මාළු කඩේට කප්පම්කාරයන්ගෙන් එල්ල වී තිබුණු තර්ජනය ජයගත්තේ කප්පම්කාරයන්ට එරෙහිව උපරිම ලෙස බලය පාවිච්චි කරන ප්‍රතිපත්තියක් මගිනි. එම ප්‍රශ්නයට එම ප්‍රවේශය නිවැරදිය. ඒ ප්‍රතිපත්තිය මාළු වෙළෙඳුන් පමණක් නොව, රටේ මහජනතාවද අනුමත කළේය.
එහෙත් කප්පම්කාරයන් මැඬලීම සඳහා අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය තමන්ගේ අයිතිවාසිකම් සඳහා උද්ඝෝෂණය කරන හෝ වෘත්තීය අරගලවල නිරත වන මහජනයා සඳහා වලංගුවන්නේ නැත. එවැනි අරගල බලය යොදා මැඬලුවද එයින් ලැබිය හැක්කේ තාවකාලික ජයග්‍රහණයක් පමණය. දීර්ඝකාලීන අර්ථයෙන් එවැනි ප්‍රතිපත්තියක් වඩා බලවත් මහජන අරගල සඳහා වාසිදායක පසුබිමක් ඇති කිරීමට හේතුවේ.
පෞද්ගලික අංශය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට දරන ලද උත්සාහය පොදුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බලවත් විරෝධයට හේතුවන ප්‍රශ්නයක් දක්වා වර්ධනය විය. ආණ්ඩුව අතගසන්නට ගියේ පක්ෂ භේදයකින් තොරව පෞද්ගලික අංශයේ වැඩ කරන සියලු සේවක ජනයා පමණක් නොව, හාම්පුතුන් ද එකට එකතු වී සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතුවන සංකීර්ණ ප්‍රශ්නයකටය. යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන පක්ෂ භේදයකින් තොරව ඒ සියලුදෙනාම බැලුවේ සැකයෙනි. ශ්‍රීලනිපයේ වෘත්තීය සමිති නායකයන් නිහඬ පිළිවෙත අනුගමනය කළ ද සාමාන්‍ය ශ්‍රී ලංකාකාරයන් පවා ඒ වැඩපිළිවෙළ දෙස බැලුවේ සැකයෙනි. ඔවුන් එය දැනගත්තේ තමන්ගේ පාරිතෝෂික අරමුදල්වලට අතගසන්නට දරන උත්සාහයක් ලෙසය. හොඳට හෝ නරකට තමන් අතගසන්නට සැලසුම් කරන්නේ වැඩකරන ජනයා වෙහෙස මහන්සියෙන් උපයාගෙන, අනාගතය සඳහා ඉතිරි කර තිබෙන මහජනයාගේ අරමුදල්වලට බව හා ඒ නිසා එය පක්ෂ භේදයකින් තොරව පෞද්ගලික අංශයේ රක්ෂා කරන හැම කෙනකු කෙරෙහිම බලපාන ඉතාමත්ම සංවේදී ප්‍රශ්නයක් ලෙස සලකා ඊට ගැළපෙන සංවේදීතාවකින් යුතුව මෙම ප්‍රශ්නයට අතගසන්නට ආණ්ඩුව අසමත් විය.
