නිදහසේ වාන් දොර ඇරීම

June 12, 2011
Publication:
A fundamental change in the political system is essential to any good forward movement for the society and the country — and without overcoming the challenge Prabhakaran's movement posed to the state, there was no possibility of making one. That challenge was itself something this corrupt political system enlarged: there was a problem before it, and this system turned it into a tangle that could not easily be settled.

සමාජයේ සේ ම රටේ ද යහපත් ඉදිරි ගමනක් සඳහා දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් අත්‍යවශ්‍යය. ප්‍රභාකරන්ගේ ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට එල්ල වී තිබුණු අභියෝගය ජයගැනීමෙන් තොරව දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමේ හැකියාවක් ද නොතිබුණි. ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබුණු අභියෝගයද මෙම දූෂිත දේශපාලන ක්‍රමය විසින් ලොකු මහත් කරන ලද දෙයක් ලෙස සැලකිය හැකිය. ඊට පෙරද ප්‍රශ්නයක් තිබුණේය. එහෙත් එය විසඳා ගැනීමට පහසු නැති සංකීර්ණ අවුලක් බවට පත් කරන ලද්දේ මේ දේශපාලන ක්‍රමය විසිනි. එහෙත් දේශපාලන සමීකරණය සකස්ව තිබුණේ ප්‍රභාකරන්ගේ අභියෝගය ජයගැනීමෙන් තොරව දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කළ නොහැකි ආකාරයටය. ඒ අනුව එම අභියෝගය ජයගත යුතුව තිබුණේ මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළින්මය. ප්‍රභාකරන්ගේ අභියෝගය ජය නොගෙන දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරන්නට ගියේ නම් රාජ්‍යය දෙකඩවීම නොවැළැක්විය හැකි දෙයක් වන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ප්‍රභාකරන් කෙරෙහි එල්ල වී තිබූ අභියෝගය මෙම දූෂිත දේශපාලන ක්‍රමයේම ඵලයක්ව තිබියදී දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමේ හැකියාව ලැබිය යුතුව තිබුණේ එම දූෂිත දේශපාලන ක්‍රමය තුළින්ම එම අභියෝගය ජයගැනීමෙන් පසුව පමණය.

ප්‍රභාකරන් පරාජය කිරීමේ සැබෑ අර්ථය

මට මහින්ද රාජපක්ෂ පෙනුණේ ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබුණු අභියෝගය ජයගැනීම සඳහා ඉතිහාසය විසින් නිර්මාණය කළ පුද්ගලයා ලෙසය. ඔහු ප්‍රභාකරන්ට එරෙහිව කරන යුද්ධය පූර්වගාමීන්ට වෙනස් ලෙසද හොඳින් හා ධෛර්යවන්තවද ඉදිරියට ගෙන යනවිට ප්‍රභාකරන්ගේ පරාජය අනිවාර්ය වනු ඇති බව පමණක් නොව, ඔහුගේ ව්‍යාපාරය පරිපූර්ණ පරාජයකට (ගරිල්ලා යුද්ධයකට මාරුවීමට ඉඩක් නොලැබෙන ලෙස) ලක්වනු ඇතැ”යි ද විශ්වාස කළෙමි. ඒ බව ලීවෙමි. එය එසේම සිදුවිය.

එය එසේ සිදුවූ විට මා කල්පනා කළේ ඒ ලොකු වැඩේ කළ පුද්ගලයා අතින්ම කළ යුතුව තිබුණු ඊළඟ වැඩේද (දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීම) ඉටුවිය යුතු බවය. ප්‍රභාකරන් පරාජය කැරුණු මොහොතේදී මා ලියන ලද ලිපියක ප්‍රභාකරන් පරාජය කිරීමෙන් අත්පත් කරගත් වීරත්වය පරිපූර්ණ වීමට නම් දේශපාලන ක්‍රමයද වෙනස් කළ යුතුව තිබෙන බව කියා සිටියෙමි. එසේ නොවෙතොත් අවුලක් ඇතිවන බවට ද ඉඟි කළෙමි.

ඒ වන විට ඓතිහාසික අර්ථයෙන් යල් පැනගිය තත්ත්වයකට පත්ව තිබුණේ ප්‍රභාකරන්ගේ ව්‍යාපාරයෙ පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයද යල් පැනගිය තත්ත්වයට පත්ව තිබුණි.

