ජනාධිපති මහින්ද රාජපක්ෂ, දෙමළ අර්බුදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය

April 24, 2011
Publication:
The disagreement between Sri Lanka and the United Nations over the war against the LTTE is ripening into something that will go a long way, and personal factors have influenced its growth more than they should have. The way Sri Lanka responded when the UN asked its questions of a member state was neither right nor fair: what was needed instead of anger was a calm explanation.

එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුද ව්‍යාපාරය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ඇතිවී තිබුණු මතභේද දුරදිග යන තත්ත්වයකට මෝරමින් තිබෙන බව පෙනේ. මෙම ආරාවුලේ වර්ධනය කෙරෙහි අනවශ්‍ය තරමට පුද්ගලික සාධකද බලපා තිබෙන බවද පෙනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් කරන ලද කරුණු විමසීම්වලදී ශ්‍රී ලංකාව ප්‍රතිචාර දක්වන ලද ආකාරය නිවැරදි හෝ සාධාරණ නැත. කෝපයෙන් හා ආවේගයෙන් කතා කරන පිළිවෙතක් වෙනුවට අනුගමනය කළ යුතුව තිබුණේ සන්සුන්ව කරුණු පහදා දෙන ප්‍රතිපත්තියකි. අනෙක් අතට සිය සාමාජික රටක් අතින් සිදුවූ එවැනි වරදක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක් තමන්ට තිබෙන අතිවිශාල බලය යොදා ඒ රටේ බෙල්ල හිරකරන ප්‍රතිපත්තියක් ද යුක්තිසහගත හෝ සාධාරණ වන්නේ නැත.

ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ආරාවුලේදී මහ ලේකම්වරයා විසින් සේ ම ඔහු විසින් පත් කළ උපදේශක කමිටුව විසින් ද අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගත යුතුව තිබුණු එහෙත් සැලකිල්ලට ගෙන නැති ප්‍රධාන කාරණා තුනක් මෙසේය.

(1) ත්‍රස්තවාදය නූතන ලෝකය මුහුණ දී තිබුණු ලොකු අභියෝගයක් ලෙස බලවත් රටවල් සේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද පිළිගෙන තිබුණි. එය ලෝකය පුරා වේගයෙන් පැතිර ගිය වසංගතයක් බවට පත්ව තිබුණි. ලෝක ත්‍රස්තවාදී සංවිධාන ජාලය තුළ එල්ටීටීඊය හිමි කරගෙන සිටියේ ප්‍රධාන හා අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකා ආණ්ඩුව සමග කැරුණු යුද්ධයේදී ජයග්‍රාහී ලෙස සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට එල්ටීටීඊය සමත් වී නම් එය ලෝක ත්‍රස්තවාදී සංවිධාන තුළ මහත් ආස්වාදයක් ඇති කරන සාධකයක් වන්නට ඉඩ තිබුණා සේ ම එවැනි සංවිධානවල ව්‍යාප්තිය හා වර්ධනය කරන ශක්තිමත් සාධකයක් ලෙස ද ක්‍රියාකරන්නට ඉඩ තිබුණි. එහෙත් එම යුද්ධයෙන් එල්ටීටීඊය ලැබූ පරාජය ලෝක ත්‍රස්තවාදී සංවිධානවල ආස්වාදය හීන කොට ඔවුන්ගේ වර්ධනය හා ව්‍යාප්තිය දුබල කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. එම පරාජය ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානවල සාකච්ඡාවට ලක්විය. ඒ අර්ථයෙන් පුංචි ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කැරෙන ලෝක ව්‍යාපාරයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇතැ”යි කිව හැකිය. එහෙත් අවාසනාවකට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ලෝක බලවතුන් ඊට ශ්‍රී ලංකාවට ලැබිය යුතු ප්‍රණාමය ලබාදීමට තරම් සාධාරණ වී නැත.

