ගැණුනු ආකාරය බිහිසුණුය.
දණ්ඩ නීතියේ 479 වැනි වගන්තිය යටතේ “කිසියම් පුද්ගලයෙකුගේ කීර්තියට හානි පැමිණවීමේ අදහසින් නැතහොත් හානි පැමිණෙනු ඇතැයි දැන දැන අපහාසාත්මක චෝදනාවක් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම ගැන”” වරදකරුවකු වන පුද්ගලයෙකුට අවුරුදු දෙක දක්වා වන සිරදඬුවමක් හෝ දඩයක් නියම කළ හැකිය. ප්‍රසිද්ධ කළ දේ සත්‍යයක් නම් හා එය පොදු ජන යහපත වෙනුවෙන් කරන ලද්දක් බව ඔප්පු කළ හැකි නම්, එවැනි ප්‍රසිද්ධ කිරීමක් සඳහා දඬුවම් පැමිණවිය නොහැකිය.
සාමාන්‍ය ක්‍රමය අනුව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ විය යුත්තේ සමථ මණ්ඩලයෙනි. සමථ මණ්ඩල මට්ටමේදී නිරාකරණය කරගත නොහැකි වූ ආරාවුලක් මහේස්ත්‍රාත් උසාවිය වෙත ගෙනා යුතුය. එහිදී සිදුවන මූලික පරීක්ෂණයෙන් චෝදනා ඔප්පු වන අවස්ථාවකදී පමණක් වරදකරුට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කළ හැකිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ ක්‍රමය පටු දේශපාලන දඩයම් සඳහා යොදාගත හැකි ආකාරයට වෙනස් කළේය. පුදුමයට මෙන් රටේ සිදුවී තිබෙන හැම හොඳ දෙයක් තුළ සේ ම හැම නරක දෙයක් තුළ ද ජේ.ආර්. ජයවර්ධනගේ හෙවණැල්ල ද දැකිය හැකිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ (පසුව එජාප පක්ෂයට එකතු වූ) ආර්.පී. විජේසිරි, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විවේචනය කරමින් කරන ලද ප්‍රසිද්ධ කතාවකට අදාළව සාපරාධී අපහාස නීතිය යටතේ නීතිපති ඔහුට එරෙහිව ජනාධිපති වෙනුවෙන් මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කළේය. ආර්.පී. විජේසිරි තමන්ට එරෙහිව නඩු පවරන ලද ආකාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. පැමිණිලි පක්ෂයේ තර්කය වූයේ නීතිපතිට මහේස්ත්‍රාත් උසාවියේ කෙරෙන මූලික පරීක්ෂණයකින් තොරව මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කිරීමේ බලයක් නැති බවය. ලඝු නොවන නඩුවකදී මහේස්ත්‍රාත් උසාවියේ කෙරෙන මූලික පරීක්ෂණයකින් තොරව නීතිපතිට මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කිරීමේ බලයක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද තීරණය විය.
ජේ.ආර්ගේ සංශෝධනය
එම තීන්දුවෙන් පසුව ආණ්ඩුව ලඝු නොවන නඩුවලදී නීතිපතිට සුදුසු යැයි පෙනෙන අවස්ථාවලදී මූලික පරීක්ෂණයකින් තොරව මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කළ හැකි ආකාරයට අපරාධ විධි විධාන සංග්‍රහය 1980දී සංශෝධනය කරන ලදි.
පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පාවිච්චි කිරීමට තිබෙන හැකියාව අහෝසිවීමත් සමග ජනමාධ්‍යවේදීන්ට සාපරාධී අපහාස නීතිය මහා පරිමාණයෙන් යොදා ගැනීමේදී නීතිපති, මහේස්ත්‍රාත් අධිකරණයේ කෙරෙන මූලික පරීක්ෂණයකින් තොරවම මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
මේ ක්‍රමයේදී චෝදනාලාභී පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් හිමිවිය යුතු අයිතිවාසිකම් ගණනාවක් අහිමි විය.
1. සමථ මණ්ඩලයේ ආරම්භ කෙරෙන නඩුවකදී අවශ්‍ය නම් සමථ මණ්ඩල මට්ටමේදීම සමාදානයක් ඇති කරගැනීමේ හැකියාව ලැබෙන්නේය.
2. ප්රශ්නය සමථ මණ්ඩල මට්ටමේදී විසඳා ගැනීමට නොහැකි වන අවස්ථාවකදී පවා මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවන මූලික පරීක්ෂණයකදී වඩා පහසුවෙන් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ හැකියාව ලැබෙන්නේය.
අනෙක් අතට ලඝු නොවන නඩුවලදී වගඋත්තරකරුවෙකුට ඇඟිලි සලකුණු දෙන්නට සිදුවන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු කරන මූලික පරීක්ෂණයකින් වරදකරුවකු වන අවස්ථාවකදී පමණය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ඇති කර තිබුණු ක්‍රමය අනුව මූලික පරීක්ෂණයකින් වරදකරුවකු නොවූ පුද්ගලයින්ට පවා අධි චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනා සනාථ වීමට පෙරම අපරාධකරුවකුසේ ඇඟිලි සලකුණු ලබා දෙන්නට සිදුවන්නේය. එය අමු අමුවේ කෙරෙන මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. අනෙක් අතට මූලික පරීක්ෂණයක් අහිමි කොට නීතිපතිගේ අභිමතය පරිදි අධි චෝදනා ඉදිරිපත් කරන විශේෂ අවස්ථාවලදී තමන් විසින් කරන සාධාරණ පරීක්ෂණයකින් පසුව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් සාධාරණ හේතු තිබෙන අවස්ථාවලදී පමණක් චෝදනා ඉදිරිපත් කිරීමේ යුතුකමක් නීතිපතිට තිබුණ ද නීතිපති ජනමාධ්‍යවේදීන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කළේ එවැනි සාධාරණ කරුණු සලකා බැලීමකින් තොරව හිතුවක්කාරී ආකාරයකටය. සියලුම නඩු පැවරීම් සිදුවූයේ දේශපාලන බලඅධිකාරියේ ඕනෑඑපාකම් මතය.
