මංගල සමරවීර තාමත් ශ්රීලනිප තුළ ජනාධිපතිනියට සිටින විශ්වාසවන්තම සගයාය. මංගල ට ජනාධිපතිනියගෙන් තොර ශ්රීලනිපයක අනාගතයක් තිබිය නොහැකිය. ඒ නිසා ජනාධිපතිනියගේ දේශපාලන පැවැත්ම අවලංගු නොවන තැනක තබා ගැනීමේ අවශ්යතාව වෙනුවෙන් පෙනී සිටින ප්රධාන පුද්ගලයා වීමට මංගලට සිදුවී තිබේ. ඒ නිසාම මංගල සිතන ආකාරයේත් ජනාධිපතිනිය සිතන ආකාරයේත් අපූරු සමානතාවයක් ද පවතී. මංගල ඉරිදා ලංකාදිපයට කියා තිබෙන ආකාරයට කොතරම් බලාපොරොත්තු ඇති කරගෙන සිටියත් මහින්ද රාජපක්ෂෂට හෝ අනුර බණ්ඩාරනායකට හෝ ශ්රීලනිපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂෂකයින් වීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒවා ඔවුන් ඇති කරගෙන තිබෙන බොරු හීනය.
ඔහු කියා තිබෙන ආකාරයට ජනතාවගේ අපේක්ෂෂාව වී ඇත්තේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමය. ශ්රීලනිපයේ අපේක්ෂෂාව වී ඇත්තේ ජනාධිපති ක්රමය අහෝසි කොට චන්ද්රිකා විධායක අගමැති ධූරයට ගැනීමය.
මංගල නොකීවාට චන්ද්රිකා 1994 දි බලයට ආවේ රටට ශාපයක් වී තිබෙන විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේදි ද ඇය පැවසුවේ, විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරිමේ අරමුණින් එසේ තරග කරන බවයි. ඒ ගැන ඇය ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂෂකයාට ලිඛිත පොරොන්දුවක් ද දෙන ලද අතර ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂෂකයා තරග කිරිමෙන් ඉවත් විය.
එහෙත් ඉන් පසු ඇය නව අවුරුද්දක් විධායක ජනාධිපති ක්රමයේ රස මහත් උජාරුවෙන් උරා බීවා මිස එය අහෝසි කළේ නැත. එහෙත් දැන් ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ඊළග වාරය තරග කරන්නට බැරි තත්ත්වයක් ඉදිරියේ මංගලට සේම ජනාධිපතිනියටද ජනාධිපති ක්රමය අහෝසි කර ගැනීමට අවශ්ය වී තිබේ.
මෙම මූලික කාරණය එනම් අපේ ජනාධිපතිනිය දේශපාලන වශයෙන් අවලංගු වන්නට ඉඩ නොදි තවදුරටත් දේශපාලනයේ තබා ගන්නේ කෙසේද යන ප්රශ්නය ශ්රීලනිපයේ දේශපාලන ගමන්මග තීරණය කරන ප්රධාන සාධකය බවට පත්ව තිබෙන බව ද පෙනේ.
ජනාධිපතිනිය මුළු ශ්රීලනිපය හසුරුවමින් සිටින්නේ ඒ මූලික අරමුණට ගැලපෙන ලෙසය. රටේ අන් සියලු කාරණා ඊට දෙවැනිය. ඉතා සියුම් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සහය කොට ගනිමින් තිබෙන්නේ ද ඒ මූලික අරමුණ සපුරා ගැනීම සඳහාය. අවසානයේ දි ජනතා විමුක්ති පෙරමුණට ශ්රීලනිපය වෙනුවෙන් දරදිය අදින්නට සිදුවනු ඇත්තේ ද ඒ සඳහා ය.
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී ඇත්තේ ජනාධිපති චන්ද්රිකා දේශපාලන වශයෙන් අවලංගු වන ආකාරයට තමා විධායක ජනාධිපති වීමය. එජාපය තුළද විධායක ජනාධිපති ධූරය ගැන සංවාදයක් තිබුණද දැන් කිසිවෙක් ඒ විෂය ගැන කතා කරන්නේ නැත. සිය නායකයාගේ අනාගත දේශපාලන ගමන්මග අධිනිශ්චය කරන ප්රධාන සාධකය එය වන බව ඒ සියලු දෙනා දන්නා නිසා විය යුතුය. රනිල් වික්රමසිංහ මහතා හැමදාමත් පෙනී සිටියේ විධායක ජනාධිපති ක්රමය වෙනුවෙනි. තමාට රාජ්ය නායකත්වය ලැබෙන්නේ නම් රට පාලනය කිරීම සඳහා තිබෙන හොඳම ක්රමය එය වේ යැයි ඔහු කල්පනා කරනවා විය හැකිය. එහෙත් ඒ ක්රමය රටට ගැලපේද යන්න සාකච්ඡා කිරීමේ අයිතියක් රටේ ජනතාවට තිබිය යුතුය. අවාසනාවකට දැන් ඒ විෂය ගැන කෙරෙන සංවාදයක් රටේ ඇත්තේම නැති තරම් ය. දැන් නැවත ජනාධිපතිනියට ඒ විෂයට අවතීර්ණ වීමට අවශ්ය වී ඇතත් එසේ කිරීමට අවශ්ය වී ඇත්තේ ද රටේ පොදු යහපත සලකා නොව සිය පැවැත්ම සලකාය.