විරෝධතා ඇතිවිය හැකි වුවත් නීති සම්පාදනයේදී පාර්ලිමේන්තුවේ තමන්ට තිබෙන තුනෙන් දෙකේ බලයෙන් පමණක් මෙම ප්‍රශ්නය ජයගත හැකිවනු ඇතැ”යි ආණ්ඩුව කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි. මහජනයාගේ පෞද්ගලික අරමුදල් යොදා ගැනෙන ඉතා හොඳ වැඩපිළිවෙළක් සඳහා වුවත් ඒ අරමුදල්වල හිමිකරුවන්ගේ එකඟත්වයක් ලබාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. අර්ථසාධක අරමුදලේ ප්‍රමාණය විශාල වුවත් ඒවා වැඩ කරන ජනයා ඔවුන්ගේ අනාගතය සඳහා ඉතිරි කරන ලද මුදල්ය. මහජනයා එය සලකන්නේ තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයන ලද මුදල් ලෙසය. එය පක්ෂ භේදයකින් තොරව සියලු වැඩ කරන ජනයා කෙරෙහි බලපාන ඉතාමත්ම සංවේදී ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මෙම සංකීර්ණ ප්‍රශ්නයේ ස්වභාවයේ ගැඹුර හරියාකාරව තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ බලවත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් හෝ බලවත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් නොතිබියදීත් වැඩකරන ජනතාව ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියට එරෙහිව බලවත් ලෙස නැගී සිටින තැනකට තල්ලුවීමය. එම වැඩ කරන ජනතාව ආණ්ඩුවේ හය අවුරුදු පාලන කාලසීමාව තුළ පළමුවරට ආණ්ඩුව ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කළේය.
හෘදය රෝග විෂයේදී එල්ල වෙන පළමු ප්‍රහාරය සැලකෙනුයේ රෝගියාට ලබාදෙන ප්‍රබල සංඥාවක් ලෙසය. ඥානාන්විත අය පළමු ප්‍රහාරයෙන් පසු තමා සිටින ඇත්ත තත්්ත්වය තේරුම් ගෙන ඒ අභියෝගයට ගැළපෙන ලෙස සිය ජීවිත පැවැත්මද වෙනස් කරගන්නෝය. එසේ නොවන අයගේ ජීවිත බොහෝ විට මරණයෙන් හෝ ඒ සමාන තත්ත්වයකින් අවසන් වන්නේය.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ නැගී සිටීම සැලකිය යුත්තේද හෘදය රෝගියකු වෙත එල්ල වන පළමු ප්‍රහාරය වැනි බරපතළ ලෙස අනතුරු හඟවන සංඥාවක් ලෙසය. එක්කෝ ආණ්ඩුව මෙම විශ්‍රාම වැටුප් වැඩපිළිවෙල අත්හැරිය යුතුය. නැතිනම් වැඩ කරන ජනතාවගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ විශ්වාසයට හෝ පිළිගැනීමට හේතුවන නව ක්‍රමයකට අත තැබිය යුතුය. නැතහොත් මේ ප්‍රශ්නය ආණ්ඩුවේ දේශපාලන පැවැත්මද විනාශ කරන ප්‍රශ්නයක් දක්වා වර්ධනය විය හැකිය. වෙනත් බොහෝ ප්‍රශ්න නැගිටීමක් දක්වා පරිවර්තනය වීමට වෘත්තීය සමිති ව්‍යාපාරවල හෝ දේශපාලන ව්‍යාපාරවල නායකත්වය අවශ්‍ය වේ. එහෙත් මේ ප්‍රශ්නය එවැනි නායකත්වයක් නැතිව වුවත් නැගී සිටීමකට මහජනයා පොළඹවාලයි. මහජනයාගේ පෞද්ගලික ඉතිරි කිරීම්වලින් බිහිවී තිබෙන අරමුදල් යොදා ගැනෙන ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළහැක්කේ ඔවුන්ගෙන් ලබාගන්නා පූර්ණ අනුමැතිය ඇතිව පමණය. ඒ මත පදනම් වූ ඉතා හොඳ වැඩසටහනකට වුවත් හිමිකරුවන් සියලුදෙනාගේ කැමැත්ත ලබාගැනීම පහසු නැත. එවැනි ව්‍යාපෘතියක් මහජන විරෝධයට හේතු නොවන ලෙස සාර්ථක කරගත හැකිවනු ඇත්තේ අකමැති අයට ඉන් ඉවත්ව සිටීමේ අයිතිය ලබාදීමෙන් පමණය. අනිවාර්ය නීතිය යොදාගත හැක්කේ පෞද්ගලික ඉතිරිකිරීම් නැති අලුතෙන් සේවයට එකතු වන්නන් සඳහා පමණය.