මට එරෙහිව 1994ට පෙර එජාප ආණ්ඩුව සාපරාධී අපහාස නඩු 05ක් ද, සාපරාධී අපහාස නීතිය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව සාපරාධී අපහාස නඩු 6 ක් ද පැවරීය.
සාපරාධී අපහාස නඩු 11කට මුහුණදීම සරල හෝ පහසු නැත. නඩු 11ක් වෙනුවෙන් ගත කරන්නට සිදුවූ කාලය අතිවිශාලය. නඩු දිනවල උසාවි යනවාට අතිරේකව නීතිඥයින් හමුවන්නට ද යා යුතුය. සතියකට නඩු දින හතරක් වැටෙන අවස්ථා ද තිබුණි. පුවත්පත වෙනුවෙන් සියලු කටයුතු කරන්නට සිදුවූයේ නඩු කටයුතු වෙනුවෙන් ද විශාල කාලයක් යොදන අතරතුරය. වැඩේ ගැස්සීමට එක නඩුවක් ඔප්පු වීම පමණක් ප්රමාණවත්ය. මගේ ජයග්‍රහණය සඳහා සියලු නඩු ජයගැනීම අවශ්‍ය වන විට, ආණ්ඩුවේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ මා එක නඩුවකින් පරාජය කිරීම පමණය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූ වහාම එජාප ආණ්ඩු කාලයේ පවරා තිබූ නඩු ඇය ලවා ඉවත් කරවා ගැනීමේ හැකියාවක් තිබුණ ද මා ඇයට එවැනි බලපෑමක් කරන තැනකට ගියේ නැත. අවසානයේ ජනාධිපතිනිය සමග ආරාවුල් ඇති කරගැනීමත් සමග තිබෙන නඩුවට අතිරේකව අලුතෙන් නඩු පටවන තත්ත්වයක් ද ඇතිවිය.
ආණ්ඩුව පවරන නඩුවලට මුහුණ දෙනවාට අතිරේකව සාපරාධී අපහාස නීතියට හා ඒ යටතේ නීතිපති නඩු පවරන ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කිරීම මගේ අභිලාෂය විය.
එහෙත් බොහෝ විට අධිකරණයේ අනුකම්පාව ලැබුණේ දූෂණයට එරෙහිව සටන් කරන අයට නොව, දූෂිත දේශපාලන බල අධිකාරියටය. වරක් දේශපාලන බලවතෙකුට අදාළ නඩුවකදී නඩුව විභාග කළ විනිසුරුවරයා සාක්ෂි දෙන්නට පැමිණි දේශපාලකයා ඉදිරියේ බය පක්ෂපාත හා යටහත් පහත් ස්වරූපයකින් හැසිරුණේය.
මම මහත් විශ්මයෙන් විනිසුරුවරයාගේ හැසිරීම දෙස බලා සිටියෙමි. එවැනි විනිසුරුවරයෙකුගෙන් යුක්තියක් බලාපොරොත්තුවන්නේ කෙසේද? ඊටත් වඩා මගේ විශ්මයට හේතුවූයේ මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විරෝධය පළකිරීමකින් තොරව නිශ්ශබ්දව බලා සිටීමය. මම සවස එම නීතිඥයා හමුවන්නට ගොස් මගේ නඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියෙමි. එහෙත් ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ඉවත් වූ විට ටික කලක් යන තෙක් කිසිම නීතිඥයෙක් ඒ නඩුව භාරගන්නේ නැත. ඒ අනුව මට ද සති කිහිපයක් යන තෙක් නීතිඥ සහායකින් තොරව නඩුව වෙනුවෙන් පෙනී සිටීමට සිදුවිය. සුරංජිත් මට හමුවූයේ එම දුෂ්කර අවස්ථාවේදීය. නඩුව වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියත්, විනිසුරුවරයා ඊට කැමති නොවීය. අවසානයේ එම තත්ත්වය ජයගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියටත්, ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියටත් යන්නට සිදුවිය.
තවත් වරක් මා විසින් විවේචනයට ලක් කළ විනිසුරුවරයෙකු ඉදිරියේ මගේ නඩුවක් විභාගයට ගැනිණ. හැරී ජයවර්ධනට අදාළව ඇසෙමින් තිබූ නඩුවක් විභාග කළ මේ විනිසුරුවරයාගේ පුතාට හැරී ජයවර්ධන විසින් තමා යටතේ ඇති එයාර් ලංකා සමාගමේ රක්ෂාවක් ලබාදීමේ සිද්ධියක් මා පුවත්පත මගින් හෙළිදරව් කර තිබුණි.
මගේ නඩුව ඔහු ඉදිරියේ විභාගයට ගැනීමට ඉඩ නොතැබිය යුතු බව මම සුරංජිත්ට කීවෙමි. මගේ නඩුව වෙනත් විනිශ්චයකරුවකු ඉදිරියේ විභාගයට ගන්නා ලෙස සුරංජිත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටියත්, විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට අධිකරණය ඉදිරියේ උණුසුම් ලෙස කරුණු ඉදිරිපත් කරන තැනකට යන්නට සිදුවිය. අවසානයේ විනිසුරුවරයා අඩියක් පස්සට ගත්තේය.
