බහිරවයාට ගිය මහා භාරකාර දෙපාර්තමේන්තුව

February 11, 2001
Publication:
Ivan explains how the Public Trustee's Department holds charitable trusts and bequests worth hundreds of millions, then documents spending by the new Public Trustee, N.S.A.S. Seneviratne, whose past he had warned about: a pirith ceremony and air-conditioning from the D.B. Jayatilaka fund, a car bought from the Samarakoon dowry trust, repairs to others' vehicles, gifts to his children's school and temples, costly work at Richmond Castle and an unreturned G.L. Peiris fund transfer.

රාවය” රටට හැමදාමත් කියා සිටින මතයක් වනුයේ ඉතා බලවත් හා ගරු කටයුතු තනතුරු වලට ගරු කටයුතු නොවන නුසුදුසු පුද්ගලයන් පත්කිරීම රට ඇද වැටී තිබෙන විනාශකාරි තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් බවය. එම තත්ත්වය වැළකීම සඳහා රටේ රාජ්‍ය නායකයන්ට ඉතා බලවත් හා ගරු කටයුතු තනතුරුවලට පුද්ගලයන් වැරදි ලෙස නම් කිරීමට ලැබී තිබෙන අභිමත බලය අහෝසි කොට එවැනි තනතුරුවලට සුදුසුම පුද්ගලයන් තෝරාපත් කර ගතයුතු ක්‍රමයක් ඇති කළ යුතු බවය.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා විශ්‍රාම ගන්නා අවස්ථාවේදි එම ගරු කටයුතු තනතුරට අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න වැනි පුද්ගලයකු පත් කරන්නට යන බව දෑනගන්නට ලැබුණු විට එහි ඇති භයානකත්වය අපි රටට ප්‍රකාශ කළෙමු. පුද්ගලයාගේ අතීත තුරුම්පුව ප්‍රසිද්ධ කර තිබියදිවත් කිසිදු හිරීකිතයකින් තොරව අගවිනිසුරු ධුරයට සරත් එන්. සිල්වා පත් කළා සේ ම, සෙනෙවිරත්න මහතා ද පත්කරනු ලැබීය.

1922 අංක 1 දරන ආඥා පනත අනුව මහා භාරකාර දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේ 1930 නොවැම්බර් 22 වැනිදාය. යුද්ධය නිසා රට අතහැර ගොස් සිටි ඉංග්‍රීසි, ජපන් හා ජර්මන් ජාතිකයන්ගේ දේපළ පාලනය දෙපාර්තමේන්තුව වෙත පැවරුණු වගකීම විය. පසුව එය විවිධ පුද්ගලයන් විසින් අන්තිම කැමති පත්‍ර මගින් හා භාර ඔප්පු මගින් පවරන දේපළ ද පාලනය කරන ආයතනයක් බවට පත්විය.

මෙම දෙපාර්තමේන්තුවට ප්‍රධාන මාර්ග තුනකින් අරමුදල් ලැබෙන්නේය.

1. පොදු ආයෝජන අරමුදල-හිමිකරුවන් නොමැති දේපළ වත්කම් හා අන්තිම කැමති පත්‍ර මගින් පවරනු ලබන වත්කම් ඊට ඇතුළත්ය. අරමුදලේ ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 300කට අධිකය. මහා භාරකාර දෙපාර්තමේන්තුව හිමිකරුවන් නොමැති වත්කම් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු අතර, අන්තිම කැමති පත්‍ර මගින් ලද වත්කම් එම භාරකාර හා අන්තිම කැමති පත්‍ර වෙනුවෙන් සකස් කර ඇති ගිණුම්වලට බැර කරමින් ඒවාහි නියම කර ඇති කාර්යයන් ඉටුකළ යුතුය.

