සිංහල දෙමළ අර්බුදයට බලපා තිබෙන හේතූන් පිළිබඳව සිංහල හා දෙමළ දෙපාර්ශ්වයම විසින් ලබාදී තිබෙන වැරදි අර්ථකථන අර්බුදයේ සැබෑ ස්වභාවය වසන් කොට එහි සැබෑ චිත්රය විකෘති කිරීමට හේතුවී තිබේ. ප්රශ්නයට දියයුතු හරි විසඳුම කුමක්ද යන්න හා ප්රශ්නය හරියටම කුමක්ද යන්න අතර තර්කානුකූල සම්බන්ධයක් පවතී. මෙම අර්බුදයට සාධාරණ, කල්පවත්නා, යථාර්ථවාදී විසඳුමක් සොයාගැනීමට හැකිවනු ඇත්තේ සියලු විකෘති කිරීම් ඉවත් කොට ප්රශ්නයේ යථා ස්වභාවය තේරුම් ගතහැකි වේ නම් පමණය.
දෙමළ පාර්ශ්වයෙන් සිදුවී තිබෙන විකෘති කිරීම් අතර දෙමළ නිජබිම් සංකල්පය ප්රධානය. දෙමළ ප්රශ්නයට විසඳුමක් වශයෙන් දෙන බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකදී උතුරු නැගෙනහිර පළාත් දෙක එක ඒකකයක් ලෙස සලකා එසේ කළ යුතුයි කියන අදහස කෙරෙහි බලපා තිබෙන්නේ එම නිජබිම සංකල්පයයි. නිජබිම සංකල්පය යථාර්ථවාදී පදනමක් මත පිහිටා ගොඩනගා ගත් සංකල්පයක් නොවන බව ඒ ගැන ලියවී තිබෙන ප්රධාන අධ්යයනයන් දෙකක් ආශ්රයෙන් මීට පෙර ලියන ලද ලිපියකින් (හොඳම විසඳුම 13ද? රාවය 2012 මැයි 6) පෙන්වා දුන්නෙමි. මෙම ලිපියෙන් විමසුමට ලක්කරනුයේ වියළි කලාපීය ජනපද යෝජනා ක්රම ඇතිකිරීම කෙරෙහි බලපෑ කරුණුය. වියළි කලාප ජනපද යෝජනා ක්රම දෙමළ නිජබිමේ වාර්ගික සංයුතිය වෙනස් කිරීමේ දුෂ්ට අරමුණින් ක්රියාවට නගන ලද ව්යාපාර බව දෙමළ නායකයන් නගන ජනප්රිය චෝදනාවකි. මා මෙම ලිපියෙන් සලකා බලනුයේ නිදහසට පෙර බ්රිතාන්ය ආණ්ඩුවට සේ ම නිදහසින් පසු බලයට පත් විවිධ ආණ්ඩුවලටද වියළි කලාපය කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ ඇත්ත හේතූන්ය. ප්රශ්නයේ එම පැත්ත මෙම ගැටලුව විග්රහ කරන විචාරකයන්ගේ අවධානය ප්රමාණවත් තරමින් යොමුවී නැති පැත්තක් ලෙස සැලකිය හැකිය.
කලක් සිංහල ශිෂ්ටාචාරයේ මධ්යස්ථානය ලෙස වැජඹුණු උතුරුමැද වියළි කලාපය පසුකලක ඉතාමත් අඩු ජනගහනයක් ඇති බොහෝදුරට ජනශූන්ය කලාපයක් බවට පත්වීම කෙරෙහි මැලේරියා රෝගය බලපෑවේය. පළමු ලෝක යුද්ධය ආරම්භ වූ විට සහල් ආනයනය බිඳවැටෙන තත්ත්වයක් ඇතිවිය හැකි බව තේරුම් ගනිමින් වතුකරයේ වැඩකරන ඉන්දියානු වතු කම්කරුවන්ට අවශ්ය සහල් ලංකාවේම නිපදවා ගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩුව ඒ සඳහා වන විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන ලදි. ඒ අරමුණ ආණ්ඩුව සපුරා ගැනීමට උත්සාහ කළේ සමාගම් ලවා වැටුප් කම්කරුවන් හා නවීන යන්ත්රෝපකරණ යොදවා මහා පරිමාණයේ වී ගොවිපොළවල් වියළි කලාපයේ ඇති කරන වැඩපිළිවෙළක් මගිනි. එම වැඩසටහන සඳහා තෝරාගන්නා ලද සමාගම්වලට වී ගොවිතැන සඳහා ලබාදෙන ලද ඉඩම් ප්රමාණය අක්කර 8000-9000ත් තරම් විශාල විය. නිදර්ශනයක් වශයෙන් Minneriya Development Company නැමති සමාගමට මින්නේරියෙන් ලබාදෙන ලද අක්කර ප්රමාණය අක්කර 9000ක් විය. ආණ්ඩුව ක්රියාවට නගන ලද මෙම වැඩපිළිවෙළ ගැන කදිම විස්තරයක් බී.එච්. ෆාමර්ගේ Pioneer Peasant Colonisation in Ceylon නමැති කෘතියට ඇතුළත්ය. මහා පරිමාණයේ ධනේශ්වර ගොවිපොළ මගින් වී වගා කිරීමට දරන ලද ප්රයත්නය මුළුමනින් අසාර්ථක වූ අතර ඒ අසාර්ථකභාවය කෙරෙහි බලපෑ විවිධ හේතු අතර ප්රධානම හේතුව වූයේ වියළි කලාපයේ රජ කළ මැලේරියාවය.
