ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් පවත්නා රටක උත්තරීතර දේශපාලන ආයතනය ලෙස සැලකෙන්නේ පාර්ලිමේන්තුව ය. අවසාන විග්රහයේ දි රටට ප්රතිපත්ති සකස් කරන්නේ ද නීති සම්පාදනය කරන්නේ ද පාර්ලිමේන්තුව ය.
මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව රටේ සිදුවන දේවල් කෙරෙහි අවදියෙන් සිටිය යුතු ය. රටේ සිදුවන දේවල් දැකීමේ හැකියාවක් ඇසීමේ හැකියාවක් හා සමාජයේ සිදුවන දේවල ගඳ සුවඳ ආග්රහණය කිරිමේ හැකියාවක් එයට තිබිය යුතු ය.
අපේ රටේ පවතින විධායක ජනාධිපති ක්රමය යටතේ ජනාධිපති පාර්ලිමේන්තුවේ අසුන් නොගත්තත් ජනාධිපති පාර්ලිමේන්තුවට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් සම්බන්ධ ය. කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා මන්ත්රීවරුන් වන විට කැබිනට් මණ්ඩලයේ ප්රධානියා ලෙස ක්රියා කරන්නේ ජනාධිපති ය. ජනාධිපතිට කැබිනට් මණ්ඩලය මගින් අවශ්ය අවස්ථාවල දි පාර්ලිමේන්තුවට දැනුම් දිමක් කළ හැකි අතර ඍජු ලෙස ද පාර්ලිමේන්තුවට දැනුම් දිමක් කළ හැකි ය. විධායක තනතුරු උසුලන හා එවැනි තනතුරු නොඋසුලන මහජන නියෝජිතයින් මහජනයා පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් කරන සැලකිරීම්වලට සවන් දිය යුතු ය. ඒ සැලකිරීම් අතර මහජන වැදගත්කමක් ඇති කරුණුවල දි ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කළයුතු ය. ඊට අතිරේකව සැලකිරීමක් නැතිව වුවත් රටේ කොතැනක හෝ බරපතළ වරදක් සිදුවන බව පෙනෙන විට ඒ ගැන ද පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කළ යුතු ය.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් පවත්නා වෙනත් රටවල නම් පාර්ලිමේන්තුව හා සෙනෙට් මණ්ඩලය සාකච්ඡා කිරීමට ගැනෙන දේවල් අතර මේ ආකාරයේ මහජන සැලකිරීම් ද ප්රධාන තැනක් ගනී. පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් මහජන මන්ත්රීවරයකු හමු වී හෝ ලිපියක් මගින් සමාජ වැදගත්කමක් ඇති කරුණක් සැල කළ විට ඒවාට ලැබෙන වැදගත්කම අනුව ඒවා ව්යවස්ථාදායකයට දැනුම් දි ව්යවස්ථාදායකයේ සාකච්ඡාවට ලක් කෙරෙන ක්රමයක් ලෝකයේ වෙනත් බොහෝ රටවල පවතී. දේශීය පුරවැසියන් කරන සැලකිරීම් පමණක් නොව සමහරවිට විදේශිකයින් කරන සැලකිරීම් පවා සාකච්ඡාවට ලක් කෙරෙන අවස්ථා පවතී.