ප්‍රභාකරන්ගේ පරාජය මා තුළද ලොකු ආස්වාදයක් ඇති කළේය. එහෙත් එය සිංහල නායකයකු අතින් දෙමළ නායකයකු පරාජය වීය කියන පටු අර්ථයෙන් නොවේ. මා එය දැක්කේ මහා සමාජ පරිවර්තනයක ප්‍රධාන දොරටුව විවෘතවීමක් ලෙසය. ඒ මොහොතේ දෙමළ ජනයා තුළ කම්පනයක් ඇතිව තිබුණද ප්‍රභාකරන්ගේ පරාජය ඔවුන්ටද අයිතිවාසිකම් ලැබෙන හා නිදහස ගෙන එන ක්‍රියාවලියක ආරම්භයක් වන බවද මගේ මතය විය. ප්‍රභාකරන් පරාජය කරන්නට පෙර ආචාර්ය කුමාර් ඩේවිඩ් සමග කරන ලද වාදයේදීද මම ඒ බව ඉඟි කළෙමි.

එක ඓතිහාසික කාර්යභාරයක් වෙනුවට එකිනෙකට වෙනස් ඓතිහාසික කාර්යභාරයන් දෙකක් එකම පුද්ගලයකුගෙන් බලාපොරොත්තුවීම යථාර්ථවාදී විය නොහැකිය. අනෙක් අතට දේශපාලන ක්‍රමයක් තුළින් බිහිවූ නායකයකු අතින් ඒ දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් අපේක්ෂා කිරීමද සාධාරණ නැත. එවැනි යථාර්ථවාදී නොවන බලාපොරොත්තුවක් මා තුළ ඇතිවන්නට ඇත්තේ සමහරවිට ප්‍රභාකරන්ගේ පරාජය මා තුළ ඇති කර තිබුණු ආස්වාදය නිසා විය හැකිය. ඉතිහාසය විසින් බිහිකරනු ලබන ඓතිහාසික වැදගත්කමක් ඇති පුද්ගලයන් ඉතිහාසය විසින් නියම කරන ලද කාර්යයන් ඉටු කරනු ලබන්නේ තමන්ට ලැබී තිබෙන කාර්යභාරයට හිමි ඓතිහාසික වැදගත්කම කල් තියා අවබෝධ කරගැනීමෙන් පසුව නොවේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ කිසියම් පුද්ගලයකු ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළවිට ඊට ලැබෙන වැදගත්කම සලකා බලා ඔහු වීරයකු ලෙස අභිෂේක කිරීමය. තමන් කර තිබෙන කාර්යභාරයට ඓතිහාසික වැදගත්කමක් ඇති බව වීරයා දැනගන්නේද ඉන්පසුවය.

වාන් දොර ඇරීම

ප්‍රභාකරන් පරාජය කිරීමේ සංසිද්ධියට ලැබෙන ඓතිහාසික වැදගත්කම හා එය ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි ඇති කරන්නට නියමිත බලපෑම ගැන තාමත් හරි බුද්ධිමය සංවාදයක් ආරම්භ වී නැත. බොහෝ දෙනකු කතා කරන්නේ ඒ චිත්‍රයේ මතුපිට පෙනෙන්ට ඇති කළු ලප ගැන පමණය. නැති නම් මරණ බියෙන් තොරව ජීවත්වීමට ලැබී ඇති නිදහස ගැන පමණය. මට පෙනෙන අන්දමට ඉන් සිදුවූ ලොකුම දේ වනුයේ “සමාජ පරිවර්තනයේ මහා වාන් දොරටුව” ඉන් විවෘතවීමය. එහි නම්බුව හා ගෞරවය එම ක්‍රියාවලියට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත යා යුතුය. වැසී තිබෙන ඊළඟ දොරටු පළමු වාන් දොරටුව විවෘත කළ වීරයා විසින්ම විවෘත නොකළද පළමු වාන් දොරටුව ඇරීමෙන් ගලා එන නිදහසේ මහා ජලකඳ වැසී තිබෙන ඒ හැම අතුරු දොරටුවක්ම විවෘත කරන්නේය. එහෙත් එය එකවිට ඇසිල්ලකින් සිදුවන්නක් විය නොහැකිය. ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතත් එය දීර්ඝ කාලයක් නොවනු ඇත්තේය. පළමු වාන් දොරටුව විවෘත කළ වීරයා ඇතුළට ගලා එන නිදහසේ ජලකඳ සමග ඉදිරියට පීනනවා හැර ආපස්සට පීනන්නට කල්පනා කරන්නේ නම් එය ඥානාන්විත තීරණයක් ලෙස සැලකිය නොහැකිය. ඔහු දැන හෝ නොදැන විවෘත කළේ මහා පරිවර්තන ක්‍රියාවලියක ඉදිරි දොරටුවය. එය සිංහල දෙමළ හෝ ජනවර්ග අතර තිබිය යුතු අන්තර් සම්බන්ධයේ ස්වභාවය කෙරෙහි පමණක් නොව, සමාජ දේශපාලන දෘෂ්ටිය කෙරෙහි සේ ම දේශපාලන ආයතන ක්‍රමය කෙරෙහිද පරිවර්තනීය බලපෑම් ඇති කරන, මහා පරිවර්තන ක්‍රියාවලියක් බවට පත්වනු ඇතැ”යි සිතිය හැකිය. විය යුතුව තිබෙන්නේ සිදුවිය හැකිව තිබෙන දේ කල්තියා තේ්රුම් ගනිමින් යහපත් පරිවර්තනයක් ඇතිකර ගැනීම සඳහා සමාජ මනස හා අධ්‍යාත්මය සූදානම් කරගැනීමය. එහිදී මේ රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය මහජන අවධානය වැඩියෙන්ම යොමුවිය යුතුව තිබෙන ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය.

