තමුසෙ කව්ද” යන තේමාව යටතේ පසුගිය 14 වැනිදා පළවූ මාගේ ලිපියේ මහාචාර්ය නලින් ද සිල්වා ගැන පළවූ සඳහන ගැන ඔහු ඉරිදා දිවයින පුවත්පතට ලියන කොලමෙන් ප්‍රධාන සංරචකය ලෙස තමා අදහස් කළේ කුමක්ද යන්න විග්රහ කර තිබුණි.
ඔහු කියන්නේ තමා ප්‍රධාන සංරචකය ලෙස අදහස් කළේ සංස්කෘතිය ගැන මිස, ලොකු ගොඩවල් ගැන නොවන බවය. ඔහු ඒ මගින් අදහස් කළේ සංස්කෘතිය බව සත්‍යයකි. එහෙත් සංස්කෘතිය ගැන ගණන් බැලීමේ සාධක ලෙස යොදා ගන්නේ සිංහල භාෂාව කතා කරන හා බුද්ධාගම අදහන ජනයාගේ ප්රමාණයෙන්ය. සිංහල සංස්කෘතිය ප්‍රධාන සංරචකය බව කියන විට වෙනත් සංස්කෘතින් ද ඇති බව ඒ සියලු සංස්කෘතීන් අතරින් සිංහල සංස්කෘතිය ප්‍රධාන බව ද අදහස් වේ.
මහාචාර්යවරයා කියන ආකාරයට ජාතියක් ලෙස සැලකිය හැක්කේ සිංහල ජාතිය පමණය. දෙමළ හා මුස්ලිම් යන වර්ග ජනවර්ග ලෙස මිස, ජාතීන් ලෙස සැලකිය නොහැකිය. මහාචාර්යවරයා යුදෙව් සංස්කෘතියට එක හෙළා විරුද්ධය. එහෙත් ජාතීන් හා ජනවර්ග නිර්ණය කිරීමට උත්සාහ දරා ඇත්තේ යුදෙව් චිත්තයේම තාර්කික බලයක් ලෙස සැලකිය හැකි මාක්ස්වාදී විධි ක්‍රමය මත පිහිටාය.
ඔහු කියන්නේ පණ්ඩුකාභය රජ දවස යක්ෂ, නාග, දේව ආදී ගෝත්‍ර ද දඹදිවින් පැමිණි අර්ධ වෛදිකයින් ද, එකතු වී සිංහල ජාතිය ගොඩනැගීම ආරම්භ කළ බවය.
සිංහල ජාතිය බිහිවීමෙන් පසු මෙරටට පිටින් පැමිණි වුන් සිංහල සංස්කෘතියට අවශෝෂණය කරගනිමින් සිංහල බවට පත්වූ බවත්, ඔවුහු සිංහල බෞද්ධයන් වූ බවත්, නලින් කියයි. නලින් සිංහල ජාතියේ විකාශය ගැන කියන දේ නිවැරදි විය හැකිය. එහෙත් පිටතින් මෙරටට පැමිණි සියලු දෙනා සිංහලයින් බවට පත් නොවූහ. සිංහලයින් අතරට පැමිණ ඔවුන් අතර ජීවත් වූ අය සිංහලයන් බවට පත්වන විට දමිළයන් අතරට පැමිණ ඔවුන් අතර ජීවත් වූ අය දමිළයින් බවටත් පත්වූහ.
දුරාව නමින් හැඳින්වෙන ජන කණ්ඩායම කේරළයෙන් පැමිණි ජන කණ්ඩායමකි. ඔවුන්ගෙන් එක කොටසක් සිංහල ජනතාව අතර පදිංචි වන විට තවත් කොටසක් දමිළ ජනතාව අතර පදිංචි විය. සිංහල ජනතාව අතර පදිංචි වූ විට ජනයා සිංහල සංස්කෘතියට අවශෝෂණය වී සිංහල බවට පත්වන විට දෙමළ ජනයා අතර පදිංචි වූ අය දෙමළ සංස්කෘතියට අවශෝෂණය වී දමිළ බවට පත්විය.