2. විදේශ සේවයේ යෙදි සිටියදි, මියගිය අය වෙනුවෙන් ගෙවන වන්දි මුදල් ලැබෙනුයේ ද මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. එසේ ලැබෙන වන්දි මුදල් නියමිත උරුමකරුවන් සොයා ඔවුන් වෙත භාරදිම මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීමකි. වසරකට මේ ආකාරයට ලැබෙන වන්දි මුදල් ප්‍රමාණය ලක්ෂ 200කටත් අධිකය.

3. සමහර ධනවතුන් පින් පිණිස පොදු කටයුතු සඳහා අන්තිම කැමති පත්‍ර හා භාර ඔප්පු මගින් සිය ධනය දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර, එම අන්තිම කැමති පත්‍රවල හා භාර ඔප්පුවල සඳහන් අරමුණ වෙනුවෙන් එම ධනය වැය කිරීම දෙපාර්තමේන්තුව වෙත පැවරි තිබෙන වගකීමකි. දෙපාර්තමේන්තුව යටතේ ඇති භාර ගණන 750කි. බූදල් ගණන 200කි. ඒවාහි ඇති වත්කම් ප්‍රමාණය කෝටි සිය ගණනක් විය හැකිය. නිදර්ශනයක් වශයෙන් ඩී.එස්.ඩබ්ලිව්. සමරකෝන් බූදලයේ ඇති රුපියල් ලක්ෂ 1350කි. ඉන් වසරකට ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 70කටත් වැඩිය. කළුතර විජේසිංහ සිල්වා මහතා අනාථ ළමුන් සඳහා ළමා නිවාසයක් පවත්වාගෙන යාම සඳහා තමන් සතුව තිබූ රීච්මන්ඩ් කාසල් මන්දිරය ද ඊට අයත් අක්කර 120ක ඉඩම් ප්‍රමාණය ද දෙපාර්තමේන්තුවට භාර කළේය. ඩී.බී. ජයතිලක මැතිතුමා ද සිය දේපළ හා ධනය පොදු කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට භාර කළේය. දෙපාර්තමේන්තුවේ නිල කාර්යාලය බවට පත්ව ඇත්තේ ද ඒ මහතාගේ නිවස ය.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු එහි සේවකයන් සඳහා වැටුප් වියදම රජය මගින් ලබාදෙයි. ඒ කාර්ය මණ්ඩල නඩත්තුව හෝ කාර්ය මණ්ඩලයේ සුවපහසුකම් වෙනුවෙන් භාරකාර අරමුදලේ අරමුදල් වැය කිරීම නීති විරෝධීය.

මහා භාරකාර මණ්ඩලය යනු දැවැන්ත ධන ආකරයකි. හිස්වූ මහා භාරකාර ධුරයට එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න වැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පුද්ගලයකු ගෙනාවේ පටු දේශපාලන අරමුණු ඇතිවය. ඒ මහතා අධිකරණ සේවයේ යෙදි සිටියදි මතුවූ චෝදනා නිසා ඒ මහතාට අධිකරණ සේවයෙන් ඉල්ලා අස්වන තත්ත්වයක් පවා ඇතිව තිබුණේය. ඉන්පසු එජාප ආණ්ඩුවේ බලවතකුගේ ආධාර ඇතිව නියෝජ්‍ය මහා භාණ්ඩාගාර තනතුරට පත්විය. අල්ලස් කොමසාරිස් ධුරයෙන් නෙළුම් ගමගේ මහත්මිය ඉවත් කරන ලද අවස්ථාවේදි ජනාධිපති විජේතුංග අල්ලස් කොමසාරිස් ධුරයට ගෙනාවේද මේ පුද්ගලයාය. ඉන්පසුව පොදු පෙරමුණට බලය මාරුවීමෙන් පසු පොදු පෙරමුණේ බලවතකුගේ ආධාර ඇතිව පුරප්පාඩු වූ මහා භාරකාර ධුරයට පත්විය.