ලංකාවේ ඉඩම් භුක්තියේ විශාලතම විපර්යාසය ඇතිවන්නේ බ්රිතාන්ය පාලන යුගයේදීය. කෝපි හා වෙනත් වාණිජ වතු වගාවන් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන වැවිලිකරුවන්ට අවශ්ය ඉඩම් ලබාදීම සඳහා ස්වදේශිකයන් හිමිකරගෙන සිටින ඉඩම් හැර අනෙකුත් සියලු ඉඩම් ආණ්ඩුවට අත්පත් කරගැනීමට ආණ්ඩුවට අවශ්ය විය. 1840 පෙබරවාරිවලදී රජයේ ඉඩම්වලට බලයෙන් වැදීම වැළැක්වීම සඳහා වන අංක 12 දරන නීතිය ඇතිකර ගන්නා ලද්දේ ඒ සඳහාය. ඒ මගින් සියලු කැලෑ ඉඩම්ද, මුඩුබිම් හා ප්රයෝජනයට නොගත් ඉඩම්ද අයිතිවාසිකම් ඔප්පු කළ නොහැකි ඉඩම් හා හේන් ඉඩම්ද රජය සතු ඉඩම් ලෙස සලකා ඒ ඉඩම් සඳහා වන රජයේ අයිතිය ප්රකාශ කරන ලදි. ඒ මගින් රටේ තිබුණු මුළු ඉඩම්වලින් 90%ක් පමණ රජය තමන් වෙත හිමි කරගත්තේය. ඉන්පසු එම ඉඩම් වාණිජ වතු වගාවන් සඳහා උනන්දුවක් දක්වන විදේශීය හා දේශීය ගැණුම්කරුවන්ට විකුණන ලදි. ඒ අනුව 1840 සිට 1906 දක්වා කාලය තුළ විදේශීය හා දේශීය ගැනුම්කරුවන්ට විකුණන ලද ඉඩම් ප්රමාණය අක්කර 1798212ක් විය. රටේ තිබෙන මුළු ඉඩම් ප්රමාණය අක්කර මිලියන 16ක් වන විට රජය විසින් ඒ කාලයේදී විකුණන ලද ඉඩම් ප්රමාණය කොතරම් විශාලද යන්න තේරුම්ගත හැකිය. වතු වගාවන්ට යටවූයේ මුළුමනින් තෙත් කලාපයේ ඉඩම්ය. තේ වගා කැරුණේ මධ්යම කඳුකර ප්රදේශවලය. රබර් වගා කැරුණේ සබරගමුව පළාතේ හා කළුතර දිස්ත්රික්කයේය. පොල් වගා කරන ලද්දේද ප්රධාන කොට වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්රික්කයේය. වතු වගාව සඳහා අවශ්ය කම්කරු පන්තියක් ලංකාවේ ගොවි ජනතාව අතරින් ගොඩනගා ගැනීමට නොහැකිවීම නිසා ඒ අඩුව සපුරාගැනීමට සිදුවූයේ දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමෙනි. 1843-1859 කාලයේදී පමණක් අලුත් වතුවල වැඩ කිරීම සඳහා මිනිසුන් ගැහැනුන් හා ළමුන් වශයෙන් දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා ගත් අයගේ සංඛ්යාව 903,557ක් විය. 1911 ජනලේඛනයට අනුව ඒ වන විට ලංකාවේ ඉන්දියානු දමිළ ජනගහනය ලාංකික දමිළ ජනගහනයටත් වඩා තරමක් වැඩි විය. ලංකා දමිළ ජනගහනය 528084ක් වන විට ඉන්දියානු දමිළ ජනගහනය 530983ක් විය. ඔවුන්ගේ පැමිණීම වතු