අපූරු අත්දැකීමක්
කවදාවත් අමතක කළ නොහැකි උසාවි අත්දැකීමක් වනුයේ මා විසින් පුවත්පත මගින් හෙළිදරව් කරන ලදුව පසුකලක ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වී තිබුණු හිටපු අගවිනිසුරුගේ නියෝගයක් මත හා මාගේ පැමිණිල්ලක් මත අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් පරීක්ෂණයක් කොට වරදකරුවකු කරනු ලැබ විනිසුරුවරයකු ඉදිරියේ මගේ නඩුවක් විභාගයට ගැනීමය. එය අහම්බෙන් සිදුවූවක් නොවන බව තේරුම් ගැනීමට අමාරු නොවීය. මෙම විනිසුරුවරයාට එරෙහිව සිදු කරන ලද පරීක්ෂණයේ පැමිණිලිකරු වූයේ මාය. එම පරීක්ෂණයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ සුරංජිත්ය.
දැන් මගේ නඩුව විභාගයට ගන්නට යන්නේ මා විසින් පැමිණිලි කරනු ලැබූ සුරංජිත් විසින් එම පැමිණිල්ල මෙහෙයවනු ලදුව ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් මගින් වරදකරුවකු කරනු ලැබූ පුද්ගලයකු ඉදිරියේය. සුරංජිත් එදා මා සමග උසාවි ගියේ සුපුරුදු සිනහවෙන් හා රසකතාවලින් තොරවය. අපට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ මාෆියාවක් සමග බව ඔහු ගමන අතරමගදී කිසියම් තැනකදී මා සමග කීවේය.
සුරංජිත් ඉතාමත් සන්සුන් ස්වරයකින් නඩුව වෙනත් විනිශ්චයකාරවරයෙකු ඉදිරියට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. විනිසුරුවරයා අප දෙදෙනාම දෙස බලා දැඩි ස්වරයකින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ සමග සුරංජිත්ගේ මුහුණේ කවදාවත් නොදුටු වෙනසක් සිදුවූ බව මට පෙනුණි. ඔහු නැවතත් කාරුණිකව එහෙත් දැඩි ස්වරයකින් ඒ ඉල්ලීම ඉදිරිපත් කළේය. නැවත විනිසුරුවරයා එම ඉල්ලීම කළේ මවාගත් හාස්‍යයකින් ද යුතුවය. ඉන්පසු සුරංජිත් පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය හමුවිය. මෙම නඩුව එම විනිශ්චයකාරවරයා ඉදිරියේ විභාගයට නොගත යුත්තේ ඇයිද කියා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන්නට තමන්ට සිදුවුවහොත් එය අධිකරණයේ ගෞරවයට හේතුවිය නොහැකි බව ඔහු ඇයට කීවේය. කතාවේ අක්මුල් ඇය ද දැන සිටියා විය යුතුය. ඇයගේ මැදිහත්වීම නිසා සුළු මොහොතකට අධිකරණයේ කටයුතු කල් තැබුණි. විනිසුරුවරයා සිය චේම්බරයට ගිය පසු ඇය එහි ගොස් ඔහු හමුවිය. ඉන්පසු අපේ නඩුව කල් තබන ලද මුත් ඉන්පසු කිසිදාක ඒ නඩුව එම විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැනුණේ නැත.
ඒ විශේෂ මොහොතේදී සුරංජිත් නිර්භීතවීමට අවශ්‍ය තරමට නිර්භීත නොවී නම්, එය ඛේදජනක අත්දැකීමකින් කෙළවර වන්නට ඉඩ තිබුණි. අධිකරණය ඉදිරියේ නිර්භීතවීමට අවශ්‍ය ශක්තිය ඇති නීතිඥයන් අද ඉතාමත් දුලබය. ඊටත් වඩා අවංක නීතිඥයින් දුලබය. පැමිණිලිකරු හෝ වගඋත්තරකරු බලවත් වන විට දුබල සේවාදායකයා බිල්ලට දී මඩිය තරකර ගන්නා නීතිඥ සම්ප්රදායක් රටේ පවතී.
නීතිඥයකු වශයෙන් සුරංජිත්ට තිබූ විශිෂ්ට ලක්ෂණය වනුයේ සේවාදායකයා කෙරෙහි ඇති අවංකභාවයට අතිරේකව නඩුවක් උපාය මාර්ගිකව සැලසුම් කිරීමට ඔහුට තිබුණු හැකියාවය. නිසැක වශයෙන්ම ඔහු සාපරාධී අපහාස නීතියට සිටි දක්ෂතම නීතිඥයාය. මා ඔහුගේ සේවාදායකයකු වනවාට අතිරේකව කිට්ටු මිත්‍රයෙකු වීම නිසාදෝ නඩු සැලසුම් කිරීමේදී ඔහු මට ද ඇහුම්කන් දුන්නේය. ඔහු මා පත්තරකාරයෙකුටත් වඩා සැලකුවේ චෙස්කාරයෙකු ලෙසය. මා සියලු අවුල් මැද ආරක්ෂිතව ජීවත් වන්නේ චෙස් නිසා බව ඔහු නිතර නිතර කීවේය. නඩු සැලසුම්කරණයේදී අපි එකට එකතු වී සාකච්ඡා කොට සැලසුම් කළෙමු.