රටේ ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්නය ආණ්ඩුව ජයගත්තේය. දේශපාලන ක්‍රමයේ බරපතළ ප්‍රතිසංස්කරණ ඇති කරන තැනට යෑමෙන් තොරව යුද ජයග්‍රහණයේ ශක්තියෙන් පමණක් කරදරයකින් තොරව ඉදිරියට යාහැකිවනු ඇතැ”යි ආණ්ඩුව කල්පනා කළේය. ආණ්ඩුවට වැරදුණු ලොකුම තැන ලෙස සැලකිය හැක්කේ එයයි. යුද්ධ ජයග්‍රහණයට පෙර ශ්‍රී ලංකාව ජීවත් වූයේ එක ලෝකයකය. යුද්ධ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ ඊට වෙනස් අලුත් ලෝකයකය. පැරණි ලෝකයේ ක්‍රියාත්මක වූ සමහර දේවල් අලුත් ලෝකයට වලංගු නැත. යුද්ධ ජයග්‍රහණයෙන් පසු අලුත් ලෝකයට නොගැළපෙන්නේ මොනවාදැ”යි හඳුනාගෙන ඒවා වෙනස් කිරීම සඳහා වන ප්‍රතිසංවිධාන වැඩසටහනක් දියත් කළ යුතුව තිබුණද ඒ දේශපාලන අවශ්‍යතාව හඳුනාගෙන ක්‍රියාකිරීමට ආණ්ඩුව අසමත් විය. ඒ සඳහා වන දර්ශනයක් ආණ්ඩුවට පමණක් නොව, විරුද්ධ පක්ෂවලටද නොතිබුණේය.
දැන් ආණ්ඩුව මුහුණදී තිබෙන්නේ ඒ නොගැළපීමේ අවුලටය. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔවුන්ගේ වැටුප්වල විශාල වර්ධනයක් ඉල්ලා සටන් කරන තැනකට පැමිණ සිටින්නෝය. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ වුවත් ඒ ඉල්ලීම් ඉටු කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ඒ සඳහා අවශ්‍ය අතිරේක වියදම් නැති නිසා නොව ඔවුන්ට ලබාදෙන වැටුප් වර්ධනයක් අන් අංශවල වඩා ලොකු ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවන නිසාය. රජයේ සේවකයන් සඳහා වන වැටුප් ක්‍රමය සකස් කර ඇත්තේ එක අංශයක ඇති කරන ඕනෑම වෙනසක් අනෙක් අංශ කෙරෙහිද බලපාන ආකාරයටය. මේ ක්‍රමයෙන් පිටස්තරව ඉන්නා විශේෂ ක්‍රමයක් සොයාගෙන ඇත්තේ රටේ නීති සම්පාදකයන් ලෙස ක්‍රියාකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා යුක්තිය පසිඳලන විනිශ්චයකාරවරුන් පමණය. ඒ දෙපිරිසද මෙම වැටුප් ක්‍රමයට ඇතුළත්ය. එහෙත් ඒ ක්‍රමය තමන්ට බලනොපාන ක්‍රමයක් බවට හැරී තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණය. එහෙත් එම සාධාරණ ඉල්ලීම් ලබාදීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක අගය තව තව පිරිහීමය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අභ්‍යන්තරයෙන් බිඳ වැටීමේ ක්‍රියාවලිය තව තව වේගවත් වීමය. මේ තත්ත්වය රජයේ සේවයේ වෙනත් ඕනෑම අංශයක් කෙරෙහි ද බලපෑ හැකිය. එය රජයේ සේවකයන් අතර ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනවාට අතිරේකව රජයේ ආයතන ක්‍රමයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව හීන කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය.
රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක වැටුප් ක්‍රමය විෂමතාවන්ගෙන් පිරී පවතිනවා පමණක් නොව එය නූතන අවශ්‍යතාවන්ට නොගැළපෙන යල්පැනගිය ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය.