එහෙත් කරුමයකට මෙන් අපේ රටේ පාර්ලිමේන්තුවට කන් ඇසෙන්නේ නැත. ඇස් පෙනෙන්නේ ද නැත. රටේ සිදුවන දේවල ගඳ සුවඳ දැනෙන්නේ ද නැත. අහෝ අපට ඉන්නේ අඳ ගොලුබිහිරි ජනාධිපතිවරයෙකි. අඳ ගොළු බිහිරි අගමැතිවරයෙකි. අඳ ගොළු බිහිරි විපක්ෂෂ නායකයෙකි. අඳ ගොළු බිහිරි මන්ත්රී කණ්ඩායමකි.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් නොතිබූ රාජාණ්ඩු කාලයේ පවා රටේ සිදුවන දේවල් දැනගැනීම පිණිස රජු විවිධ වෙස් ගෙන රටේ විවිධ තැන්වල සැරි සැරුවේ ය. සන්දේශයක් මගින් රජුට කරුණු ඉදිරිපත් කිරිමේ අයිතිය මහජනයාට තිබුණි. අතීත ධර්මදේශකයකු හා කවියකු වන මිහිරිපැන්නේ ධම්මරතන හිමි භික්ෂෂු ශාසනය තුළ ක්රියාත්මක වන කුල භේදය අවසන් කිරිමේ අවශ්යතාව ද ශ්රී වික්රම රාජසිංහ රජුට දැනුම් දෙන ලද්දේ කවියෙන් ලියන ලද්දේ සංදේශයක් මගිනි. 1971 කැරැල්ල කාලයේ ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණය කිරිම් ගැන ප්රින්ස් ගුණසේකර වැනි දැනුවත් පුද්ගලයින් ඇවබරි සාමිවරයා වෙත ලියා යැවූ විට ඇවබරි සාමිවරයා ඒ කරුණු සාමි මන්ත්රී මණ්ඩලයේ සාකච්ඡා කළේ ය.
ශ්රී ලංකාවේ ජනයා ද බරපතල වැරදි සිදුවන අවස්ථාවල දි ජනාධිපතිනියට අගමැතිට විෂය භාර ඇමතිට හෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ඒ බව ලියා දන්වති. එහෙත් එවැනි සැලකිරීම්වලට යහපත් ප්රතිචාරයක් ලැබෙන්නේම නැති තරම් ය. ජනමාධ්ය විසින් කරන හෙළිදරව්වල දි ද ඔවුන් බොහෝ දෙනකු හැසිරෙන්නේ ද අන්ධයන්, ගොලුවන් හා බිහිරන් සේ ය.
මා දන්නා එක් අර්ධ රාජ්ය ආයතනයක සේවකයකු එම ආයතනයේ දූෂිත ක්රියාකලාපය පිළිබඳ විස්තරාත්මක කරුණු ඇතුළත් ලිපියක් සිය නමින් ම ජනාධිපතිනිය වෙත ලියා යැව්වේ ය. ජනාධිපතිනිය ඊට ඇතුළත් කරුණු වල ඇත්ත නැත්ත සොයා බලනවා වෙනුවට තමන් වෙත එවන ලද එම ලිපියේ ඡායා පිටපතක් ආයතන ප්රධානියාට යැවීම හේතුකොටගෙන ඒ ලිපිය යවන ලද තැනැත්තා ආයතන ප්රධානියා අතින් දරුණු පළිගැනීමකට ලක් වී අවසානයේ දි ඒ පුද්ගලයාට රක්ෂෂාව ද අහිමි වූයේ ය.
කාලාන්තරයක් තිස්සේ භාණ්ඩ ආනයනයේ දි ව්යාපාරිකයකු විසින් සංවිධානාත්මක ආකාරයකින් කරගෙන ආ රේගු බදු වංචා කිරිමේ සිද්ධියකට එරෙහිව රේගුව කරන පරික්ෂෂණයක දි රාජ්ය නායිකාව පරික්ෂෂණ නිලධාරින්ට එරෙහිව ව්යාපාරිකයා ආරක්ෂෂා කරන පිළිවෙතක් කෙළවර වූයේ නීතිය අකුරට ක්රියාත්මක කරන්නට උත්සාහ කළ අවංක නිලධාරීයකු ඝාතනයට ලක් වීමෙනි. ඒ නිසා ඇති වූ ඊළග ප්රතිඵලය වූයේ රේගුවේ අවංක නිලධාරීන් තවත් පිරිසක් රට අතහැර යන තත්ත්වයකට තල්ලුවීම ය.