නීතිපති සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය නීතියට පටහැනි බව අප දරන ලද මතය විය. අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී එසේ කිරීමට අවශ්‍ය අභිමත බලය තිබුණේ නීතිපතිටය. අපට මහේස්ත්‍රාත් අධිකරණයක මූලික පරීක්ෂණයකට ඉඩ නොතබා මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කරයි නම්, අඩුම වශයෙන් අධි චෝදනා ඉදිරිපත් කරන තැනකට යන්නට පෙර සාධාරණව කරුණු සලකා බැලීමේ යුතුකමක් හා වගකීමක් නීතිපතිට තිබුණේය. එහෙත් ඔහු අපට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කළේ එවැනි සාධාරණ කරුණු සලකා බැලීමකින් තොරවය. හුදෙක් දේශපාලන අධිකාරිය සතුටු කිරීම සඳහාය.
සුරංජිත් දරන ලද තවත් මතයක් වූයේ අධි චෝදනා පත්‍රයට නීතිපති අත්සන් කළ යුතු බවය. ඒ බලය වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි බව සුරංජිත්ගේ මතය විය. එහෙත් අධි චෝදනා පත්රවලට අත්සන් තබා තිබුණේ නීතිපති නොව නීතිපති වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ වෙනත් පුද්ගලයකු විසින්ය.
අපේ උපාය මාර්ගය
සාපරාධී අපහාස නඩුවලදී අප අනුගමනය කළ උපාය මාර්ගය වූයේ නීතිපති නඩු පවරන ප්‍රතිපත්තියට එරෙහිව හැම නඩුවකදීම විරෝධය පළ කිරීමයි. හැම අවස්ථාවකදීම අප ඉදිරිපත් කරන විරෝධයන් ප්‍රතික්ෂේප වූ අතර, අප ඉන්පසු කළේ මහාධිකරණ එසේ දෙනු ලබන තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියට යාමය. එය හරියටම නීතිපති මා වගඋත්තරකරුවෙකු ලෙස සලකා නඩු පවරන විට ඊට එරෙහිව නීතිපති වගඋත්තරකරුවකු කරමින් කෙරෙන නඩු පැවරීමකට සමාන විය.
විනිශ්චයකාරවරුන් අප පළ කරන විරෝධතා ප්‍රතික්ෂේප කළේ ඒවාට නීත්‍යානුකුල පදනමක් නොතිබුණු නිසා නොව, අපට පක්ෂපාත තීන්දුවක් ලබාදුනහොත් නීතිපති අර්බුදයකට යාම වැළැක්වීම සඳහාය. අප ඉදිරිපත් කළ විරෝධතාවකට එරෙහිව තීන්දුවක් දුන් එක් විනිශ්චයකාරවරයෙකු මා දන්නා වෙනත් පුද්ගලයෙකුට ප්‍රකාශ කර තිබුණේ සුරංජිත් ඉදිරිපත් කළ විරෝධතාව අකුරටම නිවැරදි බවත්, එහෙත් ඊට පක්ෂපාතව තීන්දුවක් දීමෙන් මුහුණ දෙන්නට සිදුවන ප්‍රතිවිපාක සලකා හිතට විරුද්ධව විරෝධතාව නිෂ්ප්රභා කළ බවත්ය.
අපි අපේ නඩුවලදී එවැනි උපාය මාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන ලද්දේ වඩා විශාල ක්‍රියාමාර්ගයකට අවශ්‍ය වටපිටාවක් ගොඩනැගීම සඳහාය. නීතිපති නඩු පවරන හිතුවක්කාරී ප්‍රතිපත්තියට එරෙහිව නීතිපති වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම හා එම නඩුවෙන් යුක්තිසහගත තීන්දුවක් ලබාගැනීමට අසමත් වෙතොත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ අභියෝගයට ලක් කිරීම අපගේ උපාය මාර්ගික අරමුණ විය.
නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට
නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව ආන්දෝලනයට හේතුවූ නඩු විභාගයක් විය. එම නඩුවේදී මා වෙනුවෙන් පෙනී සිටියේ ක්‍රිෂාන්ත වැලිඅමුණ, සුරංජිත් හේවාමාන්න වැනි නීතිඥ මණ්ඩලයක් සමග ආර්.කේ.ඩබ්. ගුණසේකර මහතාය.
එහිදී අප නගන ලද තර්කය වූයේ අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමේ අභිමත බලය ඇත්තේ නීතිපතිට බැවින් මූලික පරීක්ෂණයක් අහිමි වන ආකාරයකට අධි චෝදනා ඉදිරිපත් කරන අවස්ථාවකදී එසේ කළ යුත්තේ සාධාරණව කරුණු සලකා බැලීමකින් අනතුරුව බවය. එහෙත් නීතිපතිවරයා එවැනි ප්රතිපත්තියකින් තොරව තමන්ට ලැබී ඇති අභිමත බලය නීතියට පටහැනිව හා හිතුවක්කාරී ආකාරයකින් පාවිච්චි කරන ප්‍රතිපත්තියක් තුළ මාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ඔහු විසින් සිදුකර තිබෙන බවය.
නඩුව විභාගයට ගැනුණේ මාක් ප්‍රනාන්දු ප්රමුඛ ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වශයෙන් ක්‍රියා කළ කමලසබේසන් මහතාය.
මෙවැනි නඩු පැවරීම්වලට ඉඩ නොතැබිය යුතු බවටත්, මෙවැනි නඩු පැවරීම්වලට ඉඩ දුනහොත් නීතිපති විසින් පවරන හැම නඩු පැවරීමකට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ඉදිරිපත් වී නීතිපති වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කළ නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බවට කමලසබේසන් මහතා තර්ක කළේය.
