පළාත් මැතිවරණවලට පෙර ස්වාධීන මැතිවරණ කොමිසම ඇති කළ යුතුයි

August 10, 2003
Publication:
The editorial observes that the People's Alliance is preparing to test its strength in provincial council elections without the independent Elections Commission required by the 17th Amendment. The President unconstitutionally withholds approval of the Constitutional Council's nominees, while the government, the JVP and the Supreme Court have all failed to act. It warns that future elections will become a frenzied plunder between two power blocs unless the commission is established and electoral law reformed first.

සියලු දේශපාලන පක්ෂවල පූර්ණ අවධානය බල තරගය වෙත යොමුවී තිබෙනවා මිස, දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න තත්ත්වයකට ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ඇති කරගැනීමේ වුවමනාව කෙරෙහි අවධානයක් යොමුවී ඇත්තේම නැති තරම් ය.

බලය උරගා බැලීම සඳහා පළාත් සභා ඡන්ද පැවැත්වීම කෙරෙහි පොදු පෙරමුණේ අවධානය යොමුවී තිබේ. පළාත් සභා මැතිවරණයෙන් තමන්ට වාසිදායක ප්‍රතිඵලයක් ලබාගත හැකි වෙතොත්, මහ මැතිවරණයකට යෑම පොදු පෙරමුණේ අභිලාෂය වී තිබේ. මේ සියල්ල කරන්න යන්නේ 17 වැනි සංශෝධනය යටතේ පිහිටුවිය යුතු ස්වාධීන මැතිවරණ කොමිසම නොපිහිටුවා ය.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ මහජන මතය උරගා බැලෙන මැතිවරණ පැවැත්වීම යහපත් ලක්ෂණයකි. එහෙත් පැවැත්වෙන මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක තිබිය යුතු ය. විශාල බලතල සහිත ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධි විධාන ඇතුළත් කිරීමක් අපේක්ෂා කළේ ද ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙන මැතිවරණ ක්‍රමය නිදහස් හා සාධාරණ තැනකට ගැනීමට ය. එහෙත් පුදුමයකට මෙන් ස්වාධීන මැතිවරණ කොමිසම ගැන ආණ්ඩු පක්ෂය සේ ම, විපක්ෂය ද නිහඬ ය. ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා සභාව කරන නිර්දේශ අනුමත කිරිමෙන් වැළකී සිටීමේ හැකියාවක් ජනාධිපතිනියට නැතත්, ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම සඳහා නම් කළ පුද්ගලයින් අනුමත කිරිමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ජනාධිපතිනිය අනුගමනය කරමින් සිටී. එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වුවත්, ආණ්ඩු පක්ෂය ද ඒ ගැන නිහඬ ය. 17 වැනි සංශෝධනය නීතිගත කරවීම සඳහා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කළ ජනතා විමුක්ති පෙරමුණ ද ඒ ගැන දක්වන්නේ නිහඬ පිළිවෙතකි.

ඇතිවී තිබෙන මේ අවුල නිරාකරණය කරගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඊට දෙන ලද්දේ ද “කණගාටුයි අපට කරන්නට දෙයක් නැහැ”යි කියන පිළිතුරය. මේ සියලු දෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඡන්දදායකයින්ගේ මූලික අයිතිවාසිකම් සමග සෙල්ලම් කරන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව පෙනේ. මහජනයා ද නිහඬව බලා සිටිනවා මිස, මෙම තත්ත්වය නිවැරදි කරගැනීම සඳහා උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.

මේ නිසා විය හැක්කේ අනාගතයේ පැවැත්වෙන ඡන්ද මෙම බල කණ්ඩායම් දෙක අතර කෙරෙන වියරු කොල්ලයක් බවට හැරිම ය. ඒ තත්ත්වය වැළකිය හැකිවනු ඇත්තේ මැතිවරණ වලට යන්නට පෙර ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කරගැනීමෙන් හා මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන නීති ඇතිකර ගැනීමෙනි.