ප්‍රභාකරන් හොඳ නම් ජනාධිපතිනිය පමණක් නරක ඇයි?

December 15, 2002
Publication:
Ranil Wickremesinghe has reached agreement with Prabhakaran but not with Chandrika Kumaratunga, who leads the main opposition. Ivan argues that any settlement with the LTTE needs at least the main opposition's support, and faults the government for wavering between confrontation and coexistence, leaving PA rebels stranded after the 19th Amendment failed. Citing de Klerk and Mandela, he says Wickremesinghe and Prabhakaran must each win respect across communities and from the People's Alliance.

අගමැති රනිල් වික්‍රමසිංහට ආයුධ අතට ගෙන සටන් කරන තැනක සිටි ප්‍රභාකරන් සමග එකගත්වයක් ඇති කරගැනීමට හැකිවී ඇතත්, ප්‍රජාතන්ත්‍රවාදි බල අරගලයේ ප්‍රති පක්ෂ නායිකාවගේ භූමිකාව රගපාමින් සිටින ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග එකගත්වයක් ඇතිකර ගැනීමට තවමත් හැකිවී නැත.

ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා කොටි සංවිධානය සමග එකගත්වයක් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය වන්නා සේ ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියා කරන පොදු පෙරමුණ සමග එකගත්වයක් ඇතිකර ගැනීම ද අත්‍යාවශ්‍යය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටේ විධායක ජනාධිපති වනවා සේ ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියා කරන පොදු පෙරමුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද නිල නායකයා වෙයි.

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොටි සංවිධානය සමග ඇති කරගන්නා එකගතාවක් ප්‍රායෝගික කළ හැකිවනු ඇත්තේ එසේ ඇතිකර ගන්නා එකගත්වයට අඩුම තරමින් ප්‍රධාන විරුද්ධ පක්ෂයේ හෝ සහාය ලැබේ නම් පමණය.

මේ උභතෝකෝටිකයේදි ජනාධිපතිනිය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරයි. ඇය එහිදි ගන්නා තීන්දුවක් පොදු පෙරමුණ කෙරෙහි සේ ම ශ්‍රීලනිප කෙරෙහි ද බලපායි. එක්කෝ ඇය සමග එකගත්වයකට යා යුතුය. නැතිනම් ඇය තනිකොට පොදු පෙරමුණේ බහුතර පිරිසකගේ ආධාරය තමන් වෙත ලබාගත හැකි උපාය මාර්ගයක් ආණ්ඩුවට තිබිය යුතුය.

එහෙත් ආණ්ඩුවට ඒ සඳහා වන ප්‍රායෝගික හා සියුම් ඉදිරි දැක්මක් ඇති බව පෙනෙන්නට නැත.

පොදු පෙරමුණ සමග ගනුදෙනු කළයුතු ආකාරය පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක් මුල සිටම ආණ්ඩුවට නොතිබුණි. ජනාධිපතිනිය සමග ගැටුමකට යමින් ඇය බලරහිත කළයුතුයි කියන මතයක් එක් පිරිසක් අතර තිබුණු අතර, ගැටුමකට නොගොස් සහජීවනයෙන් ක්‍රියා කළ යුතුයි කියන මතයක් තවත් පිරිසකට තිබුණේය. ආණ්ඩුව මේ මත දෙක අතර දෝලනය වෙමින් සිටියා මිස, ඒ සඳහා සුදුසු ප්‍රතිපත්තියක් තෝරා ගනිමින් ඒ ප්‍රතිපත්තිය මත ස්ථිරව පිහිටා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත.

එක් අතකින් ආණ්ඩුව ජනාධිපතිනියට එරෙහිව නැගී සිටීමට කැමති සමහර පොදු පෙරමුණේ මන්ත්‍රීන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන අතර, අනෙක් අතට එකවිට ජනාධිපතිනිය සමග ද සහයෝගයෙන් ක්‍රියා කරන පිළිවෙතක් අනුගමනය කළේය. 19 වැනි සංශෝධන වැඩපිළිවෙළ ව්‍යර්ථවීමත් සමග ජනාධිපතිනියගේ තත්ත්වය ශක්තිමත් වූවා පමණක් නොව, ඒ සමග ජනාධිපතිනියට එරෙහිව පොදු පෙරමුණේ සිට කැරලි ගසන තත්ත්වයකට යමින් සිටි අය ද පහසුවෙන් ගොඩ ආ නොහැකි දුෂ්කර තත්ත්වයකට ඇද වැටුණේය. එයින් අවසානයේ අමාරුවේ වැටුණේ කැරලි ගසන්නට සූදානම් වූ අභ්‍යන්තර බලවේගයන්ය. අවසානයේදි ඒ සියලුදෙනාට දෑන් සිය පැවැත්ම රැකගැනීම සඳහා තමන් තුළ ජනාධිපතිනිය කෙරෙහි ඇති පක්ෂපාතීත්වය පුන පුනා ප්‍රකාශ කරන්නට වී තිබෙන අතර, ජනාධිපතිනිය ඒ කිසිවෙකුගේ බොටු හිර කරන තැනකට ගොස් නැතත්, ඒ සියලු දෙනා කෙරෙහි දරුණු උපහාසයක් ඇය තුළ පවතී.

