පාර්ලිමේන්තුවේ පරිහානිය හා එය ජයගැනීම

June 24, 2012
Publication:
Ivan's submission to the parliamentary select committee on the conduct and discipline of MPs. He cites a survey in which only 12% of people trusted Parliament, and traces the decline through land grabs and permits, thugs and private militias, and black money in elections, contrasting today's spending with the limits of 1965 and 1970. He recalls the L.M.D. de Silva and Thalgodapitiya commissions, which led to MPs being expelled, and argues that the assets and liabilities law should be enforced, with declarations published on a parliament website. He also proposes a German-style mixed electoral system instead of the plan of the Dinesh Gunawardena committee.

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විනය, සංවරය, ආරක්ෂාව හා සම්ප්‍රදායයන් පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවධානය පිණිස ලියන ලද ලිපියකි. රවුෆ් හකීම්, පී. දයාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කරු ජයසූරිය, විජේදාස රාජපක්ෂ හා ආර්. සම්බන්දන් යන මහතුන් එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ක්‍රියා කරති. මෙය එම තේරීම් කාරක සභාවේ අවධානය පිණිස ලියන ලද්දක් වුවත් එය පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන පරිහානිය හා ඒ තත්ත්වය ජයගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපාය විස්තර කරන ලිපියක් වන අතර එය පාඨකයන්ගේ දැනගැනීම සඳහා මෙහි පළකරනුයේ එය ඔවුන්ටද ප්‍රයෝජනවත් වනු ඇතැ”යි සලකාය.

තේරීම් කාරක සභාවේ සභාපති ඇතුළු සාමාජික මහතුන් වෙතය,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය, සංවරය, ආරක්ෂාව හා සම්ප්‍රදායයන් පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස ගරු කතානායකවරයා විසින් විශේෂ කාරක සභාවක් පත්කිරීම ඉතා වැදගත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැකිය.

රටේ අන් හැම ආයතනයක් සේ ම පාර්ලිමේන්තුව තිබෙන්නේද මහජනයාගේ විශ්වාසය හා ගෞරවය විශාල ප්‍රමාණයකට අහිමි කරගත් තත්ත්වයකය. පාර්ලිමේන්තුව කෙරෙහි මහජනයාගේ විශ්වාසය බිඳවැටීමේ තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි දර්ශකයක් මෙසේය.

ආසියානු පදනම ආයතනය 2010 වසර අවසානයේදී නිල්සන් සමාගම ලවා “මහජන ආකල්ප” පිළිබඳව මත විචාරණ සමීක්ෂණයක් කරවන ලදි. සමීක්ෂණය මුළු රටටම බලපාන ආකාරයට පුද්ගලයන් 4114ක් පදනම් කරගෙන කරන ලද්දකි. එම සමීක්ෂණයට අනුව පාර්ලිමේන්තුව කෙරෙහි ඉහළ මට්ටමක විශ්වාසයක් ඇති අයගේ අනුපාතිකය තිබෙන්නේ 12%ක් තරම් පහළ මට්ටමකය.

මෙම තත්ත්වය තේරීම් කාරක සභාවේ පමණක් නොව පාර්ලිමේන්තුවේද අවධානයට ලක්විය යුතු බැරෑරුම් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමයේ ගරාහැලීමේ හා පිරිහීමේ තරම ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.

මට පෙනෙන ආකාරයට මෙම තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සැකෙවින් මෙසේය.

ඒ කෙරෙහි බලපා තිබෙන හේතු විවිධය. ඒ අතරින් මහජන විශ්වාසයේ ඇතිවී තිබෙන බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම මහජනයාට සේවය කරන මාර්ගයක් වෙනුවට අයථා ලෙස ධනය උපයාගන්නා මාර්ගයක් බවට පත්ව ඇති බවට මහජනයා තුළ ඇතිවී තිබෙන විශ්වාසයයි. එහිදී මහජනයා කල්පනා කරන ආකාරය මුළුමනින් වැරදියැ”යි කිව නොහැකිය.

