පෙන්ෂන් වැඩසටහන ගැන නැවත සිතා බැලිය යුතුය

June 12, 2011
Publication:
The war is over and some social and political quarrels remain unsettled, and there is no sign of an approach wise enough to settle them. The proposed pension scheme for private sector employees is one that creates needless problems: the fund is to be built from what belongs individually to each worker, and a strong feeling has arisen that it will be a loss rather than a gain.

යුද්ධය අවසන් වී ඇතත්, සමහර සමාජ-දේශපාලන ආරාවුල් නොවිසඳී පවතී. නොවිසඳුණු ආරාවුල් විසඳා ගැනීමට අවශ්‍ය තරම් ප්‍රඥාවන්ත ප්‍රවේශයක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ඇති කරන්නට යෝජිත විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති අරගලය, ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට හේතුවූ අරගලයක් බවට පත්ව තිබෙන අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයකින් තරුණ සේවකයකු මරණයට පත්වී තිබේ. මෙම සිද්ධිය මත පොලිස්පති බාලසූරිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතත්, පොලීසිය එහිදී ක්‍රියාකර තිබෙන දඩබ්බර ස්වරූපයට පොලිස්පතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් වන්දියක් වන්නේ නැත. කම්කරු උද්ඝෝෂකයන් හා එය පාලනය කිරීමට ගිය පොලීසිය අතර ඇතිවූ ගැටුම් තේරුම්ගත හැකිය. එහෙත් මෙවැනි ආරාවුලකදී සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන ආකාරයට පොලීසිය ඇඟලුම් කර්මාන්තශාලාවලට කඩා වැදී යන්ත්‍ර සූත්‍රවලට පහරදී සමහර කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍රවලට විශාල හානියක් කර තිබේ. පහරදීම්වලට ලක්වූ සමහර ඇඟලුම් කර්මාන්තශාලා විදේශ ආයෝජකයන්ගේ කර්මාන්තශාලාය.

එක් අතකට විදේශීය ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමට දුෂ්කර උත්සාහයක යෙදී සිටින අතර අනෙක් අතට මෙවැනි දඩබ්බර සිද්ධීන් නිසා වෙන්නේ දැනට මෙහි සිටින ආයෝජකයන්ද පලායෑමය. මෙවැනි සිද්ධීන් ශ්‍රී ලංකාවට එන්නට අපේක්ෂා කරන විදේශ ආයෝජකයන් පවා අධෛර්යමත් කරයි. යුද්ධයේ අවසන් අදියරයට අදාළව ජාත්‍යන්තර මට්ටමෙන් එල්ල වී තිබෙන චෝදනා නිසා ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමුවී තිබෙන රටක් වන අතර එවැනි වටාපිටාවක් තුළ සිදුවන මෙවැනි අවලස්සණ සිදුවීම් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ඇති කරන හානිය විශාලය.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ නැති ප්‍රශ්න ඇති කරන වැඩපිළිවෙළක් ලෙස සැලකිය හැකිය. විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කරන්නට අපේක්ෂා කරනුයේ තනි තනි සේවකයන්ට පෞද්ගලිකව හිමි විවිධ අරමුදල්වලිනි. ඒ නිසා තමන්ට ලාභයක් වෙනුවට අලාභයක් වනු ඇතැ”යි කියන ප්‍රබල හැඟීමක් පක්ෂ භේදයකින් තොරව පෞද්ගලික අංශයේ සියලු සේවකයන් අතර ගොඩනැගී තිබේ. මෙවැනි විශ්‍රාම වැටුප් වැඩසටහනක් සඳහා සේවකයන්ට පෞද්ගලික අයිතියක් ඇති ඉතිරි කිරීම් යොදාගන්නේ නම් ඊට සේවක අනුමැතිය ලබාගත යුතුය. ඊට සම්බන්ධ වන්නට කැමති නැති සේවකයන්ට එම වැඩසටහනට ඇතුළත් නොවී සිටීමට ඉඩදිය යුතුය. මෙවැනි වැඩසටහනක් අනිවාර්ය කළ හැක්කේ පෞද්ගලික අංශයේ රැකියාවලට අලුතෙන් එකතු වන සේවකයන් සඳහා පමණය.

මෙම ප්‍රශ්නය තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සේවකයන් සලකනවා නම් එය අසාධාරණ නැත. මෙම වැඩපිළිවෙළින් වඩාත්ම කැළඹීමට පත්ව සිටින්නේ විශ්‍රාම යන වයසට අවුරුදු 10ක් හෝ ඊට අඩු තත්ත්වයක සිටින සේවකයන්ය. ඔවුන් සිතන්නේ ඇති කරන්නට යන නව ක්‍රමයෙන් වැඩිම අවාසි ලබන්නන් ඔවුන්ය කියාය.

රජයේ සේවය වෙන්කොට පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් කිසියම් විශාල පිරිසක් එක දිගට එකම ආයතනයක වැඩ කරන්නේ නැත. සමහර දුප්පත් ගැහැනු ළමුන් කර්මාන්තශාලාවල වැඩ කරන්නේ විවාහ වෙනතෙක් පමණය. ඔවුන් එසේ වැඩ කරන්නේ ද විවාහ ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික දේවල් සඳහා අවශ්‍ය වියදම උපයා ගැනීම සඳහාය. දැන් තිබෙන ක්‍රමය අනුව විවාහ වී සේවය අත්හරින කාන්තාවකට සිය අර්ථසාධක අරමුදල ලබාගත හැකිය. එහෙත් නව ක්‍රමය සඳහා ඊට ප්‍රතිපාදන නැත. ඇති කරන්නට යන මේ නව ක්‍රමයට පෞද්ගලික අංශයේ සේවක පක්ෂය පමණක් නොව විවිධ හේතු නිසා ස්වාමි පක්ෂයද විරුද්ධය. ඒ නිසා මේ නව ක්‍රමයට එරෙහිව පෞද්ගලික අංශයේ සේවක පක්ෂය සටන් කරමින් සිටින්නේ ස්වාමි පක්ෂයේද සහාය ඇතිවය.

මේ තත්ත්වය ගැන නැවත අලුතෙන් කරුණු සලකා බලන තැනකට ආණ්ඩුව යායුතුය.