එජාප තුළ පොදු පෙරමුණ කෙරෙහි දරුණු අප්‍රසාදයක් තිබීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට පොදු පෙරමුණ තුළ ද එජාප කෙරෙහි දරුණු අප්‍රසාදයක් තිබීම ද නොවැළැක්විය හැකිය. බල දේශපාලනයේදි මේ දෙපාර්ශ්වයටම ආණ්ඩු බලයක් තිබියදි එකිනෙකාට එරෙහිව ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ඉතාමත්ම සාහසිකය. එජාප බලයේ සිටි දිර්ඝ කාලය තුළ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් දරුණු ලෙස පළිගත් අතර, පොදු පෙරමුණ ද තමන් බලයේ සිටි හත් අවුරුදු කාලය එජා පාක්ෂිකයන්ගෙන් දරුණු ලෙස පළිගත්තේය. ඉන්පසු එජාප බලයට පැමිණීමෙන් පසු ද විරුද්ධ පාක්ෂිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත මටසිලූටු එකක් නොවීය.

මේ දෙපාර්ශ්වය අතර තිබෙන අන්‍යොන්‍ය වෛරය අවසන් කරන තෙක් ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් පොදු එකගතාවක් ඇති කරගත හැකි වේ යැයි සිතිය නොහැකිය. එහෙත් මේ අවුල ලිහාගැනීමට හේතුවන ශක්තිමත් දෑක්මක් ආණ්ඩුවට ඇති බවක් ද පෙනෙන්නට නැත.

අතිවිශාල ගැටුම් නිරාකරණය කිරීමට මැදිහත්වන නායකයන් තම පාක්ෂිකයන් අතර පමණක් නොව, විරුද්ධ පාක්ෂිකයන් අතර ද ගෞරවයට හේතුවන ආකාරයකින් ක්‍රියාකළ යුතුය.

දකුණු අප්‍රිකානු ආරාවුලේදි ක්ලර්ක්ගේ භූමිකාව කල්ලන්ගේ ගෞරවයට හේතුවූවා සේ ම මැන්ඩෙලාගේ භූමිකාව සුද්දන්ගේ ගෞරවයට හේතුවිය. දැන් රනිල් වික්‍රමසිංහට සේ ම වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ද රගපාන්නට සිදුවී තිබෙන්නේ ඊට සමාන භූමිකාවකි. රනිල් වික්‍රමසිංහ රගපාන භූමිකාව සිංහල ජනතාවගේ පමණක් නොව, දෙමළ ජනතාවගේ ද ගෞරවයට හේතුවිය යුතුය. අනෙක් අතට ප්‍රභාකරන්ගේ භූමිකාව ද දෙමළ ජනයාගේ පමණක් නොව, සිංහල ජනයාගේ ද ගෞරවයට හේතුවන්නක් විය යුතුය. එහෙත් මේ අවුල විසඳ ගැනීමට එජාප හා එල්ටීටීඊ සමගිය පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා යටත් පිරිසෙයින් ප්‍රධාන විරුද්ධ පක්ෂය වී සිටින පොදු පෙරමුණේ ද එකගත්වය අත්‍යාවශ්‍යය. එහෙත් ඒ එකගත්වය මේ ක්‍රියාවට ලබාගත හැකිවනු ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ භූමිකාව සේ ම ප්‍රභාකරන්ගේ භූමිකාව ද පොදු පෙරමුණේ ගෞරවයට හේතුවේ නම් පමණයි. ඒ ගෞරවය ඇති කරගන්නේ කෙසේද? ඒ සඳහා යොදාගත යුතු පිළිවෙත කුමක්ද යන්න සමස්ත සාම වැඩපිළිවෙළ මුහුණ දි තිබෙන එක් ප්‍රධාන අභියෝගයකි.