මහජන සේවකයන් වෙනුවට ජාවාරම්කරුවන් බවට පත්වීම

මෙම ලක්ෂණය 1977ට පෙරද කිසියම් ප්‍රමාණයකට තිබුණා වුවද එය ප්‍රධාන ලක්ෂණය බවට පත්වන්නේ 1978දී ආණ්ඩුක්‍රමයේ ඇති කරන ලද පරිවර්තනයත් සමගය. 1978දී ඇති කරන ලද ආණ්ඩුක්‍රමය මගින් තනි පුද්ගලයකු වූ විධායක ජනාධිපති වෙත රාජ්‍යයේ සකලවිධ බලය ලබාදෙමින් පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතර තත්ත්වය අහිමි කොට එම උත්තරීතර තත්ත්වය විධායක ජනාධිපති වෙත ආරෝපණය කරගත්තේය. ඊට ගෙවන වන්දියක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට (ප්‍රධාන කොට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට) මහා පරිමාණයෙන් ආර්ථික ඵල ප්‍රයෝජන උපයාගතහැකි තත්ත්වයක් ඇති කර දුන්නේය. එම තත්ත්වයට පත්වීමට මන්ත්‍රීවරුන් අතර විචිකිච්ඡාවක් තිබුණේ වී නම් එයද නැතිකරනු පිණිස රටේ විධායක ජනාධිපතිවරයා තමාට තිබූ නිසරු පොල්වත්ත ආණ්ඩුවට දී ඒ වෙනුවට ආණ්ඩුව සතුව තිබූ සාරවත්ම පොල්වත්තක් තමා වෙත හිමිකර ගත්තේය. පොදු දේපළ අයථා ලෙස හිමිකර ගැනීම බියවීමට හෝ ලජ්ජාවීමට කරුණක් නොවන බව ඒ මගින් ජනාධිපතිවරයා සිය මන්ත්‍රීවරුන්ට පෙන්නුම් කර දුන්නේය.

ඉන්පසුව ඇතිවන ක්‍රියාදාමය හැඳින්විය හැක්කේ බ්‍රිතාන්‍ය පාලන කාලයෙන් පසුව රටේ ඇතිවූ දැවැන්තම ඉඩම් කොල්ලය වශයෙනි. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ඉඩම්හිමියන් හා වැවිලිකරුවන් බවට පත්වූහ. එම ක්‍රියාදාමය ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියට පටහැනි වූවා සේ ම පිළිගත් පාර්ලිමේන්තු නීතිරීති, සම්ප්‍රදායයන් හා ගුණධර්මවලටද පටහැනි විය. මෙම ක්‍රියාදාමය ඉඩම් විෂයයට පමණක් සීමා නොවීය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර, මගී ප්‍රවාහන බලපත්‍ර හා ආණ්ඩුවේ කොන්ත්‍රාත්ද ලබාදෙන ලදි. ඒ මගින් ඔවුහු තැබෑරුම් පවත්වාගෙන යන, දැව ජාවාරම් කරන, මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යන හා ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකරන ජාවාරම්කරුවන් පිරිසක් බවට පත්වූහ.

අපරාධකරුවන් සමග කල්ලි ගැසීම

1978 ඇති කරන නව ආණ්ඩුක්‍රමය තුළ මැර බලය හා හිංසනය ආයතනගත කිරීමක් ද සිදුවිය. ආණ්ඩුව නිත්‍ය මැර හමුදාවක් පවත්වාගෙන ගිය අතර ඔවුන්ගේ සම්බන්ධීකරණය භාරදෙන ලද්දේද ආණ්ඩු පක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසකටය. ඔවුහු ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති ව්‍යපාර හා ආණ්ඩු විරෝධී ව්‍යාපාර මැඬපැවැත්වීම සඳහා යොදාගන්නා ලදහ. ඒ අනුව එම මැර කණ්ඩායම් ආණ්ඩුවෙන් යැපෙන, ආණ්ඩුවෙන් ආරක්ෂාව ලබන හා ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා ක්‍රියාකරන රාජ්‍යයට සම්බන්ධ අතුරු ආයතන ක්‍රමයක් බවට පත්විය.

