නිදහසේ 54 වැනි සංවත්සරය යෙදි ඇත්තේ පෙබරවාරි 04 වැනිදාට ය. වැඩවසම් ක්රමයෙන් වෙන්ව නවීන ධනපති ක්රමයකට මාරුවෙමින් සිටි තත්ත්වයක් තුළ නිදහසේ අපේක්ෂා යටත් විජිත ක්රමයෙන් අත්මිදිම පමණක් නොවීය. යටත් විජිත ක්රමය විසින් නවීන ජාතික රාජ්යයක් ඇති කර තිබුණු තත්ත්වයක් තුළ ජාතික රාජ්යයක පැවැත්ම සඳහා අත්යවශ්ය ජාතික ඒකාග්රතාවක් ඇති කරගැනීම ද අර්ථවත් නිදහසක් සඳහා අත්යවශ්ය කොන්දේසියක් වී තිබුණි.
ශ්රී ලංකාව ඉතිහාසයට එකතු වී ඇත්තේ එකදු ලේ බිඳක්වත් නොසොල්වා නිදහස දිනාගත් රටක් වශයෙනි. එහි ඇත්ත තේරුම වන්නේ ශ්රී ලංකාව නිදහස දිනාගැනීම සඳහා වන බලවත් උත්සාහයකින් තොරව, ඒ නිසා ඇතිවන ගැටුම්වලින් තොරව ඉංග්රීසීන්ගේ කරුණාව මත නිදහස ලබාගත් රටක් බවය.
නිදහස දිනාගැනීම සඳහා බලවත් සමාජ උත්සාහයක් වී නම් වර්ගය, අදහන ආගම, කතාකරන භාෂාව, තමා අයත් කුලය අනුව විවිධ සමාජ කණ්ඩායම්වලට බෙදි සිටි ජනයා එක්සත් ව්යාපාරයක් තුළ ඒකරාශි කිරිමේ බලවත් අවශ්යතාවක් ඇතිවී ඒ සිදුවන ඒකරාශිවීමේ ක්රියාවලිය තුළ වර්ගය, ආගම, භාෂාව, කුලය මත වූ බෙදීම් තුනීවී ඒකාග්ර ජාතියක් ඇතිවීම සඳහා අවශ්ය ශක්තිමත් පදනමක් ඇතිවන්නට ද ඉඩ තිබුණි. එහෙත් නිදහස දිනාගත්තේ එවැනි බලවත් උත්සාහයකින් තොරව වීම නිසාම මේ එකිනෙක සමාජ කණ්ඩායම් අතර පැවති සම්බන්ධය ද ගැඹුරට දිවගිය සමගියක් නොවු අතර, මතුපිටින් නාමමාත්රික වශයෙන් ඇති කරන ලද දෙයක් පමණක් වීය. එකිනෙකාගේ ගෞරවය, අනන්යතාව හා අයිතිවාසිකම් පිළිබඳ ඇති කරගත් ශක්තිමත් එකගතාවකින් තොරව ඇති කරගත් මතුපිට සමගියක් විය. එහෙත් ජාතික රාජ්යයක පැවැත්ම සඳහා අවශ්ය එක්සත් ජාතියක් ඇති කරගැනීමට ඉන්පසුව හෝ සමත් නොවීම හේතු කොටගෙන ගොඩ නගන ලද ජාතික රාජ්යය කැබලි වී යන තත්ත්වයක් ඇතිවීමෙන් නොනැවතී, එක ලේ බිර්ක්වත් නොසොල්වා නිදහස දිනාගත් රට දැන් කෙළවරක් නැති තරමින් ලේ වගුරුවන රටක් බවට ද පත්වී තිබේ.