දේශපාලන ක්‍රමයක දීර්ඝකාලීන පැවැත්ම කෙරෙහි, ඒ ක්‍රමය තුළ සමාජ සාධාරණත්වයට ලැබෙන වැදගත්කමේ ප්‍රමාණය, ඒ ක්‍රමය තුළ ප්‍රතිපත්තිමය වැදගත්කමක් ඇති දේවලට බලපෑමට මහජනයාට ලැබී තිබෙන අයිතියේ ප්‍රමාණය, මහජනයා අතර ඊට තිබෙන පිළිගැනීමේ ප්‍රමාණය, මතුවන අර්බුදයන්ට මුහුණදීමේ හැකියාවේ ප්‍රමාණය, ක්‍රමයට ආවේණික කාර්යක්ෂමතාවේ හා ඵලදායිතාවේ ප්‍රමාණයන් යන සාධක බලපායි. දේශපාලන ක්‍රමයක් පැරණි වූ පමණකින් අවලංගු වන්නේ නැතිවා සේ ම පැරණි නොවූ පමණකින් වලංගුවන්නේද නැත. ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය යල්පැනගිය ව්‍යාපාරයක තත්ත්වයට පත්ව තිබූ අවස්ථාව වන විට අපේ රටේ දේශපාලන ක්‍රමයද යල්පැනගිය තත්ත්වයකට පත්ව තිබුණි.

මෙම දේශපාලන ක්‍රමය දේශපාලන පිරමීඩයේ මුදුනේම සිටින රාජ්‍ය නායකයාට ධුර කාලය සඳහා නීතියට යටත් නැති පරම බලයක්ද, පොදුවේ පාලක පක්ෂයට රටේ වස්තුව කොල්ලකෑමේ අයිතියද ලබාදෙන ක්‍රමයක් වීමෙන් නොනැවතී දේශපාලන ක්‍රමයට සම්බන්ධ සමාජයේද හෘදය සාක්ෂිය හා නිර්මාණශීලී හැකියාවන් මරා දමන දුෂ්ට ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මෙම දේශපාලන ක්‍රමයට මාරුවන්නට පෙර දේශපාලනය සැලකුණේ නම්බුව හා ගෞරවය පිණිස හෝ දේශපාලන පරමාර්ථ මුල් කොටගෙන කරන සේවාවක් ලෙසය. මන්ත්‍රීකම ධනය උපයන මාර්ගයක් නොවීය. එහෙත් මෙම දූෂිත ක්‍රමයට මාරුවීමෙන් පසුව එය පහසුවෙන් වස්තුව උපයාගත හැකි ජාවාරමක් බවට පත්විය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක ලේ නහර ලෙස ක්‍රියාකරන්නෝ ව්‍යවස්ථාදායකයට මහජනයා තෝරා පත්කර යවන මන්ත්‍රීවරුය. විධායක ජනාධිපති ක්‍රමයකට මාරුවන්නට පෙර උත්තරීතර ආයතනය ලෙස සැලකුණේ පාර්ලිමේන්තුවය. රාජ්‍ය නායකයාද පාර්ලිමේන්තුවේ නියෝජිතයකු ලෙස එහි අසුන් ගෙන සිටියේය. පාර්ලිමේන්තුවට විධායකය පාලනය කිරීමේ බලය තිබුණි. මෙම දූෂිත දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුව සතුව තිබුණු උත්තරීතරභාවය අහිමි කොට එය තමන් වෙත හිමිකර ගනිමින් පාර්ලිමේන්තුව විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත් කළේය. මන්ත්‍රීවරුන්ට අහිමි කළ ගෞරවය වෙනුවට ඔවුන් සතුටු කිරීම සඳහා මන්ත්‍රීකම ධනය උපයාගත හැකි ව්‍යාපාරයක් බවට පත් කළේය.

ඒ සඳහා යොදා ගන්නා ලද ක්‍රම ගණනාවක් අතුරින් මන්ත්‍රීවරුන්ට බදුවලින් තොරව ලබාදෙන වාහන ක්‍රමය කාලයක් තිස්සේම මගේ උනන්දුවට හේතුවූ විෂයයක් විය. ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වන අවස්ථාව වන විට මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 1000ක්ද, රාජ්‍ය නායකයාගේ වැටුප රු. 1500ක් ද විය. එය නරක වැටුපක් ලෙස සැලකිය හැකි වුවත් ඉහළම රාජ්‍ය නිලධාරීන්ට ලැබුණේද ඒ සමාන වැටුපකි. ජේ.ආර්. ජයවර්ධන මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 10,000ක් දක්වා ඉහළ නංවා තමන්ට ලැබෙන වාහනය විකුණා අවුරුදු 15ක වැටුප එකවර උපයාගත හැකි ක්‍රමයක් ඇතිකර දුන්නේය. ඊට පෙරද අවශ්‍ය නම් මන්ත්‍රීවරයකුට වාහනයක් ලබාගත හැකි ක්‍රමයක් තිබුණි. එහෙත් ක්‍රමය සකසා තිබුණේ වාහනය විකුණා ලොකු ලාභයක් උපයාගත නොහැකි ආකාරයටය. ඇති කළ නව ක්‍රමය යටතේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 30ක් පමණ වන වාහනයක් කොටස් වශයෙන් ගෙවන රුපියල් 80,000ක් වැනි මිලකට ලබා දුන්නේය. වාහනය විකුණන මිල රුපියල් ලක්ෂ 20ක් වුවත් ඒ මගින් එකවර උපයාගත හැකි ආදායම මන්ත්‍රීවරයකුගේ අවුරුදු 16ක වැටුපට සමාන විය. එය මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කාර්යක්ෂම කරගැනීම සඳහා දෙන ලද දේකට වඩා ඔවුන් සංතෝෂ කිරීම සඳහා මහජන මුදලින් දෙන ලද කප්පමක් ලෙස සැලකිය හැකිය.

මහජන මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂිය

මහජන මන්ත්‍රීවරුන්ගේ ආත්ම ගෞරවය කෙලෙසන මෙම කප්පම් ක්‍රමයට එරෙහිව ඒ ක්‍රමය හඳුන්වාදෙන ලද පළමු අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නැගී නොසිටියේ ඇයිද යන්න මට තේරුම් ගැනීමට අවශ්‍ය වී තිබුණු ප්‍රශ්නයක් විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන එක පක්ෂයක් හෝ මුල් අවස්ථාවේදී මේ ක්‍රමය ප්‍රතික්ෂේප කළේ නම් ජේ.ආර්. ජයවර්ධනගේ සමස්ත වැඩපිළිවෙළම අවුලකට යන්නට ඉඩ තිබුණි.

1991දී පමණ මම සිරිමා බණ්ඩාරනායක මැතිිනියගේ රොස්මීඩ් නිවසේ පැවති සාකච්ඡාවකදී මෙම ප්‍රශ්නය ඇය වෙත ඉදිරිපත් කළෙමි. සාකච්ඡාවට සහභාගි වූ අනෙකුත් කිහිපදෙනා අතර පක්ෂ ලේකම් සූරියප්පෙරුමද, අනුරුද්ධ රත්වත්ත, මහින්ද රාජපක්ෂ හා නෙවිල් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු ද වූහ. ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දෙන ලද මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබාදෙන ක්‍රමය මන්ත්‍රීවරුන්ට කප්පම් ගෙවන ක්‍රමයක් වී නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ක්‍රමයට විරුද්ධ නොවූයේ ඇයිද යන්න මා නගන ලද ප්‍රශ්නය විය. ඇය ඇඹරුණා මිස කිසිදු පිළිතුරක් දීමට සමත්වූයේ නැත.