ඊළඟට එළැඹෙන ත්‍රස්තවාදී තර්ජන නිසා මැරවරයන්ට ලැබෙන වැදගත්කම තවදුරටත් ඉහළ ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැරවරයන් මත යැපෙන, මැරවරයන්ගෙන් ආරක්ෂාව ලබන හා මැරවරයන් සමග සමීපව ක්‍රියාකරන පිරිසක් බවට පත්වූහ. ත්‍රස්තවාදී ව්‍යාපාරවලින් මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබුණු ජීවිත තර්ජනයන් ඉදිරියේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා මන්ත්‍රීවරුන්ට පුද්ගලික අතුරු හමුදා ඇති කරගනිමින් ඒවා පවත්වාගෙන යෑමට ඉඩ දුන්නේය. මන්ත්‍රීවරුන් ගොඩනගන ලද මෙම අතුරු හමුදාවලට එකතු වූයේ බොහෝවිට ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන්ය. ඔවුන්ට ආරක්ෂක හමුදා ලවා කෙටිකාලීන අවි පුහුණුවක් ලබාදෙන ලද අතර අවශ්‍ය අවි ආයුධ ආණ්ඩුව විසින් ලබාදෙන ලදි.

ඒ නිසා මන්ත්‍රීවරයා හා ප්‍රදේශයේ අපරාධකරුවන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇති විය. ඔවුන් මන්ත්‍රීවරයාට ආරක්ෂාව ලබාදෙන විට මන්ත්‍රීවරයාද ඔවුන්ට පෙරළා දේශපාලන රැකවරණය ලබා දුන්නේය. මන්ත්‍රීවරයා තමන්ගේ වැරදි කටයුතු සඳහා ඔවුන්ගෙන් ප්‍රයෝජනය ගන්නා විට ඔවුහු ද අපරාධ කටයුතු සඳහා මන්ත්‍රීවරයා ප්‍රයෝජනයට ගත්තෝය. ඒ මගින් මන්ත්‍රීවරයා පාතාල ලෝකයේ අපරාධකරුවන්ට සමීප ඔවුන්ට ආරක්ෂාව ලබාදෙන හා ඔවුන්ගෙන් යැපෙන කෙනකු බවට පත්විය.

කළු සල්ලිවලින් යැපීම

මෙම පරිහානිය කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැක්කේ මැතිවරණවලට තරගකරන අපේක්ෂකයන් සඳහා පනවා තිබුණු වියදම් සීමා හා සමහර යහපත් මැතිවරණ නීති මේ ආණ්ඩුක්‍රමය විසින් අවලංගු කොට, මැතිවරණ, මහා පරිමාණයෙන් මුදල් බලය යොදා දිනාගත යුතු දෙයක් බවට පත්කිරීමය. පැරණි ක්‍රමය තුළ අපේක්ෂකයකු තරග කළ යුතුව තිබුණේ කුඩා ප්‍රමාණයේ මැතිවරණ කොට්ඨාසයක් සඳහාය. එක පක්ෂයකින් තරග කළේ එක් තරගකරුවකු පමණය. නව ක්‍රමය තුළ තරග කළයුතු කොට්ඨාසයේ ප්‍රමාණය දිස්ත්‍රික්කයක් බවට පත්වී එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරද මනාප තරගයක් ගොඩනැගී තිබුණි. පැරණි ක්‍රමය තුළ අපේක්ෂකයන් සඳහා වියදම් සීමාවන් ක්‍රියාත්මක විය. වැය කළ හැකි උපරිම වියදම වූයේ රුපියල් 5000ක් හෝ එහි ඡන්දදායකයකු සඳහා සත 20ක මුදලක් පමණය. 1965 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් දරා තිබුණු වියදම රුපියල් 303,381කි. 1970දී එය රුපියල් 347,398කි. 1970දී දිස්ත්‍රික්ක අනුව ගත්විට වැඩිම වියදමක් දරා තිබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසනවලට තරග කරන ලද අපේක්ෂකයන්ය. එක් අපේක්ෂකයකු සඳහා සාමාන්‍ය වියදම රුපියල් 4235.18කි. අඩුම වියදමක් දරා තිබුණේ වව්නියාව දිස්ත්‍රික්කයට අයත් ආසනවලට තරග කළ අපේක්ෂකයන්ය. එක් අපේක්ෂකයකුට වැටුණු සාමාන්‍ය වියදම රුපියල් 1940.40ක් විය. ඒ කාලයේ පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය තහනම් වූ අතර මැතිවරණ අවසන් වූ පසු තරග කළ සියලු අපේක්ෂකයෝ සහතික කළ වියදම් ලේඛනයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියෝය. මෙම වියදම් ලේඛනයට ඇතුළත් තොරතුරු නිවැරදි නොවන අවස්ථාවලදී ජයග්‍රාහකයන්ගේ අසුන් අහිමි කැරුණු අවස්ථා තිබුණා සේ ම පරාජිතයන්ගේ ප්‍රජා අයිතිය අහිමි කැරුණු අවස්ථාද තිබුණි.