කමලසබේසන් මහතාගේ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය බැහැර කළේය. නීතිපතිට තිබෙන අභිමත බලය පිළිබඳ අපේ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. නීතිපති තමන්ට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව පීඩාකාරී ලෙස හෝ හිතුවක්කාරී ලෙස යොදා ගනියි නම් නීතිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අධිකරණය ඉදිරියට ඒමේ අයිතියක් අසාධාරණයට ලක්වූ පුද්ගලයාට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඒ තීරණය පමණක් වුවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විෂයෙහි ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් විය. එහෙත් ඊළඟ කාරණයේදී එනම් නීතිපතිවරයා විසින් අපට එරෙහිව නීතියට පටහැනිව පීඩා කිරීමේ අරමුණින් අභිමත බලය යොදාගෙන ඇති බව පිළිනොගත්තේය. ඒ තරම් දුරක් ඉදිරියට යෑමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බව ද අපි දැන සිටියෙමු.
අපට අවශ්‍ය වූයේ මේ ආරාවුල දේශපාලන බලපෑම්වලින් තොරව සාධාරණව කරුණු සලකා බැලීමේ හැකියාවක් ඇති ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙනයාමය. ඒ සඳහා සුදුසු වටපිටාවක් ඇති කරගැනීමය. ඒ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරගැනීමය. ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියට යා හැක්කේ රටේ තිබෙන ඉහළම අධිකරණයට යාමෙන් අනතුරුව පමණය. ශ්‍රේෂ්ඨාධිකරණයට යාම මගින් ඒ සුදුසුකම අපි සම්පූර්ණ කරගත්තෙමු. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව ද එවැනි නඩුවකදී අපේ වාසියට හේතුවන බව අපි දැන සිටියෙමු.
එහෙත් අප අවතීර්ණවෙමින් සිටියේ මීට පෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙක් අත නොගැසූ අත්දැකීම් නැති අලුත් ලෝකයකටය.
නඩුව පැවරිය යුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව නොව ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිවය. නඩුවේ සියලු කටයුතු කළ යුතුව තිබුණේ වාචිකව නොව ලිඛිතවය. තර්ක ඉදිරිපත් කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා නීතිය අනුව නොව ජාත්‍යන්තර නීතිය අනුවය. බැලූ බැල්මට මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුවූ බව ඒත්තු ගැන්වෙන ආකාරයට පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුව තිබුණි.
ජිනිවාහී මානව හිමිකම් කමිටුවට
දුෂ්කරම දේ වූයේ පැමිණිල්ල කෙටුම්පත් කිරීමය. පැමිණිල්ල කෙටුම්පත් කිරීමේ හැකියාවක් සුරංජිත්ට තිබුණද එය ජාත්‍යන්තර නීතිය ගැන මනා අවබෝධයක් ඇති පළමු තත්ත්වයේ පුද්ගලයකු අතින් සිදුවිය යුතු බව සුරංජිත්ගේ මතය විය. ඔහු ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු ද නිර්දේශ කළේය. දළ කෙටුම්පතක් සුරංජිත් සකස් කර තිබුණි. පරිපුර්ණ අවසාන කෙටුම්පත සකස් කිරීම විශේෂඥයා වෙත බාරවූ වගකීම විය. එය සරල කාර්ය භාරයක් නොවූ අතර, ඒ සඳහා විශේෂඥයා ඉල්ලා සිටි මිල රුපියල් 85,000/-කි. අවසාන වශයෙන් සකස් කෙරෙන කෙටුම්පත ඔහු නිර්දේශ කරන තවත් පුද්ගලයෙකුට පෙන්විය යුතු බව සුරංජිත් කීවේය. ඔහුට ද ඒ සඳහා මිලක් ගෙවිය යුතුය. සුරංජිත් වැඩ කළේ නොමිලේය. පැමිණිල්ල සඳහා පමණක් නීතිඥ හා උපදේශක ගාස්තුව රුපියල් ලක්ෂයක් වනු ඇති බව අපේ තක්සේරුව විය. සුරංජිත් ගෙවන්නට සිදුවී තිබෙන මිල ගණන් ගැන විමසුවේය. මෙම නඩු විභාගය ලිඛිතව සිදු කෙරෙන නඩු විභාගයක් බැවින් ලිඛිතව කරුණු ඉදිරිපත් කරන්නට නියම කෙරෙන හැම වාරයකටම මීට සමාන නීතිඥ ගාස්තුවක් වැය කරන්නට සිදුවන බව අපිට පෙනුණි.
මාගේ පුවත්පත් ආයතනය මෙවැනි වියදමක් දරන්නට හැකියාවක් නැති දුප්පත් ආයතනයක් බව සුරංජිත් දැන සිටියේය. මා අරගල කරන්නේ මා වෙනුවෙන් පමණක් නොවන නිසා හා පොදුවේ සියලු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වන නිසා ජනමාධ්‍ය සංවිධානවලින් ආධාර ලබාගත නොහැකිදැයි ඔහු මගෙන් ප්‍රශ්න කළේය. මේ අදහස් පළකිරීමේ නිදහසේ අයිතිය වෙනුවෙන් කියන පළමු නඩුව නොවන බවත්, අවුරුදු අටකට ආසන්න කාලයක් තිස්සේ අදහස් පළකිරීමේ අයිතිය වෙනුවෙන් නඩු කීවේ එවැනි කිසිවකුගේ ආධාර ලැබීමකින් තොරව බවත් කිසිවකු ආධාර අවශ්‍යදැයි මගෙන් අසා නැති බවත් ඒ අවස්ථාවේදී සුරංජිත්ට කියන්නට මට සිදුවිය.