ඒ මහතා පත්වූ වහාම කළේ තමාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් මහා පිරීත් පින්කමක් සංවිධානය කිරීමය. එය කළේ ඩී.බී. ජයතිලකගේ නම ද ඈඳ ගෙනය. එම පිරීත් පිංකමට මුවාවී සිය කාර්යාලය ද වායුසමීකරණය කරගත්තේය.

මුළු වැඩපිළිවෙළ වෙනුවෙන් ජයතිලක අරමුදලෙන් වැය කරන ලද මුදල මෙසේය.

ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සඳහා රු. 242178.75

පිරීත් මණ්ඩපය ඉදිකිරීම සඳහා රු. 106100.00

ආහාර පාන සඳහා රු. 115275.00

පිංකම සඳහා වෙනත් වියදම් රු. 350000.00

වායුසමීකරණ කටයුතු සඳහා රු. 35000.00

හිටපු මහා භාරකාරතුමා විශ්‍රාම යාමට මාස 06කට පමණ පෙර මහා භාරකරුගේ නිල කාමරය කාපට් කර තිබුණි. අලුතෙන් එන මහා භාරකාරයාට තිබුණු අළුපාට නරක වී රතුපාටින් කාපට් කිරීමට අවශ්‍ය වී, තිබුණු කාපට් ඉවත් කොට, අලුත් කාපට් එලා ගත්තේය. ඒ වෙනුවෙන් 2000 මාර්තු 1 වැනි දින කරන ලද වියදම රු. 109462.50කි.

ආණ්ඩුවෙන් ලැබුණු නිල වාහනය හොඳ මදිවී අධිකරණය නොමග යවා අධිකරණයේ ද අවසර ඇතිව ඩී.එස්.ඩබ්ලිව්. සමරකෝන් බූදල් ආදායමෙන් රුපියල් 1,912,500/-ක් වැය කොට 2000 මාර්තු 12 වැනි දින රේගුවෙන් ඉන්ටර්කූලර් රථයක් මිලදි ගත්තේය. ඉන්පසු තවත් මාස තුනකට පසු එනම් ජූනි 12 වැනි දින එය අලුත්වැඩියා කිරීම සඳහා කර තිබෙන වියදම රු. 62425/-කි. ඉන්පසු නැවත තවත් මාස 04කට පසුව එනම් සැප්තැම්බර් 28 වැනි දින එම රථයම නැවත අලුත්වැඩියා කිරීම සඳහා කර තිබෙන වියදම රුපියල් 263101.87කි.

සමරකෝන් බූදලය මහා භාරකාර දෙපාර්තමේන්තුවට භාර කොට ඇත්තේ දෑවැද්දක් දිමට තරම් ධනයක් නැති දුප්පත් තරුණයන් විවාහ වන අවස්ථාවලදි ඔවුන්ට අවශ්‍ය දෑවැදි මුදල් ලබාදිම සඳහාය. අරමුදල පිහිටුවන අවස්ථාවේදි දෑවැද්දක් වෙනුවෙන් දිය හැකි මුදල රුපියල් 400ක් වූ අතර, දැන් එය රුපියල් 5000කි.

දෑවැද්දක් දිමට බැරී තරමට දුප්පත්කම නිසා විවාහ දිවියට ඇතුළත් නොවන දුප්පත් තරුණයන් දස දහස් ගණනක් සිටින රටක එවැනි දුප්පතුන් සඳහා දානපතියෙකු ආරම්භ කරන ලද අරමුදල වැය කෙරෙමින් තිබෙනුයේ මහා භාරකරුගේ සුඛෝපභෝගී අවශ්‍යතාවන් සඳහාය. එම අරමුදලින් මිලදි ගත් වාහනය සඳහා පමණක් වැය කර තිබෙන මුදල රුපියල් 2238026කි. එය දුප්පත් තරුණයන් 447කට ලබාදිය යුතු දෑවැදි සඳහා යන වියදමට සමානය.

මහා භාරකාරවරයා ආණ්ඩුවෙන් ලැබී තිබෙන සිය අංක 65/0763 දරන නිල රථය සඳහා ද භාරකාර අරමුදලේ මුදල් සැකකටයුතු ලෙස පරීහරණය කර ඇති බවක් පෙනී යයි.