මැතිවරණවලට අදාළව පැවති මේ සියලු හොඳ නීතිරීති ඇති කරන ලද නව ආණ්ඩුක්‍රමය තුළ නීති පොතෙන් ඉවත් කොට ඒ වෙනුවට නව ක්‍රමයට ගැළපෙන විකල්ප නීතිරීති ඇති නොකිරීම නිසා මැතිවරණ මහා පරිමාණයෙන් මුදල් වියදම් කළහැකි අයට පමණක් ජයගත හැකි සූදුවක් බවට පත්විය. 2010 පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී සමහර අපේක්ෂකයන් මිලියන 100-200 අතර වියදමක් දැරූ අවස්ථා තිබුණි. පසුගිය ජනාධිපතිවරණයට විරුද්ධ පක්ෂයෙන් පොදු අපේක්ෂකයා වශයෙන් තරග කළ සරත් ෆොන්සේකා මහතාට ලැබුණු ආධාරවල වටිනාකම රුපියල් මිලියන 600ක් බව ඔහු විසින් කිසියම් අවස්ථාවකදී ප්‍රකාශ කරන ලද බව ජූනි 12 වැනිදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබුණි. ජනාධිපතිවරණයකට තරග කරන අපේක්ෂකයකුට දරන්නට සිදුවන වියදමේ ප්‍රමාණය ගැන ඉන් දළ අදහසක් ඇති කරගත හැකිය.

මැතිවරණවලට යන වියදම අසාමාන්‍ය කරමින් ඉහළ යන තත්ත්වයක් ඉදිරියේ මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට ඒ වියදම් සොයා ගන්නට සිදුවූයේ කළු සල්ලිකාරයන්ගෙනි. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ කළු සල්ලිකාරයන් මත යැපෙන තත්ත්වයක් ඇතිවිය. මැතිවරණ කළු සල්ලිකාරයන් තමන්ගේ කළු සල්ලි ඇපිල්ලීම සඳහා යොදාගන්නා වානක් බවට පත්ව ඇතැ”යි කිව හැකිය. බලයට පත්වන ආණ්ඩු සේ ම බලයට පත්වන ඇමතිවරුන්ද කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා ලද අරමුදල් පියවන ලද්දේ පොදු දේපළවලිනි. මෙම තත්ත්වය කළු සල්ලිකාරයන්ගේ පැවැත්ම තහවුරු කොට බලයට පත්වන ආණ්ඩු කෙරෙහි වන ඔවුන්ගේ ග්‍රහණය තරකිරීමට හේතුවී තිබේ. මෙම තත්ත්වයෙහි මූලික වෙනසක් ඇති කිරීමට අසමත්වෙතොත් රට ඍජු ලෙස කළු සල්ලිකාරයන් පාලනය කරන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

පාර්ලිමේන්තුවේ පරිහානිය හා ගරාහැලීම කෙරෙහි බලපා තිබෙන වැරදි ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලද පුද්ගලයා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ලෙස සැලකිය හැකි වුවත් ඉන්පසු ඒ තනතුරට පත්වන සියලුදෙනාද එම වැරදි ප්‍රතිපත්ති වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන ගියා මිස ඒවා නිවැරදි කිරීමට උත්සාහ නොකළෝය. පාර්ලිමේන්තුව පවා තමන්ට අහිමි වී තිබෙන ගෞරවය නැවත හිමිකර ගැනීම සඳහා උත්සාහ කළ බවක් පෙනෙන්නට නැත. ප්‍රමාද වී හෝ පත්කර තිබෙන මෙම කාරක සභාවට අවංක ආපසු හැරී බැලීමක යෙදිය හැකි නම් දැන් තිබෙන අවලස්සන නරක චිත්‍රය යහපත් ලෙස වෙනස් කරගැනීමේ හැකියාවක් පාර්ලිමේන්තුවට තිබෙන බව මගේ විශ්වාසයයි.