මෙම ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට දඬුවම් කරන ප්‍රතිපත්තියක් ත්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණ දී සිටින වෙනත් රාජ්‍යයන් ද ත්‍රස්තවාදයට එරෙහිව දැඩි හා ස්ථිර ක්‍රියාමාර්ගයක් ගැනීම වළකන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. ඒ තත්ත්වය පෙරළා දුබල වී තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාරවල පැවැත්ම හා ව්‍යාප්තිය ශක්තිමත් කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය.

පොතේ නීති අනුව ක්‍රියා නොකිරීම ත්‍රස්තවාදී සංවිධානවල ශක්තියට තිබෙන වැදගත්ම සාධකයකි. ඒ නිසාම පොතේ නීතියට සීමාවී ක්‍රියාකරන මොනම හමුදාවකටවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කළ නොහැකිය. සාම්ප්‍රදායික හමුදා දෙකක් අතර කැරෙන යුද්ධයකදී යොදා ගැනෙන නීති ත්‍රස්තවාදයට එරෙහිව කැරෙන යුද්ධයකදී ඒ ආකාරයෙන්ම යොදාගත නොහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සාම්ප්‍රදායික යුද්ධයකදී අනුගමනය කළයුතු ප්‍රතිපත්ති විග්‍රහ කර ඇතත්, ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධයකදී අනුගමනය කළයුතු ප්‍රතිපත්ති විග්‍රහ කර නැත. ත්‍රස්තවාදී යුද්ධයකදී අහිංසකයකු ලෙස පෙනෙන සිවිල් වැසියකු මිනිස් බෝම්බයක් විය හැකිය. මරාගෙන මැරෙන බෝම්බකරුවකු සමග ක්‍රියාකළ යුතු ආකාරය සාම්ප්‍රදායික නීති පොත්වල විග්‍රහ කර නැත. එල්ටීටීඊය සිය බලප්‍රදේශවලින් පිටත කැරෙන බොහෝ මාරාන්තික ප්‍රහාරවලදී යොදාගනු ලැබුවේ නිල ඇඳුම් ඇඳි පුද්ගලයන් නොව සිවිල් ඇඳුම් ඇඳගත් පුද්ගලයන්ය. රජිව් ගාන්ධි ඝාතනය කළ බෝම්බකාරිය පැමිණියේ සිවිල් ඇඳුමින් මිස නිල ඇඳුමින් නොවේ. එහෙත් සිවිල් ඇඳුමෙන් මරණයට පත්වන අය ගණන් ගැනෙනුයේ සිවිල් මිනිසුන් ලෙසය.