ඒ මෙසේය.

2000.06.29 අලුත්වැඩියා කටයුතු සඳහා

රණතුංග ඔටෝ ඉංජිනියරින් වේයන්ගොඩ රු. 120195.73

2000.06.27 ටයර් මිලදි ගැනීම සඳහා රු. 51700.00

2000.07.28 රෝද 05ක් මිලදි ගැනීම සඳහා රු. 58000.00

2000.08.12 වායු සමනය කිරීම සඳහා රු. 78500.00

2000.09.25 වායු සමනය කිරීම සඳහා රු. 11700.00

මාස දෙකක කාලයක් තුළ නිල රථ සඳහා කර තිබෙන වියදම රු. 326095.73

මහා භාරකාරතුමා සිය දෙපාර්තමේන්තුවට අයත් නැති තම පවුලේ හෝ හිතමිතුරන්ගේ වාහන ද අරමුදල්වල වියදමින් අලුත්වැඩියා කිරීම කරදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පෙනේ.

මහා භාරකාරතුමා දෙපාර්තමේන්තුවට අයත් නැති අංක 13-1571 දරන බෙන්ස් රථය අලුත්වැඩියා කිරීම සඳහා 2000 ජූනි 13 වැනි දින කර තිබෙන වියදම රුපියල් 311153.62කි. ඉන්පසු එම බෙන්ස් රථයට අලුත් එන්ජිමක් තැබීම සඳහා කර තිබෙන වියදම 352314කි. දෙපාර්තමේන්තුවට අයිති නැති තම පවුලේ හෝ අනුන්ගේ බෙන්ස් රථයක් නවීකරණය සඳහා පමණක් අරමුදල්වලින් කර තිබෙන වියදම රුපියල් හාරලක්ෂ හැටතුන් දහසකි.

මහා භාරකාරතුමාගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේය. ඩී.බී. ජයතිලක අරමුදලෙන් විශාඛා විද්‍යාලයට විදුලි උපකරණ, තූර්යවාදක උපකරණ හා පෝසිලේන් තේ කට්ටල පරීත්‍යාග කිරීම සඳහා පමණක් 2000 පෙබරවාරි 17 වැනි දින වැය කර තිබෙන මුදල රුපියල් 172496කි.

ප්‍රකට දානපතියෙකු වූ කළුතර විජේසිංහ සිල්වා අනාථ ළමුන් සඳහා ළමා නිවාසයක් පවත්වාගෙන යාමට මහා භාරකාර දෙපාර්තමේන්තුවට තමන් සතුව තිබූ රිච්මන්ඩ් කාසල් මන්දිරය ද ඊට අයත් අක්කර 120ක ඉඩම් ප්‍රමාණයක් ද පවරා දෙනු ලැබීය. එහි අනාථ ළමුන් සඳහා ළමා නිවාසයක් ඇති කර නැතත්, එහි නඩත්තු හා සංවර්ධන කටයුතු සඳහා සැකකටයුතු ලෙස දිගට හරහට මුදල් වැය කරන පිළිවෙතක් ක්‍රියාත්මක වේ.

මාස හතරක කාලයක් සඳහා වැය කර තිබෙන වියදම් මෙසේය.