ජනමාධ්ය ඇමති මංගල සමරවීරගේ කේරඩිට් කාඩ් ගනුදෙනුව පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ඝන කොමිසමට පැමිණිලි කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ම මන්ත්රීවරයෙකි. අල්ලස් කොමිසම ඒ ගැන දෙන ලද තීන්දුව වූයේ, එය අල්ලස් හෝ දූෂණ ගණයට වැටෙන වරදක් නොවන බව ය. ඒ අනුව ඇමතිවරයකුට විදේශ ගමන් බිමන් සඳහා අමාත්යාංශ මට්ටමෙන් වෙන් කරන ප්රතිපාදනවලට අතිරේකව සිය අමාත්යාංශය යටතේ පවත්නා ආයතනවලින් ද කැමති තරම් මුදල් ලබාගත හැකි ය. එසේ ලබාගන්නා මුදල් කැමති දෙයක් සඳහා වියදම් ද කළ හැකි ය. මේ අර්ථ නිරූපණය ගැන නීතිපතිවරයා සේ ම ඔඩිටර් ජනරාල්වරයා ද නිහඬ ය. මෙවැනි දෙයක් වෙනත් ශිෂ්ට සම්පන්න රටක වී නම් එය පාර්ලිමේන්තුවේ මහා විවාදයක් ඇති කිරීමට හේතු වන සිද්ධියක් ලෙස ක්රියාකරනු නොඅනුමාන ය. එහෙත් අපේ පාර්ලිමේන්තුවට එය සාකච්ඡාවට ලක් කළ යුතු තරම් වැදගත් සිද්ධියක් වූයේ නැත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මංගල සමරවීරගේ මෙම කේරඩිට් කාඩ් ගනුදෙනුව පිළිබඳව දෙන ලද මෙම අර්ථ නිරූපණයෙන් පසුව මම ද මහේස්ත්රාත් ලෙනින් රත්නායකට හා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව එම කොමිසමටම පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. මට අවශ්ය වූයේ කොමිසම ඊට දෙන අර්ථ නිරූපණය කුමක්ද යන්න දැනගැනීම ය. ලෙනින් රත්නායක අධිකරණ සේවයට ඇතුළත්ව තිබුණේ ශ්රී ලංකා රක්ෂෂණ සංස්ථාවේ සේවයේ යෙදි සිටියදි තුන්වන පාර්ශ්වයේ හිමිකම් ගණනාවක් වංචා කිරිමේ වරදට සේවයෙන් පහකර සිටියදි ය. ඔහු අධිකරණ සේවයට ඇතුළු වන විට ඒ සියල්ල අධිකරණ සේවා කොමිසමට වසන් කර තිබුණි. මාගේ කෑගැසීමෙන් බොහෝ කලකට පසුව අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කළ ත්රිපුද්ගල පරීක්ෂෂණ කමිටුවක් මගින් එම චෝදනාවටම හා මා ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ ස්ත්රී දූෂණ චෝදනා දෙකකට ඔහු වරකරු කරනු ලැබුවේ ය. ඒ ගැන ඊට පෙර අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුව විසින් ද පරික්ෂෂණයක් කර තිබූ අතර එහි දි නීතිපති වශයෙන් ක්රියාකළ සරත් නන්ද සිල්වා, අධිකරණ ඇමතිවරයා ඒ ගැන ඔහුගෙන් කරන ලද කරුණු විමසීමක දි අධිකරණ ඇමතිවරයා වෙත යවන රහස්ය වාර්තාවක් මගින් නීතිපති හිතාමතා ම තමන්ගේ සමීප හිතවතකු වූ ලෙනින් රත්නායක ඒ සියලු වැරදිවලින් ආරක්ෂෂා කර තිබුණි. මෙම පැමිණිල්ල ගැන කොමිසම මා වෙත දැනුම් දෙන ලද තීරණය ඉතාමත් අපූරු ය.
ලෙනින් රත්නායක ගැන කිසිවක් සඳහන් නොකොට අගවිනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නීතිය යටතට නොවැටෙන නිසා ඒ ගැන කිසිවක් කළ නොහැකි බව මා වෙත දැනුම් දි තිබුණි. ඒ අනුව අගවිනිසුරුවරයාට අවශ්ය නම් හිතේ බයක් ඇතිකර ගැනීමකින් තොරව අල්ලස් හෝ දූෂණ වැරදිවල යෙදිය හැකි ය. කොමිසම දෙන ලද අර්ථ නිරූපණය මා ප්රසිද්ධ කරනු ලැබුවත් නීතිපතිට හෝ පාර්ලිමේන්තුවට එය සොයා බැලිය යුතු තරම් වැදගත් කරුණක් වූයේ නැත.
පාර්ලිමේන්තුව ඇතුළු රටේ වගකිවයුත්තන්ට ආවේණික අඳ ගොළු බිහිරි බව දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේ ය.
මහා භාරකාර තනතුර රටේ තිබෙන ප්රධාන පෙළේ සම්භාවනීය තනතුරකි. මහා භාරකාර දෙපාර්තමේන්තුව 1930 පිහිටුවනු ලැබුවේ යුද්ධය නිසා රට අතහැර ගොස් සිටි ඉංග්රීසි ජර්මන් හා ජපන් ජාතිකයන්ගේ දේපළ පාලනය කිරිමේ අරමුණ ඇතිව ය. පසුව එය විවිධ පුද්ගලයින් විසින් අන්තිම කැමති පත්ර මගින් හා භාර ඔප්පු මගින් පවරනු ලබන දේපළ පාලනය කරන ආයතනයක් බවට පත් විය. මෙම දෙපාර්තමේන්තුව යටතේ ඇති භාර ගණන 750කි. බූදල් ගණන 200කි. ඒවාහි ඇති වත්කම් ප්රමාණය කෝටි සිය ගණනකි. නිදර්ශනයක් වශයෙන් ඩී.එස්.ඩබ්ලිව්. සමරකෝන් බූදලයේ ඇති මුදල් ප්රමාණය පමණක් 2001 වසර වන විට රුපියල් ලක්ෂෂ 1350කි. මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති පොදු ආයෝජන අරමුදලේ පමණක් 2001 වසර වන විට රුපියල් ලක්ෂෂ 3000ක තැන්පත් ධනයක් තිබුණි.
මේ දෙපාර්තමේන්තුවේ මහා භාරකාර තනතුර ලබා දි ඇත්තේ බහිරවයෙකුට ය. මේ පුද්ගලයා 2000 ජනවාරි වල දි තනතුර බාර ගැනීමෙන් පසු තමන්ගේ මහේශාක්ය බව හුවා දැක්වීම සඳහා පිරිත් පිංකමක් පවත්වන ලද අතර ඒ වෙනුවෙන් දරන ලද වියදම රුපියල් 1050000කි. පිරීත් මණ්ඩපය සඳහා පමණක් දරන ලද වියදම රුපියල් 106100කි.
සමරකෝන් බූදල් භාරයේ එක් අරමුණක් වනුයේ දැවැදි දිමේ හැකියාවක් නැති දුප්පත් තරුණයන්ට දැවැදි මුදල් ලබාදිම ය. අරමුදල පිහිටුවන ලබන අවස්ථාවේ දි දැවැද්දක් වෙනුවෙන් දෙන ලද මුදල රුපියල් 4000ක් වූ අතර අද රු. 5000කි.