ඒ සඳහා යොදාගත හැකි මට පෙනෙන පිළියම් සමහරක් මෙසේය.

වත්කම් බැරකම් නීතිය

පාර්ලිමේන්තුවට තිබුණු උත්තරීතරභාවය විධායක ජනාධිපති ක්‍රමය නිසා අහිමි වී ඇතත් පාර්ලිමේන්තුවට තිබුණු අතිවිශාල බලය ඒ නිසා මුළුමනින් අහිමිවී නැත. නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ එයටය. ඕනෑම රාජ්‍ය ආයතනයක කටයුතු පරීක්ෂා කිරීමේ බලය එය සතුය. පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීමේ බලයක් මොනම ආයතනයකටවත් නැත. පාර්ලිමේන්තුවට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි නොවන ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ බලය තිබෙන්නේය. 1930 ගණන්වලදී එල්.එම්.ඩී. සිල්වා කොමිසම මන්ත්‍රීවරුන් 8 දෙනකු අල්ලස් චෝදනාවලට වැරදිකරුවන් කළේය. ඉන් සිව්දෙනෙක් නාමකරණයෙන් තෝරා පත් කළ සුදු මන්ත්‍රීවරු වූහ. වැරදිකරු වූ පසු තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ රඹුක්පොත මහතාට එරෙහිව යෝජනාවක් සම්මත කොට ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේය. ඉන්පසු 1950 ගණන්වලදී පත් කළ තලගොඩපිටිය කොමිසම විසින්ද එම්.පී. ද සොයිසා, සී.ඒ.එස්. මරික්කාර්, මොන්නැක්කුලම යන මන්ත්‍රීවරු අල්ලස් චෝදනාවලට වැරදිකරුවෝ කරන ලදහ. කළේය. ඉන් පෙනෙන්නේ සාමාන්‍ය නීතියට පරිබාහිරව මන්ත්‍රීවරුන්ගේ කටයුතු පරීක්ෂා කරන තැනකට ගොස් වැරදිකරුවන් වන මන්ත්‍රීවරුන් මන්ත්‍රීධුරවලින් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබෙන බවය.

මන්ත්‍රීවරුන්ගේ විසමාචාර පිළිබඳ වැරදිවලදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවත්නා ලෝකයේ හැම රටකම පාහේ වැඩිම අවධානයට යොමුවී තිබෙන විෂය ලෙස සැලකිය හැක්කේ මහජන මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රීකම අයථා ලෙස ආර්ථික වාසි ලබාගැනීමට යොදාගන්නේද යන ප්‍රශ්නය කෙරෙහිය. ලෝකයේ මහජන මන්ත්‍රීවරුන් සඳහා ඇතිකර තිබෙන නීති හා ආචාර ධර්මවලදී කේන්ද්‍රීය වැදගත්කමක් ලබාදී තිබෙන්නේ එම කාරණයටය. නැතිනම් Conflict of Interest වශයෙන් සැලකෙන බැඳීම් අතර ගැටුමටය.

මා හිතන්නේ එම විෂයයේදී ශ්‍රී ලංකාව අලුත් නීති ඇතිකර ගන්නා තැනකට යනවා වෙනුවට වත්කම් බැරකම් නීතිය (1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අකුරටම ක්‍රියාත්මක කරන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් වුවද යහපත් ප්‍රතිඵල ඇති කරගත හැකි බවය. මෙම නීතිය මන්ත්‍රීවරුන්ට පමණක් නොව රජයේ උසස් තනතුරු හොබවන හා මහජන කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන්ට බලපාන නීතියකි.

මෙම නීතිය මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන අය සඳහා ක්‍රියාත්මක වන ආකාරය ඒ ගණයට අයත් නොවන අය සඳහා ක්‍රියාත්මක වන ආකාරයට වඩා තරමක් වෙනස්ය. ජනාධිපතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ද, පාර්ලිමේන්තු මැතිවරණවලට පළාත් සභා මැතිවරණවලට හා පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයන්ද ඔවුන්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදිය යුතුය. ඉන්පසු මැතිවරණවලින් තේරී පත්වන මන්ත්‍රීවරුන් හැම වසරකම මාර්තු 31 වැනිදාට පෙරද නියම කර තිබෙන බලධාරීන් වෙත වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය.