සමහර රජයේ සේවකයන්ට ලැබෙන්නේ විශ්‍රාම වැටුප පමණය. තවත් සමහර රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපට අතිරේකව අර්ථසාධක අරමුදල් ද ලැබෙන්නේය. අර්ථසාධක අරමුදල් ක්‍රමය ක්‍රියාත්මක වන්නේද එක සමාන ආකාරයකට නොවේ. සමහර ආයතනවලට ඉතාමත් විශේෂිත සුපිරි ක්‍රම ක්‍රියාත්මක වේ. වැටුප් ක්‍රමය සකස් වී ඇත්තේ ද විශේෂ දැනුම් ඇති අය රාජ්‍ය සේවයට එකතු වීම අධෛර්යමත් කැරෙන ආකාරයටය. මෙම වැරදි හා අශෝභන ක්‍රමයේ මූලික වෙනසක් ඇතිකර ගැනීමට වෘත්තීය සමිති පවා උනන්දුවක් නොදක්වති. රජයේ සේවකයන්ගේ වැටුප් විෂයෙහි ඇති අවුල්සහගත බව හා ක්‍රමය අතර ඇති අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමට ඔවුන් අසමත් වී තිබේ. වැටුප් ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමෙන් තොරව කිසිවක් දිනාගත නොහැකි බව ඔවුන් තේරුම්ගෙන නැත. මෙම වැටුප් ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමෙන් තොරව රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම හෝ ඵලදායී කළ නොහැකි බව ආණ්ඩුවද තේරුම් ගෙන නැත.
යුද්ධයෙන් පසු දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කරගැනීමේ වැදගත්කම තේරුම් නොගැනීම නිසා යුද්ධයෙන් ලද ජයග්‍රහණයේ ඵලය උපරිම ලෙස නෙළා ගැනීමට අසමත් වී තිබේ. ඒ නිසා බාහිරෙන් එල්ල වන බලපෑම් මත ක්‍රමය මුළු එකක් වශයෙන් නොගෙන එහෙන් මෙහෙන් කරන අවිධිමත් ප්‍රතිසංස්කරණ වෙත තල්ලුවීමට ආණ්ඩුවට සිදුවී තිබේ. ඒ නිසා ක්‍රමවත් ප්‍රතිසංවිධානයකට යෑමට තිබුණු හැකියාව නැතිවී තිබෙන අතර ප්‍රතිසංස්කරණවල ගෞරවය තමන් වෙත හිමිකර ගැනීමට තිබුණු හැකියාවද ආණ්ඩුව අහිමි කරගෙන තිබේ. බාහිර බලපෑම් නිසා ඇති කරන ප්‍රතිසංස්කරණ මහජනයා දකිනු ඇත්තේ ආණ්ඩුව සිය අවංක වුවමනාවෙන් කරන ඒවා ලෙස නොව, හුදෙක් බාහිර බලපෑම නිසා කරන ඒවා ලෙසය.
ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සංසිද්ධිය ඇති කර තිබෙන ලොකුම බලපෑම ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ගමන් මගේ ඇති කරන්නට යන වෙනස්කම්ය. ආණ්ඩුව කැමති වුවත් නැතත්, අර්ධ වශයෙන් එතෙක් වැසී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු දොරටු විවෘත කරන්නට සිදුවනු ඇත්තේය. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට සිදුවනු ඇත්තේය. ඒ දෙකට අතිරේකව යුද්ධයෙන් යටපත් වී තිබූ ප්‍රශ්න වඩා බලවත් ලෙස මතුවන තත්ත්වයක් ඇතිවන අතර දේශපාලන ක්‍රමයේ ප්‍රතිශෝධනයක අවශ්‍යතාව වෙන කවරදාවත් නැති තරම් බලවත් ලෙස ඉස්මතු කිරීමට හේතුවනු ඇත. දේශපාලන ක්‍රමය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාව ආණ්ඩුව සේ ම විරුද්ධ පක්ෂය ද තේරුම් ගන්නට අසමත්වන්නේ නම් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අවුලට යන හා බිඳ වැටෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.