අවසානයේ දි සමස්ත දේශපාලනය තීන්දු කරන ප්රධාන සාධකය වී ඇත්තේ මේ නායක දෙපළේ පුද්ගලික අභිලාෂයන් ය. රටේ පැවැත්ම හා අනාගතයට ලැබී ඇත්තේ දෙවැනි තැනය.
ශ්රේෂ්ඨාධිකරණය ගැන මැතිවරණ කොමසාරිස්
සන්ඩේ ටයිම්ස් පුවත්පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මැතිවරණ කොමිසම පිළිබඳව තමන් දරන අදහස් ප්රකාශ කොට තිබුණි.
17 වැනි ව්යවස්ථා සංශෝධනය පැය 11 ක් වැනි කෙටි කාලයක් තුළ කලබලයෙන් සම්මත කරගන්නා ලද ව්යවස්ථා සංශෝධනයක් බවත් එය මැනවින් කරුණු සලකා බලා මහජන සංවාදයට ලක්කෙරෙන ආකාරයට සම්මත කර ගන්නා ලද නීතියක් නොවන බවත් කඩිමුඩියේ සම්මත කරගන්නා ලද එවැනි නීතියක් හොඳ නීතියක් විය නොහැකි බවත් ඔහු පළ කර තිබෙන එක් මතයකි.
අනෙක් අතට මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ විෂය භාර ප්රධාන බලධාරියා වුවත් මේ නීති සම්පාදනයේ දි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අදහස් විමසීමක් කර නැත.
මැතිවරණ කොමිසමේ සාමාජික සංයුතිය නීතීඥයන්ට සීමා කිරීමද ඔහුගේ විවේචනයට හේතු වී තිබේ. කොටින්ම ඔහු විග්රහ කර තිබෙන ආකාරයට 17 වැනි ව්යවස්ථා සංශෝධනයේ දැක්වෙන මැතිවරණ කොමිසම හා ඉන්දියාවේ පවත්නා මැතිවරණ කොමිසම අතර ඇති පරතරය ඉතා විශාලය.
මීට අතිරේක වශයෙන් මැතිවරණ කළමනාකරණ ක්රියාවලිය දුර්වල කිරීමට ශ්රේෂ්ඨාධිකරණය දායක වී තිබෙන ආකාරය පිළිබඳවද ඔහු එක්තරා ප්රමාණයකට එහිදි අදහස් පළ කිරීමක් කර තිබුණි. ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණය මැතිවරණ කළමනාකරණ ක්රියාවලිය ශක්තිමත් කිරීමට හේතු වන ලෙස ක්රියා කර ඇතත් ශ්රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද සමහර තීන්දු මැතිවරණ කළමනාකරණ ක්රියාවලිය දුර්වල කිරීමට හේතු වී තිබේය යන්න ඔහුගේ මතය වී තිබේ.
ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කරන ලෙස පුවත්පත ඉල්ලා සිටි විට ඔහු ඊට දෙන ලද පිළිතුර වී ඇත්තේ උසාවි අපහාස නීතිය නිසා තමන්ට ඒ ගැන වැඩිදුර කතා කිරිමේ හැකියාවක් නැති බවයි. ඒ අවස්ථාවේදි මැතිවරණ කොමසාරිස්වරයාට ද ටෝනි එම්මානුවෙල් මතක් වූවා විය හැකිය.