සංස්කෘතියේදී එක ප්‍රවාහයක් නොව ප්‍රවාහ කිහිපයක් තිබුණි. ඒ අතර සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන විය. පෘතුගීසි යුගයේදී පෘතුගීසීන්ගෙන් එල්ල වූ පීඩනය නිසා පහතරට මුස්ලිම් ජනයා ආරක්ෂාව සඳහා කන්ද උඩරටට ගියේය. කන්ද උඩරට සිංහල රජු ඔවුන්ට රැකවරණය ලබාදෙමින් ජනපද ඇති කරගැනීමකට ද අනුග්‍රහය දුන්නේය. ඔවුන් සිංහල ජනතාව අතර ජීවත්වෙමින් දෙමළ භාෂාවට අතිරේකව හොඳින් සිංහල භාෂාව කතා කළ හැකි ජනතාවක් බවට පත්වුවත් සිංහල වූයේ නැත. හේතුව ඔවුන් බුද්ධාගම වැළඳ නොගැනීමය.
පෘතුගීසි යුගයේදී කතෝලික ආගම වැළඳ ගත් ජනයා අතර මුහුදුබඩ ප්‍රදේශවල කරාව කුලයේ (සිංහල ප්‍රදේශවල කරාව හා දෙමළ ප්‍රදේශවල කරයාර්) ජනයා ප්‍රධාන විය. පහතරට මුදලි පෙරුවට අයත් හා වෙනත් කුලවලට අයත් ජනයා ද කතෝලිකාගම වැළඳ ගත්තේය. කතෝලිකාගම වැළඳ ගත්තවුන්ගෙන් විශාලතම පිරිස සමන්විත වුණේ සිංහල ජනතාව අතර කරාව ලෙස හා දෙමළ ජනයා අතර කරෙයාර් ලෙස හැඳින්වෙන ජනයාය. අදත් ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ගෙන් බහුතර පිරිස සමන්විත වන්නේ එම කුලයට අයත් ජනයාගෙනි.
පෘතුගීසීන්ගෙන් පසු එළඹෙන ලන්දේසි යුගයේදී කතෝලිකාගම අදහන්නන්ට එරෙහිව දියත් වූ මර්දනයේදී කතෝලිකාගම වැළඳ ගත් කරාව ජනයා කතෝලිකාගම අතහැර ලන්දේසි ආගම වැළඳ ගත්තේ නැත. දකුණේ ජීවත් වූ ඔවුන්ගෙන් කිසියම් පිරිසක් ආරක්ෂාව පතා කන්ද උඩරටට ගියේය. කන්ද උඩරට සිංහල බෞද්ධ රජු ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේය.
ඊළඟට එළඹෙන යුගයේදී ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයට එරෙහිව පැන නැගෙන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කොඳුනාරටිය ලෙස ක්‍රියා කරන්නේ ද කරාව ජනතාවය. කරාව කුලයේ ආදිතමයින් විටින් විට දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ ජන කණ්ඩායමකින් පැවත එන්නන් බව බ්‍රයිස් රයන්, බී.එච්. ෆාමර්, රැල්ෆ් පීරිස්, මයිකල් රොබට්ස් වැනි සමාජ විද්‍යාඥයින්ගේ මතය වී තිබේ. එහෙත් ඒ සියලු දෙනා එක ආගමකට, එක ජාතියකට හෝ එක භාෂාවකට අයත්වන්නේ නැත. ඔවුන් අතර බෞද්ධයෝ ද, හින්දුහු ද, ක්‍රිස්තියානිහු ද සිටිති. වර්ගය අනුව ගත් විට සිංහලයන් සේම දමිළයින් ද සිටිති. සිංහල භාෂාව මව් භාෂාව ලෙස හා දමිළ භාෂාව මව් භාෂාව ලෙස සලකන කණ්ඩායම් දෙකක් සිටිනවා සේ ම ජාතිය සිංහල ලෙස සලකන එහෙත් ගෘහ ජීවිතයේදී දමිළ භාෂාව භාවිතා කරන විශේෂ ජන කණ්ඩායමක් අදත් වෛයිකාල ප්‍රදේශයේ ජීවත් වනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ කරාව ප්‍රජාව රටේ දියුණුව පිණිස කැපී පෙනෙන දායකත්වයක් දුන් ප්‍රජාවක් ලෙස සැලකිය හැකිය. පුරෝගාමී ව්‍යවසායකයන් වැඩි පිරිසක් බිහිකිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්ටය. දේශපාලන අදහස්වල පෝෂණයට ද ඔවුන්ගෙන් ලැබී තිබෙන දායකත්වය අතිවිශාලය. එසේම රටේ ප්‍රධාන ආගම් තුනක (බෞද්ධ, හින්දු හා කතෝලික) පුනර්ජීවනයේ කොඳුනාරටිය ලෙස ක්‍රියාකර ඇත්තේ ඔවුන්ය. සිංහල කැරලිකාර තරුණ පරපුරේ නායක රෝහණ විජේවීර සේ ම දෙමළ කැරලිකාර තරුණ පරපුරේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් අයත් වන්නේ ද එම ජන ප්‍රජාවටය.