2000.06.19 ඉදිකිරිම් සඳහා රු. 50,000

2000.06.29 ගුරුවරීයන්ට නිල ඇර්ම් රු. 6000

2000.06.29 දුරකතනයක් ලබාගැනීම සඳහා රු. 21029

2000.07.05 ජූනි මාසය සඳහා වියදම් රු. 13645

2000.07.05 මාසික වැටුප් රු. 20300

2000.07.05 ඉදිකිරිම් කටයුතු සඳහා රු. 75,000

2000.07.11 අලුත්වැඩියා කටයුතු සඳහා රු. 42585

2000.07.24 අලුත්වැඩියා කටයුතු සඳහා රු. 70234

2000.08.06 මුළුතැන්ගෙයි අලුත්වැඩියා කටයුතු සඳහා රු. 50,000

2000.08.11 මුළුතැන්ගෙයි අලුත්වැඩියා කටයුතු සඳහා රු. 45747

2000.09.26 අලුත්වැඩියා කටයුතු සඳහා රු. 74990

2000.10.25 දොර ජනෙල් වානිෂ් කිරීම හා අලුත්වැඩියා රු. 42465

2000.10.31 උද්‍යාන සැකසීමට අත්තිකාරම් රු. 75,000

දෙපාර්තමේන්තුවට ් 2 නමින් ගිණුමක් ඇති අතර, එය පිහිටුවා ඇත්තේ දෙපාර්තමේන්තුව බාරේ ඇති මුදල්වල හා භාණ්ඩවල තැන්පත්වලින් ලැබෙන පොලිය ගිණුම් ගතකිරීම සඳහාය. එම පොලී ආදායම් එම මුදල්වල හා භාණ්ඩවල තැන්පතුවලට ගැලපෙන ලෙස නැවත ඒ මුදල්වලට හා භාණ්ඩවලට මුදාහැරීය යුතුය. එහෙත් මහා භාරකාරවරයා එම පොලී ආදායම හිතුවක්කාරි ලෙස බලවත් පුද්ගලයන්ට හා ආගමික ආයතනවලට තමන් කැමති කැමති ලෙස පරීත්‍යාගයන් කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි.

2000.06.30 පිළියන්දල ශ්‍රී සංගිකාරාමය රු. 50,000

2000.09.25 තිඹිරීගස්යාය අශෝකාරාමය රු. 550,000

2000.10.04 වේයන්ගොඩ ශ්‍රී සුධර්මාරාමය රු. 25,000

2000.10.04 තාපෝ ආරාමය රුක්ගහවිල රු. 26768

2000.10.05 පරීත්‍යාග කරන ලද්දේ කාටද යන්න

ඉන්වොයිසියේ සඳහන්වන්නේ නැත රු. 123050

2000.10.05 නුගේගොඩ නාලන්දාරාමය රු. 100,000

2000.10.05 ශාන්ත ජෝන් මහා විද්‍යාලය රු. 40,000

රුවන්වැලිසෑය සඳහා වන සංවර්ධන අරමුදලක් ද මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතී. වසර දෙකකට වරක් රුවන්වැලිසෑය හුණු පිළියම් කර පිළිසකර කිරීම එම අරමුදලේ අරමුණයි. වෙනදා ඒ සඳහා යන මුදල රුපියල් ලක්ෂ 8කි. එහෙත් නව භාරකාරයා විසින් මෙවර ඒ සඳහා කර තිබෙන වියදම රු. 2127800කි.

හිටපු අධිකරණ ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ නමට ද මෙම දෙපාර්තමේන්තුවේ භාරකාර අරමුදලක් පවතී. මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාට 2000 අප්‍රේල් 26 වැනිදා හමුදා රෝහලට උපකරණ තොගයක් පරීත්‍යාග කිරීමට අවශ්‍ය වුවත්, ජී.එල්. පිරිස් භාරයේ ඒ සඳහා අවශ්‍ය මුදල් නොතිබීම හේතු කොටගෙන පොදු අරමුදලින් ලබාගත් මුදලින් රුපියල් 256,834ක් වැය කොට හමුදා රෝහලට උපකරණ පරීත්‍යාග කර තිබේ. මෙම අරමුදල මොරටුවේ ජී.ඇල්. පිරිස් පදනම විසින් ආපසු අගෝස්තු 07 වැනි දින මහා භාරකාරවරයාට ලබාදි ඇතත්, ලැබුණු එම මුදල් රු. 256,834 ආපසු පැරණ ගිණුමට යොමු කොට නැත. එහි චෙක්පත් අංකය වනුයේ 636683 යන්නයි.