මම ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හමුවී මෙම නඩුව ආරම්භ කිරීම සඳහා කෙටුම්පත් කටයුතු සඳහා යන වියදම මට ලබාදිය හැකිදැයි විමසා සිටියෙමි. ඔහු එක පයින් ඊට එකඟ වී මට රුපියල් ලක්ෂයක චෙක්පතක් ලියා දුන්නේය. ඉන් රුපියල් 85,000ක් කෙටුම්පත සකස් කළ පුද්ගලයාට ද අනෙක්, රුපියල් 15,000 කෙටුම්පත විමර්ශනය කළ පුද්ගලයාට ද ගෙවීමි. අනෙක් වියදම් දරන ලද්දේ ආයතනය විසිනි. එංගලන්තයේ “ඉන්ටර් රයිට්ස්” ආයතනය ද නොමිලේ මූලික නීති උපදෙස් ලබාදීමෙන් අපට ආධාර කළේය.
අපගේ පැමිණිල්ල විභාගයට ගැනීමට තීරණය වී ඇති බව සඳහන් ලියවිල්ල ජිනීවාවලින් අපට ලැබුණු විට අප තුළ ඇතිවූ ආශ්වාදය අතිවිශාලය. පැමිණිල්ලේ පිටපත් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යවන ලද බවත්, ඊට ලැබෙන පිළිතුර අපගේ දැනගැනීම සඳහා අප වෙත එවන බවත් ඊට ද අප පිළිතුරු දිය යුතු බවත් එහි සඳහන් වී තිබුණි.
ශ්‍රී ලංකා ආණ්ඩුව අපගේ පැමිණිල්ලට එරෙහිව මූලික විරෝධයක් ඉදිරිපත් කළේය. මගේ පැමිණිල්ලට ඇතුළත් සමහර කාරණා ශ්‍රී ලංකාව ICPP ප්‍රොටකෝලයට අත්සන් තැබීමට පෙර සිදුවී ඇති දේවල් බැවින් පැමිණිල්ල විභාගයට නොගෙන නිෂ්ප්රභා කරන ලෙස ඉන් ඉල්ලා තිබුණි.
ආණ්ඩුවට අවාසිදායක
නඩුවක් බවට හැරීම
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු මූලික විරෝධයට එරෙහිව අපගේ ප්‍රති තර්ක ඇතුළත් පෙත්සමක් කෙටුම්පත් කොට ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත යැව්වෙමු. අපේ තර්ක පිළිගනිමින් කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ විරෝධය නිෂ්ප්රභා කොට පැමිණිල්ල විභාගයට ගත්තේය. දෙවැනි කෙටුම්පතට ද විශාල මුදලක් වැය කරන්නට සිදුවිය.
ආණ්ඩුව ඉදිරිපත් කළ විරෝධය නිෂ්ප්රභා වීමත් සමග නඩුව ගමන් ගනිමින් තිබෙන දිශාව තමන්ගේ වාසියට හේතු නොවන බව විදේශ අමාත්‍යාංශය සේ ම නීතිපති දෙපාර්තමේන්තුව තේරුම් ගත්තේය.
විරෝධය නිෂ්ප්රභාවීමෙන් පසු අපගේ පැමිණිල්ලට එරෙහිව ආණ්ඩුව සිය තර්ක ඇතුළත් පිළිතුරු පෙත්සමක් ගොනු කළේය. එහි ඉදිරිපත් කර තිබුණු තර්ක ඉතාමත් දුර්වල හා ළඳ බොළඳ තත්ත්වයක පැවති බව ද කිව යුතුය. ඊට ද අපි සාර්ථක පිළිතුරක් ඉදිරිපත් කළෙමු. එම පිළිතුර කෙටුම්පත් කිරීමට ද විශාල මුදලක් වැය විය.
මේ වන විට තමන්ගේ නඩුව ඉතාමත් අවාසිසහගත තැනක තිබෙන බව විදේශ අමාත්‍යාංශය සේ ම නීතිපති දෙපාර්තමේන්තුව ද හොඳාකාරවම දැන සිටියේය. මේ නඩුව නිසා මේ වන විට මට එරෙහිව පවරා ඇසෙමින් තිබූ සාපරාධී අපහාස නඩු නොඅසා දිගින් දිගට කල් තියන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය ඉවත් කරන ලද්දේ මේ අවස්ථාවේදීය. සාපරාධී අපහාස නීතිය ඉවත් කරන ලද බව ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් මානව හිමිකම් කමිටුව වෙත ද දැනුම් දුන්නේය.
වෙනත් කතුවරුන්ට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ පවරන ලද නඩු වහාම ඉවත් කරගන්නා ලද මුත් මා සම්බන්ධනේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය ගැන නීතිපති දෙපාර්තමේන්තුවට විචිකිච්ඡාවක් තිබෙන බව පෙනෙන්නට තිබුණි. මට එරෙහිව පවරා තිබෙන නඩු ඉවත් කරගන්නේ නම් එසේ කළ යුත්තේ මගේ ජිනීවා නඩුවට අගතියක් නොවන ආකාරයට බව හා ඒ බව නඩු ඉවත් කරගැනීමේදී සටහන් කළ යුතු බව ද සුරංජිත් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
සාපරාධී අපහාස නීතිය අහෝසි කර ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම් දී ඇති බැවින් ඒ ගැන අපට කියන්නට ඇත්තේ කුමක්දැයි මානව හිමිකම් කමිටුව අපගෙන් කරුණු විමසීමක් කරන ලදී. සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම හොඳ බව ප්‍රකාශ කරන අතර, එහෙත් එය අතීතයේදී සිදුකර තිබෙන උල්ලංඝනයන් ඇති කර තිබෙන හානියට පිළිතුරක් නොවන බව දැනුම් දුන්නෙමු.