මහාචාර්යවරයා ප්‍රධාන සංරචකය පිළිබඳව ලියන විවරණයේදී නව ජාතියක් නිර්මාණය කිරීමේ ප්රශ්නය ගැන ද කතා කරන්නට උත්සාහ කර තිබේ. ලාංකික ලෙස සිතන අය රටේ විරල බව ඔහු කියයි. ලාංකික නමින් ජාතියක් ඇති නම් එහි භාෂාව කුමක්ද යන ප්රශ්නය ද ඔහු මතු කරයි. ඔහු සිතන්නේ දැනටමත් ජාතියක් බවට පත්ව ඇති සිංහල ප්රවාහයට ජාතියක් බවට පත්ව නැති අන් වර්ග ද එකතුවීම මගින් සියලු දෙනා සිංහල සංස්කෘතියේම අතුරු සංරචක බවට පත්වී මෙම අර්බුදය විසඳාගත යුතු බවය. දෙමළ හා මුස්ලිම් ජනයා සිංහලවීමට කැමති නම්, එය ප්රශ්නය විසඳාගත හැකි එක් මගක් බවට සැකයක් නැත. එහෙත් තිබෙන ප්රශ්නය එම ජනවර්ග දෙකම සිය වාර්ගික අනන්‍යතාව හා සංස්කෘතිය අත්හැරීමට සූදානම් නැතිවීමය. ඔවුන් බලහත්කාරයෙන් සිංහලයන් බවට පත් කළ නොහැකිය. ජනවර්ග ගණනාවක් එකතු වී එක පොදු ජාතියක් බවට පත්වූ විට හැමවිටම එම ජාතිය එක භාෂාවක් කතා කරන එක ආගමක් අදහන ජාතියක් බවට පත්වන්නේ නැත. ඉන්දියානුවෝ පොදු ජාතියක් බවට පත්ව සිටිති. එහෙත් ඔවුන් එක භාෂාවක් කතා කරන ජාතියක් නොවේ. භාෂා සිය ගණනක් කතා කරන ජාතියකි. එක ආගමක් අදහන ජාතියක් ද නොවේ. ආගම් ගණනාවක් අදහන ජාතියකි. එම ජාතිය තුළ උප වර්ග සිය ගණනක් සිටින අතර, ඒ හැම වර්ගයක්ම තමන් ජාතියක පංගුකාරයන් ලෙස සලකනුයේ මහත් අභිමානයෙනි. එම එකතුව එක ජාතියක් ලෙස එකට තබාගත හැකි කදිම දේශපාලන ක්‍රමයක් ඔවුන් නිර්මාණය කරගෙන තිබෙන අතර, පොදු ජාතිය එකට තබා ගැනීමට හේතුවන මනා කළමනාකරණ රටාවක් ද පවත්වාගෙන යනු දැකිය හැකිය. අපේ රටේ අර්බුදයට තිබෙන හොඳම විසඳුම එවැනි තැනකට යාම මිස, සියලු ජනවර්ග බලහත්කාරයෙන් සිංහල කිරීම නොවේ. තමා අයත් වර්ගයට, ආගමට හා භාෂාවට ආදරය කිරීම යහපත්ය. එහෙත් තමා අයත් වර්ගය ආගම හා භාෂාව අන් සියලු වර්ග ආගම් හා භාෂාවන්ට වඩා උසස් ලෙස සලකා අන් වර්ග ආගම් හා භාෂා පහත් කොට සලකන ප්‍රතිපත්තියක් විනාශදායකය.
නියට්ෂේ ද උගත්ය. මහාචාර්ය නලින් ද සිල්වාටත් වඩා උගත්ය. නියට්ෂේ ද මහාචාර්ය නලින් ද සිල්වා තරම්ම අවංකය. නලින් ද සිල්වා මෙන් ඔහු ද තෝරාගත් විශේෂ ජාතියක් වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ඔහු දැන හෝ නොදැන ඉදිරි මග සකස් කළේ හිට්ලර්ටය. හිට්ලර් නියට්ෂේගේ දේශපාලන ඵලයක් ලෙස සැලකිය හැකිය. මහාචාර්ය නලින් ද සිල්වා ද දැන හෝ නොදැන පසුබිම සකස් කරමින් තිබෙන්නේ සිංහල හිට්ලර් කෙනෙකුටය. •