කිසිම වාර්ගික කණ්ඩායමක් හෝ ඔවුන් නියෝජනය කළ නායකයන් බලවත් නිදහස් ව්යාපාරයක තුරුල්ලේ හැදුණු වැඩුණු අය නොවීම නිසාම රටේ අනාගත පැවැත්ම සඳහා අවශ්ය ජාතික එකගතාවක් පිළිබඳ ගැඹුරු හැගීමක් ඒ කිසිවකුත් සතු නොවීය. එකල දේශපාලන කරළියේ ප්රධාන නළුවන් බවට පත්ව සිටියේ බ්රිතාන්ය යුගය තුළ ඇතිවූ ධනපති ක්රමය යටතේ විවර වූ ආර්ථික ඉඩ ප්රස්ථාවන් ඔස්සේ ධනවතුන් බවට පත්ව සිටි පිරිස්ය. ඔවුන් අතර ද තමා අයත් වර්ගය අනුව, අදහන ආගම අනුව, කතා කරන භාෂාව අනුව හා තම තමන් අයත් කුල අනුව බෙදීම් තිබුණි. ඒ සියලු දෙනාටම ඉංග්රීසීන්ගෙන් පසුව පාලන බලය සියතට ගැනීමේ වුවමනාවක් තිබුණත්, ඒ වුවමනාවන් අතර ද වර්ගය, ආගම, භාෂාව හා කුලය අනුව බෙදීම් තිබුණි. ඉංග්රීසි යුගය තුළ තමන්ට ලැබී තිබුණු විශේෂ වරප්රසාද නිසා නිදහසින් පසුව ගොඩනැගෙන සිංහලයන්ට බර තබන ආණ්ඩුවක් තුළ ඒ වරප්රසාද තමන්ට අහිමිවනු ඇතැයි කියන බියක් සුළු ජාතික නායකයන් අතර තිබෙන විට සිංහල නායකයන් ද ඔවුන්ගේ සැක පහ කොට එකගතාවක් ඇති කරගැනීම පිණිස ක්රියාකරනවා වෙනුවට, ඔවුන් ඉච්ඡාවෙන් එකග කරවා ගන්නා තත්ත්වයකට යොමුවී සිටියේය.
ඉංග්රීසීන් සිය ආරක්ෂාව සඳහා වාර්ගික අර්ථයෙන් බෙදා පාලනය කරන පිළිවෙතක් අනුගමනය කොට තිබුණු අතර, ඒ නිසා වාර්ගික කණ්ඩායම් අතර ඇතිවී තිබූ අන්යෝන්ය අවිශ්වාසයන් පහ නොවී තිබූ තත්ත්වයක් තුළ නිදහස ලබා දෙන ලද්දේ කෘතීම ලෙස ජාතික සමගියක් සඳහා වන ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කරදිම මගිනි. ඉංග්රීසීන් ඒකීය රාජ්යයකට අවශ්ය ජාතික එකගතාවක් ඇති කරගැනීමේ වගකීම බෙදි වෙන්වී සිටි ජාතික නායකයන්ගේ අනාගත වගකීමක් බවට පත්කර දුන්නේය.
බී.එච්. ෆාමර් විසින් 1965 ලියා පළ කරන ලද Ceylon : A Divided Nation නමැති කෘතියට පෙරවදනක් ලියන සෝල්බරී සාමිවරයා සර් චාල්ස් ජෙෆ්රි උපුටා දක්වමින් ප්රකාශ කර ඇත්තේ “සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා මිනිස් මොළයෙන් තනාගත හැකි විධිවිධාන සියල්ලම සෝල්බරී ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් කොට තිබුණු බවය. එම ව්යවස්ථාවේ 29 වැනි වගන්තිය අනුව සුළු ජාතීන්ට වෙනස්කම් ඇති කිරීමට හේතුවන මොනම නීතියක්වත් නීතිගත කිරීම නීති විරෝධී විය. එහෙත් ඩී.ඇස්. සේනානායක මහතා ඉන්දියානු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය අහිමි කරන පුරවැසි පනත නීතිගත කළේ ද නැවත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිංහල රාජ්ය භාෂා පනත නීතිගත කළේද ව්යවස්ථාවේ එන එම මූලික විධි විධාන නොසලකාය. එයින් පෙන්නුම් කෙරෙන්නේ වාර්ගික ජන කණ්ඩායම් අතර ගැඹුරට දිව යන අවබෝධයකින් ඇති කරගන්නා එකගතාවයකින් තොරව ඇති කරගන්නා ව්යවස්ථාමය විධි විධානවල අර්ථයක් නැති බවය. එම ධර්මතාව සෝල්බරී ආණ්ඩුක්රම ව්යවස්ථාවට පමණක් නොව, පොදු පෙරමුණ දැන් ඇති කරගන්නට වළිකන නව ව්යවස්ථාවට ද අදාළය.
සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ නිර්මාතෘවරුන් එම ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ඇති කරන පාර්ලිමේන්තුවේ වාර්ගික නියෝජනය පිළිබඳව ඇස්තමේන්තුවක් ඇති කොට තිබුණේය. ඊට අනුව ජන්දයෙන් තෝරාපත් කරගන්නා මන්ත්රී ආසන 95න් 58ක් සිංහලයන්ට ද, 15ක් ලාංකික ද්රවිඩයන්ටද, 14ක් ඉන්දියානු ද්රවිඩයන්ටද, 8ක් මුස්ලිම්වරුන්ට ද ලැබී, නම් කරන නියෝජිතයන් 6 දෙනාද ඇතුළත් 101 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 43ක නියෝජනයක් සුළු ජාතීන්ට ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළේය. එහෙත් 1947 මැතිවරණයෙන් ලැබුණු ප්රතිඵල ඊට සමාන නොවීය. ආසන 68ක් සිංහලයන්ට හිමිවන විට, සුළු ජාතීන්ට හිමිවූයේ ආසන 33ක් පමණය. ඩී.ඇස්. සේනානායක විසින් ඉන් පසුව නීතිගත කරන ලද පුරවැසි අණපනත් නිසා සුළු ජාතික නියෝජනය තවදුරටත් සීමා කිරීමට හේතුවිය. 1952 මැතිවරණයෙන් පත්කළ මන්ත්රීන් 8 දෙනා ඇතුළත්ව 103ක් වන මුළු පාර්ලිමේන්තු නියෝජනයෙන් 75ක් සිංහල නියෝජනයන්ට ලැබෙන විට, සුළු ජාතීන්ට හිමිවූයේ 28ක් පමණය.
මේ තත්ත්වය සේ ම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පිළිගත් මූලධර්මවලට එරෙහිව සුළු ජාතීන්ගේ අවාසියට හේතුවන ලෙස අණපනත් සම්මත කිරීම නිසා නිදහස ලැබෙන අවස්ථාව වනවිට නාමමාත්රික වශයෙන් හෝ වාර්ගික ජන කණ්ඩායම් අතර පැවති සමගිය අහෝසි වී උතුරේ දෙමළ ජනතාව වෙනම රාජ්යයක් සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලුවී ගියේය.
නිදහසින් පසුව වර්ධනය වී තිබෙන මේ බෙදිම දෙමළ ජනතාවගේ සංතෝෂයට හේතුවන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්මත කරගැනීමෙන් පමණක් විසඳගත් හැකි වේ යැයි සිතතොත්, එය මුළාවකි. ආණ්ඩුක්රම ව්යවස්ථාවකට පමණක් එම ගැටලුව විසඳිය හැකි නම්, සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා මිනිස් මොළයකට ඇති කළ හැකි සියලු විධිවිධානයන් ඇතුළත් සෝල්බරී ආණ්ඩුක්රම ව්යවස්ථාවට ද ඒ හැකියාව තිබිය යුතුය. එහෙත් ඒ සියලු විධිවිධාන තිබියදිත්, එම ව්යවස්ථාව වාර්ගික අර්බුදයට විසඳුමක් නොවීමෙන්ම පෙන්නුම් කෙරෙන්නේ හුදෙක් හොඳ ව්යවස්ථාවකට පමණක් මේ ගැටලුව විසඳීමේ හැකියාවක් නැති බවය. ඒ සඳහා සමාජ මානසික තලයේ විපර්යාසයක් ඇති කිරීම ද අවශ්යය. එවැන්නක් කළ හැකිවනු ඇත්තේ මේ සියලු ජන කණ්ඩායම් මහත් උත්තේජනයකින් යුතුව එකට ඒකරාශි වී දිනාගත යුතු දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්රියාකරන තත්ත්වයකට යොමු කිරිමෙන් පමණය. ජාතික ඒකාග්රතාවක් සඳහා අවශ්ය කරන සමාජ මානසික පරිසරයක් ඇතිවනු ඇත්තේ එවිටය.