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳීසිටින අය ඔවුන්ගේ වත්කම් බැරකම් පමණක් නොව ඔහු විවාහක නම් තම බිරිඳ හෝ ස්වාමි පුරුෂයාගේද තමන්ගෙන් යැපෙන තත්ත්වයක සිටින දරුවන් සිටී නම් ඒ සියලුදෙනාගේද, තමන් භාරයේ වෙනත් අයගේ වත්කම් තිබේ නම් ඒ සියලුදෙනාගේද වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. කරුණු වසන් කිරීම හෝ විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

මේ නීතියට ආවේණික වැදගත්ම ලක්ෂණය වන්නේ එම නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳීසිටින ඕනෑම පුද්ගලයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට ලබාදී තිබීමය. ඒ මගින් වැරදි කරන අය පිළිබඳව පැමිණිලි කිරීමේ බලය ලබාදී තිබෙන්නේ මහජනයාටය. කිසියම් පුද්ගලයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයක සහතික පිටපතක් අදාළ බලධාරියාගෙන් මහජනයා ඉල්ලා සිටින අවස්ථාවකදී (ඒ සඳහා ඉල්ලුම්කරු සහතික පිටපතක් සඳහා අය කැරෙන ගාස්තුව රජයට ගෙවිය යුතුය.) එය ලබාදීමෙන් වැළකී සිටීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට දශක දෙකක් තරම් කාලයක් තිස්සේ විවිධ ආකාරයෙන් මැදිහත්වීම් කර තිබෙන පුද්ගලයකු වශයෙන් එම නීතිය හා එහි භාවිතය පිළිබඳව මට පෙනෙන ප්‍රධාන ලක්ෂණ සමහරක් මෙසේය.

1. මෙය අයථා ලෙස වත්කම් උපයාගැනීමට එරෙහිව ලංකාවේ තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. මේ නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කැරෙන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් වුවත් අයථා ලෙස වත්කම් ඉපයීම බිය උපදවනසුලු දෙයක් බවට පත් කළ හැකිය. කුමන හේතුවක් නිසා හෝ යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් බලවත් ලෙස කතා කරන අය පවා මෙම වැදගත් නීතියට ලබාදී ඇත්තේ අඩු සැලකිල්ලකි. තොරතුරු පනතක් ගැන කතා කිරීම අද මෝස්තරයක් බවට පත්ව ඇතත් බලවත් තනතුරු දරන පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් තොරතුරු මහජනයාට ලබාදීම සහතික කරන මෙම නීතිය බලාත්මක කරවා ගැනීමට එවැනි අය අතර පවා උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැත.

2. මේ නීතියෙන් අපේක්ෂා කරන අරමුණ සම්පූර්ණවීම සඳහා සම්පූර්ණ වියයුතු කොන්දේසි දෙකක් තිබේ. එක් අතකින් එම නීතිය යටතට වැටෙන පුද්ගලයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම අවශ්‍ය වනවා සේ ම අනෙක් අතට ඒ ප්‍රකාශ මහජන පරීක්ෂාවට ලක්වීමද අත්‍යවශ්‍යය. නිසි බලධාරීන් තමන් භාරයේ තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශන මහජනයාගේ පරීක්ෂාවට ලක්වීමට බොහෝවිට ඉඩදෙන්නේ නැත. 1992 හෝ 1993දී පමණ මා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දුරකතනයෙන් කතා කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමට මට අවශ්‍ය වී තිබෙන බව ප්‍රකාශ කළ විට ඔහු මාගේ ඉල්ලීම ගැන විස්මය පළකිරීමෙන් නොනැවතී ඒවාහි පිටපත් අවශ්‍ය නම් උසාවි නියෝගයක් රැගෙන එන ලෙස කියා සිටිමින් ඒ ගැන වැඩිදුර සාකච්ඡාවකට ඉඩක් නැති ලෙස දුරකතන කතාව විසන්ධි කළේය. මා එම ලේකම්වරයාගෙන් එම ඉල්ලීම කරන ලද්දේ වත්කම් බැරකම් නීතිය ගැන මනා අවබෝධයක් ඇතිවය. එහෙත් පාර්ලිමේන්තු ලේකම්වරයාට ඒ ගැන ප්‍රමාණවත් අවබෝධයක් තිබූ බවක් පෙනෙන්නට නැත. දෙදාස් ගණන් මුලදී පමණ රාවය පාඨකයෙක් මා හමුවන්නට පැමිණ ප්‍රසිද්ධ විද්‍යාලයක විදුහල්පතිවරයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයක පිටපතක් ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මගින් ඉල්ලුම් කළද අධ්‍යාපන ලේකම්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටියේය. මා අධ්‍යාපන ලේකම්වරයාට දුරකතනයෙන් අමතා ඔහුට එරෙහිව වත්කම් බැරකම් විෂය පිළිබඳව මට පැමිණිල්ලක් ලැබී ඇති බව කියා ඕනෑම විදුහල්පතිවරයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනයක පිටපතක් කිසියම් පුද්ගලයකු ඉල්ලා සිටින්නේ නම් නියමිත ගාස්තුව අය කොට එය ඉල්ලුම්කරුට ලබාදීමට අධ්‍යාපන ලේකම්වරයා බැඳී සිටින බව කියා සිටින අතර නීතියේ එන අදාළ කොටසද ඔහුගේ දැනගැනීම සඳහා කියෙව්වෙමි. ඔහු එහිදී තමා අතින් වරදක් සිදුවී ඇති බව පිළිගත්තා පමණක් නොව අදාළ ප්‍රකාශනයේ සහතික පිටපතක් ලබාගැනීම සඳහා ඉල්ලුම්කරුට නැවත තමා අමතන කතා කරන ලෙසට දැනුම් දෙන ලෙසද මගෙන් ඉල්ලා සිටියේය. එයින් පෙනෙන්නේ මෙම විෂයයෙහි බලධාරීන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවය.