මැතිවරණ වලදි තමන් කැමති පක්ෂෂයකට හා පුද්ගලයෙකුට ඡන්දය පාවිච්චි කිරිමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමකි. එය අදහස් ප්රකාශ කිරිමේ අයිතිය භාවිතා කෙරෙන තවත් මාර්ගයකි. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ කිසියම් සීමිත කාලයකට රටේ පාලන බලය හිමිවන්නේ මහජනයා නිදහස් ඡන්දයෙන් තෝරා පත් කරන මහජන නියෝජිත පිරිසකටය. එහෙත් ඒ සඳහා පැවැත්වෙන ඡන්ද නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවතිය යුතු අතර මහජනයා සතු ඒ අයිතිය තහවුරු කර දිමේ ප්රධාන වගකීම පැවරි ඇත්තේ ශ්රේෂ්ඨාධිකරණයටය.
සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත් වීමෙන් පසුව මැතිවරණ වලට අදාළව වන නඩු තමා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරනවා වෙනුවට මැතිවරණ වලදි ඡන්ද දූෂණ සඳහා විධායකය පවත්වාගෙන ගිය සටකපට වැඩ පිළිවෙළවල් ආරක්ෂෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය.
17 වැනි ව්යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට එන නඩුවලදි ශ්රේෂ්ඨාධිකරණය මැතිවරණ කළමනාකරණ ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඒ මගින් පනවන ලද අණ පනත් බලාත්මක කරනවා වෙනුවට ඒවා බල රහිත කෙරෙන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ව්යවස්ථා සංශෝධනයම හාස්ය ජනක විගඩමක් බවට පත් කළේය.
සාධාරණ මැතිවරණ කොමිසමක් ඇති කර ගත්තද අධිකරණයේ පවත්නා මෙම විනාශකාරි නැඹුරුව නිවැරදි කරන තෙක් ස්වාධීන මැතිවරණ කොමිසමකට පවා මැතිවරණ වලදි නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය..
ටෝනි හා කර්තෘ සංසදය
අධිකරණ අපහාස නීතිය යටතේ (Contempt of Court ) අදහස් ප්රකාශ කිරිමේ නිදහසට සීමා පැනවෙන තත්ත්වයක් රටේ පවතී. අධිකරණ ක්රියාකාරිත්වය ද මහජන පරික්ෂෂාවට ලක් විය යුතුය. අධිකරණයේ වරදක් සිදුවන අවස්ථාවලදි ඒවා මහජන සංවාදයට ලක් විය යුතුය. එහෙත් අධිකරණ අපහාස නීතිය නිසා සාමාන්ය මිනිසුන් පමණක් නොව ජනමාධ්යවේදින් පවා මේ විෂය පිළිබඳව අදහස් පළ කිරීමට බියක් දක්වති.
මේ තත්ත්වය වෙනස් කරවා ගැනීම සඳහා උසාවි අපහාසය විධිමත් අර්ථකථනයකට ලක් කරන ලෙස නිදහස් මාධ්ය ව්යාපාරය සේම කර්තෘ සංසදය ද ඉල්ලා සිටියේය. මීට ටික කලකට ඉහත දි අගවිනිසුරු ඇතුළු විනිශ්චය මණ්ඩලයක් විසින් මේ නීතිය යටතේ ටෝනි එම්මානුවෙල්ට එක් අවුරුදු සිර දඬුවමක් පමුණුවන ලද්දේ අගමැති රනිල් වික්රමසිංහ මහතා මේ නීතිය විධිමත් පූර්ව අර්ථ කථනයකට ලක් කිරිමේ අවශ්යතාව පිළිබඳව නිදහස් මාධ්ය ව්යාපාරය හා කර්තෘ සංසදය කරන ලද ඉල්ලීම පිළිගෙන ඒ ගැන කරුණු සොයා බැලීමේ වගකීම නීතිපති වෙත පවරා තිබුණු අවස්ථාවකදි ය.
දැන් ඒ සඳහා ලක්ෂෂමන් කදිරගාමර් මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර ඇති අතර කර්තෘ සංසදය වෙනුවෙන් එහි සභාපති හා ලංකාදිප කර්තෘ සිරි රණසිංහ මහතා එම පාර්ලිමේන්තු කමිටුවට ඒ ගැන කරුණු පැහැදිලි කිරිමේ ලියැවිල්ලක් ද යවා තිබේ.
අධිකරණ පාලනය පිළිබඳව ජනමාධ්යවලට අදහස් පළ කිරිමේ අයිතියක් තිබිය යුතුයි යන්න එම කරුණු දැක්වීමේ ඇති කරුණු අතර තිබෙන ප්රධාන තර්කයකි. රාජ්ය ආයතනවල එදිනෙදා ක්රියාකාරිත්වයේ හොඳ නරක මහජනයාට දැනුම් දිම ජනමාධ්ය වෙත පැවරි තිබෙන ප්රධාන වගකීමකි. යුක්තිය පසඳලීම සඳහා පවත්වාගෙන යන ආයතන ක්රමය ද මහජන වියදමින් පවත්වාගෙන යන ආයතන ක්රමයකි. ඒ නිසා ඒවාහි ක්රියාකාරිත්වය මහජන සුපරීක්ෂෂාවට විවෘත තත්ත්වයක තිබිය යුතුය.