ත්‍රස්තවාදයට එරෙහිව කැරෙන යුද්ධයකදී ත්‍රස්තවාදියකු ලෙස සැක කැරෙන ඕනෑම පුද්ගලයකු විනාශ කිරීමේ බලය නිල හමුදාවන්ට ලැබිය යුතු බව ඉන් අදහස් වන්නේ නැත. එහෙත් සාම්ප්‍රදායික යුද්ධයකදී ක්‍රියාත්මක වන රීති ඉක්මවා ක්‍රියාකිරීමේ බලයක් ඔවුන්ට තිබිය යුතුය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුත්තේ ඒ බලය ඔවුන් චේතනාන්විතව අයථා ලෙස පාවිච්චි කරන අවස්ථාවලදී පමණය. ශ්‍රී ලංකාව එල්ටීටීඊය පරාජය කිරීමට සමත් වූයේ සංඛ්‍යා බලය යොදාගන කැරෙන සාම්ප්‍රදායික යුද්ධයෙන් ඉවත් වී ඔවුන්ගේ ගරිල්ලා සටන් ව්‍යාපාරයට එරෙහිව හොඳින් පුහුණු කළ කුඩා කණ්ඩායම් යොදා ගනිමින් ඔවුන්ගේ තෝරාගත් ඉලක්ක වෙත පහරදෙන ප්‍රතිගරිල්ලා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මකවීම නිසාය. එය යුද්ධයේ ජයග්‍රහණය කෙරෙහි බලපෑ ප්‍රවර්තක සාධකය ලෙස ක්‍රියා කළේය. ප්‍රභාකරන් විස්මයට පත් කළ ඔහුගේ ධෛර්යය හීන කළ සාධකයද එය වූයේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා අවස්ථා දෙකකදී බිහිසුණු ත්‍රස්තවාදී පැනනැගීම් දෙකක් පරාජය කිරීමට සමත් විය. එක පැනනැගීමක් ඇතිවූයේ සිංහල දකුණේය. අනෙක දෙමළ උතුරේය. මෙම පැනනැගීම් දෙකම පරාජය කැරුණේ ඔවුන්ගේ පැනනැගීම් ජයග්‍රාහී තත්ත්වයකට පත්වෙමින් තිබියදීය. සිංහල ජවිපෙ කැරැල්ල මර්දනය කිරීම සඳහා යොදාගත් ප්‍රතිපත්තිය හා දෙමළ එල්ටීටීඊ කැරැල්ල මර්දනය කිරීම සඳහා යොදාගත් ප්‍රතිපත්තිය එක සමානය. ජේවීපිය සිංහල නිසා ඔවුන් කෙරෙහි මුදු ප්‍රතිපත්තියක්වත් එල්ටීටීඊය දෙමළ නිසා ඔවුන් කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක්වත් ක්‍රියාත්මක නොවීය. එයින් පෙන්නුම් කැරෙන්නේ කැරලි මර්දනයේදී පොදු ප්‍රතිපත්තියක් මිස වර්ග අනුව වෙනස් වන වර්ගවාදී ප්‍රතිපත්තියක් ආරක්ෂක හමුදා අනුගමනය කළේ නැති බවය.

ජවිපෙට කාලතුවක්කු නොතිබුණේය. නැව් නොතිබුණේය. ගුවන් යානා නොතිබුණේය. ඔවුන්ට තිබුණේ සැහැල්ලු ආයුධ පමණය. කැරලි දෙක අතර එවැනි බරපතළ වෙනසක් තිබියදීත් ජේවීපී කැරැල්ල මර්දනය කිරීම සඳහා වඩා විශාල වන්දියක් ගෙවන්නට රටට සිදුවිය. සාපේක්ෂ වශයෙන් බලන විට අවුරුදු 25ක් අල්ලාගෙන සිටි එල්ටීටීඊ කැරැල්ල මර්දනය කිරීම සඳහා ජීවිතවලින් ගෙවන්නට සිදුවූ වන්දියට වැඩි වන්දියක් අවුරුදු 3කට ආසන්න කාලයකට සීමාවූ ජේවීපී කැරැල්ල මර්දනය කිරීම සඳහා ගෙවන්නට සිදුවිය. ආරක්ෂක හමුදා මෙම ත්‍රස්තවාදී කැරලි මර්දනයේදී පොතේ නීතිය අනුව යුද්ධ කරන තැනකට ගියේ නම් ඒ කැරලි දෙක අල්ලාගෙන සිටින කාලය වඩා දීර්ඝවන්නට ඉඩ තිබුණා සේ ම ඒ මගින් සිදුවන ජීවිත හා දේපළ හානිය දෙගුණ තෙගුණ වන්නට ඉඩ තිබුණේය. කැරලි මර්දනයේදී ඕනෑම ත්‍රස්තවාදී කැරැල්ලක් මර්දනය කැරෙන විට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූවා වුවද කැරලි දෙක පරාජය කිරීමෙන් පසු ජයග්‍රාහී ආරක්ෂක හමුදා එම කැරලිවලට සම්බන්ධ පවුල්වලින් පළිගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. එයද ශ්‍රී ලංකාවට ආවේණික තවත් විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