වගාවන් පැවති ප්රදේශවල ජනවර්ග සංයුතියේ විශාල වෙනස්කම් ඇති කිරීමට හේතුවිය. ඒ තත්ත්වය වඩාත්ම බලපෑවේ මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල හා රත්නපුරය යන දිස්ත්රික්ක කෙරෙහිය. නුවරඑළිය දිස්ත්රික්කයේ ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් ඉන්දියානු වතු කම්කරු දමිළයන් වන විට එම ලැයිස්තුවට ඇතුළත් සෙසු දිස්ත්රික්කවල එම අනුපාතය 50%කට වඩා අඩු 15%කට වඩා වැඩිවිය. ජනවාර්ගික සංයුතියේ වෙනස්කම් ඇති කිරීමට හේතුවූ ක්රියාදාමයන්ට හසුවූ එකම ප්රදේශය නැගෙනහිර පළාත පමණක් නොවන බවත් එයින් බැටකෑ එකම ජනතාව ලංකා දෙමළ ජනතාව පමණක් නොවන බවත් ඉන් පෙනීයයි.
වාණිජ වතු වගාවන් සඳහා මුළුමනින්ම යොදාගනු ලැබුවේ තෙත් කලාපයේ ඉඩම්ය. එම තත්ත්වය තෙත් කලාපයේ විශාල ඉඩම් හිඟයක් ඇති කිරීමට හේතුවී තිබුණි. ඒ තත්ත්වයෙන් වැඩියෙන්ම බැටකන පිරිස බවට පත්ව තිබුණේ තෙත් කලාපයේ ජීවත් වූ සිංහල ගොවි ජනතාවය. වාණිජ වතු වගාවන් සඳහා මහා පරිමාණයෙන් ඉඩම් අත්පත් කරගැනීම, ගම්බද සමාජයේ පොහොසත් හා බලවත් අය දුප්පත් ගැමියන්ගෙන් ඉඩම් මිලදී ගැනීම හා අත්පත් කරගැනීම නිසාද, තිබුණු කුඩා කෘෂිකාර්මික ඉඩම් පවුලේ දරුවන් අතර බෙදීයෑම නිසාද වගා කිරීමට ඉඩම් නැති හෝ ප්රමාණවත් තරම් ඉඩම් නැති ගැමි ජනයාගේ පංගුව ඉහළයමින් එය විශාල සමාජ ප්රශ්නයක් බවට වර්ධනයවෙමින් තිබුණේය. 1936-38 යන වර්ෂවලදී ආචාර්ය දාස ගුප්ත දිස්ත්රික්ක අටක් ආශ්රයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව එම දිස්ත්රික්ක අටේ කිසිම ඉඩම් හිමිකමක් නොතිබුණු ගොවි පවුල්වල අනුපාතිකය 44%ක් තරම් විශාලය. මෙම සමීක්ෂණයට පෙරද ඉඩම් නැතිකම හා වර්ධනයවෙමින් පැවති ගැමි දුප්පත්කම විශාල සමාජ ප්රශ්නයක් බවට පත්කිරීමට හේතුවී තිබුණු බව හියු ක්ලිෆර්ඩ් වැනි ආණ්ඩුකාරයන්ද සී.වී. බේරන් වැනි සිවිල් නිලධාරීන් ද, ව්යවස්ථාදායක මන්ත්රණ සභාවේ සමහර දේශීය නියෝජිතයන්ද තේරුම්ගෙන තිබුණේය. එහි ප්රතිඵලයක් වශයෙන් එම තත්ත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා 1927දී ආණ්ඩුවට ඉඩම් කොමිසමක් පත්කරන්නට සිදුවූ අතර එය ලංකාවේ ඇති කරන ලද පළමු ඉඩම් කොමිසම ද විය.