අවසානයේ මගේ පරීක්ෂණය විභාග කළ 14 දෙනාගේ කමිටුව (ඊට දැන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව කෙරෙන පරීක්ෂණ ගැන සොයා බැලීමට පත් කර ඇති ජාත්‍යන්තර විද්වතුන්ගේ කමිටුවේ සභාපති ධුරය දරන භගවතී මහතා ද අයත් විය.) ශ්‍රී ලංකා ආණ්ඩුව මාගේ මානව හිමිකම් නිරන්තර ස්වරූපයකින් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරමින් ඒ සඳහා සුදුසු වන්දියක් ගෙවා දින 90ක් තුළ කමිටුවට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන්නේය.
කමිටුවේ තීන්දුව හා මා ඒ වෙනුවෙන් කරන ලද නෛතික අරගලය අගය කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් ක්‍රියා කරන ජාත්‍යන්තර සංවිධාන තුනක් ප්‍රකාශ නිකුත් කළේය. IFJ සංවිධානය ප්‍රකාශ කළේ එම තීන්දුව සාපරාධී අපහාස නීතිය බලපාන අන් සියලු රටවලට ද අදාළ බවය. එහෙත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන ඒ ගැන ප්‍රසිද්ධියේ එක වචනයක්වත් කතා කළේ නැත. තීන්දුවෙන් පසුව ශ්‍රී ලංකා ආණ්ඩුව ජනීවාහි මානව හිමිකම් කමිටුවට යවන සංදේශයක් මගින් මට අදාළව දී තිබෙන තීන්දුව පිළිගන්නා බවත්, සුදුසු වන්දියක් තීරණය කිරීමේ වගකීම මානව හිමිකම් කොමිසම වෙත පවරන බවත් දැනුම් දුන්නේය.
මේ වන විට තීන්දුව ප්‍රකාශ වී අවුරුදු තුනකට වැඩි කාලයක් ගතවී ඇතත්, තාමත් තීන්දුව තිබෙන්නේ ආණ්ඩුවේ කුණු කූඩයේය. එම තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ජනමාධ්‍ය සංවිධාන විසින් ද එක අල්පෙනෙත්තක තරම් දෙයක්වත් කර නැත. තීන්දුවේ ප්රායෝගිකභාවය වඩා වැදගත් වන්නේ මට නොව ජනමාධ්යවේදීන්ටය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට අදාළ ප්‍රොටකෝලයේ බලාත්මක තත්ත්වයක තබා ගැනීමෙන් ආරක්ෂාව ලැබෙන්නේ ඔවුන්ටය. තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීමට කළයුතු මොනවාදැයි මම දනිමි. එහෙත් ඒ ගැන පවා මා නිෂ්ක්‍රීය තත්ත්වයක සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂය කෙරෙහි මා තුළ ඇතිවී තිබෙන කලකිරීම නිසාය.
සාපරාධී අපහාස නීතියට එරෙහිව හා මිනිස් අයිතිවාසිකම්වලට අදාළ නඩු කටයුතු සඳහා ආයතනයට දරන්නට සිදුවී තිබෙන වියදම පිළිබඳ වරක් මා ගණන් බැලීමක යෙදුණෙමි. ලැබුණු පිළිතුර මා විශ්මයට පත්කිරීමට හේතුවිය. එම මුදල් කාර්ය මණ්ඩලයේ වැටුප් හා සුභ සාධන කටයුතු සඳහා යෙදවී නම් කාර්ය මණ්ඩලයේ ජීවිත මීට වඩා අලංකාර වන්නට ඉඩ තිබුණි.
ජනමාධ්‍ය හා ජනමාධ්‍ය
සංවිධාන කොයිබටද
ජනමාධ්‍යවල හැසිරීම දේශපාලන පක්ෂවල හැසිරීම තරම්ම බංකොළොත්ය. රටේ සිදුවන මහා පරිමාණයේ දූෂණ හෙළිදරව් කරන්නට ජනමාධ්‍ය කැමතිය. එවැනි හෙළිදරව් කිරීමෙන් පසු දින කිහිපයකින් ඔවුන් ඒවා අමතක කරයි. ජනමාධ්‍ය එක දිනක අන්ත දූෂිතයෙකු ලෙස අභිෂේක කරන පුද්ගලයකු තවත් දිනක ජාතියේ ගැලවුම්කාර වීරවරයෙකු ලෙස අභිෂේක කරයි. තමන් කරන හෙළිදරව් කිරීම් ගැන පසුවිපරම් කරන්නේම නැති තරම්ය. දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන විට අඩුම වශයෙන් තමන් ළඟ තිබෙන තොරතුරු අල්ලස් කොමිසමටවත් දෙන්නේ නැත. ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම් ගැන උනන්දුවක් ඇතත්, හරයාත්මක ක්‍රියාකාරකම් ගැන උනන්දුවක් ඇත්තේම නැති තරම්ය.
