තොරතුරු ලබාගැනීමේ අයිතිය රාජ්‍ය පාලනය විවෘත කිරීමට හේතු වේ

February 11, 2001
Publication:
Welcoming the UNP's acceptance of the professionals' draft for four independent commissions, the editorial backs the Editors' Guild draft on freedom of information, Article 19's campaign and the Democratic Alliance's twelve demands. It traces unfulfilled pledges from the Premadasa era and the R.K.W. Goonesekere committee, and argues that a right to information would curb secret privatisation deals such as Air Lanka's, empower villagers, and force the Auditor General, Elections Commissioner and tax authorities to do their duty.

ස්වාධීන කොමිෂන් සභා හතර පිළිබඳව වෘත්තීයවේදින්ගේ කෙටුම්පත හා එජාප කෙටුම්පත අතර පැවති පරස්පරය අවසන් කෙරෙන ලෙස නව කෙටුම්පතට ඇතුළත් නැති වෘත්තීයවේදින්ගේ කෙටුම්පතට ඇතුළත් සියලු මූලික කාරණා පිළිගැනීමට එජාප එකගවීම යහපත් ලක්ෂෂණයක් ලෙස සැලකිය හැකි ය. ඒ අනුව සකස් කෙරෙන අවසන් කෙටුම්පතට මතබේදයකින් තොරව සියලු විරුද්ධ පක්ෂෂ සහාය ලබාදෙනු ඇතැයි සිතිය හැකි ය.

ස්වාධීන කොමිෂන් සභා හතරට අතිරේක වශයෙන් කර්තෘ සංසදය ජනමාධ්‍ය නිදහස හා අදහස් පළ කිරිමේ නිදහස සීමා කිරීමට හේතු වී ඇති නීතිරිතිවල ප්‍රතිසංස්කරණයන් සඳහා යෝජනාවලියක් කෙටුම්පත් කර තිබෙන අතර ඊට තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කරවා ගැනීම පිණිස වන පනත් කෙටුම්පතක් ද ඇතුළත් ය. ආටිකල් 19 සංවිධානය ද ශ්‍රී ලංකාව ඇතුළු තොරතුරු ලබාගැනීමේ අයිතිය තවමත් නීතිගත කොට නැති දකුණු ආසියානු රටවල තොරතුරු ලබාගැනීමේ අයිතිය නීනිගත කරවාගැනීම සඳහා වන විශේෂ ව්‍යාපාරයක් මාර්තුවල දි දියත් කිරීමට නියමිත ය. ප්‍රජාතන්ත්‍රවාදී සංධානය ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පුළුල් කිරීමට හේතුවන ඉල්ලීම් 12ක් පදනම් කොටගෙන පෙබරවාරී 28 වැනි දා සිට කහ තැපැල්පත් ව්‍යාපාරයක් දියත් කිරීමට තීන්දු කර තිබෙන අතර එම ඉල්ලීම් 12ට තොරතුරු ලබාගැනීමේ අයිතිය ද ඇතුළත් ය.

ශ්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තබා ඇතත් ඊට ඇතුළත් තොරතුරු ලබාගැනීමේ අයිතිය තවමත් නීතිගත කර නැත. අදහස් පළකිරිමේ නිදහසට ඇති අයිතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දි තිබෙන අර්ථ නිරූපණයන් අනුව ද අදහස් ප්‍රකාශ කිරිමේ නිදහසට තොරතුරු ලබාගැනීමේ අයිතිය ද ඇතුළත් ය. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ යුගයේ දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයට ඇතුළත් කිරීමට නව සංශෝධනයන් කෙටුම්පත් කර තිබුණු අතර ඊට තොරතුරු ලබාගැනීමේ අයිතිය ද ඇතුළත් කර තිබුණි. එහෙත් දෝෂාභියෝගය හා ප්‍රේමදාස මහතාගේ මරණයත් සමග එම සංශෝධන වැඩ පිළිවෙළ ද ඇණහිටිණ. ඉන් පසු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ පත් කෙරුණු ආර්. කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටුව ද සිය වාර්තාවෙන් නිර්දේශ කොට තිබූ ප්‍රතිසංස්කරණ අතර තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කිරිමේ වැදගත්කම ද අවධාරණය කොට තිබුණි. එහෙත් පොදු පෙරමුණු ආණ්ඩුව අද දක්වා එම නිර්දේශය ක්‍රියාත්මක කර නැත.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම මහජනයාට පෙනෙන ලෙස සිදුවිය යුතු ය. තොරතුරු ලබාගැනීමේ අයිතිය රාජ්‍ය පාලනයේ විවෘතභාවය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ.

තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කර ඇති රටවල රාජ්‍ය පාලනයේ ඉහළ මට්ටම්වල සිට පහළම මට්ටම දක්වා වන ඕනෑම ආයතනයකට සම්බන්ධ ඕනෑම වාර්තාවක් මිල දි ගැනීමේ අයිතිය මහජනයාට හිමි ය. කැබිනට් මණ්ඩල හෝ අධ්‍යක්ෂෂ මණ්ඩල තීරණ ඇතුළත් වාර්තා පරීපාලන හා ආදායම් වාර්තා විකුණුම් හා මිලදි ගැනීම්වලට අදාළ වාර්තා යනාදිය ඊට ඇතුළත් ය. මෙවැනි ක්‍රමයක් ඇති කිරීම මගින් ආණ්ඩුව කරන සියලු කටයුතු විවෘත තත්ත්වයකට ගෙන ආ හැකි අතර ඒ මගින් දූෂණය හා නාස්තිය ද අවම තත්ත්වයකට ගෙනා හැකි ය.

අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් කෙරෙන හැම වැදගත් ගනුදෙනුවක්ම කෙරෙන්නේ හොර රහසේ ය. එජාප ආණ්ඩුව යටතේ සේම දැන් පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ ද කෙරෙන පුද්ගලීකරණ ක්‍රියාවලිය අන්ත දූෂිත ක්‍රියාවලියක් බවට පත්ව ඇත්තේ ද පුද්ගලීකරණය විනිවිද පෙනෙන දෙයක් ලෙස නොව කාටත් නොපෙනෙන හොර රහසේ කෙරෙන දෙයක් වීම නිසා ය.

නිදර්ශනයක් වශයෙන් එයාර් ලංකා සමාගමේ කොටස් විකිණීමේ දි ආයෝජකයන් සොයාගැනීමේ සිට කොටස් විකිණීම දක්වා වන සියලු ක්‍රියාවලීන්ට අදාළ සියලු විස්තර වාර්තා ඒ ඒ අවස්ථාවේදි ම සමාගමේ සේවකයන්ට, ජනමාධ්‍යවලට හා උනන්දුවක් දක්වන ජනතාවට ලබාගත හැකි ක්‍රමයක් වී නම් වඩා හොඳ ආයෝජකයකු සොයාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම සිදුවිය හැකි දූෂණ අවම කරමින් වඩා හොඳ මිලක් ලබාගන්නට හැකිවන්නට ද ඉඩ තිබුණි.

තොරතුරු ලබාගැනීමේ අයිතිය වෘත්තීය සමිති හා ජනමාධ්‍යවලට පමණක් නොව ග්‍රාමීය ජනතාවට ද වැදගත් ය. තොරතුරු ලබාගැනීමේ අයිතිය ග්‍රාමීය මට්ටමෙන් කෙරෙන සංවර්ධන යෝජනා ක්‍රමවල දි මහජන සහභාගිත්වය උපරීම මට්ටමකට ගෙන ඒමටත් සිදුවන දූෂණ අවම මට්ටමකට ගෙන එමින් ඵලදායීතාව ඉහළ දැමීමටත් හේතුවන බව ආන්ද්‍ර ප්‍රදේශය ආශ්‍රයෙන් කරන ලද අත්හදාබැලීම් ගණනාවකින් සනාථ වී තිබේ. නිදර්ශනයක් වශයෙන් කිසියම් ගමක පාරක තාර ඇතිරිමට පළාත් පාලන ආයතනයක් තීරණය කෙරෙන අවස්ථාවක වෙන් කරන ලද මුදල, කොන්ත්‍රාත්කරු, තාර ඇතිරිය යුතු වපසරියේ ප්‍රමාණය හා තාර ඇතිරිය යුතු ස්වභාවයට අදාළ තාක්ෂෂණ කරුණු එම ගමේ ජනතාවට විස්තරාත්මකව දැනගන්නට ලැබෙන්නේ නම් එම කාර්ය ඵලදායක ලෙස සම්පූර්ණ කර ගැනීමට එම ගමේ මහජනතාව ද සම්බන්ධ වනු නොඅනුමාන ය.

මෙම නීතිය දේශපාලකයන් ලෙස ක්‍රියා කරන මහජන නියෝජිතයන්ගේ ද රාජ්‍ය නිලධාරීන්ගේ ද ක්‍රියාකාරීත්වය කාර්යක්ෂෂම කිරීමට හේතු වේ. හැම ක්‍රියාවක්ම මහජනතාවට පෙනෙන බැවින් බොරු කිරීමට හෝ දේශපාලන ඇගිලිගැසීම් මත වැරදි කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරේ. විගණකාධිපතිවරයා රජයේ සියලු ආයතන හා අරමුදල් විගණනය කිරීමට බැඳී සිටියත් ජනාධිපති අරමුදල විගණනය නොකරයි. මැතිවරණවලට ඉදිරිපත් වන සියලු අපේක්ෂෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීම මැතිවරණ කොමසාරිස්ගේ වගකීමක් වුවත් ඔහු දේශපාලකයන්ට ඇති චකිතය නිසා ඔහු ඒ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ය. නිල පුණ්‍ය ආයතන හැර සියලු පුද්ගලයන් හා ආයතනවල ආදායම්වලින් ආදායම් බදු අය කිරීමට දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා බැඳී සිටියත් දේශපාලන පක්ෂෂවලට පමණක් එම නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කිරීම මගින් මේ සියලු දෙනා තමන් සතු වගකීම් ඉටුකරන තැනකට ගෙනා හැකි ය.

මේ අර්ථයෙන් කර්තෘ සංසදය ඉදිරිපත් කර ඇති තොරතුරු ලබාගැනීමේ අයිතිය සඳහා වන කෙටුම්පත නීතිගත කරවා ගැනීම හා ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා වන කෙටුම්පත නීතිගත කරවා ගැනීම වැදගත් ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය විවෘත තැනකට එනු ඇත්තේ එතැන් සිට ය.