ආණ්ඩුව රටේ ඉඩම්වල අයිතිකරුවා නොව භාරකරුවා පමණක් වන්නේය යන සංකල්පය ප්රථමවරට ප්රකාශ වූයේ එම ඉඩම් කොමිසම් වාර්තාවෙනි. ඒ අනුව ඉඩම් ප්රයෝජනයට ගතයුත්තේ රටේ වර්තමාන ජනතාවගේ ප්රයෝජනය පිණිස පමණක් නොව නූපන් අනාගත පරපුරේද අවශ්යතාවන් සැලකිල්ලට ගනිමිනි. විදේශීන්ට ඉඩම් විකිණීම මුළුමනින්ම අත්හිටුවා ආණ්ඩුව භාරයේ තිබෙන ඉඩම් ගම් පුළුල් කිරීම හා ඉඩම් නැති ගොවීන්ට වගාකිරීම සඳහා ලබාදිය යුතුයි කියන අදහස පිළිගත් ජාතික ප්රතිපත්තියක් වශයෙන් ස්ථාපිත වූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. ඉඩම් විෂයයෙහි ඉතාමත් විප්ලවකාරී නීතිය ලෙස සැලකිය හැකි 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත නීතිගත කැරුණේද ඉඩම් කොමිසමේ එම අදහස්වලට නීතිමය පිළිගැනීමක් ලබාදීම සඳහාය.
1946 වන විට තෙත් කලාපයේ කෘෂිකාර්මික වශයෙන් ප්රයෝජනයට ගතහැකි ඉඩම් මුළුමනින්ම පාහේ ප්රයෝජනයට ගෙන තිබුණි.
1946 වන විට කෑගල්ල හා කොළඹ යන දිස්ත්රික්ක දෙකේ එම දිස්ත්රික්කවල මුළු ඉඩම් ප්රමාණයෙන් 80%ක් හෝ ඊට වැඩියෙන් කිසියම් ආකාරයක කෘෂිකාර්මික කාර්යයන් සඳහා යොදාගෙන තිබුණි. කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්රික්කවල මුළු ඉඩම් ප්රමාණයෙන් 56%ත් 70%ත් අතර ප්රමාණයක් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්රයෝජනයට ගෙන තිබුණි. මාතලේ, කුරුණෑගල, රත්නපුරය, පුත්තලම හා බදුල්ල යන දිස්ත්රික්ක අතරමැදි තත්ත්වයක තිබූ අතර එම දිස්ත්රික්කවල ප්රයෝජනයට ගෙන තිබුණු ඉඩම් ප්රමාණය මුළු ඉඩම් ප්රමාණයෙන් 38%ක මට්ටමක පැවතුණි. එහෙත් වියළි කලාපයට අයත් දිස්ත්රික්ක වශයෙන් සැලකිය හැකි හම්බන්තොට, මන්නාරම, වව්නියාව, මඩකළපුව, අම්පාර, ත්රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව හා මොනරාගල යන දිස්ත්රික්කවල කෘෂිකර්මයට යොදාගෙන තිබුණේ යොදගත හැකි බිම් ප්රමාණයෙන් 7%ක් පමණය.
මේ රටාවට වෙනස්වූයේ යාපනේ දිස්ත්රික්කය පමණය. 1946දී යාපනේ දිස්ත්රික්කයේ කෘෂිකර්මය සඳහා යොදාගැනුණු ඉඩම් ප්රමාණය 24%ක් වුවද එය ඌන උපයෝජනයන් නොවූ අතර ලවණ ගතිය හා වෙනත් හේතු නිසා දිස්ත්රික්කයේ වගාකළ හැකි තත්ත්වයක තිබූ මුළු ප්රමාණය එය විය. කොළඹ දිස්ත්රික්කය හැරුණු විට කෘෂිකාර්මික ඉඩම් සඳහා ඉහළම ජනගහනයක් පැවති දිස්ත්රික්කයද යාපනේ දිස්ත්රික්කය විය.