මහා භාරකාර දෙපාර්තමේන්තුවේ බහිරවයකු බවට පත්ව සිටින මහා භාරකරු තමන්ට ආණ්ඩුවෙන් නිල රථයක් ලැබී තිබිය දි දුප්පත් තරුණයන්ට දෑවැදි දිමට ඇති සමරකෝන් අරමුදලෙන් රුපියල් 1912500කට ඉන්ටර්කූලර් රථයක් මිල දි ගත්තේ ය. රථය මිල දි ගැනීමෙන් මාස 3කට පසුව එය අලුත්වැඩියා කිරීම සඳහා පමණක් ඒ අරමුදලෙන් තවත් රු. 400500ක් වැය කළේ ය.
ඔහු තමන්ට ලැබී තිබුණු නිල රථයෙන් හා සමරකෝන් අරමුදලෙන් ලබාගත් ඉන්ටර්කූලර් රථයෙන් පමණක් සංතෝෂ වූයේ නැත. මහා භාරකාරයා අගවිනිසුරුගේ ළගම හිතවතෙකි. හිටපු අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතා නිල උත්සව සඳහා පමණක් පරිහරණය කළ බෙන්ස් රථය ද ඔහු තමන්ට ලබාගත්තේ ය. බෙන්ස් රථයක් නිපදවන්නේ අවුරුදු 10ක් පරීහරණය කිරීම සඳහා නොව ජීවිත කාලයක් පරිහරණය කිරීම සඳහා ය. පුදුමයකට මෙන් ඔහු එම බෙන්ස් රථයට අලුත් එන්ජිමක් තැබූ බව පෙන්වමින් ඒ සඳහා සාක්කුවේ දමා ගෙන ඇති මුදල රුපියල් 663467කි.
මහා භාරකාරයා පවත්වාගෙන යමින් සිටි මෙම තක්කඩි වැඩපිළිවෙළ ගැන විස්තරාත්මක කරුණු ඇතුළත් හෙළිදරව්වක් 2001 පෙබරවාරි 11 වැනි දා රාවය පුවත් පතේ පළ කරනු ලැබූවත් විගණකාධිපතිවරයා හෝ විෂය භාර ඇමතිවරයා හෝ පාර්ලිමේන්තුව හෝ ඒ ගැන සොයා බැලීමක් කළේ නැත.
ඉන්පසු තමන්ට එරෙහිව බලධාරින් කිසිවෙක් නැගී නොසිටින බව තේරුම් ගත් ඔහු සිය තක්කඩි ක්රියාකලාපය වේගවත් කළේ ය. 2001 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පමණක් ඔහු ලක්ෂෂ 100කට ආසන්න මුදලක් පොදු පෙරමුණේ වැඩ පිළිවෙළ වෙනුවෙන් වැය කළේ ය. මැතිවරණ කාලයේ දි අගමැති රත්නසිරි වික්රමනායක මහතා පදිංචි වී සිටි අරලියගහ මන්දිරයේ පැවතුණා යයි කියන දානමය පිංකමක් සඳහා වැය කර තිබෙන මුදල රු. 242000කි. ආණ්ඩු මාරුවෙන් පසුව අලුත් ආණ්ඩුවේ තෝරාගත් ඇමතිවරුන් කිහිප දෙනෙකුට ළං වෙමින් ඔවුන්ගේ දේශපාලන ව්යාපෘති සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ඇති පොදු ආයෝජන අරමුදලින් අත දිගහැර වියදම් කළේ ය. දෙපාර්තමේන්තුවේ සේවකයන්, සිදුවන විනාශය ගැන විෂය භාර ඇමති විජමු ලොකුබණ්ඩාර මහතා වෙත දිගින් දිගට දැනුම් දිම් කරනු ලැබුවත් ඔහු ද නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් ඉදිරියේ මහා භාරකාර දෙපාර්තමේන්තුව