අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා සුනාමියට දෙවසරක් පිරෙනදා පැ?ලියේ බාමියන් බුදු අනුරුව විවෘත කරන උත්සවයේදී විදේශ ආධාර පිළිබඳව කටුක විවේචනයක් ඉදිරිපත් කළේය. විදේශ ආධාර ලබාගැනීම සඳහා රටේ ආත්ම ගෞරවය පරදුවට තබා දීන වන්නට තම ආණ්ඩුව සූදානම් නැති බව ප්‍රකාශ කළේය. ජර්මනිය ශ්‍රී ලංකාවට අලුතෙන් ආධාර දීම නැවැත්වීමට තීරණය කර තිබෙන බව ප්‍රකාශ කර තිබුණේ ඊට දින කිහිපයකට පෙරදීය. ජර්මනියට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රංශය ද එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබුණි.
ලැබූ නව වසර සඳහා යුරෝපා සංගමයේ සභාපතිත්වය උසුලන්නේ ජර්මනියයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජර්මනිය අනුගමනය කරන්නට යන දැඩි ආකල්පය යුරෝපා සංගමය කෙරෙහි ද බලපෑ හැකිය.
ශ්‍රී ලංකාවේ ආධාර කණ්ඩායමට ඇතුළත් රටවල් හා ශ්‍රී ලංකාව අතර මතභේද පවත්නා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. ජනවාර්ගික අර්බුදය මෙම මත මතභේදවලට පාදක වී තිබෙන ප්‍රධාන හේතුව වී තිබෙන බව ද පෙනේ. ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකම (ශ්‍රී ලංකා ආණ්ඩුව හා කොටි සංවිධානය) ඔවුන්ගේ විවේචනයට හේතුවී තිබේ. අනෙක් අතට ආධාර කණ්ඩායමට ඇතුළත් රටවල කොන්දේසි හා ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආණ්ඩුවේ සේ ම කොටි සංවිධානයේ ද දැඩි විවේචනයට හේතුවී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව රටේ ගෞරවයට හේතු නොවන කොන්දේසි ගැන කතා කරන විට කොටි සංවිධානය ද දෙමළ අරගලය දියකර හැරීමට විදේශ ආධාර සාධකයක් ලෙස යොදාගෙන ඇති බවට චෝදනා කරති.
සියලු විදේශ ආධාර ලැබෙන්නේ කොන්දේසි සහිතවය. කලාතුරකින් කොන්දේසි විරහිතව ආධාර කරන චීනය වැනි රටවල් දෙන ආධාර තුළ පවා නොපෙනෙන කොන්දේසි පවතී. මේ ආධාරවලට ඇතුළත් සමහර කොන්දේසි රටට හානිකර වුවත්, ආධාරවලට ඇතුළත් සියලු කොන්දේසි රටට හානිකර යැයි කිව නොහැකිය.
වර්තමානයේ ඇඟලුම් කර්මාන්තය කෙරෙහි ක්‍රියාත්මක වන අපූරු කොන්දේසියක් මෙසේය. ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් උපරිම ලෙස ආරක්ෂා කරන කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනවලට විවිධ සහන සමග වැඩි මිලක් ගෙවන ක්‍රමයක් ලෝකයේ ක්‍රියාත්මක වේ. එය නරක කොන්දේසියක් නොව හොඳ කොන්දේසියකි. ඒ කොන්දේසිය නිසා ශ්‍රී ලංකාවේ පවා පිළිගත් ඇඟලුම් කර්මාන්ත ආයතන උපරිම ලෙස සේවකයින් රැක බලාගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එවැනි ආයතනවලදී ඇඟලුම් සේවකයන්ට සාපෙක්ෂ වශයෙන් හොඳ වැටුප් ලැබෙන අතර, යහපත් සේවා පරිසරයක් ද සහතික කිරීමට සමත් වී තිබේ. ආධාර දෙන රටවල් ඒ රටවල මානව හිමිකම් සඳහා පනවන කොන්දේසි ද ආධාර කරන රටවල යහපතට වඩා ආධාර ලබන රටවල ජනතාවගේ යහපතට හේතුවන බව ද කිව හැකිය. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයන්ට නිදහස් වෙළෙඳපොළ තත්ත්වයක් ලබාදීමේදී ශ්‍රී ලංකාව සමග ඇති කරගත් ගිවිසුමේදී ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති කරගෙන තිබෙන මානව හිමිකම්වලට අදාළ ජාත්‍යන්තර ප්රඥප්තීන් පිළිපදින බවට කොන්දේසියක් ඇතුළත්ව තිබුණි. ගිවිසුමට ඇතුළත් ප්රඥප්තීන් අතර තිබුණු පළමු ප්රඥප්තිය වූයේ ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියේ ශ්‍රී ලංකාවට අදාළභාවයේ වලංගුභාවය අහෝසි කර තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අපනයනය කරන ඇඟලුම් සඳහා ඇති කරගෙන තිබෙන ගිවිසුමේ වලංගුභාවය ද අභියෝගයට ලක්වීමේ අනතුරක් පවතී. ඇඟලුම් පංගු ක්‍රමය අහෝසිවීමත් සමග අපේ ඇඟලුම් කර්මාන්තය අර්බුදයට යෑමේ අවධානමක් ගොඩනැගී තිබුණි. එම තත්ත්වයෙන් අපට ගොඩ ආ හැකිවූයේ යුරෝපා සංගමයෙන් ලැබුණු නිදහස් වෙළෙඳපොළ තත්ත්වය නිසාය. ඒ ගිවිසුමෙන් පමණක් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට ලැබෙන වාර්ෂික ලාභය බිලියන 8.5කි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තියට අදාළව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව යුරෝපා සංගමයේ විමතියට හේතුවී තිබේ. එය මත පදනම් වී යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට අත් වන ඉරණම ඉතාමත් ශෝචනීය විය හැකිය.
රටක් අනුගමනය කළ යුතු විදේශ ප්‍රතිපත්ති කෙරෙහි ඒ රටේ තරම හා ශක්තිය බලපායි. විදේශ ප්රතිපත්තිවලදී ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව අනුගමනය කරන ප්‍රතිපත්ති අපට අනුගමනය කළ නොහැකිය. සුනාමි විපතේදී විදේශ ආධාර ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය. කාගේවත් අධාර ලබා නොගෙන සියලු පුනරුත්ථාපන කටයුතු සිය වියදමෙන් කිරීමේ හැකියාව ඉන්දියාවට තිබුණේය. විපත් සිදුවූ ප්‍රදේශවල එවැනි විපතක් සිදුවූ බව සොයා ගන්නටවත් බැරි තරමට ඒ කටයුතු සිය වියදමෙන් සම්පූර්ණ කිරීමට ඉන්දියාව සමත් වී තිබේ. එහෙත් ඉන්දියාව මෙන් තනිව නැගී සිටීමේ ශක්තිය අපට නොතිබුණි. ඒ සඳහා අපට විදේශ ආධාර අත්‍යවශ්‍ය වූ අතර, අතිවිශාල විදේශ ආධාර ප්‍රමාණයක් ලැබුණු පසුත්, අද දක්වා ඒ කටයුතු සම්පූර්ණ කිරීමට අපි සමත් වී නැත.
විදේශ ආධාරවලදී විවේචනාත්මකව කරුණු සලකා බලන තැනකට යාම වැදගත්ය. රටේ ගෞරවයට හේතු නොවන කොන්දේසිවලට විරුද්ධව නැගී සිටීම වැදගත් වුවත්, විදේශ ආධාර මුළුමණින් ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව වැනි රටක යහපතට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.
කිසියම් පුද්ගලයෙකුගේ ආධාර මත යැපෙන පවුලක් සඳහා එම ආධාර ලබා දෙන්නා මෙවැනි කොන්දේසියක් ඉදිරිපත් කළේ යැයි සිතමු. පවුලේ ප්‍රධානියා මත්පැන් බීමට හා දුම්පානයට උනන්දුවක් දක්වයි. තමන් දෙන ආධාර කිසිවක් පවුලේ අයගේ ආහාර හෝ ඇඳුම් පැළඳුම් සඳහා මිස මත්පැන් හෝ දුම්පානය සඳහා පාවිච්චි නොකළ යුතු බව කියා එසේ කරන්නේ නම් දෙනු ලබන සියලු උදව් අත්හිටුවන බවට කොන්දේසියක් ඉදිරිපත් කළහොත් එය වැරදි කොන්දේසියක් ලෙස සැලකිය හැකිද?