ඒ අනුව තෙත් කලාපයට අයත් දිස්ත්රික්කවලට පමණක් නොව යාපනේ දිස්ත්රික්කයටද වගා කිරීමට අවශ්ය ප්රමාණවත් තරමින් ඉඩම් නැතිකමේ ප්රශ්නයක් තිබුණි. එය බරපතළ සමාජ ප්රශ්නයක් විය. 1959දී කැනේඩියානු (හන්ටින් කෝපරේෂන් ලිමිටඩ්) සමාගමක් රජයේ ප්රයෝජනය සඳහා 1946 කෘෂිකාර්මික සංගණනයේ එන තොරතුරුද පදනම් කරගනිමින් ඉඩම් ප්රයෝජනයට ගැනීමේ ශක්යතා පිළිබඳව වාර්තාවක් සකස් කළේය. ඒ අනුව තෙත් කලාපයේ මුළු ඉඩම් ප්රමාණයෙන් කෘෂිකර්මය හා වෙනත් අවශ්යතාවන් සඳහා ප්රයෝජනයට ගෙන තිබුණු ඉඩම් ප්රමාණය 70%ක් විය. එම කලාපයේ තිබූ වනාන්තර ඉඩම් ප්රමාණය අක්කර 900,000කි. පරිසර විද්යාත්මක මාන අනුව මුළු ඉඩම් ප්රමාණයෙන් 20%ක ප්රමාණයක් වනාන්තර වශයෙන් තබාගත යුතුවිය. ඒ අනුව තෙත් කාලපයේ වන සම්පත් ප්රයෝජනයට ගැනීම පරිසර විද්යා සීමා ඉක්මවා ගොස් තිබුණු අතර 1946 වන විට ප්රයෝජනයට ගෙන තිබුණු ඉඩම් ප්රමාණය හා මෙම අධ්යයනය පවත්වන ලද 1959 තෙක් අලුතෙන් සංවර්ධනය කර තිබෙන ඉඩම් ප්රමාණයද ගලපා ගත්විට 1946 වනවිටත් තෙත් කලාපයේ ඉඩම්වල කෘෂිකාර්මික හැකියාව සම්පූර්ණයෙන්ම වාගේ ප්රයෝජනයට ගෙන තිබුණු බව එම කැනේඩියානු ශක්යතා අධ්යයනයේ නිගමනය විය. එය ඉදිරිපත් කළ ඊළඟ නිගමනය වූයේ ජලාශ පෝෂක ප්රදේශ, ඇළ, ගංගා සඳහා වෙන් කළ යුතු ප්රදේශ සහ ස්වාභාවික වනාන්තර සඳහා අවශ්ය ඉඩම්ද වෙන්කළ පසු වියළි කලාපයේ කෘෂිකර්මය සඳහා අලුතෙන් ප්රයෝජනයට ගතහැකි භූමි ප්රමාණය අක්කර දශ ලක්ෂ තුනක් වන බවය.
තෙත් කලාපයේ ඇතිවූ ජනසංඛ්යා පීඩනය වියළි කලාපය ජනාවාස කිරීම මගින් ජයගැනීම සඳහා මැලේරියාව ජයගැනීම අත්යවශ්ය කොන්දේසියක් විය. ඩීඩීටී සොයාගැනීම නිසා 1946 වන විට ඒ කොන්දේසියද සම්පූර්ණ කරගැනීමට සමත් විය. මැලේරියාව මුළුමනින් මර්දනය කරන්නට පෙරත් 1948 වනවිටත් 1928 සිට 1948 දක්වා වියළි කලාපීය ජනපද යෝජනා ක්රම 12ක් ආරම්භ කර තිබුණු අතර ඒ යටතේ පවුල් 3342ක් පදිංචි කරවා තිබුණි. එම ජනපද යෝජනා ක්රම 12 යටතේ බෙදාදී තිබුණු ඉඩම් ප්රමාණය අක්කර 26737ක් විය. මේ ක්රියාවලිය වේගවත්වීමක් සිදුවූයේ මැලේරියාව මර්දනය කිරීමට සමත්වීමෙන් පසුවය.
ඉන් පෙනෙන්නේ වියළි කලාපීය ජනපද ව්යාපාර කිසියම් ප්රාදේශීය ජන කොටස වාර්ගික සංයුතිය වෙනස් කිරීම දුෂ්ට අරමුණෙන් කරන ලද ව්යාපාරයක් නොවන බවය. ඊට වඩා ගැඹුරට දිවගිය ජාතික අරමුණකින් යුතුව සිදුකරන ලද්දක් බවය. කඩිනම් මහවැලි ව්යාපාරය තෙක්ම ව්යාපාරික ගොවි ජනපද ව්යාපාර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීමේදී ප්රමුඛත්වය දෙන ලද්දේ ඒ පළාතේ ඉඩම් රහිත පුද්ගලයන්ටය. පිටස්තර පුද්ගලයන්ගෙන් පුරවන ලද්දේ ඉතිරි අවකාශයයි. වියළි කලාපීය ගොවි ජනපද ව්යාපාරවලට ලබාදී තිබෙන එම වැරදි අර්ථකථනය නිවැරදි කරගත යුතුය.