එහෙත් ඒ සඳහා දැන් රට ඉදිරියේ තිබෙන ප්රධාන ප්රශ්නය විරසක වී සිටින මෙම වාර්ගික කණ්ඩායම් දෙක එකට ඒකරාශී කොට බලවත් අරමුණක් දිනාගැනීම සඳහා එකට එක්ව ක්රියාකරන තත්ත්වයකට යොමු කිරීමට හේතුවන නිමිත්ත කුමක්ද යන්නයි. ජාතික ඒකාග්රතාවක් සඳහා අවශ්ය දැනුවත්භාවයක් ඇති කරගැනීමට මේ සියලු පාර්ශ්වයන් සමත්වනු ඇත්තේ ඒ සියලු දෙනාට එකට ඒකරාශි වී බලවත් යමක් දිනාගැනීම වෙනුවෙන් සාමුහික උත්සාහයක යෙදෙන තත්ත්වයක් ඇති කළ හැකි නම් පමණය.
ඒ සඳහා ඉතිරිවී තිබෙන එකම නිමිත්ත විය හැක්කේ ප්රජාතන්ත්රවාදය පමණය. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ප්රජාතන්ත්රවාදී ගැටලුවේම කොටසකි. එහෙත් එය අර්ථ දැක්වෙමින් පවතින්නේ ප්රජාතන්ත්රවාදී ගැටලුවක් ලෙස නොව, ඉන් පරිබාහිර වාර්ගික ගැටලුවක් ලෙසය. තමන්ගේ කටයුතු පාලනය කරගැනීමට තමන්ට වැඩි ඉඩක් ලැබිය යුතු යැයි කියන දෙමළ අපේක්ෂාව ද ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවකි. වෙනස්කම් කිරිම්වලට ලක්කිරිමෙන් තොරව සමාන ලෙස සැලකිය යුතුයි කියන අපේක්ෂාව ද ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවකි. යුද්ධය අභියෝගයක් වී ඇත්තේ දෙමළ ජනතාවට පමණක් නොවේ. එය සමස්ත ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයට ද අභියෝගයකි. දෙමළ ජනතාවගේ වාර්ගික දුක්ගැනවිලි ප්රජාතන්ත්රවාදී දේශපාලන න්යාය පත්රයකට ඇතුළත් කොට යහපත් ආණ්ඩුකරණයක් සඳහා සිංහල ජනතාව කෙරෙන් මතුවෙමින් තිබෙන ඉල්ලීම ද එම න්යාය පත්රයේම කොටසක් බවට පත් කරගත හැකි නම් විරසක වී සිටින වාර්ගික ජන කණ්ඩායම් දෙක එකම අරමුණක් වෙනුවෙන් එක්සත්ව ක්රියාකරන පොදු සමාජ ව්යාපාරයක් බවට හැරවිය හැකිය. ඒ මගින් එකිනෙකා අතර පවත්නා අන්යෝන්ය අවබෝධය වර්ධනය කරමින් ජාතික ඒකාග්රතාවක් සඳහා අවශ්ය පරිසරයක් ඇති කරන අතර, එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් මේ දෙවර්ගයාටම තිත්ත වී තිබෙන තරමට කුණුවී තිබෙන දේශපාලන ක්රමය වෙනුවට සියලු දෙනාගේ අයිතිවාසිකම් සහතික කරන හා සියලු ජාතීන්ට අන්යෝන්ය විශ්වාසයකින් හා ගෞරවයකින් ක්රියාකළ හැකි නව ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුවක් ද ඇති කළ හැකිය. එය සම්පූර්ණ කිරීමට අසමත් වූ නිදහසේ අපේක්ෂාවන් සම්පූර්ණ කිරීමට අරමුණු කොටගත් නිදහස් අරගලයේම දෙවැනි අදියරක් වෙනුවෙන් කෙරෙන සමාජ ව්යාපාරයක් ලෙස ඉදිරියට ගලා යායුතුය.
ජනවාර්ගික අර්බුදයට සේ ම රටේ මතුවී තිබෙන ප්රජාතන්ත්රවාදී දේශපාලන අර්බුදයට ද කල්පවත්නා විසඳුමක් සොයාගත හැකිවනු ඇත්තේත්, සියලු ජාතීන්ට එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි නව සමාජ පරිසරයක් දිනාගත හැකිවනු ඇත්තේත් මේ සිංහල දෙමළ ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවන් ඒකාබද්ධ කොට ඉදිරියට යන ව්යාපාරයකට පමණය.