සමස්ත පාසල් ක්‍රමය ම දූෂණයෙන් පිරුණු අවුල් ජාලාවක් බවට පත් කිරීමට හේතුවී තිබුණි. තිබුණු සංකීර්ණ වර්ගීකරණ ක්‍රමය ඉවත් කොට සියලු පාසල් ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් වර්ගීකරණය කරන්නට අධ්‍යාපන ඇමතිවරයා ගෙන තිබෙන තීරණය ඉතාමත් ප්‍රශස්ථ තීරණයක් බව කිව යුතු ය. සමහරවිට එම තීරණය පසුගිය දශක හතර තුළ පාසල් අධ්‍යාපන විෂයෙහි ලා ආණ්ඩුවක් විසින් ගන්නා ලද හොඳ ම තීරණය ලෙස ද සැලකිය හැකි ය. එවැනි සරල වර්ගීකරණ ක්‍රමයක අවශ්‍යතාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි පුවත්පතක් වශයෙන් එම තීරණය විශේෂයෙන් ම අපගේ සතුටට හේතුවන බව ද කිව යුතු ය.
තිබුණු වර්ගීකරණ ක්‍රමය, හොඳ පාසලක් තෝරා ගැනීම සඳහා වන වියරු පොරයක් සමාජය තුළ ඇති කිරීමට හේතුවී තිබුණි. හොඳ පාසලක් ලබා ගැනීමේ අරමුණ ජයගැනීම සඳහා හොර සහතික සකස් කිරීම අත්‍යවශ්‍ය තැනකට සමාජය තල්ලු කිරීමට හේතුවී තිබුණු අතර, මුදලට හොර සහතික තනා දෙන ආයතන ක්‍රමයක් ද රට පුරා ගොඩ නැගෙමින් තිබුණි. හොඳ පාසලක් ලබාගැනීමේ අරමුණ සඳහා අතිවිශාල වියදමක් දරන්නට දෙමාපියන්ට සිදුවූ අතර, මේ පොරය තවත් පිරිසකට වස්තුව උපයා දෙන හොඳ ඉල්ලමක් බවට පත්ව තිබුණි. මේ ක්‍රමය සමස්ත ජාතියේ ආධ්‍යාත්මය බොරුවෙන් හා හොරකමින් දූෂණය කිරීමට ද හේතුවී තිබුණි.
සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන උස් පහත් භේදයකින් තොර, ප්‍රාථමික පාසල් ක්‍රමයක් ඇති කිරීමෙන් පමණක් පාසල් ක්‍රමයේ දැන් තිබෙන අවලස්සන චිත්‍රය මුළුමණින් වෙනස් කළ හැකි ය. හැම ගමකට ම හොඳ ප්‍රාථමික පාසලක් සහතික කිරීම සඳහා අලුතෙන් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම අවශ්‍ය වන්නේ නැත. තිබෙන පාසල් ගොඩනැගිලි ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් ය. ගම්බද සමහර පාසල් වැසීයෑමේ ප්‍රවනතාව ද මේ ක්‍රමය නිසා අහෝසි වනු ඇත.
හැම පුද්ගලයෙක් ම සිය පළමු ශ්‍රේණියේ දරුවන් ගමේ හෝ පදිංචි වී සිටින නිවසට වඩාත් ම සමීප ප්‍රාථමික පාසලට යැවිය යුතු යැයි කියන නියමයක් ඇති කොට ඒ නියමය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතු ය. එහිදී උස් පහත් භේද, වර්ග, ආගම් හෝ කුල මලභේද බල නො පෑ යුතු ය. එවැනි ක්‍රමයක් මහජනයාගේ පිළිගැනීමට හේතුවනු ඇත. උස් පහත් භේදයෙන් තොර අවශ්‍ය පහසුකම් හා සුදුසු වටාපිටාව සහිත ප්‍රාථමික පාසල් ක්‍රමයක් තිබේ නම් සිය දරුවන් ආසන්නම ප්‍රාථමික පාසලට යැවීමට දෙමාපියන් ද පෙළඹෙනු ඇත. එවැනි සරල ක්‍රමයක් මගින් දැන් පවතින රුදුරු පොරය මුළුමණින් අවසන් කළ හැකි ය.
එවැනි ප්‍රාථමික පාසල ක්‍රමයක් කළමනාකරණය පහසු කරයි. සුදුසු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බෙදාහැරීම පහසු කරයි. නගරවලට සංකේන්ද්‍රණය වීමේ ක්‍රියාවලිය ද දුර්වල කරයි. ගමනා ගමනයේ දී ඇති තදබදය ද ලිහිල් කරයි. ප්‍රාථමික පාසල හොඳින් රැකබලා ගැනීම නැවත ගමේ පොදු වගකීමක් බවට පත්වී තමන්ගේ ගමට ලැබෙන වැදගත්කම ද ඉහළ යයි. පාසලක් තෝරා ගැනීම සඳහා පැවති පොරය අහෝසිවීමත් සමග එම පොරය සමග පැවති දූෂණය ද අහෝසි වනු ඇත. ගම් මට්ටමින් පවතින උස් පහත් භේද තුනී කිරීමට සේ ම ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මක අගය ඉහළ දැමීමට ද හේතුවනු ඇත.
ප්‍රාථමික පාසල් ක්‍රමයෙන් පසු එන ඊළඟ ස්ථරය (ද්විතීයික පාසල්) තරගකාරි පාසල් ක්‍රමයක් බවට පත්කිරීමට අවශ්‍ය නම්, පස්වැනි පන්තියේ දී පවත්වන තරග විභාගයක් මගින් ලබාගන්නා ලකුණු අනුව පාසල් අතර ළමුන් බෙදාහරින ක්‍රමයක් ඇති කළ හැකි ය.
පවතින විෂම පාසල් ක්‍රමයෙන් වැඩි පල ප්‍රයෝජන ලබන පිරිස් මෙවැනි වෙනසකට එකඟ නොවනු ඇතත්, එවැනි වෙනසක් රටේ පොදු යහපතට හේතුවනු නො අනුමාන ය. •