එදින දහවල් එම සාකච්ඡාවට සහභාගිවූවන් කිහිපදෙනා සඳහා බුරියානි පැකට් ගෙන්වා දුන්නේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. මා අඩුවෙන් ආහාර ගැනීමට පුරුදු වී සිටි කෙනකු වශයෙන් අන් අයට පෙර ආහාර ගැනීම අවසන් කොට පොලිතින් කොළයේ ඉතිරි වී තිබුණු කොටස වීසි කොට අත සෝදා ගැනීම සඳහා වතුර පයිප්පය වෙත යනවිට දොස්තර නෙවිල් ප්‍රනාන්දු ද ඉක්මන් ගමනින් මා වෙත පැමිණියේය. ඒ සුළු මොහොතේ ඔහු මට ඉතා වැදගත් පාඩමක් කෙටියෙන් කියා දුන්නේය.

ඔහු මා අමතා මෙසේ කීවේය.

“ඔයා හිතනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පියට වඩා වෙනස් කියලා. ඒගොල්ලන්ට ඕනෙත් දේශපාලනයෙන් සල්ලි හම්බ කරගන්න. ඔහොම ප්‍රශ්න කරන්න ගියොත් ඔයාට මැරුම් කන්න වෙන්නෙ ආණ්ඩුවෙන් නොවෙයි, ශ්‍රීලනිපයෙන්යැ”යි ඔහු කීවේය.

මීට තවත් කලකට පසුව බණ්ඩාරනායක මැතිනිය සමග කරන කතාබහකදී අමරසිරි දොඩන්ගොඩට (එවකට ඔහු බද්දේගම මන්ත්‍රීවරයා විය) අඩු සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිදැ”යි මම ප්‍රශ්න කළෙමි. අමරසිරි දොඩන්ගොඩ ප්‍රගතිශීලී අදහස් දරන දක්ෂ කථිකත්වයක් තිබූ අහිංසක මන්ත්‍රීවරයෙක් විය. ඔහු වැනි පුද්ගලයකුගෙන් පක්ෂය නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයිද යන්න මා නගන ලද ප්‍රශ්නයේ නියම තේරුම විය.

ඇය ඊට දෙන ලද පිළිතුර මා විස්මයට පත් කළේය. ““මා අමරසිරිට පක්ෂය තුළ ලොකු පිළිගැනීමක් දුන්නා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති අර්ථකථනය කිරීමේ නිල බලය ඇති පුද්ගලයා බවට පත් කළා”” ඇය එසේ කියමින් හිත් අමනාපයක් ඇතිවෙන්න බලපෑවේ වෙනත් හේතුවක් බව කියමින් ඒ හේතුව මට විස්තර කළාය.

ඇයට අනුව අමරසිරි දොඩංගොඩ තමන්ට ලැබුණු තීරු බදු රහිත වාහනය ගාලු ගෙනගොස් විකුණනවා වෙනුවට එය නොපෙනෙන ලෙස කිරීම සඳහා ඇගේ රොස්මිඩ් නිවසේ වත්තේ තබාගෙන එය විකුණන්නට උත්සාහ කළ බවත් එය ඔහු කළේ ඒ සඳහා තමාගේ අවසරය ලබාගැනීමෙන් තොරව බවත් තමා දොඩංගොඩට කතා කොට වහාම වත්තෙන් වාහනය ඉවත් කරගන්නා ලෙස උපදෙස් දුන් බවත් එදා සිට ඔහු තමා කෙරෙහි විරෝධයක් ඇති කරගෙන තිබෙන බවත් ඇය කියා සිටියාය. ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දෙන ලද පිළිකාව පැතිරී තිබුණු ප්‍රමාණය ඉන්ද තේරුම්ගත හැකිය.