(2) එල්ටීටීඊය ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණාත්මක ලෙස අභියෝගයට ලක් කළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරයකි. ඔවුන් ආරක්ෂාව සඳහා පමණක් ආයුධ අතට ගත් ව්‍යාපාරයක් නොවීය. ඔවුන් අතින් මරණයට පත්වූයේ ඔවුන්ට එරෙහිව සටන් කරන ආරක්ෂක හමුදාවල සාමාජිකයන් පමණක් නොවේ. යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති දහස් ගණනක් සිවිල් ජනයා ඝාතනය කළේය. කෝටි දහස් ගණනක් වටිනා රටේ දේපළ විනාශ කළේය. ඔවුන් අතින් සිංහලයන් පමණක් නොව, දහස් ගණනක් දමිළ ජනයාද ඝාතනයට ලක්වූවෝය. දෙමළ සමාජයේ පිළිගත් දේශපාලන නායකයන් බහුතරයක් මරා දමන ලද්දේ ඔවුන් විසිනි. ඔවුහු සිය රටේ දේශපාලන නායකයන් පමණක් නොව, අසල්වැසි ඉන්දියාවේ පළමු පෙළේ රාජ්‍ය නායකයකුද ඝාතනය කළෝය. ඔවුන් සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට සූදානම් ව්‍යාපාරයක් නොවීය. ඔවුන් සටන් කළේ වෙනම රාජ්‍යයක් වෙනුවෙනි. එම ඉලක්කයම මිස ඉන් මෙපිට වෙනත් කිසිවක් ලබාගැනීමට ඔවුහු කැමති නොවූහ. ඔවුන්ට රජීව් ගාන්ධි ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ වෙනම රාජ්‍යයකට වඩා අඩු දෙයක් භාර ගැනීමට ඔවුන්ට බල කළ නිසාය. ඔවුන්ගේ ආයුධ සන්නද්ධ පැවැත්ම ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණාත්මක ලෙස අභියෝගයට ලක් කර තිබුණු අතර ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඔවුන්ගේ නීති විරෝධී පැවැත්ම අහෝසි කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබුණේය. ඔවුන් ගොඩ නගා ගෙන තිබුණු බලය සාහසිකත්වය මත පදනම් වූ බලයක් වීම හේතු කොට ඔවුන් පරාජය කළ යුතුව තිබුණේද ඔවුන්ගේ සාහසික බලය ඉක්මවා ගිය ප්‍රතිසාහසික බලයකිනි. එවැනි ගැටුමක් තුළ කිසියම් මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වීම හා තුවාලවීම නොවැළැක්විය හැකිය. එහෙත් එම අරගලය තුළ මරණයට පත්වූයේ ඔවුන්ගේ සාමාජිකයන් පමණක් නොව, ඔවුන්ට එරෙහිව සටන් කළ ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවල සාමාජිකයන් කිසියම් විශාල පිරිසක් ද මිය ගියේය. ඒ කැරුණු සටන තුළ පොතේ නීතිය ඉක්මවා ගිය වැරදි දෙපැත්තෙන්ම සිදුවූවා විය යුතුය. එහෙත් සටන අවසන්වීමෙන් පසු පරාජිතයාගෙන් පළිගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක නොවීය. විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට ගැනීම සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක කළ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ නොයෙකුත් වැරදි හා අඩුපාඩුකම් තිබුණා විය හැකි වුවත්, වැසී තිබුණු නිදහසේ දොරටු විවෘතවෙමින් තිබුණේයැ”යි කිව හැකිය. අනාථ කඳවුරුවල රඳවාගෙන සිටි ජනයා නැවත ඔවුන්ගේ ගම් බිම්වල පදිංචි කළේය. කඳවුරුවල රඳවාගෙන සිටි හඳුනාගත් එල්ටීටීඊ ප්‍රබල ආධාරකරුවන්ගෙන් වැඩි පිරිසක් ද පුනරුත්ථාපනය කොට නිදහස් කළේය. යුද්ධයෙන් විනාශ වී තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් නගා සිටුවීම සඳහා විශාල ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක විය. භාෂාව ආශ්‍රයෙන් දෙමළ ජනයාට මුහුණ දෙන්නට සිදුවී තිබුණු දුක්ගැනවිලි විසඳාදීම සඳහා වන ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක විය. දෙමළ ජනයා ජීවත් වන හැම ප්‍රදේශයකම තිබෙන පොලීසිවල දෙමළ භාෂාවෙන් ගනුදෙනු කළ හැකි තත්ත්වයක් ඇති කළේය. රාජ්‍ය සේවයේ දෙමළ සහභාගිත්වය වර්ධනය කැරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. නැගෙනහිර ප්‍රදේශයේ පළාත් සභාවටද උතුරු නැගෙනහිර පළාත් දෙකේ පළාත් පාලන ආයතනවලටද ඔවුන්ගේ නියෝජිතයන් තෝරාපත් කරගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය. දැන් එම ප්‍රදේශවල ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක හා පළාත් සංවර්ධන රැස්වීම් පැවැත්වෙන්නේ ඒ ප්‍රදේශවලින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ පළාත් පාලන ආයතනවලට තේරී පත්වී සිටින දෙමළ මන්ත්‍රීවරුන්ගේද සහභාගිත්වය ඇතුවය. එය මීට පෙර නොතිබුණු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය මට්ටමෙන් හා පෞද්ගලික අංශයෙන් කැරෙන ඉදිකිරීම් හා වෙනත් සංවර්ධන කටයුතුවලදී සේවය සඳහා තෝරාගන්නා අයගෙන් 70%ක් ප්‍රදේශයේ අයවිය යුතු බව කියන කොන්දේසියක්ද ක්‍රියාත්මක වේ.

දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට පරිපූර්ණ විසඳුමක් ලබාදී ඇතැ”යි කිව නොහැකි වුවත් වර්තමානයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ප්‍රභාකරන්ගේ ආධිපත්‍යය යටතේ ගත කළ ජීවිතයට වඩා හොඳ ජීවිතයක් ඔවුන්ට ලැබී ඇතැ”යි කිව හැකිය. දැන් ඔවුන් ද්වන්ද්ව පාලනයකට යටත් නැත. අධිපතීන් දෙදෙනකුට කප්පම් ගෙවිය යුතු නැත. තමන්ගේ දූදරුවන් බලහත්කාරයෙන් යුද සේවයට බඳවා ගැනීමේ තර්ජනයකින් තොරව ජීවත්වීමේ අයිතිය ඔවුන්ට ලැබී තිබේ. අතුරුදන්වූවන් වෙනුවෙන් කඳුළු සලන පිරිසක් ඇතත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයකට පත්වෙමින් තිබේ. දකුණේ ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුද අතුරුදන්වූවන් වෙනුවෙන් කඳුළු සලන පිරිසක් සිංහල දකුණේද සිටියෝය. මිනිසුන් අතුරුදන් වන තත්ත්වයක් ඇතිවීම යහපත් නැතත් දකුණේ අතුරුදන්වූවන් සියලුදෙනා අහිංසකයෝ නොවූහ. ඔවුන් කිසියම් විශාල පිරිසකගේ අත්වල ලේ තැවරී තිබුණේය. ඒ තත්ත්වය සිංහල දකුණට පමණක් නොව දෙමළ උතුරු නැගෙනහිරටද පොදුය.

දකුණේ කැරැල්ල පරාජය කිරීමේදී සිදුවූ සීමාන්තික ක්‍රියා සොයා බැලුණේ කැරැල්ල පරාජය කිරීමෙන් වසර 06ක් ගතවීමෙන් පසුවය. ඒ කාලය තුළ හදවත් තුළ ඇතිව තිබූ තුවාල වේලී තිබුණි. සන්සුන්ව සිදුවී තිබූ හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව සමාජයට ලැබී තිබුණි. ඒ වන විට ජේවීපීය පවා සිය ප්‍රචණ්ඩ මාවත අතහැර පාර්ලිමේන්තු මාවතට මාරුවී තිබුණි. ඔවුන් එම මාවතට ඇතුළුවීම වළකන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීය.