3. මෙම නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට පරීක්ෂාවට ලක්කිරීමේ අයිතිය ලැබෙන ආකාරයට මෙම නීතිය සංශෝධනය කැරෙන වර්ෂය වනවිට පරීක්ෂාවට ලක්කිරීමේ අයිතිය මහජනතාවට ලබාදීම සඳහා දිය හැකිව තිබුණු හොඳම ප්‍රතිපාදනය ඡායා පිටපත් සඳහා යන වියදම ඇතුළත් සරල ගාස්තුවක් අය කොට ඒවාහි සහතික පිටපත් මහජනයාට ලබාදීමය. එකල අන්තර්ජාල පහසුකම් නොතිබුණි. මෙම නීතිය අර්ථවත් වීමට වත්කම් බැරකම් ප්‍රකාශන මහජන පරීක්ෂාවට ලක්වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ නම් ඒ සඳහා දැන් යොදාගත හැකි හොඳම ක්‍රමය ඒ වෙනුවෙන් වෙන් කළ වෙබ් අඩවියකට ඒ සියලු තොරතුරු ඇතුළත් කිරීම මගින් අවශ්‍ය තොරතුරු මහජනයාට නොමිලේ ලබාගත හැකි තත්ත්වයක් ඇති කරදීමය.

4. ඒ සඳහා වන ආදර්ශමත් වැඩසටහනක් පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ හැකිය. කතානායකද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුව වෙනුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවියට ඇතුළත් කළ හැකිය. ඒ සඳහා අතිරේක වියදමක් වැය නොවන ආකාරයට එය කළ හැකිය. වත්කම් බැරකම් ප්‍රකාශයේ ලිඛිත පිටපතට අතිරේකව විද්‍යුත් පිටපතක්ද ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම්දිය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයේ එන නම්වලට සම්බන්ධ වන ආකාරයට එම තොරතුරු වෙනත් තොරතුරු සමග ඇතුළත් කළ හැකිය. එවිට එම විෂය ගැන උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට පාර්ලිමේන්තු වෙබ් අඩවියට ගොස් එම තොරතුරු ලබාගත හැකිය. පසුකලකදී එම වෙබ් අඩවිය මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනාගාරයක් බවට ඉබේම පත්වන්නේය.

5. නීතිය බලවත් වුවත් පුරවන්නට ලබාදී තිබෙන පෝරමය නොදියුණුය. එය නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් පෝරමයක් බවට පත්කළ හැකිය. මෙම නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විෂයයෙහි ඵලදායක ලෙස ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් වුවත් පාර්ලිමේන්තුවේ නැතිවී තිබෙන ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් නැවත හිමිකර ගැනීමට හැකිවනු ඇතැ”යි කිව හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අයථා ලෙස වස්තුව උපයාගෙන තිබෙන අයට බරපතළ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සිදුවනු ඇතැ”යි කිව හැකිය.