විනාශයෙන් විනාශයට තල්ලුවන තත්ත්වයක් කරා ගමන් කළේ ය. එහි අවසාන ප්රතිඵලය වූයේ කූට අරමුණකින් යුතුව ප්රමුඛ බැංකුවේ තැන්පත් කළ රුපියල් ලක්ෂෂ 1312ක් මහා භාරකාර දෙපාර්තමේන්තුවට අහිමි වීම ය. ඒ නිසා ශ්රී දළදා මාළිගාවට ද රුපියල් ලක්ෂෂ 187ක් අහිමි වූයේ ය. පසුගිය ඉරිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩ්රිකා ජෑන්ස් ද මහා භාරකාරයාගේ තක්කඩි ක්රියාකලාපය ගැන දිර්ඝ හෙළිදරව්වක් කර තිබුණි. රාවය මහා භාරකාරයාගේ දූෂිත ක්රියාකලාපය හෙළිදරව් කිරිමෙන් වසර දෙකකට පසුව ලීඩර් පුවත් පතට ඒ පුද්ගලයා ගැන ම නැවත හෙළිදරව්වක් ලිවීමට සිදුවීමෙන් ම විගණකාධිපති, විෂය භාර ඇමති, පාර්ලිමේන්තුවේ රාජ්ය ගිණුම්කාරක සභාව හා පාර්ලිමේන්තුව යන ආයතනවල ඇස් අන්ධ වී ඇති තරම පෙන්නුම් කරයි.
මීට සති දෙකකට ඉහත දි අගමැතිවරයා රටේ අගවිනිසුරු සහභාගී නොවූ අගවිනිසුරු සමුළුවකට සමභාගී විය. එදින මාර්ග ආයතනය අධිකරණය පිළිබඳව කරන ලද සමීක්ෂෂණයක වාර්තාවක් ද (A System under Siege an inquiry into the judicial system of Sri Lanka) එළි දක්වා තිබුණි. මෙම සමීක්ෂෂණය කර තිබුණේ නඩු කියන්නන්, රිමානඩ් කරුවන්, අධිකරණ නිලධාරීන්, නීතිඥයින් හා උසාවි සේවකයන් යොදා ගනිමිනි. 84%කගේ ම මතය වී තිබුණේ අධිකරණය අන්ත දූෂිත බව ය. මේ සමීක්ෂෂණයට අනුව මහජනයා තුළ පමණක් නොව විනිසුරුවරුන් අතර පවා (50%ක්) අධිකරණය කෙරෙහි විශ්වාසයක් නොපවතී. විනිසුරුවරුන් කෙරෙහි විශ්වාසය පළකර ඇත්තේ නීතිඥයින් අතරින්ද 20%ක් පමණ ය. විනිසුරුවරුන් අතරින්ද තමන් අතින් හොඳ සේවාවක් සිදුවනවා යයි විශ්වාස කරන්නේ 47%ක් පමණ ය.
අගමැති රනිල් වික්රමසිංහ මහතා මේ වාර්තාවේ එන සාරය හුවා දක්වමින් සමුළුව අමතා හරබර කථාවක් කළේ ය. මාර්ග සමීක්ෂෂණයට පෙර ද නීතියේ පාලනයට අදාළව ශ්රී ලංකාවේ පවත්නා තත්ත්වය සොයා බලා වාර්තා කරන්නට ජාත්යන්තර නීතිඥ සංගමය විසින් එවන ලද ත්රිපුද්ගල දූත පිරිසක් ද අධිකරණ පිරමීඩරයේ මුදුනත පවත්නා අන්ධකාර තත්වය පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පළ කළේ ය. එහෙත් ශ්රී ලංකාව පිළිබඳව පළ වූ ඒ වාර්තාව වෙනත් රටවල පවා සාකච්ඡාවට ලක් වී ඇතත් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නම් අද දක්වා සාකච්ඡාවට ලක් වූයේ නැත.