තොරතුරු පනතක අවශ්‍යතාව ගැන විටින් විට මහා හඬින් කතා කරනු ඇසේ. සමහර විෂයන්ට අදාළව තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කළ නීති ඇතත්, ඒවා බලාත්මක තත්ත්වයකට ගැනීමට උනන්දුවක් ඇත්තේම නැති තරම්ය. වත්කම් සහ බැරකම් නීතිය එම විෂය පථයට අදාළව තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කර ඇති නීතියකි. එය සම්මත කර ඇත්තේ විශේෂ නීතියක් වශයෙන් තුනෙන් දෙකක ඡන්දයෙනි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු සම්මත කර ඇති එම නීතිය ජනපතිට ද අදාළය. වත්කම් බැරකම් නීතියේදී ජනාධිපතිට පවා මුක්තිය අදාළ නැත. එම නීතිය යටතේ එම නීතිය යටතට වැටෙන සියලු බලවතුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ අයිතිය පොදු මහජනතාව සතුය. මේ නීතියට ලැබෙන වැදගත්කම සලකා එය බලාත්මක කරවා ගැනීම සඳහා මා අවුරුදු දහයක් විවිධ උත්සාහයන්හී නිරතව ඇත්තෙමි. හිටපු ජනාධිපතිනියට ඇය බලයේ සිටියදී ඇගේ හා ඇගේ ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඉල්ලා විටින් විට දුසිමකට ආසන්න ලියුම් ප්‍රමාණයක් ලියා ඇත්තෙමි. එම විෂයයේදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැවරෙන වගකීම මතක් කරදෙමින් කරන ලද ලිඛිත සැලකිරීම් නිසා එක්තරා ප්‍රමාණයකට මැතිවරණ කොමසාරිස්වරයා එම නීතිය බලගන්වන තැනකට ගියේය. තොරතුරු පනතක් වෙනුවෙන් සටන් කරන අතර දැනටමත් එම අයිතිය සීමිත රාමුවක් තුළ හෝ ලබාදී ඇති නීති බලාත්මක කරවා ගැනීමේ වැදගත්කම ගැන ජනමාධ්‍ය සංවිධාන සමග මා බොහෝ අවස්ථාවලදී කතා කර ඇතත්, කටින් බතල කොළ සිටුවන තැනින් ඔබ්බට යාමට ඔවුන් කැමති නැත.
කර්තෘ සංසදය ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතිය ඉදිරියට ගෙන ආ අවස්ථාවේදී එවැනි ආචාර ධර්ම පද්ධතියකට එකඟවීම විශාල වගකීමක් බාරගැනීමක් බව ප්‍රකාශ කරමින් ඒ මගින් පිළිගන්නා මූලධර්ම පිළිබඳව බැ?රුම් සාකච්ඡාවකට යමින් පොදු එකඟතාවක් ඇති කරගැනීමේ වැදගත්කම මම කර්තෘ සංසදයේ අවධානයට යොමු කළෙමි. එහෙත් එය ඒ මොහොතේ කෙරෙන සාකච්ඡාවකට පමණක් සීමාවිය. අප පිටින් ඇති කරන නීතිවලට විරුද්ධ විය යුතුය. ඒ සමග යහපත් ස්වයං පාලන තත්ත්වයක් පවත්වාගෙන යෑමට අප සමත්විය යුතුය. ජනමාධ්‍යවේදීන්ට ස්වයං පාලන ආයතන ක්‍රමයක් ඇතත්, ස්වයං පාලනයක් ඇත්තේම නැති තරම්ය.
විරෝධතා පිකටින් ව්‍යාපාර පැවැත්වීම, විරෝධය පළ කරන නිවේදන නිකුත් කිරීම යනාදිය වැදගත්ය. එහෙත් ඒ සරල දේවලින් පමණක් යහපත් වෙනස්කම් දිනාගත නොහැකිය. ඒ සඳහා වන දැක්මක් සේ ම ඉලක්ක දිනා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් ද තිබිය යුතුය. දුෂ්කර අරගලවලින් දිනාගත යුතු දේවල් තිබෙනවා සේ ම පහසුවෙන් දිනාගත හැකි දේවල් ද තිබේ. ලෝකයේ බොහෝ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ට විවෘත කර ඇත්තේ මහා සභා රැස්වීම් පමණක් නොවේ. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් ද ජනමාධ්‍යවලට විවෘතය. වඩා වැදගත් දේවල් සාකච්ඡා වන්නේ මහා සභා රැස්වීම්වල නොව කාරක සභා රැස්වීම්වලය. රාජ්‍ය නිලධාරීන් සහභාගිවන්නේ ද කාරක සභා රැස්වීම්වලටය. කාරක සභා රැස්වීම් ජනමාධ්‍යවලට විවෘත කර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් කිසිදු ජනමාධ්‍ය සංවිධානයක් කතා කරනවා මා අසා නැත. ඒ අයිතිය ඉතාමත් වැදගත් අයිතියක් වුවද ඒ අයිතිය දිනාගැනීම වෙනුවෙන් මහා අරගලයක් කිරීම අවශ්‍ය වන්නේ නැත. ජනමාධ්‍ය සංවිධාන එකට එකතු වී කතානායක හා පක්ෂ නායකයින් හමුවී කාරක සභා රැස්වීම් ජනමාධ්‍යවලට විවෘත කිරීමේ වැදගත්කම පෙන්වාදීමෙන් පමණක් වුවත්, ඒ අයිතිය දිනාගත හැකිය. එහෙත් අවාසනාවකට ජනමාධ්‍ය සංවිධාන වැදගත් කොට සලකන්නේ රටේ නිදහසට අදාළ ප්‍රායෝගික දේවල් නොව, ආටෝපකාරී පෙනුමත් ඇති අනන් මනන් දේවල්ය.
නිදහස වැදගත් වනුයේ නිදහස ගැන හැඟීමක් ඇති අයටය. ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන නිදහස ගැන මහා හයියෙන් කතා කළත් ඔවුන්ට නිදහස ගැන ඇත්ත හැඟීමක් තිබේ ද යන්න මට සැකසහිතය. •