මැතිවරණ විෂයයේදී මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමට වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයා උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන්, නාමයෝජනා සමග, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළ හැකිය. එම නීතියේදී ලංකාව පමණක් නොව ඉන්දියාව තිබුණේද ව්‍යාකූලත්වයකය. වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනාවලදී හෝ ජයග්‍රාහකයකු නම් දිවුරුම්දීමට පෙර හා පරාජිතයකු නම් මාස තුනක් ඉකුත් වන්නට පෙර ලබාදිය යුතු බව වත්කම් බැරකම් නීතියේ එන සඳහන ඒ ව්‍යාකූලතාව කෙරෙහි බලපෑවේය. අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල එන තොරතුරු ඡන්දදායකයන්ට වැදගත්වන්නේ ඡන්දයට පෙර මිස ඡන්දයට පසුව නොවේ. මෙම අවුල විසඳාගැනීම සඳහා ඉන්දියානු මැතිවරණ කොමිසම කළේ අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමග භාරදිය යුතු බවට නියෝග කිරීමය. ඒ නියෝගය කිසියම් පිරිසක් උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් කළද ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමේ නියෝගය අනුමත කළා පමණක් නොව අපරාධ නඩු තිබෙන සියලු අපේක්ෂකයන් ඒ පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් පෙත්සම් නාමයෝජනා සමග භාරදියයුතු බවට නියෝග කරමින් එම දිවුරුම් පෙත්සම්වල පිටපත් ඡන්දදායකයන්ට ලබාගැනීමේ අයිතියද සහතික කළේය. ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයාටද ඒ දේ ම කළ හැකිය. ඊට අතිරේක වශයෙන් අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාගේ වෙබ් අඩවියට ඇතුළත් කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය පාර්ලිමේන්තුව විසින්ම රටට උරුම කරදෙන ලද නීතියකි. එම නීතිය අන් අයට වඩා හොඳින් පිළිපැදීමේ යුතුකමක් හා වගකීමක් රටේ නීති සම්පාදකයන් ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන්නේය. මෙම නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විෂයෙහි අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමට මෙම තේරීම් කාරක සභාවට හා කතානායකවරයාට හැකිවේ නම් එය දැන් තිබෙන අඳුර පලවා හරින මහා ආලෝක ධාරාවක් වනු නොඅනුමානය.

මැතිවරණ නීති වෙනස් කිරීම

මැතිවරණ නීති පිළිබඳ විෂය ගෞරවය නැවත ඇති කිරීම සඳහා වෙනස්කම් අවශ්‍ය කරන ඊළඟ වැදගත්ම විෂය ලෙස සැලකිය හැකිය. ඒ සඳහා වන වෙනත් තේරීම් කාරක සභාවක් විසින් විශාල වශයෙන් කරුණු සලකා බලා අවශ්‍ය වෙනස්කම් දැනටමත් නිර්දේශ කර ඇති බැවින් මම ඒ ගැන විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු නොවෙමි. එහිදී විය යුතුව තිබෙන වැදගත්ම දේ කළු සල්ලිවලට ලැබී තිබෙන වැදගත්කම මැතිවරණ සිතියමෙන් මුළුමනින් ඉවත් කිරීමය. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් කළු සල්ලිවලින් යැපෙන තත්ත්වය අහෝසි කිරීමය. ඒ සඳහා මැතිවරණ වියදම්වලට සීමා පැනවීම හා මැතිවරණ අරමුදල්වල, මැතිවරණ වියදම්වල පාරදෘශ්‍යභාවය සහතික කිරීම අවශ්‍ය වනවා සේ ම තිබෙන මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇතිකිරීමද අත්‍යවශ්‍යය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පත්කර තිබුණු තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙන අනුපාත ක්‍රමය වෙනුවට ජර්මන් ක්‍රමය සේ මිශ්‍ර ක්‍රමයක් ඇති කිරීම යෝග්‍යම ක්‍රමය ලෙස සැලකිය හැකිය.

මෙම තේරීම් කාරක සභාවට පාර්ලිමේන්තු දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනසක් සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි.

මීට,