මේ ප්‍රශ්නය මම සරත් මුත්තෙට්ටුවේගම සමීපව ඇසුරු කළ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ඔහුගේ මිතුරකුගෙන්ද ප්‍රශ්න කළෙමි. සරත් මුත්තෙට්ටුවේගම ඔහුගේ කාලයේ පාර්ලිමේන්තුවේ සිටි වඩාත්ම ගෞරවයට හේතුවී සිටි මන්ත්‍රීවරයා වීයැ”යි කිව හැකිය. ඔහු පාර්ලිමේන්තුවේ කතා කරන විට පක්ෂ භේදයකින් හෝ බාධා කිරීමකින් තොරව හැම කෙනකුම සාවධානව ඔහුට ඇහුම්කන් දුන්නේය. ඔහු සටන්කාමී එහෙත් ඉතාමත් ප්‍රියජනක අහිංසක මිනිසකු වීයැ”යි කිව හැකිය. “මෙවැනි ලස්සන මිනිසකු ජේ.ආර්. දෙන ලද කප්පම බාරගන්නේ ඇයිද” යන්න මා එම මිතුරාට නගන ලද ප්‍රශ්නය විය. මිතුරා දෙන ලද පිළිතුර වූයේ තීරුබදු රහිත වාහනය මන්ත්‍රීවරුන්ට දෙන සාමාන්‍ය දෙයකට වඩා විකුණා ලොකු මුදලක් උපයා ගැනීම සඳහා දෙන කප්පමක් නිසා එය භාරගැනීම සරත් ප්‍රතික්ෂේප කළා නම් වඩා හොඳ වුවත් ගොඩනැගී තිබුණු මහා ප්‍රවාහයට ඔහුද ගොදුරු වන්නට ඇති බවය.

ඉන්පසු උරගා බැලීමකට ලක්වූ පක්ෂය වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන්ගේ විප්ලවකාරී බවද මේ මහා ප්‍රවාහයට ගොදුරු නොවී සිටීමට තරම් ප්‍රබල නොවීය.

මහජන මන්ත්‍රීවරයකුට සහන මිලකට වාහනයක් නොදිය යුතුයැ”යි මම නොකියමි. ක්‍රියාත්මක වන ක්‍රමය සකස් කර තිබෙන්නේ වාහනය විකුණා ලොකු ලාභයක් ලබාගත හැකි ආකාරයටය. රේගු නීතිය අනුව තීරු බදු වාහන විකිණීම හා අන්සතු කිරීම සපුරා තහනම්ය. එහෙත් මේ නීතිය මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැත. ඒ නිසාම මන්ත්‍රීවරුන්ගෙන් එම වාහන මිලදී ගන්නන් සඳහා ද නීතිය ක්‍රියාත්මක කළ නොහැකිය. දෙන්නේ අලුත්ම අලුත් වාහනයක් නම් අවුරුදු 05කට වරක් බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇතිකර තිබෙන්නේ ඇයි? රීකන්ඩිෂන් කළ වාහනයක් වුවද අවුරුදු 05කට වැඩි කාලයක් පාවිච්චි කළ හැකිය. මේ කප්පම් ක්‍රමය සඳහා වැය කරන්නේ මහජන මුදල් නොවේද?

හැන්ද ඇති අය බෙදා ගැනීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂිය විනාශ කර තිබෙන තරම පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි සංකේතාත්මක වැදගත්කමක් ඇති තවත් නිදර්ශනයක් මෙසේය.

රජයේ සේවකයන් සඳහා එකට ගැටගසන ලද පිළිගත් වැටුප් ප්‍රතිපත්තියක් රටේ පවතී. එම වැටුප් ප්‍රතිපත්තියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළත්ය. මෙම යල් පැනගිය වැටුප් ප්‍රතිපත්තිය විසමතාවන්ගෙන් පිරී පවතින අතර එය විශේෂයෙන්ම වෘත්තීයවේදී අංශවල වෘත්තීයවේදීන් අතර විශාල අසහනයක් ඇති කිරීමට හේතුවී තිබේ. වැටුප් ප්‍රතිපත්තිය සකස් කර තිබෙන්නේ රජයේ සේවයේ හැම අංශයක්ම එකට ගැට ගැසෙන ආකාරයට වන නිසා එක අංශයක ඇති කරන වෙනසක් අනෙක් අංශ කෙරෙහිද බලපායි. මේ නිසා තෝරාගත් එක අංශයක වෙනසක් ඇති කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන අතර කළහැකිව තිබෙන්නේ පොදු වෙනස්කම් පමණය. එහෙත් මේ මහා අවුලෙන් බේරී තමන්ගේ වැටුප් වැඩිකර ගන්නා ක්‍රමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක වේ.