විදේශ ආධාරවලදී පැනවෙන කොන්දේසි අතර ද රටේ යහපතට හේතුවන කොන්දේසි සේ ම රටේ අයහපතට හේතුවන කොන්දේසි ද පවතී. අප විරුද්ධ විය යුත්තේ රටේ යහපතට හේතුවන කොන්දේසිවලට නොව රටේ අයහපතට හේතුවන කොන්දේසිවලටය. එහෙත් අවාසනාවකට අපේ විරෝධය යොමුවී තිබෙන්නේ රටේ අයහපතට හේතුවන කොන්දේසිවලට නොව රටේ යහපතට හේතුවන කොන්දේසිවලටය.
යුදමය තත්ත්වයක් තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම නොවැළැක්විය හැකිය. එහෙත් යුදමය තත්ත්වයක් තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමට බලකිරීම් ඇතිවිට නග්න ලෙස බලය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට එය බලපායි. එය යම් පමණක යුදමය ක්රියාකාරීත්වයක් කෙරෙහි හානිකර ලෙස බලපෑ හැකි වුවත්, නග්න ලෙස බලය පාවිච්චි කිරීමට තිබෙන ඉඩ සීමා කරයි.
නග්න බලය ලෙස සැලකෙන්නේ යුදමය තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක විය හැකි සතුරන් ලෙස පෙනෙන සියලු දෙනාට එරෙහිව අනුකම්පා විරහිතව පාවිච්චි කෙරෙන බලයයි. එහිදී බලය පාවිච්චි කිරීමට පෙර සන්සුන්ව කරුණු සලකා බැලීමක් සිදුවන්නේම නැති තරම්ය. නග්න බලය පිළිබඳව අපට තරම් අත්දැකීම් ඇති ජාතියක් තවත් නැති තරම්ය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදී රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණ ජයගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විවිධ ආවරණ නාම යටතේ යොදා ගත්තේ ද නැවත එම බිහිසුණු කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ආණ්ඩුවේ හමුදා හා අතුරු හමුදා යොදාගත්තේ ද නග්න බලයයි. උතුරු නැගෙනහිර දෙමළ අරගලය හා මර්දනය තුළ ද මෙම නග්න බලය ක්‍රියාත්මක වනු දැකිය හැකිය. නග්න බලයට අප විරුද්ධ විය යුත්තේ නග්න බලය මහා පරිමාණයෙන් යොදා ගැනෙන සමාජයක නග්න බලය නිසා එක් පිරිසක් කායික වශයෙන් මිය යන විට නොමැරී ඉතිරි වන මිනිසුන් ද අධ්‍යාත්මික වශයෙන් මිය යන නිසාය. අධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ සමාජයක් යහපත් සමාජයක් ලෙස සැලකිය නොහැකිය. මේ නිසා මානව හිමිකම් ආරක්ෂා කරන ලෙසට ආධාර දෙන රටවල්වලින් එල්ල වන බලපෑම් දෙස සතුරු ආකල්පයකින් බැලීම රටේ යහපතට හේතුවන්නේ නැත.
එක් අවස්ථාවකදී හැර 1977 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දක්වා බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම විදේශ ආධාරවලදී අනුගමනය කළේ ආධාර සමග එන කොන්දේසිවලදී අවිවේචනාත්මකව ඒවා පිළිගන්නා ප්රතිපත්තියකි. එය රටේ ගෞරවයට හෝ යහපතට හේතුවන පිළිවෙතක් ලෙස සැලකිය නොහැකිය. ඊට වෙනස්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විදේශ ආධාරවලදී විවේචනාත්මක ප්රතිපත්තියකට මාරුවී සිටිනු බව පෙනේ. එය යහපත් වුවත්, අන්තවාදීවීම රටේ යහපතට හේතුවන්නේ නැත. රටේ යහපතට හා ගෞරවයට හේතුවනු ඇත්තේ සියලු කොන්දේසිවලට එරෙහිව යන ප්‍රතිපත්තියක් වෙනුවට රටේ යහපතට හේතුවන කොන්දේසිවලට එකඟවෙමින් රටේ ගෞරවයට හා යහපතට හේතු නොවන කොන්දේසිවලට එරෙහි වන ප්රතිපත්තියකි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සැලකෙන්නේ ඇමරිකන් ගැත්තෙකු ලෙස වුවත්, ඔහු කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේදී ලෝක බැංකුවට එරෙහිව අභීතව නැගී සිටියේය. ජේ.ආර්. ජයවර්ධනගේ කඩිනම් මහවැලි සංවර්ධන සැලැස්ම ලෝක බැංකුවට පෙනුණේ ආර්ථික වශයෙන් ඵලදායී නොවන නාස්තිකාර දේශපාලන වැඩසටහනක් ලෙසය. ලෝක බැංකුව ඊට ආධාර කිරීමෙන් වැළකී සිටීමෙන් නොනැවතී එය විවේචනය කරන පිළිවෙතක් අනුගමනය කිරීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ කෝපයට හේතුවිය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එවකට ලංකාවේ සිටි ලෝක බැංකුවේ නේවාසික නියෝජිතයා දුරකතනයෙන් අමතා තමන්ගේ කඩිනම් මහවැලි වැඩපිළිවෙළට අවහිර කරන්නේ නම්, ශ්‍රී ලංකාවට ලෝක බැංකු ශාඛාවක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර සිටියේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මෙම කතාව නිසා ලෝක බැංකුවට මහවැලි කඩිනම් වැඩසටහන සම්බන්ධයෙන් තමන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති නැවත සලකා බලන්නට සිදුවූ අතර, අවසානයේ එම වැඩසටහන ලෝක බැංකුවේ අනුග්‍රහය ලබන ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමත් විය.
ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආදර්ශයට ගත යුතුව තිබෙන්නේ ද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය.
රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවට නගන ලද සටන් විරාම ගිවිසුම හා ඒ යටතේ ක්‍රියාත්මක වූ සාම වැඩසටහන හරි වැඩපිළිවෙළක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකින්නේ නැත. ආධාර කණ්ඩායමේ රටවල් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ දකින්නේ හරි හා හොඳ වැඩපිළිවෙළක් ලෙසය. තමාගේ විසඳුම් වැඩපිළිවෙළ ඊට වඩා හොඳ හා නිවැරදි වැඩපිළිවෙළක් වේ නම් එය නොපමාව රටටත්, ලෝකයාටත් ඉදිරිපත් කොට එහි යුක්තිසහගතභාවය රටටත් ලෝකයටත් ඒත්තු ගැන්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය යුතුය. එවිට ආධාර කණ්ඩායමේ රටවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කරනු ඇත.
මට පෙනෙන අන්දමට මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නොනගා වෙනස් ප්රවේශයකට යොමුවීම යහපත්ය. එහෙත් එය රටේ පොදු යහපතට හේතුවනු ඇත්තේ අන්තවාදී ස්ථාවරයකට නොගොස් මැද තැනක සිය දෙකකුල් රඳවා තබා ගැනීමට ජනාධිපතිවරයා සමත් වේ නම් පමණය. දෙමළ අන්තවාදී ඉල්ලීම්වලට එකඟවීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවනවා සේ ම සිංහල අන්තවාදී ඉල්ලීම්වලට එකඟවීම ද මේ ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත.
රනිල් වික්‍රමසිංහගේ සාම වැඩපිළිවෙළින් ඉවත්වීම යහපත් වුවත්, ඓතිහාසික අර්ථයෙන් එවැනි වෙනස් ස්ථාවරයකට මාරුවීමට අවශ්‍ය සුදුසු වටපිටාවක් ඇතිවූයේ රනිල් වික්‍රමසිංහගේ සාම වැඩපිළිවෙළ නිසා බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක නොකළ යුතුය. රනිල් වික්‍රමසිංහ සාම සාකච්ඡා ආරම්භ කළේ එල්ටීටීඊය යුදමය වශයෙන් අනභිභවනීය තත්ත්වයක සිටියදීය. එහෙත් සාම සාකච්ඡා වැඩපිළිවෙළ එල්ටීටීඊයේ යුදමය ශක්තිය දුර්වල කිරීමට හේතුවිය. එම තත්ත්වය වෙනස් ආකාරයක ගනුදෙනුවකට මාරුවීමට අවශ්‍ය කරන වටපිටාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති කර දුන්නේය. ප්‍රකාශිත දෙමළ අපේක්ෂා හා ඇත්ත දෙමළ අපේක්ෂා අතර පරතරයක් පවතී. ඒ පරතරය තේරුම් ගැනීම හොඳ වුවත්, ඔවුන්ට ඇත්ත දුක්ගැනවිලි ඇති බව අපි අමතක නොකළ යුතුය. ඒ දුක්ගැනවිලිවලට තිබෙන අවසාන විසඳුම යුද්ධය නොවන බව ද අපි පිළිගත යුතුය. ඔවුන්ගේ ඇත්ත දුක්ගැනවිලිවලට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් සිංහල ගෞරවයට හානියක් වන්නේ නැත.