එජාප විරුද්ධ පක්ෂෂයේ සිටිය දි ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිව අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළේ ය. දැන් පාර්ලිමේන්තුවට මතක නැතත් ඒ දෝෂාභියෝගයට එරෙහිව අගවිනිසුරුවරයාගේ අනුග්රහය මත කථානායකවරයාට එරෙහිව අධිකරණයට වාරණ නියෝගයක් ද පැනවූයේ ය. ජාත්යන්තර නීතිඥ සංගමය නීතියේ පාලනයට අදාළව ශ්රී ලංකාවේ තත්ත්වය සොයා බලා වාර්තා කිරීම පිණිස ත්රිපුද්ගල දූත මණ්ඩලයක් ශ්රී ලංකාවට එවන ලද්දේ ද ඒ අවස්ථාවේ දි ය. බේරනන් වාර්තාව නමින් ප්රකට ඒ වාර්තාව අගවිනිසුරුවරයාට එරෙහිව විදේශීය වශයෙන් ඉදිරිපත් වූ තවත් දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකි ය.
දැන් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කළ පක්ෂෂය ආණ්ඩු පක්ෂෂය බවට පත්ව ඇතත් අගවිනිසුරුවරයා ගැන ඒ පක්ෂෂය මුළුමණින් නිහඬ ය. දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරිමෙන් තමන් කර ඇත්තේ වරදක් නම් එය ඉවත් කර ගනිමින් අගවිනිසුරුවරයාගෙන් සමාව අයැදිම එම පක්ෂෂයේ වගකීමකි. දෝෂාභියෝගය අවස්ථාවේ දි අගවිනිසුරුවරයාට එරෙහිව විනිසුරුවරුන්ගෙන් දිවුරුම් පෙත්සම් ලබාගත් දැන් අධිකරණ ඇමති බවට පත්ව සිටින විජමු ලොකුබණ්ඩාර මහතා ද දැන් අගවිනිසුරු ප්රශ්නය පිළිබඳව මුළුමණන් නිහඬ ය. ඒ සියලු දෙනා නිහඬව සිටින තත්ත්වයක් තුළ අධිකරණ නිලධාරින් අගවිනිසුරුවරයාට එරෙහිව නඩු පවරන තත්ත්වයකට තල්ලුවී සිටී. අධිකරණයේ ඇති වී තිබෙන මේ ඛේදජනක තත්වය නොපෙනෙන තරමට පාර්ලිමේන්තුවේ ඇස් අන්ධ ය.
යම් රටක යුක්තිය පසිඳලීම පිණිස යොදා ඇති සංවිධාන ක්රමය හා ඒ සංවිධාන ක්රමය ක්රියාත්මක වන ආකාරය ඒ ජාතියේ ශිෂ්ටාචාරයේ මට්ටම පෙන්නුම් කරන මාපකයක් වන බව කියා ඇත්තේ හැරල්ඩ් ලැස්කි ය. රටක් අශීලාචාර වන විට ඒ රටේ ක්රියාත්මක වන දේශපාලන ආයතන ක්රම අඳ ගොළු බිහිරි වීම අස්වාභාවික නැත.
එහෙත් මේ ආයතනය නඩත්තු කරන්නේ ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පුද්ගලික ධනයෙන් නොව බදු ගෙවන මහජනතාව ය. පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට දවසකට යන වියදම රුපියල් ලක්ෂෂ 16කි. ජනාධිපති හා ජනාධිපති කාර්යාලය සඳහා ලක්ෂෂ 11කි. අගමැති හා අගමැති කාර්යාලය සඳහා රු. ලක්ෂෂ 7කි. විගණකාධිපති හා විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා ලක්ෂෂ 6කි. නීතිපති හා නීතිපති දෙපාර්තමේන්තුව සඳහා රු.ලක්ෂෂ 4කි.
රටට ප්රගතියක් අවශ්ය නම් අන් සියලු දේට ප්රථම මේ සියලු දෙනාගේ අදාළ අඳ ගොළු බිහිරි භාවයට ප්රතිකාර කරන ක්රමයක් රට සොයාගත යුතු ය.