ඒ සඳහා දැන් කාලයක් තිස්සේ අනුගමනය කෙරුණු ප්‍රතිපත්තිය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසින් පළමුවෙන් සිය කැමැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමය. ඉන්පසු ටික කලක් යන්නට ඉඩහැර විසමතා ප්‍රශ්නයක් ඇති බව කියා පාර්ලිමේන්තුව විසින් සිය මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනාද ඊට ගැළපෙන අනුපාතිකයට වැඩිකර ගත්තේය. මෙම පොදු ප්‍රතිපත්තිය තුළ සිටින අන් සියලුදෙනා වෙනසක් ඇති කරගැනීමට නොහැකිව හිරවී සිටින තත්ත්වයක් තුළ නීති සම්පාදකයන් පමණක් විශේෂ ක්‍රමයකට තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම සාධාරණ විය හැක්කේ කෙසේද? මෙය බලය අයථා ලෙස පාවිච්චි කිරීමක් බව මන්ත්‍රීවරුන් නොදන්නේද? මෙම ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියට විරුද්ධවීමට තරම් හෘදය සාක්ෂියක් ඇති එක මන්ත්‍රීවරයකු හෝ පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද?

තීරුබදු රහිත වාහන ජේ.ආර්. ජයවර්ධන මන්ත්‍රීවරුන්ට දුන් ආර්ථික වැදගත්කමක් ඇති එකම දෙය නොවීය. පොදුවේ සමහර දේවල් සියලු මන්ත්‍රීවරුන්ට දෙන අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වඩා විශාල දේවල් ලබාගත හැකි ක්‍රමයක් ඇති කර දුන්නේය. මත්පැන් බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර ඒ අතර ප්‍රධාන විය. මත්පැන් බලපත්‍ර ක්‍රමය නිසා සමහර මන්ත්‍රීවරුන් තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම්කරුවන් බවටත්, දැව ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය නිසා සමහර මන්ත්‍රීවරු හොරට කැළෑ කපා දැව විකුණන දැව ජාවාරම්කරුවන් බවටත් පත්වූහ. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ක්‍රම යටතේ ආණ්ඩුවේ වතු ඉඩම් ලබාගෙන තිබෙන ආකාරය සොයා බැලීමේ අවස්ථාවක් මට ලැබුණි. සොයා ගන්නට ලැබුණු තොරතුරු අනුව එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉඩම් කොල්ලයක් ලෙස සැලකිය හැකිය. සිදුවී තිබෙන ඒ හැම ගනුදෙනුවක්ම නීතියට පටහැනිව සිදුවූ ගනුදෙනු ලෙසද සැලකිය හැකිය. සමහර සරල වෙනස්කම් ඇතිව අද දක්වා ක්‍රියාත්මක වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කොට ස්ථාපිත කරන ලද එම කොල්ලකාරී ක්‍රමයයි. මේ ක්‍රමය විනාශකාරී ලෙස බලපා තිබෙන්නේ දේශපාලකයන් කෙරෙහි පමණක් නොවේ. රාජ්‍ය නිලධාරීන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ හැම අංශයක් කෙරෙහිම එය විනාශකාරී ලෙස බලපා තිබේ.

මා හිතන අන්දමට දර්ශනයේ සිටින සියලු දේශපාලන ව්‍යාපාර දේශපාලන දෘෂ්ටීන් හා දේශපාලනඥයන්, දේශපාලන ක්‍රමය සමගම යල් පැනගිය තත්ත්වයකට පත්ව සිටින්නේය. ඒ අර්ථයෙන් අප සිිටින්නේද දෙමළ ජනයා සිටින තත්ත්වයට සමාන තත්ත්වයකය. ඔවුන්ගේ නායකයන්ගේ මරණ නිසා ඔවුන් නායකයන් නැති ජනතාවක් බවට පත්ව සිටින අතර අපට නායකයන් ඇතත්, ඔවුන් ආධ්‍යාත්මිකව මරණයට පත්ව ඇති නිසා අපිදු නායකයන් නැති ජනතාවක් බවට පත්ව සිටිමු. ගාන්ධි ශ්‍රී ලංකාවට අදාළ වන්නේ ඒ අඩුව පුරවාගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප්‍රශ්නයේදීය.