පරාජය කැරුණු දෙමළ කැරැල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේද ඒ සමාන ප්‍රතිපත්තියකි. උතුරේ කැරැල්ල පරාජය කිරීමේදී සීමාන්තික ක්‍රියා සිදුවී ඇත්නම් ඒවා සොයා බැලිය යුතුව තිබෙන මුත් එවැනි ක්‍රියාමාර්ගයකට තාමත් ඉක්මන් වැඩිය. හදවත්වල ඇතිවී තිබෙන තුවාල වේලෙන්නට ඉඩදිය යුතුය. ඕනෑවට වඩා ඉක්මනින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගයක් ගොඩනැගෙමින් තිබෙන වාර්ගික සමගිය විනාශ කිරීමට හේතුවිය හැකිය. බලයේ සිටින මොනම ආණ්ඩුවක්වත් ආණ්ඩුවට එරෙහිව මතුවූ බලවත් කැරැල්ල පරාජය කිරීමට දායක වූ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ක්‍රියාකිරීමට කැමති වන්නේ නැත. එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතියටද අනුකූල නැත. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු කැරැල්ල මර්දනය කිරීමට දායක වූ ආරක්ෂක හමුදා හා පොලීසිය සියලු වගකීම්වලින් නිදහස් කැරෙන විශේෂ නීතියක් සම්මත කරගත්තේය. කැරැල්ල මර්දනය කිරීමේදී ඇතිවූ තත්ත්වයන් කිසියම් පමණකට හෝ සොයා බලන තැනකට ගියේ ආණ්ඩු මාරුවක් ඇතිවීමෙන් පසුවය. එම ධර්මතාව රාජපක්ෂ ආණ්ඩුවට ද අදාළය.

මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළ යුතු නම් එය විය යුත්තේ පිටස්තර මැදිහත්වීමක් මගින් නොව මේ රටේ මහජනයා අතිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද 77ට පසුව බලයට පත්වූ හැම ජනාධිපතිවරයකු සේ ම අධිකාරිවාදී පාලන ක්‍රමයකට බර තබා ක්‍රියාකරන නායකයකු ලෙස සැලකිය හැකි වුවද ඒකාධිපති නායකයකු ලෙස සැලකිය නොහැකිය. බාහිර පෙනුමෙන් සිංහලකමට බර තැබූ නායකයකු ලෙස පෙනුණද ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව සංවේදී මනසක් ඇති නායකයකු ලෙසද සැලකිය හැකිය. රටේ දියුණුව හා ආර්ථික සංවර්ධනය ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අදහස් පළකිරීමේ නිදහස, දූෂණ මර්දනය වැනි අංශ කෙරෙහි විශේෂ සංවේදීතාවක් පෙන්නුම් කර නැතත්, නිදහසින් පසු රටේ බලයට පැමිණි රාජ්‍ය නායකයන් අතුරින් රටේ දියුණුවට වැඩිම වැඩ කොටසක් ඉටුකළ හා වැඩියෙන්ම මහජනයා අතර පළිගැනීමට ලක්ව සිටින ජනනායකයා ලෙස සැලකිය හැකිය. එවැනි නායකයකු බිත්තියට හේත්තු කර පහර දෙන පිළිවෙතක් ශ්‍රී ලංකාවේ යහපතට හේතු නොවනවා සේම ලෝකයේ යහපතටද හේතු නොවන්නේය. ඉන් විය හැක්කේ ආණ්ඩුවේ අධිකාරිවාදී ස්වරූපය වර්ධනයවීමත්, ශ්‍රී ලංකාව අන්තවාදී තැනකට තල්ලුවීමත්ය.