ලංකාදිප කර්තෘ හා කර්තෘ සංසදයේ සභාපති වශයෙන් සිරි රණසිංහ නමින් ඉදිරිපත් කොට ඇති එම කරුණු දැක්වීමට අධිකරණ අපහාස නීතිය පුද්ගලයාගේ තරාතිරම අනුව ක්රියාත්මක වන පරස්පර විරෝධී ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් ද ඇතුළත් ය. ඒ සඳහා එහි නිදර්ශන කොට ගෙන ඇත්තේ ඇමති එස්. බී. දිසානායක සම්බන්ධයෙන් හා ටෝනි එම්මානුවෙල් සම්බන්ධයෙන් අගවිනිසුරු අනුගමනය කළ පරස්පර විරෝධී ප්රතිපත්තියයි.
කර්තෘ සංසදය සමන්විත වන්නේ පුවත්පත් කතුවරුන්ගෙනි. එවැනි වගකිව යුතු සංවිධානයක් අදහස් ප්රකාශ කිරිමේ නිදහසේ අයිතිය වෙනුවන් මෙවැනි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවලට සිය අදහස් පළ කිරීම ඉතා හොඳ දෙයක් වුවත් එම විෂයට අදාළව ගැටලු මතුවන අවස්ථාවලදි මුළුමනින් නිහඬව සිට පාර්ලිමේන්තු කාරක සභා ඇති කළ විට පමණක් අදහස් පළ කරන තැනකට යාම එවැනි සංවිධානයක ගෞරවයට හේතු වන්නේ නැත. එවැනි සිද්ධීන් ඇතිවන අවස්ථාවලදි ද නිශ්ශබ්දව බලා නොසිට මහජනයාට අදහස් පළ කිරීම එවැනි ආයතනවල වගකීමකි.
මේ රටේ දේශපාලන ආයතන ක්රමය මේ තරම් දරුණු පිරිහීමකට ලක්ව තිබෙන්නේ ආයතන ක්රමයේ මුදුණේ සිටින ප්රමුඛ පිරිස් බරපතළ වැරදි කරන අවස්ථාවලදි ජනමාධ්ය නිශ්ශබ්ද හෝ විවිධ හේතු මත ඒ වැරදි කරන පුද්ගලයින්ගේ ආරක්ෂෂාව සඳහා ඔවුන් අනියම් ලෙස පුම්බන ප්රතිපත්තියක් අනුගමනය කරන නිසාය.
විධායකය විසින් ජනමාධ්යවේදින් මර්දනයට ලක් කොට ඔවුන්ගේ මානව අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ අවස්ථාවලදි ඒ ආරවුල්වලට අදාළ නඩු තීන්දුවලදි අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ පාලනය තුළ ශ්රේෂ්ඨාධිකරණය අනුගමනය කළේ මානව හිමිකම් අහිමි වූ ජනමාධ්යවේදින්ව ආරක්ෂෂාකරන පිළිවෙතක් නොව මානව හිමිකම් උල්ලංඝනය කළ විධායකය ආරක්ෂෂා කරන පිළිවෙතකි. අවාසනාවකට ඒ කිසිම අවස්ථාවක කර්තෘ සංසදය සිය විරෝධය පළ කළේ නැත. ඒ වෙනුවට බොහෝ පුවත්පත් කළේ පනින රිලවුන්ට උඩගෙඩි දෙන හා වැරදි කරන පුද්ගලයන් ආරක්ෂෂාකරන ප්රතිපත්තියකි. ඒ නිසා වරද තහවුරු වන්නට පෙර එය නිවැරදි කර ගැනීමට තිබුණු හැකියාව ද අහිමි වී වැරදි ගල්ගැසුණු තත්ත්වයකට පත් වූයේය. ඒ වෙනුවෙන් අවසානයේ වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ජනමාධ්යවේදින්ට පමණක් නොව මුළු රටටමය.
ටෝනිට හිතුවක්කාරි ලෙස සිර දඬුවම් පැමිණවීමේ සිද්ධිය ද අදහස් ප්රකාශ කිරිමේ විෂය රාමුවට අදාළ ය. ඒ වෙනුවෙන් එදා නිහඬව සිටි අයටම අද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඉදිරියට යන්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය..